බුරුමයේ ශ්‍රී ලංකා තානාපති ධූරන්දර ගරු මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමා ඔහුගේ ෆේස්බුක් හී වැදගත් සටහනක් තබා ඇත. මෙම සටහන වෙබ් අඩවියක් විසින් උපුටාගෙන කර නැවත පළකර තිබේ.

මෙම සටහන දශක තුනකට අධික කාලයක් තිස්සේ මහාචාර්ය ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකාව තුළ ජාතික චින්තනය යයි හඳුන්වා පතුරවන ලද මතවාදයේ සාරංශයකි. ඔහුගේ එම මතවාදය සැබෑ ශ්‍රී ලාංකික හෝ සිංහල බෞද්ධ හෝ මතවාදය ලෙස මෙරට උගත්තු කිසි විටෙකටත් පිළිනොගත්තේය. කෙසේ නමුත් අද වන විට අතිශයින්ම ඝෝෂාකාරී, ව්‍යාජ දේශප්‍රේමී, සිංහල බෞද්ධ සංස්කෘතියෙහි එකම උරුමක්කාරයන් යයි ඔවුන්ම හඳුන්වාගන්නා මෙම විකාරරූපී මත දරන්නන් අතලොස්ස ශ්‍රී ලංකාවේ ප්‍රගමනය අත්හිටුවීමට සමත්ව තිබේ. අද මේ “නලීන්වාදී මතය“ දරන්නන් වෛද්‍ය විද්‍යාව දෙසට සිය නෙත් යොමුකොට ඇත.

අපි බටහිර වෛද්‍ය විද්‍යාව උගත් සිංහල බෞද්ධයෝ වෙමු. මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ඔහුගේ මතය කොළඹ විශ්ව විද්‍යාලයෙන් පැතිරී වීම ආරම්භ කරන විට අපි වෛද්‍ය ශිෂ්‍යයෝ වීමු. “මගේ ලෝකය“ නම් එතුමාගේ මුල් පොතද, විවිධ පුවත්පත් වල හා සඟරාවල පළවූ ලිපි ද, එතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද විවිධ පොත්ද අප කියවා ඇත්තෙමු. ඒවායේ ඇති මතයන් මීට වසර සියයකට පමණ බටහිර දාර්ශනිකයන් විසින් පලකරන ලද මතවල අනුකරණ බව අපි ඒ දිනවලම වටහා ගත්තෙමු. එසේම සිංහල බෞද්ධ සංස්කෘතිය යයි එතුමා හඳුන්වා දෙන අපගේ සංස්කෘතිකයේ ඇතැම් ලක්ෂණ, මිනිස් සිරුරේ උණ්ඩක පුච්ඡය මෙන් පරිනාමය විසින් අක්‍රීය කරන ලද අවයවයන් බව අපි මේ වන විට වටහාගෙන ඇත්තෙමු. මහාචාර්ය ද සිල්වා මහතාගේ අවසාන ලිපියෙන් ප්‍රකාශ කරන මතය ධම්මික මහතාගේ කොරෝනා පැණිය පිළිබඳ ප්‍රශ්ණයෙන් ඔබ්බට දිව යයි. ඔහුගේ තර්කය පදනම්ව ඇත්තේ සත්‍ය යනු කුමක්දැයි වටහා ගැනීම වටාය. වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඕනෑම කෙනකු පවසන දෙයක් සත්‍යක් විය හැකි බවද ඒ සඳහා කපු මහතකු හෝ වඩු මහතකු හෝ වෛද්‍යවරයකු හෝ පවසන මතයන් එක්සේ සත්‍යයයි ගතයුතු බව මහාචාර්ය ද සිල්වා මහතා ඔහුගේ ලිපියෙහි ඍජුවම ප්‍රකාශ කරයි. මේ අය අතර වෛද්‍ය විද්‍යාව භාවිතා කිරීම හෝ ඖෂධ නියම කිරීම පිළිබඳව වෙනසක් නොමැතිව බව එතුමා පවසයි. එතුමාගේම වචන වලින් පවසන අයුරින් “ධම්මික වෙද මහතා, බාසුන්නැහැ කෙනකු ද, කපුමහතෙකු ද, කාලී අම්මා සම්ම්‍යදෘෂ්ඨික ද, මිත්‍යාදෘෂ්ඨික ද, යන්න අපි බලන්නේ නෑ“

මෙහිදී පෙරදිග වෛද්‍ය විද්‍යාවට හා පෙරදිග වෛද්‍යවරුන්ට පහර නොගැසීමට මහාචාර්ය ද සිල්වා මහතා ප්‍රවේශම් වී ඇත. අතිශයින්ම ගැඹුරු විද්‍යාවක් වන ආයුර්වේදය හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව හා කපු මහතුන් හෝ වඩු මහතුන් නියම කරන බෙහෙත් අතර වෙනසක් නොමැති බව ප්‍රකාශ කිරීමට එතුමා මැලිවේ. එතුමාගේ තර්කය අනුව මේ කිසිම කෙනෙක් විසින් නියම කරන බෙහෙත් අතර හෝ භාවිතා කරන වෛද්‍ය ක්‍රම අතර වෙනසක් තිබිය නොහැක. මෙම “නලීන්වාදී තර්කයට“ අනුව කිසියම් විෂයක් හැදැරීම හෝ පුහුණුවක් ලැබීම හෝ ඒ පිළිබඳව සුදුසුකම් ලබාගැනීම හෝ අවශ්‍ය නොවේ. එවන් විෂයක් හැදැරූ හෝ සුදුසුකමක් ලැබූ හෝ පුහුණුවක් නොලැබූ අයකු හෝ එසේ නොලැබු අයකු අතරත් කිසිඳු වෙනසක් නොමැත.

මහාචාර්ය ද සිල්වා මහතාගේ මෙම මතය අති භයංකරය. වසර ගණනාවක් තිස්සේ ඔහු විසින් ලංකාවේ වපුරණ ලද මෙම “නලීන්වාදී මතය“ අද රට තුළ ඇති වී ඇති ව්‍යාකූලත්වයට දාර්ශනික පදනමක් සපයයි. මෙම මතයට අනුව ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක් හා ඒ පිළිබඳව කිසිවක් නොදත්තෙකුගේ අතර කිසිඳු වෙනසක් නොමැත. පාලමක් සෑදීමේදී ඒ පිළිබඳව තම ඉගැනුමෙන්, සුදුසුකමින් හා පුහුණුවෙන් උපදෙස් දෙන ඉංජිනේරුවරයකු හා ඒ පාලම උඩින් ගමන් ගන්නා මගියකු අතර කිසිඳු වෙනසක් නොමැත. පරිපාලනය උගත්තෙකු හා නූගත්තෙකු අතර වෙනසක් නොමැත. පරිසරවේදියකු හා පරිසරය විනාශ කරන්නෙකු අතර වෙනසක් නොමැත. යම් කිසි විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ හසල දැනුමක් ඇත්තේකුගේ උපදෙස් නොතකා ක්‍රියාකිරීමට ඒ පිළිබඳ කිසිම දැනුමක් නොමැති අය පසුබට නොවන්නේ මෙම “නලීන්වාදී මතයේ“ එල්බගෙනය.

මෙම මතවාදය ලංකාව පුරා පැතිරි යාම ලංකාවේ දියුණුවට බලවත් හානියක් සිදුකොට ඇත. ඒ අයුරින්ම මහාචාර්ය ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරන ඊනියා ජාතික චින්තනය වන “නලීන්වාදී මතයට“ විරුද්ධව සැබෑ ජාතික චින්තනයක් හඳුන්වාදීමට කිසිඳු කෙනකු ඉදිරිපත් නොවීය. මේ නිසා මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ “නලින්වාදී“ අනුගාමිකයින්ගේ මේ විකාර රූපී චින්තනය සැබෑ ජාතික චින්තනය ලෙස හඳුනාගැනීමට ඇතමුන් පුරුදුව තිබේ.

මෙම “නලීන්වාදී චින්තනය“ සිංහල බෞද්ධයන්ගේ ප්‍රගමනය අත්හිටුවිමට සමත්ව ඇත. බටහිර හෝ පෙරදිග කිසිඳු විද්‍යාවකට අනුකූල නොවී තම තමන්ගේ මනසට හා මුඛයට එන ඕනෑම මතයක් ප්‍රකාශ කොට එවා දාර්ශනික මතයක්, සොයාගැනීමක් හා න්‍යායයක් ලෙස ප්‍රකාශයට පත්කරන සුදුසුකම් නොලද, පුහුණුවක් නොලද, දැනුමකින් තොර බොහෝ අය මහා ප්‍රාඥයින් ලෙස අද සමාජයේ වැජඹේ.

මොවුන්ගේ ප්‍රධාන ලක්ෂණය නම් ඝෝෂාවයි. දැන් මේ ඝෝෂාව රටේ ප්‍රබුද්ධ පුරවැසියන්ගේ කන් බිහිරිකරන තරම් ප්‍රබලවී ඇත. මෙම ඝෝෂාවට අවසානයක් උදාකර දීම මේ රටේ ඉගෙනුමක් ලද පුහුණුවක් ලද සියලුදෙනාගේ වගකීම බව අපගේ විශ්වාසයයි.

මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික “නලීන්වාදීන්“ අදාළ ප්‍රස්තුතය ගැන කතා නොකර තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදින්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කලාවයි.

මෙවැනි අවලාද වලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රස්තුතය පිළිබඳව පමණක් මෙම සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ “නලීන්වාදී“ අනුගාමිකයින් සමග අප සුදානම්ය.

මෙහිදී වෛද්‍ය විද්‍යාවෙන් ඔබ්බට ගොස් බටහිර හා පෙරදිග විද්‍යාවන්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව විවාද කිරීමට අප සුදානම්ය. මෙම විවාදය දැනට අවහිරවී ඇති සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රගමනය සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව අපි තරයේ විශ්වාස කරමු.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ / විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා / විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර