කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය – සුනන්ද දේශප්‍රිය
ආක්‍රමනික ඊශ්‍රාලයේ යුද ටැංකිවලට කැටපෝලයෙන් ගල් විදින ඉන්ටිපෙඩා නම් පලස්තීන ගැටවරයින්ගේ නැගිටීම ඇති වූයේ 2000 වසරේ සැප්තැම්බරයේ දී ය. ඒ සාම සාකච්ජා අසාර්ථක වී යළි සන්නද්ධ අරගලය ඇරඹීමට පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරපත් විසින් තීරණය කිරීමත් සමග ය.
ඉන්ටිපෙඩා යන අරාබි වචනයේ තේරුම වන්නේ බිය හෝ අසනීපයෙන් වේව්ලා යෑම යි. හදිසියේම නින්දෙන් ඇහැරීම යන තේරුම ද එහි තිබේ. අද ඉන්ටිපෙඩා යන වචනයෙන් අදහස් වන්නේ ඊශ්රායෙල් ආක්‍රමණයට එරෙහි පලස්තීන ගැටවර නැගිටීම යි. එමෙන්ම පලස්තීන ජනයාගේ බලරහිත බව මෙන්ම ආක්‍රමණය හමුවේ ඔව්න් විදින වේදනා ද ඉන්ටාපෙඩා වචනය විසින් සංකේතවත් කරනු ලබයි.
එදා සිට අද දක්වාම සෑම සිකුරාදාවක ම කැටපෝල අතින් ගත් පලස්තීන ගැටවර පිරිස් බටහිර ඉවුරේ ඊශ්‍රාලය විසින් ගොඩනඟ ඇති වෙන්කිරීමේ තාප්පයට විරෝධය දක්වමින් පා ගමන් යති. නිලින් ගම්මානය එවැනි එදා සිට අද දක්වාම විරෝධතා නොනවතින එක් කේන්ද්‍රයක් බවට පත්ව තිබේ. එනමුත් අද එදාට වඩා වෙනසක් තිබේ. කැටපෝලය වෙනුවට වෙනත් ‛අවියක්’ අත දරන ගැටවරයෝද එහි වෙති. ඒ අවිය නම් වීඩියෝ කැමරාව යි.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ යුද්ධයට අදාළ ජායාරූප ගැනීම කොතරම් භයානක කාරියක් වූයේ ද යත් එවැනි උත්සාහයන් ගත් ජායාරූප ශිල්පීන් සියළු දෙනාටම වාගේ ජීවිතාරක්ෂාව පිණිස එට හැර යාමට සිදු විය. නිදහස් ජනමාධ්‍යවේදියකු අතෙහි ඇති කැමරාව යුද්ධවාදී බලවේග විසින් සළකනු ලබන්නේ සතුරු ආයුධයක් ලෙස ය. පලස්තීන අරගලයේ ලා කැටපෝල කැමරාකරුවන්ගේ වැදගත්කම තේරුම් ගැනීමට එම සිදුවීම් අපට උදව් කරයි.
ඊශ්‍රාලයයේ මානව හිමිකම් සංවිධානයක් වන බ්ට්සෙලම් නම් රාජ්‍ය නොවන සංවිධානය පසුගිය වසර තුන පුරා තරුණ පලස්තීනුවන්ට පුහුණුවක් සමඟ වීඩියෝ කැමරා ලබා දීමේ ව්‍යාපෘතියක් කර ගෙන යයි. ඒ ඊශ්‍රාලයේ හමුදාවන්ගේ සහ ජනාවාසකරුවන්ගේ අයුතු බලය යෙදවීම් වාර්තා කර ගැනීම පිණස ය. මේ වන විට කැටපෝලය අත හැර වීඩියෝ කැමරාව අතට ගත් 150 ක තරුණ පිරිසක් බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ස්වේච්ජාවෙන් වැඩ කරති. ඔව්න් විසින් වාර්තා කර ගත් පැය 1500ක වීඩියෝ දර්ශන ජෙරුසලමේ බ්ට්සෙලම් කාර්යලයේ තැනපත් කර තිබේ.
බ්ට්සෙලම් ස්වේච්ජා ක්‍රියාධරයින් විසින් මෙලෙස එක් කර ගෙන ඇති වීඩියෝ සාක්ෂි ඊශ්‍රාලයේ අධිකරණයන්හි දී පලස්තීන පැමිණිළිකරුවන්ට වාසිදායක වැදගත් සාක්ෂි වශයෙන් පිළිගැනී තිබේ. එමෙන්ම මෙම වීඩියෝ කැමරාකරුවන් පලස්තීන භූමියේ මෙන්ම ඊශ්‍රාලය පැත්තේ ද ක්‍රියාත්මක වී සිටින්නේ ය යන කාරණය විසින් ජනයාට එරෙහි කැරෙන අයුතු සහ ප්‍රචණ්ඩ හමුදා ක්‍රියා අඩු වී තිබේ. එරට දී මෙම කැමරාකරුවන් මරා දැමෙන්නේ හෝ බිය ගන්වන්නේ හෝ නැත.
මේ ස්වෙච්ජා වීඩියෝ කැමරාකාරයින් මානව හිමිකම් සටන්කරුවන් ද වෙයි. ඔව්හු හුදෙක් සිදුවීම් වාර්තා කිරීමෙන් එපිටට ගොස් ව්‍යාපෘතියේ සීමා පුළුල් කළහ. ක්‍රමයෙන් ඔව්හු කැමරා මගින් තමන්ගේ කතා කීමට සහ සිය අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගත්හ. අනපේක්ෂිත නමුත් ඵලදායී වෙනසක් ඇති වන්නට පටන් ගත්තේ එවිට ය. “අපි සිනමාකරණයට ඔව්න් පුහුණු කළේ නැහැ. අපට අවශ්‍ය වූනේ මානව හිමිකම් කෙළෙසීම් වාර්තා කර ගැනීම පමණ යි. එත් වැඩි කාලයක් යන්න කලින් මේ තරුණ පිරිස් කැමරාව ස්වයං ප්‍රකාශණය සඳහා ප්‍රබල අවියක් බවට පත් කර ගත්තා” යැයි බ්ට්සෙලම් හි ප්‍රධානී කියයි.
කැටපෝල් කැමරාකරුවන් අතරින් ඉක්මනින් ම තරුණ පලස්තීන සිනමාකරුවන් පරම්පරාවක් බිහි විය. තාක්ෂණික අතින් මනා දැනීමක් තිබූ ඔව්හු සිනමා සංස්කරනය ද තමන් විසින් ම උගත්හ. දහහත් හැවිරිදි අරපත් කනාන් ඉන් එක් අයෙකි. ඊශ්‍රාලයේ හමුදා විසින් වරක් අත් අඩංගුවට ගන්නා ලද කනාන් තවම ඉදහිට කැමරාව ගෙදර තබා සිකුරාදා විරෝධතාවයන්ට සහභාගි වෙයි. ඒ අරගලයේ සුවඳ නැතිව ඇත්ත මානව හිමිකම් කැමරා ශිල්පියෙක් විය නොහැකි නිසා ය. “කැමරාව අපේ ආයුධය. එමගින් අපි ලෝකයට ම කියනවා මොනවද අපට වෙන්නේ කියලා.” කනාන් කියයි.
19 හැවිරිදි ෂලාම් කනාන්ගේ සහෝදරිය යි. ඇය ද කැටපෝල කැමරාකාරියකි. අත් අඩංඟුවට ගෙන මාචු දැමූ සිය ගම්වැසියකුට ඊශ්‍රාලයේ හමුදා විසින් වෙඩි තබනු වීඩියෝ ගත කර ගැනීමට ඇය සමත් විය. එලෙස වෙඩි තැබූ සොල්දාදුවාට අධිකරණය හරහා දඩ්වම් ලබා දෙන ලද්දේ ෂලාම් ගේ එම වීඩියෝව සාක්ෂි වශයෙන් ගනිමිනි. තවත් කැටපොල් කැමරාකරුවකු වන රශීඩ් අදරා සමඟ එක්ව මේ තිදෙනා කුඩා වීඩියෝ කණ්ඩායමක් ගොඩ නඟා ගත්තේ අරගලය වඩා ක්‍රමවත්ව කරගෙන යෑම පිණිස ය. දැන් ඔව්හු සිය ගමෙහි ප්‍රජා මධ්‍යස්ථානයේ නිතිපතා තමන් විසින් නිපදවනු ලබන වීඩියෝ පට පෙන්වති.
ශ්‍රී ලංකාවේ වන්නියේ හෝ යාපනයේ හෝ වාකරෙයිහි හෝ ගැටවර පිරිස් අතට මෙවැනි වීඩියෝ කැමරා ලබා දී සිය ජීවිතය ගැන කතා කියන්න යැයි කීවොත් කොතරම් සරු කෙටි චිත්‍රපට නිපදෙවෙනු ඇත් ද? එවැනි ව්‍යපෘතියක් වහාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් සේ සළකා තහනම් කැරෙනු නොඅනුමාන ය.
කැටපෝල් කැමරාකරුවන්ගේ තොරතුරු වාර්තාකරණය කතා කීම බවට පත් වූයේ නිතැනිනි. දැන් එය හැම තැනම ය. 17 හැවිරිදි ඩීඩා හදාත්ට යුදෙව් ජනාවාස මැද ජීවත්වන පලස්තීනුවන්ගේ දුෂ්කරතා රූපයෙන් කීමට අවශ්‍ය විය. ඔහු එක් විනාඩියක වීඩියෝවක් නිපදවූයේ ය. එහි දී ඔහු තිරය කොටස් දෙකකට වෙන් කර එක් පසෙක පලස්තීනුවන් යහමින් දිවි ගෙවන ප්‍රදේශයක සරුසාර වෙළද පොලක් ද අනෙක් පස ඊශ්‍රාල ආක්‍රමණිකයන් යටතේ දුෂ්කර ජීවිතයක් ගෙවන පලස්තීන ජනයාගේ වියලී ගිය වෙළද පොලක් ද ඇතුළත් කළේ ය. ය1 ය2 යනුවෙන් නම් කරන ලද එම වීඩියෝ පටය ඉක්මනින් ජනප්‍රිය විය. ‛‛අපේ ජීවිත අනෙක් අයට පෙන්වන්න තමයි මම මේ කෙටි චිත්‍රපටය හැදුවෙ. අපට කිලෝ මිටර දෙකක් දුර ගම්වැසියොවත් දන්නෙ නැහැ අපට තියෙන කරදර“ යැයි කියන්නේ ඩිඩා හදාත් ය.
හදාත්ගේ පසුබිමෙහි ඇත්තේ ඊශ්‍රාලය විසින් අල්ලා ගත් පලස්තීන ජනයාගේ භූමි ප්‍රදේශය යි. එහි ළඟින් ළඟ සවි කර ඇති කුඩා රූපවාහිනී කැමරා මගින් නිරන්තරයෙන්ම පලස්තීන වැසියන් පරීක්ෂාවට ලක් කෙරෙයි. හමුදා මුර කුළුණු උස්ව නැගී සිටින අතර පහල දක්නට ලැබෙන්නේ අල්ලා ගත් පෙදෙස් බෙදා වෙන්කර ඇති කටු කම්බි වැටවල් ය. “ අපේ ජීවිතයේ ඇත්ත හැටි අපි රූපයෙන් පෙන්වනවා. මානව හිමිකම් කෙළෙසීම් හරියට සාමාන්‍ය දෙයක් වගේ. භූමිය අල්ලා ගෙන සිටින ආක්‍රමණය පවා දැන් සාමාන්‍ය දෙයක්. ආක්‍රමණය සහ සාමාන්‍ය ජීවිතය අතර තියෙන සම්බන්ධය අපේ තේමාව. ඒක තමයි වැදගත්ම දේ” යැයි ඩිඩා හදාත් කිය යි.
ඊශ්‍රාලය විසින් ආර්ථික වටලෑමකට ලක් කර ඇති ගාසා තීරයේ තරුණ සිනමාකරුවකු වන විසි දෙහැවිරිදි මෙහොමඩ් අල් මජ්දලාවි කියන්නේ ලෝක ජනමාධ්‍ය ගසා තීරය වාර්තා නොකරන නිසා සිය කෙටි චිත්‍රපට වැදගත් බවයි. ඊශ්රායෙල් ජනමාධ්‍යකරුවන්ට එහි පැමිණිම එම ආණ්ඩුව විසින් තහනම් කර තිබේ. එබැවින් ගසා තීරයේ ජනයාගේ ප්‍රශ්ණ ඊශ්‍රාලයේ ජනයා දන්නේ නැත. මෑත දී මෙම තරුණ සිනමාකරුවන් සිය ජනයාගේ මානුෂිය බව විදහා දක්වන කෙටි චිත්‍රපට ඊශ්‍රාලයේ ජනප්‍රිය රූපවාහිනී ජාලයක් වෙත ලබා දුන්හ. එමගින් සිය ජනයා පිළිබඳ ඇති ගල්ගැසුනු අදහස් වෙනස් කිරිමට හැකි වෙතැයි මෙම තරුණ වීඩියෝ කැමරාකරුවෝ විශ්වාස කරති.
ආක්‍රමණික ඊශ්‍රාල හමුදා විසින් අල්ලා ගෙන ඇති නිලින් ගම්මානයේ සිකුරාදා විරෝධතා නොනැවත කෙරීගෙන යයි. ගැටවර පිරිස් සීමා මීටර හතක් උස තාප්පය දිගේ ගොස් සිදුරකින් අනෙක් පසට රිංගා ඊශ්‍රාල හමුදා පිරිස් වෙත ඝෝෂා කරමින් සහ පලස්තීන ධජ ලෙලවමින් කැටපෝල ගල් ප්‍රහාරයක් එල්ල කරති. ආක්‍රමණික හමුදාව ජීප්රථ සහ කටුකම්බි වැටකින් ආරක්ෂා වී සිටිත්.
පළමු සහ දෙවන ඉන්ටිපෙඩා ඉන්ටිපෙඩා නැගිටීම් සළකනු ලැබූයේ යෝධයාට එරෙහිව කුරු මිට්ටා විසින් කරනු ලබන පුරාවෘත්ත ගත කතාන්තරයේ නව අනුවාදයක් ලෙස ය. එහෙත් දැන් එහි අලුත් අනුවාදයක් තිබේ. එහි සිටින කුරුමිට්ටා ගැටවර වීඩියෝ කැමරාකරුය. ඔහු පැරදවීමට දුෂ්කර ය. ඊටත් වඩා ලෝකයටම කතා කළ හැකි නව ආයුධයකින් සන්නද්ධ ය.
ගැටවරයින්ගේ කැටපෝල ගල් ප්‍රහාර සහ ධජ ලෙලවීම් පිළිගැනෙන්නේ ඊශ්‍රාල හමුදාවේ කදුළු ගෑස් වරුසාවකිනි. ගැටවර පිරස් කුඩා කඳුගැට පසු පසට මුවා වෙති. කැටපෝල වීඩියෝ කැමරාකරුවෝ සිය ගෑස් ආවරණ පැළද ගනිමින් කැමැරා ඉහළට ඔසවති. අරගලයේ සුවඳ කැවුණු තවත් කෙටි චිත්‍රපටයකට ඇරඹුමකි. ආයෙත් සිකුරාදාට කියමින් කැටපොල් ගැටවරයෝ විසිර යති. අරගලයේ සෙවනැල්ල මෙන් ස්වේච්ජා වීඩියෝ කැමරාකරුවෝ සියල්ල හසු කර ගනිති. පලස්තීන ජනයාගේ අරගලය ඉදිරියට යයි. කැටපෝල කැමරාකරුවෝ එහි කුඩා නමුත් නිර්මාණශීලී පෙරමුණකි.
පලස්තීන රුප්
ඊශ්‍රාලය විසින් අල්ලා ගෙන ඇති පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ නිදහසේ නෘත්‍ය ශාලාව පිරී ගොසිනි. එහි රුප් සංගීත සංදර්ශනයකි. දරුවන් උරහිසෙහි හිදුවා ගත් පියවරු තාලයට පා තබා නටති. අවුල් සහගත බවක් පෙන්වන නමුත් ස්ත්‍රීහු ද වේදිකාවේ සිටින රුප් ගායකයිනට අත්පෙළොසන් දෙති. විසි හතර හැවිරිදි නිසාර් පවුසි ගායනා කරන්නේ ආක්‍රමණය සහ දුෂ්කර ජීවිතය ගැන ය.
දෙවනුව හිප් හොප් ගායක කණ්ඩායමකි. එම සංගීත කණ්ඩායම ඊශ්‍රාලය තුල ජීවත්වෙමින් අරගලයේ ගීත ගායනා කරති. “ අපි ගායනා කරන්නේ සතුරාගේ භූමියේ ම ජිවත්වීමේ තියෙන අමාරුකම ගැන” යැයි තමාර් නපර් කිය යි. ඔවුන් ඊශ්‍රාලයේ හීබෘ බසින් ද ගායනා කරන්නේ ජලස්තීන ජනයාගේ ගේ දොර විනාශ කර දැමෙන සැටිය.
කඳවුරු ගත පලස්තීන තරුණ පිරිස් අතරින් බිහිව ඇති බොහෝ සංගීත කණ්ඩායම් ගායනා කරන්නේ තමන්ගේ ම දේශයක් පිලිබඳ සිය ජනයාගේ අපේක්ෂාව සහ ඊශ්‍රාලයේ ආක්‍රමණශීලී පිළිවෙත තේමාව කරගත් ගීතයන් ය. මැද පෙරදිග පුරා විසිර සිටින පලස්තීන ජනයාගේ විවිධත්වය සහ ඒකත්වය කැටි කරගත් සංගීතයක් ඔව්නතුරෙන් දැන් බිහිව තිබේ.
[ඇසුර – Le Monde diplomatique- Shooting back ]
Pic by – www.photographywithoutborders.blogspot.com