Colombo, Featured Articles, Features

සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත


Pic by – www.franchisehelp.com

සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත

සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණ වේ. මේ සඳහා ආදර්ශයක් ලෙස ගැනෙන්නේ සිංගප්පූරුව බව පසුගිය කාලයේ දී අසන්නට ලැබුණි. ශ්‍රී ලංකාව ‛ශ්‍රීලංකප්පූරුවක්’ කිරීමේ මතුපිට පියවර දැන් අපට වරින් වර දෘශ්‍යමාන වෙයි.

දුප්පත්කම නැති කිරීමට යාචකයෝ මරා දැමෙති. ඉතිරි යාචකයිනට දඩ ගසති. මඟ දෙපස ශුද්ධ කිරීම පිණිස පදික වෙළදසැල් බැකෝ රකුසාට බිළි දෙනවා පමණක් නොව දශක ගණනාවක් ජීවත් වූ නිවෙස්වලින් මහා ජනයා පළවා හැරෙති. කුණු කසළ ඉවත්කිරීමේ අවබෝධය සහ ක්‍රමවත් බවක් ඇති කරනු වෙනුවට දඩුවම් දීමෙන් බිය ගන්වති. “විනය තමයි ප්‍රධාන” රටෙහි නායකයා කියා සිටී. තහනම් ලේබලය දැන් හැම තැනම ය. හරියට සංගප්පූරුවේ වාගේ ය. එහි පාරට කෙළ ගැසුවොත් දඩුවම් ය. චුවින්ගම් මිලදී ගැනීමත් විකිණීමත් තහනම් ය. සමාජ ප්‍රශ්ණ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ විසඳුම තහනම් කිරීම යි.

සංවර්ධිත රාජ්‍යයක් වන සිංගප්පූරුවෙහි වාර්ශික ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 28,000කි. එය ඉතාම ඉහළ දර්ශකයක් බව විශේෂයෙන් කීමට අවශ්‍ය නැත. එසේ නමුත් මෙම ආර්ථික සංවර්ධන දත්ත විසින් සිංගප්පූරු සමාජයේ සමස්ත ස්වභාවය පෙන්නුම් නොකරන බව එරටට ගොස් රවුමක් ඇවිද බලා ඇති ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. ඕනෑම ධනවත් රටක දැක්ක හැකි සාපේක්ෂ දුප්පත්කමට අමතරව එහි නිරපේක්ෂ දුප්පත්කම ද දක්නට ලැබේ. එරට එදා වේල සරිකර ගැනීමට අවශ්‍ය අවම මාසික ඩොලර් 600ක් ආදායම නොලබන බොහෝ පවුල් ජීවත්වන්නේ දුගී බාවයේ ය.

වර්ග කිලෝ මීටර 660ක භූමියක් සහිත සිංගප්පූරුවෙහි ජනගහනය ලක්ෂ 47කි. ජනගහණයෙන් සියයට 75ක් චීන ජාතිකයින් වන අතර ඉතිරිය ඉන්දියානු සහ මැලේ සම්භවයක් ඇති අය වෙත්. 11වන ශත වර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති සිංගප්පූරුවේ නූතන වංශ කතාව ඇරඹෙන්නේ 1965 දී මලයාසියාවෙන් වෙන්වීමෙන් පසු ය. දෙවන ලෝක යුද සමයෙහි ජපානය විසින් යටත් කරගන්නා ලදුව යුදධාවසානයෙන් පසු සිංගප්පූරුව තරමක ස්වාධීනත්වයක් ඇති බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැතීමට තීරණය කළේ ය. 1963 දී මලයාව සමඟ එක්ව මලයාසියාව නිර්මාණය කිරීමට දායක වූ නමුත් දෙවසරක් ගතවත්ම යළි ස්වාධීන රාජ්‍යක් බවට පත් වීමට සිංගප්පූරුවට සිදු විය. 1965 අගෝස්තු 09 දින එරට ස්වාධීන ජනරජයක් බවට පත් විය. 1990 වන විට ආසියාවේ ජපානයට පමණක් නොදෙවෙනි ඒක පුද්ගල ආදායමක් සහිත ආර්ථික වශයෙන් ධනවත් රාජ්‍යක් බවට එය පත් වූයේ විවෘත ආර්ථික පිළිවෙතක් සහ අන්තර් ජාතික වෙළදාමට මුල්තැනක් දීම මගිනි. වාර්ෂිකව සියයට 9ක් ආර්ථික වර්ධනයක් එම කාලය පුරාම පවත්වා ගෙන යෑමට සිංගප්පූරුව සමත් විය.

එසේ නමුත් මෙම ආර්ථික සංවර්ධනය මුදුන් පමුනුවා ගනු ලැබුණේ සමාජය මත පනවා ඇති දරදඬු නීති මාලාවක් ද සමඟ ය. එම නීති ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය ඒවා නොවූ අතර පාලක පක්ෂයේ මතවාදී ආධිපත්‍ය පවත්වා ගැනීම පිණිස සැළසුම් කරන ලද ඒවා විය. අවධාරණය දෙනු ලැබූයේ මානව සංවර්ධනයට නොව වැඩ විනයට ය. නීති රීති සහ දඩුවම් යාන්ත්‍රණයක් මගින් මිනිසුන් හුදෙක් වැඩ කරන එනමුත් නිදහසේ නොසිතන නොපතන පිරිසක් බවට පත් කිරීමට ය. අද සිංගප්පූරුව මුහුණ දී සිටින ප්‍රධානතම සමාජ ප්‍රශ්ණයක් වන්නේ මානසික වශයෙන් අතෘප්තිමත් එරට පුරවැසියා ය. එහි සිටින්නේ බොහෝ කොටම එදිනෙදා ජීවත්වීම හැරුණ විට රාජ්‍ය පාලනය ගැන උනන්දුවක් නොදක්වන පිරිස් ය. නිදහස් චින්තනය එරට සපුරා තහනම් ය.

සිංගප්පූරු ආශ්චර්‍යයේ අනීවාර්‍ය අංගයක් වන සමාජ පාලනයේ අරමුණ වන්නේ පුද්ගලික ජීවිතය රජය විසින් පාලනය කිරීම සහ එමගින් සමාජය සිය අණසක යටතේ පවත්වා ගැනීම යි. පුද්ගලික පරිමණ්ඩලයේ සෑම අංශයක්ම වාගේ රාජ්‍ය යන්ත්‍රයේ උකුසු ඇස විසින් සෝදිසි කර පාලනය කරනු ලැබේ. මෑත දී මහනුවර නගරයේ කහ ඉර හරහා නොගොස් පාර පැන ගිය සිය ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව දඩ ගැසු බව පුවත්පත් වාර්තා කළේ ය. සිංගප්පූරුවෙහි ද එය එළෙසම සිදුවෙයි. රාජ්‍යයේ අණසකට පිටින් මැස්සකුවත් නොයා යුතු බව ඉන් ඇඟවෙන සංඥාවයි. මෙරට පුද්ගලික උපකාරක පංති පැවැත්විය හැකි සහ නොහැකි දින දැන් තීරණය කරන්නේ ද රජය විසිනි. ඒ ද සමාජය විනය ගරුක කිරීම පිණිසයැයි දරුවන් බලයෙන් හෝ ආගමික උපකාරක පංතිවලට යැවීමට ය. සිංගප්පූරුවේ සෑම වෙළද සැළක්ම පාසැල් නිවාඩු කාලයෙහි නිශ්චිත ප්‍රමාණයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සේවයට ගත යුතුම ය. එමෙන්ම පාසැල් දරුවන් නිවාඩු කාලයේ රැකියාවක් කර වැඩ විනයට පුරුදු විය යුතු ය. ඒ දරුවන් කුඩා කාලයේ සිටම බලයෙන් හෝ වැඩ විනයට හුරු කිරීමට එහි අරමුණ යි. අනෙත් අතට අර්ධකාලීන රැකියාවක් හෝ සොයන වසය 70 ඉක්මවූ පිරිස් පවා එරට සුලබ ය. ජීවිත කාලය පුරාම වැඩ කිරීම වැඩ විනයේ ආදර්ශ පාඨය යි.

වැඩ තෙහෙට්ටුව නිසා ඇතිවන අවිනිශ්චිතතාවය සහ ආතතිය වැනි ස්නායු ආබාධවලින් සියයට 16ක් පමණ සිංගප්පූරු වැසියෝ පීඩා විඳිති. මානසික ආබාධ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට එන පිරිස් එක දිගට ඉහළ යමින් තිබේ. වසර කිහිපයකට පෙර කරන ලද සමීක්ෂණයකට අනුව තෙහෙට්ටුව සහ විෂාදයට ලක්වීමේ වැඩිම අවදානමක් ඇති ආසියනු ජන පිරිස වන්නේ සිංගප්පූරු ජාතිකයින් ය. අධික ජීවන වියදම සහ හදිස්සි සහගත නාගරික ජීවිතය සහ මා පිය සෙනෙහස නැතිව යාම හේතු කොට ගෙන කැරෙන සියදිවි නසාගැනීම් ද සිංගප්පූරුවේ ඉහළ යමින් තිබේ. මෑත සිදුකරන ලද වෙනත් සමීක්ෂනයකින් පෙන්වන්නේ මේසා ආර්ථික සංවර්ධනයක් තිබියදීත් එරට ජනගහනයෙන් සියයට 20ක් ම රට හැර යාමට අපේක්ෂා කරන බව යි. හේතුව පැහැදිලි ය. එනම් මානව නිදහස සහ නිර්මාණශීලිත්වය සිරගත කළ රටක ජීවත් වීම විවෘත සිරකදවුරක ජීවත් වීම හා සමාන නිසා ය.

සමාජීය පාලනය ඌණ පූරණය කැරෙන පරිදි දේශපාලනය ද දඬුඅඬුවකට හසු කොට තිබේ. නාමික බහු පක්ෂ ක්‍රමයක් පවත්වා ගෙන යන නමුත් අතර විපක්ෂයට බලයට පත්වීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බවට වග බලාගනු ලැබේ. විපක්ෂ දේශපාලනඥයින් විවිධ චෝදනා යටතේ සිර ගතකිරීම හෝ නඩු පවරා මුල්‍යමය වශයෙන් බංකොලොත් කිරීම ඒ සඳහා ක්‍රියාත්මක කැරෙන එක් උපායකි. විපක්ෂයේ කැපී පෙනෙන දේශපලනඥයකු වූ රාජරත්නම්ට එරෙහිව පවරන ලද නඩු විසින් ඔහුට බංකොළොත් බව ප්‍රකාශ කිරීමට සිදුවූ අතර එනිසාම දේශපාලන අයිතීන් අහිමි වී ගියේ වසර කිහිපයකට පෙර ය.

අන් රටවල මෙන්ම සිංගප්පූරුවේ ද දේශපාලන මර්දනයේ ප්‍රධාන අවිය ජනමාධ්‍ය නිදහස මැඩලීම යි. මෑතක් වන තුරුම ජංගම දුරකතන සහ වන්ද්‍රිකා සංඥාලබා ගත හැකි රූපවාහිනී ඇන්ටෙනා සඳහා පුලුල් රාජ්‍ය පාලනයක් පැවැතුනි. අන්තර් ජාලය ද පාලනය කර තිබේ. රටෙහි ඇත්තේ ජනමාධ්‍ය ආයතන දෙකකි. පාලක පක්ෂයට සම්බන්ධ සිංගප්පූරු ප්‍රෙස් හෝල්ඩින්ස් ආයතනයට මුද්‍රිත මාධ්‍ය අධිකාරය තිබේ. රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා අයත් වන්නේ රාජ්‍ය ආයෝජන ඒජන්සියට අයත් වන මීඩියා කොප් ආයතනයට ය. විවේචනාත්මක ජනමාධ්‍ය යන්න එරට ජනයාට නුපුරුදු දෙයකි. ස්වාධීන ජනමාධ්‍ය භාවිතයක් ඇත්තේ ම නැත. සිංගප්පූරුවෙහි ක්‍රියාත්මක වන මරණ දඬුවම විවේචනය කරමින් පොතක් ලියූ බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ෂඩ්රේකා පසුගිය 18 දා අත්අඩංගුවට ගැනීමෙන් යලිත් වරක් පෙන්නුම් කැරුණේ කිසිදු විවේචනාත්මක මාධ්‍ය අවකාශයකට සිංගප්පූරු ආශ්චර්‍යය ඉඩ නොදෙන බව යි.

සමාජය සහ දේශපාලනය පාලනය කරනවා පමණක් නොව පාලක පක්ෂය ද මෙම ආශ්චර්යයේ පාලනයට යටත් ය. පාලක පක්ෂයේ නායකත්වය සඳහා විශ්වාසවන්තම අනු ප්‍රාප්තිකයා කලින් ම තෝරා සූදානම් කෙරුණි. ඒ සිංගප්පූරු ආශ්චර්ය ගොඩ නැගූ ලී ක්වාන් යුගේ අභිමතය පරිදි ය. එනයින් අද සිංගප්පූරුව පාලනය කරන්නේ ලී කුවාන් යූගේ වැඩිමහල් පුත්‍රයා වන ලී හ්සින් ලිංග් ය. යුද හමුදාවේ සිට 1990 දී දේශපාලනයට කැදවාගෙන එන ලද ඔහු එකවරම උප අගමැතිවරයකු බවට පත් කරන ලදී. එවිට ඔහුගේ වයස 32ක් විය. පීපල්ස් ඇක්ෂන් පාර්ටි නම් පාලක පක්ෂයෙන් පිට පාර්ලිමේන්තුවෙහි සිටින විපක්ෂ මංත්‍රිවරු අතේ ඇඟිලි ගනනටත් අඩුය. රට පාලනය කිරීමේ සදාචාර අයිතිය රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම නිසා තමන්ට ලැබෙන්නේ ය යනු ලී පවුලේ දර්ශණය යි. ප්‍රජාතන්ත්‍රවාදී වට පිටාවක් තුළ පැවැත්වෙන නිදහස් සහ සාධාරණ මැතිවරණයකින් රට පාලනය කිරීමේ සුජාත බාවය ලබා ගත යුතු යැයි ලී ක්වාන් යූ දර්ශණය පිළි නොගනී. දේශපාලන නායකත්වය ලැබෙන්නේ ජනතා කැමැත්තෙන් නොව පක්ෂ නායකයාගේ කැමත්ත අනුව ය. බොහෝ විට ඔව්හු නිතරඟයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මන්ද යත් ප්‍රයෝගික විපක්ෂකට ඉඩක් නැති නිසා ය.

ලෝකයේ වැඩිම වැටුප් ලබන ඇගමැතිවරයකු වන ලී හ්සින් ලිංග් ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය අගැමැති වැටුප පරදව යි. එය එක්සත් ජනපද ඩොලර් ලක්ෂ 27ක් වූ විට ඇමෙරිකානු ජනාධිපති වාර්ෂික වැටුප ඩොලර් ලක්ෂ දෙකක් ද බ්‍රිතාන්‍ය අගමැති වැටුප ඩොලර් එක් ලක්ෂ හත්තෑදහස් පන්සිය පනස් හයක් ද විය. සිංගප්පූරුවේ ඇමැතිවරයකුගේ වාර්ෂික වැටුප එක්සත් ජනපද ඩොලර් ලක්ෂ 15ක් වන විට ඇමෙරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේ ද එම වැටුප ඩොලර් එක් ලක්ෂ පනස් දහසක් විය. පවුලේ සහ අතවැසියන්ගේ පාලනයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයකට ඉඩක් නොදෙන සිංගප්පූරු ආදර්ශයේ අනෙක් පැත්ත එවැනි ය.