Featured Articles, Features, Kurunegala

කේ.පී. වීරයා – අප කව්ද?


Photo by – dbsjeyaraj.com
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

මාධ්‍ය නිදහස ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරා මෙරට සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නගන ලද අවලාද කොතරම් වී ද? එවැනි කී දෙනෙකු නම් පහර දීම් වලට ලක් වූයේ ද? පැහැරගෙන ගොස් අතුරුදහන් කරවන ලද්දේ ද? වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ද? තවමත් අවසන්ව නැති එම ක්‍රියාදාමය යටත් නැති ජනමාධ්‍ය නොනැවත බිය වද්දයි. අප සියළු දෙනාම වෙත එල්ල කරන ලද්දේ පට්ටා ගැසූ එකම එක චෝදනාවකි. එනම් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අප එල්ටීටීයේ සහ ප්‍රභාකරන්ගේ අනියම් සගයින් ය යන අභූත චෝදනාව යි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලයෙහි වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එවකට අගමැති වූ වික්‍රමසිංහට ප්‍රසිද්ධියේ අභියෝග කළේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස නම් කරන ලෙස ය. දේශපාලන සාකච්ජා මගින් ජනවාර්ගික යුද්ධය විසදීම කෙරෙහි බලාපොරොත්තු තැබූ වික්‍රමසිංහ ඒ අභියෝගයට බිය වූයේ නැත. එළෙස නම් නොකරන ලද වික්‍රමසිංහ ත්‍රස්තවාදයේ සහායකු ලෙස ලෙස හංවඩු ගැසුණි. ඒ එක නිදසුනක් පමණි.

එහෙත් දැන් බලව! අද ශ්‍රී ලංකාණ්ඩුවේ සගයකුව ආරක්ෂ ලේකම් රාජපක්ෂගේ කරවටා අත යවන තරමේ සිටින කුමරන් පත්මනාදන් කතා කරන රඟෟ. එල්ටීටීඊ ය සහ එහි නායක ප්‍රභාකරන් ගැන ඔහු ගෞරවයෙන් සහ ආදරයෙන් කතා කරන රඟ !.
“ප්‍රභාකරන්ගේ පුත්‍ර චාල්ස් ඇන්තනි සිය පවුල ගුවන් මගින් රටින් පිටට ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමෙන් පසු පසු මා සැළැස්මක් සකස් කළා. මා යුක්රේනයෙන් පාචිච්චි කළ හෙලිකොප්ටරයක් මිලදී ගැනීමටත් කටයුතු යෙදුවා. නායකයා එකඟ නම් සැළැස්ම වූයේ චාල්ස් ඇන්ටනි හැර පවුලේ අය පිටරටකට ගෙන යන්න යි. නායකයා ඊට එකඟ නූනා නම් ඔහු, ඔහුගේ ආරක්ෂකයින් සහ ජේ්‍යෂ්ඨ නායකයින් හෙලිකොප්ටරයෙන් වන්නියේ කැලෑබඳ පෙදෙසකට ගෙන යෑමයි ඊළඟ සැළැස්ම වුනේ. අනතුරුව මදීවදිනි, ත්වාරිකා දුව සහ බාලචන්ද්‍රන් බාල පුතා නැවකට ගෙන ගොස් පොරොන්දු වි සිටි රටවල් තුනෙන් එකකට ගෙන යෑමට මා නැවෙහි සිටීමට එකඟ වුනා. ඒ රටවල් දෙකක් අප්‍රිකාවේ. එකක් ආසියාවේ.

“මේ මෙහෙයුම සඳහා මට ඩොලර් මිලියන 15ක් අවශ්‍ය වුණා. නමුත් එය ලැබුණේ නැහැ. ඒක කණගාටුවට කාරණයක්. අවශ්‍ය උදව් එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයෙන් නොලැබුණාම මම හුඟක් කළබලයට පත් වුනා. මම කුලී ගුවන් නියමුවන් පවා සොයා ගත්තා. නමුත් මුදල් නැතිව මට කිසිවක් කර ගන්න බැරි වුණා. මැයි මාසයේ මැද භාගයේ දී ශ්‍රී ලංකා හමුදා තුන් පැත්තකින් පහර දීම පටන් ගත්තාට පස්සේ මහත් වේදනාවකින් මා සැළැස්ම අත හැරියා. අවශ්‍ය උදව් නොකිරීම ගැන මට දරුණූ තරහක් තිබුණා එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ නායකයින් එක්ක.

“අන්තිමේ දී පවුලම මැරුණා. බාලචන්ද්‍රන්ගේ මරණය ගැන මා අතිශය දුක්වුණා. ඔහුට වසය 12යි. මා ඔහු දැක තිබුණේ නැහැ. නමුත් මා ප්‍රභාකරන්ට කතා කරන විට “ මෙන්න කේපී මාමාට කතාකරන්න යැයි ඔහු දුරකථනය සිය ඔඩෙක්කුවේ සිටි බාලචන්ද්‍රන්ට දීමට පුරුදුව සිටියා. ඉතින් මා ඒ විදියට බාලචන්ද්‍රන්ට ඒ දිනවල කතා කරනවා.

“යුද්ධය ඇවිල ගොස් ෂෙල් ප්‍රහාර උත්සන්න වූ විට දරුවා හුඟක් බය වී සිටියා. චාලස් ගුවන් මගින් බේරා ගැනීමේ සැළැස්මක් සකස් කරන ලෙස කී පසු ලාබාල බාලචන්ද්‍රන්ට කියා තිබුණා ඔහු ළගදීම කේපී මාමා ළඟට යවන බව. පුංචි හාදයා ඔහුගේ බඩු ටිකක් පුංචි බෑගයකට දමාගෙන හැම තැනම අරගෙන ගියාලු, ‛මම කේපී අංකල් ළඟට යනවා’ කිය කියා.

“බාලවන්ද්‍රන් පුංචි බෑගයත් අරගෙන ඇවිදිනවා මැවී පෙනෙන මට දුකකුත් මුදල් නොදීම ගැන වෛරයකුත් ඇති වෙනවා.

“ප්‍රභාකරන් පරාජය කළ යුද හමුදා පිරිස් ඔහු ගැනත් ඔහු මිය ගිය අන්දම ගැනත් ඉහලින් කතා කරනවා. ආරක්ෂ අංශයේ ඉහළම පුද්ගලයින් (මා කතා කරන්නේ කා ගැනද කියා ඔබට හිතා ගන්න පුළුවන්) මෙම කණ්ඩායම අවසානය දක්වා යටත් නොවී සටන් කළ ආකාරය තම සිත්හි අතිශය ලෙස කාවැදුණු බව මට කීවා. නමුත් සමහරු මරනයෙන් පසු ප්‍රභාකරන්ට අපහාස කරනවා. මට අවශ්‍යයි කියන්න මගේ නායකයා අවසානය දක්වාම සටන් කළ බව. ඔහු වීරයකුගේ මරණය උරුම කර ගත්තා.” (කුමරන් පත්මනාදන් කැනඩාවේ වාසය කරන ජනමාධ්‍යවේදී ඩී.බී.එස්, ජෙයරාජ් සමඟ කළ දීර්ඝ දුරකතන සාකච්ජාව, තුන්වන කොටස. සම්පූර්ණ සාකච්ජාව ඉංග්‍රිසි බසින් කියවීමට පිවිසෙන්න [http://www.dbsjeyaraj.com/]

ලියා දැක්වීම අනවශ්‍ය තරමටම කේපී ප්‍රභාකරන් සම්බන්ධයෙන් දක්වන ගෞරව සම්ප්‍රයුක්ත ආකල්පය මෙම දීර්ඝ සාකච්ජා පුරාම පෙනෙන්ට තිබේ.

ප්‍රභාකරන් වීරයෙක් ලෙස මිය ගිය බව අප කවරකු විසින් හෝ කීවේ නම් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපට හොදවායින් දෙක තුනක් නොව බඩ යන්නම අසා ගන්නට තිබුණි. වාර්තාලාභී මරණිය උපවාසකරු වීරවංශ ගෙන් රූපවාහිනී වැඩ සටහන් දෙක තුනකින්ම අපේ මාපියන්ටත් එක්ක අසා ගන්නනට තිබුණි. සමහර විට ජනාධිපතිවරයා ම මාසික ජනමාධ්‍ය සැදෑවේ දී ‛අන්න සුනන්ද ප්‍රභාකරන් වීරයෙක් කරලා’ යැයි විහිළුවට වාගේ කියන්නටත් තිබුණි.

කුමරන් පත්මනාදන් නොහොත් කේ.පී.ට සමාව දී පුනරුත්ථාපනය කර ගැනීමට අප විරුද්ධ නොවිය යුතු ය. අප විරුද්ධ විය යුතු වන්නේ ඔහුට පමණක් විශේෂ සැළකීමක් කිරීම ගැන ය. දැන් කේ.පී.ට රාජ්‍ය නොවන සංවිධානයක් ද තිබේ. දෙමළ ඩසය්පොරාව සමඟ සාකච්ජා කරමින් ආණ්ඩුවාදී සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවස්ථාව තිබේ. ලෝකයේ එහා කොනේ සිටින ජනමාධ්‍යවේදීන් සමඟ පැය ගනන් නිදහසේ කතා කිරීමට ද නිදහස් තිබේ. ඒ සියල්ලටම වඩා එල්ටීටීඊ ය සහ ප්‍රභාකරන් ගැන ගෞරවයෙන් ආදරයෙන් කතා කිරීමටත් නිදහස් තිබේ.

එසේ නමුත් සිරගත කර සිටින එල්ටීටීඊ සැකකරුවනට සිය දෙමාපියන් සමගවත් කතා කිරීමට නිදහසක් නැත. අත් අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූ බව කියන අනෙක් එල්ටීටීඊ නායකයින් ගැන ආණ්ඩුවේ වගවීමක් නැත. යළි පදිංචිකරන ලද දෙමළ ජනයාට විවෘත සිර ගෙදරකට වඩා වැඩි නිදහසක් ලැබී නැත.
ආණ්ඩුවට කුමණ හෝ හේතුවක් නිසා කේ.පී. සිය තුරුලට ගැනීමට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා විවෘත සහ නීත්‍යනුකූල ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට තිබුණි. ඊට උදාහරණයක් 71 කැරැල්ල සපයයි.

අපේ ජීවිතයේ ම කොටසක් වූ 1971 කැරැල්ලේ මුල් පෙළේ ප්‍රධානීන් දෙදෙනෙකු ම කේපී මෙන් රජයේ පැත්ත ගත්තේ ය. පසුව අප බොහෝ දෙනෙකුට සිර දඬුවම් දීමට අපේ එම නායකයින්ගේ සාක්ෂි ද උපයෝගි කර ගැනුණි. නමුත් එහි දී වෙනසක් තිබුණි. එම දෙදෙනා ම කැරැල්ල, ජවිපෙ සහ විජේවීර විරෝධී උග්‍ර ස්ථාවරයක් ගත්හ. කේ.පී. එල්ටීටීඊ යේ උරුමකරු වීමට උත්සාහ දරන මුත් ජවිපෙ උරුමකරුවන් ලෙස පෙනී සිටීමට ඔව්න් උත්සාහ ගත්තේ නැත. එමෙන්ම මහ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කළ ඔව්න් ද නඩු විභාගය අවසන් වනතුරු ම රඳවා සිටියේ අප මෙන් ම වැලිකඩ සිර ගෙදර ය. කෑවේ කල්දේරම් බත් ය. නිදා ගත්තේ රෙට්ටුවේ ය. නැත්නම් බූරු ඇදේ ය. නෑවේ විසිල් එකට ය. අධිකරණය ඉදිරියේ චෝදනාවන්ට වරද පිළිගත් ඔව්නට සමාව ලැබුණේ නඩු විභාගය අවසානයේ දී ය. එම ක්‍රියාවලිය විවෘත සහ විනිවිද පෙනෙන සුළු විය. කේ.පී. සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතුව තිබුනේ එවැනි පියවරකි.

අද කේ.පී.ට දේශපාලනයේ යෙදීමට අවසර තිබේ. මංත්‍රිවරුනට පවා නැති පහසුකම් යටතේ සරණාගත පිරිස් සංවිධානය කර ගැනීමට අවසර තිබේ. එල්ටීටීයේ නායකයකු ලෙස පෙනී සිටීමට අවසර තිබේ. රජ බොජුන් වළදමින් සැප ඇතිව ජිවත්වීමට අවසර තිබේ. කෙටියෙන් කේ.පී.ට නීතියක් නැත. ඒ එකම එක හේතුවක් උඩ ය. : එනම් වත්මන් පාලකයිනට දේශපාලන වශයෙන් සහාය දැක්වීමේ සහ අවනත වීමේ කොන්දේසිය යි. මන්ද යත් අද රටේ නීතිය යනු අවනත වීම නිසා ය. අදෝමැයි, වීරයකු වීමට නම් අද ශ්‍රී ලංකාවේ අවශ්‍ය කරන්නේ කීකරු වීමය.

ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය වෙනුවට ඇති වී තිබෙන පාලක දේශපාලකයිනගේ පාලනයේ දෙවන පුද්ගල නිදර්ශනය කුමරන් පත්මනාදන් ය. ප්‍රථම සහ ලොකුම නිදර්ශනය සරත් ෆොන්සේකා ය.