සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

ප්‍රභාකරන් 11

ගෙවී ගිය අවුරුද්දේ ඇහින් දැකපු, කණෙන් අහපු, හැම දෙයක්ම හුඟාක් ම කටුකයි. ඒ අතීතයෙන් මෑත් වෙලා ගමන් කරන්න හදන 2008, සාතන්ගේ අවුරුද්දක් බව අවුරුද්දේ මුල් දවසෙන්ම ඔප්පුවෙලා ඉවරයි. මේ උතුම් රටේ අතීතයෙන්වත්, වර්තමානයෙන් වත්, මනුස්ස හදවතකට සැනසුම් සුසුමක් හෙලන්නට කිසිම අරමුණක් ඉතිරි කරලා නැහැ. හැම මිනිස් ජීවිතයකට ම යක්‍ෂයා බැල්ම හෙලන්නට පටන් අරන්.

‛‛අපි ප්‍රභාකරන්ගේ විනාශයේ මාවත හෙළි පෙහෙලි කරමින් ඉදිරියටම ඇදෙනවා’’ කෙහෙළිය රඹුක්වැල්ල හිතන්න ඒ විදියට, අනිත් පැත්තෙන් L.T.T.E ය අවසානය තෙක් සටන් කරන්න සූදානමින්, කරුමක්කාර යුද්ධයේ පරම්පරාගත වන්දිකරුවන් වුණු සිවිල් වැසියන් දහස් ගණනින් මිය ගිහින්, වසරෙන් වසර යුද්ධයේ මිනිස් දඩබිම් රට පුරාම පැතිරෙනවා. කිසිවෙකුටත් මෙහි මායිමක්, අවසානයක් තීරණය කරන්නට හැකියාවක් නැහැ. ද්‍රවිඩයාගේ අයිතියත්, සිංහලයාගේ අයිතියත් මේ උතුම් දේශයේ මිනී වලවල් තුළ රහසේම සැඟව ගිහින්.


මේ හැම සිදුවීමක් තුළම අප දකින්නේ පාර්ශවයන් දෙකක සිදුවීම් පමණක් වුවද, අප විමසිය යුතු, දැකිය යුතු, අනාගත ව්‍යවසනයේ අනෙක් පාර්ශවකරු මැනවින් හඳුනාගතයුතු කාලය එළඹ ඇති බව පෙනේ. ද්‍රවිඩ දේශපාලන නායකයින් ඝාතනය ආරම්භ වන්නේ අද ඊයෙක සිට නොවේ. එසේම මෙම ඝාතනවල වගකීම ද එක පාර්ශවයක් සතු නොවේ. සිංහල ආණ්ඩුව මෙන්ම L.T.T.E යද මෙම ඝාතනයන්ට ප්‍රමුඛ වග උත්තරකරුවන් වීම නොවැලක්විය හැක්කකි. වර්තමාන ඉතිහාසයේ කදිරගාමර්, පරරාජසිංහම්, රවිරාජ් සහ මහේෂ්වරන් ඝාතන ලැයිස්තුවලට එකතු වී හමාරය. චන්ද්‍රිකා බණ්ඩාරනායක, ගෝඨාභය රාජපක්‍ෂ සහ ඩග්ලස් දේවානන්ද ඝාතන තැත් කිරීම් වලින් ජීවිත ගලවාගත් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා.
ප්‍රභාකරන්ගේ සතුරන් අතරට සිංහල නායකයින් මෙන්ම ද්‍රවිඩ නායකයින් ද ඇතුළත්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. අතීතයේ අවි දැරුවද වර්තමානයේ ප්‍රජාතාන්ත්‍රවාදි රාමුවට පිවිසි ඩග්ලස් දේවානන්ද දෛවයේ සරදමකින් ප්‍රභාගේ සතුරෙක් වෙලා. නමුත් තර්කානු කූල ලෙස ප්‍රභාකරන් බෙදුම්වාදි වීමත්, ඩග්ලස් ඒකිය ආණ්ඩුවක ඉත්තෙකු වූ ෆෙඩරල්වාදියෙකු වීමත්, තුළ රජයේ සැලකීම එකිනෙකාට වෙනස් ආකාරයට බලපාලා. නමුත් ගැටලුව පැනනගින්නේද එතැනින්ම ය. ඩග්ලස් දේවානන්දගේ සැබෑ උවමානව ද්‍රවිඩ ජනතාවට රාජ්‍ය තුළ නිදහසේ ජීවත්වීමේ අයිතිය හිමිකර දීම නම්, ඔහුගේ 13 වාරයක මරණයෙන් ගැලවීම, ද්‍රවිඩ ජනතාවට සැබෑ ආශිර්වාදයක් වනු ඇත.
නමුත් යථාර්තය පවතින සත්‍යයෙන් බොහෝ දුරය. ‛‛ඩග්ලස්’’ ගේ අරමුණ ‛‛ප්‍රභාට’’ ගහන්නට ආණ්ඩුවට දිරි දීමය. ප්‍රභා නැති දාට ඒ පුටුවේ ඉඳ ගන්නට ඔහු කල්යල් බලනු ඇත. ප්‍රභාගෙන් පසු ද්‍රවිඩ ජනයාගේ ගැලවුම් කරු ඩග්ලස් ම මිස අන් කවරෙක් ද? යාපනයේ සියලු ද්‍රවිඩ දේශපාලඥයින්ගේ ඝාතනයන්හි රහස එයද? ප්‍රභාගේ අවසානය ජනවාර්ගික ගැටලුවේ අවසානය යැයි, සිහින දකින සිංහල නායකයින්ට ඩග්ලස්ගේ ‛‛ප්‍රභාකරන් 2’’ ජවනිකාවට මුහුණ දීමට අනිවාරයෙන්ම සිදුවනු ඇත. පවතින තත්වයන් තුළ එසේ නොවන්නේ නම්, එය පුදුමයට කරුණක් නොවන්නේ ද?

ඩග්ලස් නුඹට දීර්ඝායුෂ !

සමන්තිලක බණ්ඩාර