iMage; Daily News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදකයින් අතිශයින්ම පරෙස්සම් වියු යුතු කරුණක් වන්නේ “වල් ආසි” නමින් හඳුන්වන අර්ථය නිශ්චිතව දක්වා නොමැති අපැහැදිලි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් නොකිරීමට වග බලා ගැනීමය. හේතුව එවැනි වගන්ති විවෘත අවසානයක් සහිත වීමත් එම හේතුවෙන් එවැනි වගන්ති අර්ථකථනය කරන පුද්ගලයාගේ හෝ ආයතනයේ අභිමතය අනුව ඒවා අර්ථකථනය කරමින් අවසාන නිගමන වලට පැමිණීමට එම වගන්ති වලින් දොර විවෘත කර තිබීමත්ය.

නිදසුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ 1 කොටසේ 1වන අනුවගන්තිය පෙන්වා දියහැක. එහි සඳහන් වන්නේ “ඇමරිකා එක්සත් ජනපදයේ විධායක බලතල ජනාධිපතිවරයාට හිමිවන බවය”. 1789 වර්ෂයේ සිට මේ දක්වා ගත වූ අවුරුදු 232ක කාලය තුළ බලයට පත් වූ ජනාධිපතිවරුන් විසින් මෙම වල් ආසි වගන්තිය තමන්ට ගැලපෙන අයුරින් අර්ථකථනය කරමින් කොපමණ ප්‍රමාණයකින් තනතුරේ බලය වැඩිකර ගෙන තිබෙනවාද කිවහොත් 1789 වර්ෂයේදී අතිශය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ගොඩනැගූ ජනාධිපති තනතුර අද වනවිට නිල නොලත් “සීසර්” කෙනෙකුගේ තත්ත්වය දක්වා වර්ධනය වී ඇත.

මේ දිනවල රන්ජන් රාමනායක හා සම්බන්ධව පැනනැගී තිබෙන අර්බුදය කෙරෙහි බලපා තිබෙන්නේද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වල් ආසි වගන්තියක්ය. රන්ජන් රාමනායකට අවුරුදු හතරක් හිරගෙට යාමට සිදුවූයේ හොරකම් සහ දූෂණ පිලිබඳව කතා කිරීම නිසා නොව අධිකරණයට අපහාස කිරීම නිසාය. රටේ මූලික නීතියෙන් වැරැද්දක් ලෙස දක්වා තිබෙන වැරැද්දක් කිරීම නිසාය. ප්‍රශ්නය වන්නේ මෙම චෝදනාව අර්ථකථනය කිරීම සහ දඬුවම් කිරීම පිලිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වගන්තිය වල් ආසියෙකු වීමය. එම වගන්තිය පහත සඳහන් පරිදි වේ.

105.3 “ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයයේදී ම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසුයයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලයද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය”

මෙම වගන්තියේ එක් අතකින් අපහාස කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අර්ථකථනය කර නැත. අනෙක් අතින් දියහැකි දඬුවම නිශ්චිත ලෙස අර්ථකථනය කර නැත. ඒ පිලිබඳව අභිමතානුසාරී බලය ක්‍රියාවට නැංවීමේ අධිකාරය නඩුව විනිශ්චය කරන අධිකරණයට පවරා ඇත.

රන්ජන් රාමනායකට සිරදඬුවම් නියම කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. එම තීන්දුව වෙනස් කිරීම සඳහා ඇත්තේ විකල්ප දෙකකි.

එකක් ජනාධිපති සමාව ලබා ගැනීමය. නැතිනම් නීතියෙන් ඉඩ ලැබෙනවාද යන්න සොයා බලා 1978 සිට බල පැවැත්වෙන පරිදි 105.3 වගන්තිය සංශෝධනය කරමින් අධිකරණයට අපහාස කිරීම සහ දඬුවම් කිරීම පැහැදිලි ලෙස අර්ථකථනය කරමින් නව වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුල් කිරීමය. විපක්ෂය කළ යුත්තේ මෙය මිස කලු පටි පැළඳ ගෙන සහ බෝර්ඩ් ලෑලි උස්සා ගෙන කැමරා ඉදිරියේ බොරුවට රඟපෑම නොවේ. බොරු රඟපෑම් වලින් රංජන් රාමනායකට වන සෙතක් නොමැති බව විපක්ෂය තේරුම් ගත යුතුය.

MOA de සොයිසා | Moa DE Zoysa