පළමුවෙන්ම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා සහ විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර යන තිදෙනාට අපගේ නොවක් ස්තුතිය පිරිනැමිය යුත්තේ මිත්‍යා විශ්වාසයන් ගෙන් සිංහල ජනතාව මුදා ගැනීමට භූතදේවවාදයට ප්‍රාමාණික පිළිතුරක් සැපයීම සම්බන්ධයෙනි. එම ලිපි පෙළ ඉතා සරලව සහ සුගමව ඉදිරිපත් කිරීම ද පැසසිය යුතු ය​​. මෙම ලිපි පෙළ අට වැන්න දක්වා කිසිම ප්‍රතිවිරෝධයක් නැතිව ආසාවෙන් කියවාගෙන මුත් අට වන සහ නව වැනි ලිපි තුළින් තවත් වෙන වෙන මතවාද ද ඉදිරිපත් කිරීමට ගොස් මුල සිට ගොඩ නඟා ගෙන ආ භූතදේවවාදය පිටු දැකීමේ කර්තව්‍යයට හානි කර ගෙන තිබේ. ඔවුන් මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට දී ඇති අභියෝගය ඉතා බලගතු වටිනා කාලෝචිත උත්සාහයකි. එහෙත් මෙම වෛද්‍යවරුන්ගේ තර්කනයේ දෝෂ සහිත බව​ ​, ‘සත්‍යය’ (reality) සහ ‘දැනුම ලබා ගැනීම’ (epistemology) සම්බන්ධ වෙන වෙන සමාජ විද්‍යාත්මක සහ දර්ශනවාදී මතයන් ඉදිරිපත් කිරීමට ගොස් භූතදේවවාදයට එල්ල කරන විවේචනයේ විශ්වසනීයත්වය නිරපරාදේ පළුදු කර ගෙන ඇත​. සිංහල පාඨකයා මෙම ලිපිවලින්, විශේෂයෙන් පළමු ලිපි හතෙන්, අවබෝධ කරගන්නා දේ කෙරේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට සහ අටවන සහ නවවන ලිපි දෙකෙන් විය හැකි කිසියම් නොමඟ යෑමකට ගොදුරු වීමේ අවධානමක් පවතින නිසා මෙසේ ලියා තබන නමුත්, මෙයින් මෙම වෛද්‍යවරුන් තිදෙනාගේ ව්‍යායාමය කිසිසේත්ම අවතක්සේරුවකට ලක් නොකරන බවත් සඳහන් කළ යුතුය​​. එසේම මා පහත ගෙනහැර දක්වන සාවද්‍යය තර්කනය​යේ ස්වභාවය​, ‘සත්‍යය’ යේ ස්වභාවය​ සහ ‘දැනුම ලබා ගැනීම’ පිළිබඳ ලෝකයේ පවතින මතවාද යන​ කරුණු ගැන දැනුවත් වීම ද මිත්‍යාවෙන් සහ අවිද්‍යාවෙන් මිදීමට ප්‍රයෝජනවත් විය හැකි බව මාගේ අදහසයි. මෙහිදී මා මෙම ලිපි දහයේ මා එකඟ වන බොහෝ කරුණු ගැන නැවත සමාලෝචනය කිරීමක් නොකෙරේ. මා එකඟ නොවන කරුණු කිහිපය අතුරින් වැදගත් කරුණු තුනක් පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් (A) සාවද්‍යය තර්කනය​ (B) ‘සත්‍යය’ සහ ‘දැනුම ලබා ගැනීම’ පිළිබඳ ලෝකයේ පවතින මතවාද සහ (C) බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළ බවට ඔවුන් යෝජනා කරන චතුස්කෝටික තර්කන විධික්‍රමය පිළිබඳවයි.

සාවද්‍යය තර්කනය​

උපුටා දැක්වීම 1;

“නලින් වාදීන් දැනුම මැනීමේ ක්‍රමයන් හා සාක්ෂි ගැන පිලිකෙවූ කරන්නේ අප විසින් මීට පෙර ලිපියෙන් බිඳ දමන ලද බහුබූත චතුස්කෝටික තර්කයේ එල්ලී ගෙනය. එම තර්කයට අනුව යමක් සත්‍යයක් දැයි දැනගැනීමේ ක්‍රමවේදයක් නැත. එම ක්‍රමවේදයන් විස්වාශනීය නැත. එම නිසා දැනුම මැනීමට අවශ්‍ය නැත. මෙවන් මතයක් ජනගතවූ සමාජයක් සත්‍යය හා අසත්‍යය, මිත්‍යාව හා විද්‍යාව, සැබෑ කරුණු හා ප්‍රබන්ධය අතර වෙනස හඳුනා ගත නොහැකිව අතරමංවේ. අද ලංකාවට සිදුව ඇත්තේ එයයි.”

දැන් පළමු මුලික කරුණ A විමසා බලමු.

ඔවුන් ‘බහුබූත’ යැයි පවසන​ චතුස්කෝටික තර්කයට අනුව යමක් සත්‍යයක් දැයි දැන ගැනීමේ ක්‍රමවේදයක් නැති බවත්, එම ක්‍රමවේදයන් විශ්වසනීය නැති බවත්, එම නිසා, දැනුම මැනීමට අවශ්‍ය නැති බවක් ගම්‍යය වන බවට ඔවුන් අභූත නිගමනයකට එලඹේ.

මෙම​ පාඨයේ නිගමනය වන “එම නිසා දැනුම මැනීමට අවශ්‍ය නැත” යන්න​ දෝෂ සහිත වේ. මෙහි දී ‘එම නිසා’ යයි සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරන්නේ “දැනුම මැනීමේ ක්‍රමවේදයක් නැති බව හා තිබෙන ක්‍රමයේ විශ්වාසයක් නැති බවයි”. එසේ ක්‍රමවේදයක් හෝ විශ්වාසයක් නැති වූ පමණින් අවශ්‍යයතාවයක් ද නැති බවට නිගමනය කිරීම සාවද්‍යය වේ. නිදර්ශනයක් ලෙසට, යමෙකු මුදල් ගණනය කිරීමට නොදන්නා බව නිසා හෝ මුදල් ඒකකය කෙරෙහි හෝ ගණක යන්ත්‍රය කෙරෙහි විශ්වාසයක් නැති වූ පමණින් හෝ මුදල් ගණනය කිරීමට අවශ්‍යයතාවයක් නැති වෙන බව නිගමනය කිරීම දෝෂ සහිත වේ. එම නිසා දැන ගැනීමේ ක්‍රමවේදයක් නැති බව නිසා හෝ එම ක්‍රමවේදයන් විස්වාශනීය නැති බව නිසා දැනුම මැනීමට අවශ්‍යය නැති බවට නිගමනය කිරීම​ පදනම් විරහිත​, ඔවුන් ගේ ආනුභවික​ විධික්‍රමයෙන් ම නම් සාක්‍ෂි නැති ප්‍රවාදයකි. කෙසේ වෙතත්, මෙහි දී නම් මෙය එතරම් වැදගත් කරුණක් නොවුනත් මෙම සාවද්‍යය තර්කන ක්‍රමවේදයෙන් බරපතල හානිදායී ප්‍රතිඵල ගෙන දිය හැකිය. කලකට ඉහත දී පොල්තෙල් හදවත් රෝගවලට හේතු කාරක වන බව හර්ද රෝග විශේෂඥවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට​, එලවලු තෙල් නමින් හඳුන්වන විවිධ තෙල් වර්ග ආහාරයට ගැනීමට මිනිසුන් පොලඹවා බහු ජාතික සමාගම්වලට එවැනි තෙල් වර්ග ආනයනය කොට අලෙවිකිරීමට​ නොමඳ සහයෝගයක් දෙන ලදී. එහිදී ද අනුගමනය කොට ඇත්තේ මෙම සාවද්‍යය​ තර්කනයයි. එනම් පොල් තෙල් වල කෝලෙස්තරෝල් ඇත (පරීක්‍ෂණාගාර සාක්‍ෂි). කෝලෙස්තරෝල් හදවත් රෝගවලට හේතු කාරක වේ (සමීක්‍ෂණ සාක්‍ෂි). එම නිසා ‘පොල්තෙල් හදවත් රෝගවලට හේතු කාරක වේ’ යන අභූත නිගමනයන් තුළින් සමාජය නොමඟ යැවීමයි. මෙම නිගමනය හර්ද රෝග විශේෂඥවරුන්​ විසින් ප්‍රකාශ කරන බැවින් එහි විශ්වසනීය භාවය ද ඉහළ ය​. එහෙත් මෙම මතය අද සිටින හර්ද රෝග විශේෂඥවරුන්​ දරන​ බවක් පෙනීමට නැත​​. පොල්තෙල්වල කෝලෙස්තරෝල් තිබූ පමණින් සහ කෝලෙස්තරෝල් හදවත් රෝගවලට හේතු කාරක වූ පමණින් පොල්තෙල් හදවත් රෝග වලට හේතු කාරක වන බව නිගමනය කිරීම සාවද්‍යය වේ. මෙය ‘යහපත් චේතනාවෙන්’ කළ දෙයක් යැයි යෝජනා කොට වගකීමෙන් මිදීමට නොහැකි ය​. මේ සම්බන්ධ නිගමනවලට එලඹීමට පෙර සහ සමාජයට දැඩි ලෙස බලපාන ප්‍රකාශ නිකුත් කිරීමට පෙර​ බොහෝ විකල්ප සැළකිල්ලට ගත යුතු බව මින් අපට අවබෝධවන යතාර්තයයි.

චතුස්කෝටික ධර්මය ‘බහුබූත’ ද නැද්ද යන්න C කරුණ සමඟ පසුව සාකච්ඡා කෙරේ.

දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදය සහ සත්‍යය ගැන ඔවුන් ගේ මතය නව වැනි ලිපියේ සඳහන් අයුරින් පහත දැක්වේ.

උපුටා දැක්වීම 2;

“සත්‍ය කරුණක්” හා ප්‍රබන්ධයක් අතර ඇති වෙනස සත්‍යයක් ඔප්පුකිරීමට සාක්ෂි ඇති බවයි.

උපුටා දැක්වීම 2 අවසන්.

දැන් මෙම කරුණ B විමසා බලමු.

සත්‍ය කරුණක් හා ප්‍රබන්ධයක් අතර ඇති වෙනස සේ ඔවුන් පවසන්නේ සාක්‍ෂි ඇති හෝ නැති බවයි, එනම් ‘සත්‍යය’ ඔප්පු කිරීමට සාක්‍ෂි ඇති බව සහ ප්‍රබන්ධ ඔප්පු කිරීමට සාක්‍ෂි නැති බවයි.

මෙම පාඨය ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. එනම් “සත්‍ය කරුණක් හා ප්‍රබන්ධයක් අතර ඇති වෙනස සාක්‍ෂි ඇති හෝ නැති බව” යන කාරණයයි.

බටහිර දර්ශනයේ මේ සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත​. එහි දී මූලික උපකල්පන දෙකක් පදනම් කරගෙන දර්ශනවාදීන්/විද්‍යාර්තයින් ප්‍රධාන මතවාද දෙකකට බෙදී ඇත​. (මෙම බෙදීම් තුළ තවත් අතුරු බෙදීම් ඇතත්, අප මෙහිදී මෙම ප්‍රධාන ගුරුකුලයන් දෙක පමණක් සැළකිල්ලට ගනිමු). මෙම උපකල්පන වන්නේ, සත්‍යයේ ස්වභාවය සහ දැනුම ලබා ගැනීමේ විධික්‍රමය යන කරුණු දෙක ගැන එම විද්වතුන් දරන විශ්වාසය, පිලිගැනීම හෝ ස්ථාවරයන් වේ. පළමු ගුරුකුලය ඉංද්‍රිය-අනුභූතිවාදීන් (Empiricist positivists) ලෙසත් දෙවන වඩා නූතන​ ගුරුකුලය 20වන සියවසේ ඇතිවූ පශ්චාත්-අනුභූතිවාදීන් (Post-positivists) ලෙසත් ඔවුන් විසින් ම​ හඳුන්වාගෙන ඇත​. මෙම බෙදීම් ක්‍රමවත් ලෙස ගොණු කිරීම් පස්වන සියවසෙන් පසු යුරෝපයේ ආරඹ්භ වූ බව පෙනීමට තිබුනත් මේ පිලිබඳ වාද විවාද චිරාත් කාලයක් තිස්සේ පෙරදිග ද පැවත තවමත් පැවතේ. බුදුන් වහන්සේ ගේ දේශනා ද විමසිල්ලෙන් අද්‍යයනය කළහොත් කුමන ගුරුකුලයක් බුදු දහමට වඩා ගැලපෙනවා ද යන්න​ අපට තීරණය කිරීම අපහසු නොවේ.

පලමු උපකල්පනය නම් ‘සත්‍යය’යේ පැවතීම පිළිබඳවයි (Ontology). දෙවැන්න දැනුම ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳවයි (Epistemology). ‘සත්‍යය’යේ පැවතීම පිළිබඳව ආදි​ අනුභූතිවාදීන් ගේ පිළිගැනීම වන්නේ ‘සත්‍යය’ මිනිසාගෙන් පරිබාහිරව (විඥානයකින් තොරව)​ නිරපේක්‍ෂ ලෙස පවතින එකම එක ‘සත්‍යය’ ක් ලෙස​ පමණක් පවතින බවයි (objectivist). ආදි​-අනුභූතිවාදයට​ අනුව යම් දෙයක් සත්‍යය නම් එහි නිෂේධය අසත්‍යයයි යන මතය ද්විකෝටික තර්ක විධි ක්‍රමයයි. මෙයට විකල්ප වූ පශ්චාත්-අනුභූතිවාදීන් ගේ ස්ථාවරය වන්නේ ‘සත්‍යය’ කියන දේ මිනිසාගෙන් පරිබාහිරව පවතින නිරපේක්‍ෂ දෙයක් නොවන බවත් මිනිස් චර්යාවන් අනුව ‘සත්‍යය’ සාපේක්‍ෂව වෙනස් විය හැකි බවත් ය (subjectivist). එක් ‘සත්‍යය’ ක් නොව සමාජ යථාර්ථය බහුමානීය සංකීර්ණතාවයකින් පැවතිය හැකි බවය​.

අනෙක් උපකල්පනය දැනුම ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳවයි. බොහෝ අනුභූතිවාදීන් ඉංද්‍රීය ගෝචර (පංචේන්ද්‍රිය​; ඇස​, කණ​, නාසය​, දිව සහ ස්පර්ශය​) සාක්‍ෂි මත සහ​ ගණිතමය ව්‍යත්පන්නයන් මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය නැමති ක්‍රමවේදයක් තුළින් පමණක් දැනුම සොයාගත හැකි බව විශ්වාස කිරීම වන අතර​, පශ්චාත්-අනුභූතිවාදීන් ගේ උපකල්පනය වන්නේ ක්‍රමවේදයක් විද්‍යාත්මක වීමට සාක්‍ෂි ඉංද්‍රීය ගෝචර වීම හෝ ගණිතමය ව්‍යත්පන්නයන්ට පමණක් සීමා කිරීම නුසුදුසු බවයි.

වෛද්‍යවරුන්ගේ ඉහත ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔවුන් අයත් වන්නේ මෙම ආදි​-අනුභූතිවාදී ගුරුකුලයට බවයි. එය ස්වභාවික විද්‍යාවන් ගේ පදනමයි. අප පාසැල් කාලයේ පටන් හුරු පුරුදු වී ඇත්තේ ‘සත්‍යය’ එකක් බවත් සත්‍යයන් දෙක තුනක් පැවතිය නොහැකි බවත්‍, ‘සත්‍යය’ නොවන දේ අසත්‍යය බවත් යන ද්විකෝටික තර්ක විධික්‍රමයටයි. එමෙන්ම​ අවිද්‍යාවට එරෙහිව විද්‍යාව භාවිතා කොට ‘සත්‍යය’ සොයා ගත හැකි බවත්, එය පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන වැනි ක්‍රමවේදයන් ගෙන් සොයන දැනුමක් වේ ය යන උපකල්පනයන් ය, විශ්වාසයන්‍ ය​, පිළිගැනීම් ය, අවසානයේ ස්ථාවරයන් සහ ආධානාහාග්‍රහිත්වයයන්‍ ය. මෙම ස්ථාවරය ස්වාභාවික විද්‍යාවන්ට ගැලපුනත් සමාජ විද්‍යාවන්ට නොගැලපෙන බව පසු කාලීනව පශ්චාත් අනුභූතිවාදීන් විසින් ගොඩ නඟන ලද මතයයි. එනම් සමාජ යථාර්තයන් බහුමානයෙන් යුතු සංකීර්ණ තත්ත්වයක් බවයි.

මෙම දෙපාර්ශවයේ හරි වැරැද්ද සෙවීම සහ එක් ගුරු කුලයක් වෙනුවෙන් අධානාග්‍රාහීව පෙනී සිටීම​, ඒ වෙනුවෙන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීම නිශ්ඵල ක්‍රියාවකි. වඩා ප්‍රායෝගික සහ බුදු දහමට වඩා ලංවන්නේ කුමන පර්ශවයද යන්න නම් විමසිය හැකිය​.එනම්, බුදු දහමට අනුව නම් පවතින්නේ පරම සත්‍යයන් සතරකි, ඒ චතුරාර්‍යය සත්‍යය වේ; දුක​, දුකට හේතු, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මඟ එම පරම සත්‍යයන් ය​. අනෙක් සියලු ඉංද්‍රීය ගෝචර දේවල් සම්මත සත්‍යයන් වේ, එනම් අප පොදුවේ සත්‍යය යැයි පිළිගන්නා දේ වේ. බැලු බැල්මටම එම සම්මත සත්‍යයන් සාපේක්‍ෂ බව අපට වටහා ගැනීමට අපහසු නැත​. එකම දෙයක් හෝ සංසිද්ධියක් පිළිබඳ අපට ඇතිවන සංජානනයන් (perceptions) විවිධ වේ. කෙනෙකුට ‘සත්‍යය’ වන මැවුම්කාර​ දෙවියන් තව කෙනෙකුට මිත්‍යාවක් විය හැකිය​. එනම් ‘සත්‍යය’සාපේක්‍ෂ ය​. මෙසේ පුද්ගලයින්ගෙන් පුද්ගයින්ට සමාජයෙන් සමාජයට විවිධ ආගම් අදහන්නන් අතර ‘සත්‍යයන්’ වෙනස් වන බව ඉතා පැහැදිලි කරුණකි. එසේම මෙය දාර්ශනිකව ඉතා ගැඹුරින් විශ්ලේශනය කිරීමෙන් පශ්චාත් අනුභූතිවාදීන් තර්ක කරන්නේ නිරීක්‍ෂකයාගෙන් වියුක්ත ව සත්‍යයක් ලෝකයේ නොපවතින බවයි. සත්‍යයන් නව සොයාගැනීම් සමඟ වෙනස් වන බවයි. එම තර්කය ද විද්‍යානුකූල වේ. එනම් පංචේන්ද්‍රියට හසු නූනත් තර්කානුකූලව (මනැස නැමති සවැනි ඉංද්‍රිය තුළින්) ප්‍රමාණවත් විශ්වසනීය සාක්‍ෂි මත පදනම් වී ලබා ගන්නා දැනුම් ද විද්‍යානුකූල වේ.

මෙහි දී පටලැවිලි සහගත කරුණ නම්, වෛද්‍යවරුන්ට මෙන්ම බොහෝ වෘත්තිකයින්ට ඔවුන් ගේ වෘත්තීය​ ජීවිතේ අනුභූතිවාදී වීමට සිදු වේ. එනම් සියලුම​ පාහේ ව​ත්තීන් යම් යම් නීති රීති රෙගුලාසි ආචාර ධර්ම වලට යටත් වන බැවිනි. එය මෙම දාර්ශනික ලෝක දෘෂ්ටීන් සමඟ පටලවාගත යුතු නැත. ​එහෙත් එම ව්‍යූහයන් සදාකාලික සත්‍යයන් නොවන බව කලින් කලට වෙනස් වන ප්‍රමිතීන් හා භාවිතයන් නිරීක්‍ෂණය කරන විට පෙනේ. ඉහත සඳහන් කළ​ පොල් තෙල් සෞඛ්‍යයට අහිතකර බව සමාජ ගත වීමේ දී ​ද අනුගමනය කොට ඇත්තේ මෙම​ අන්තවාදී ආදී අනුභූතවාදී​​ විද්‍යාත්මක ක්‍රමයයි. බිත්තර ගැන ඇති කළ හුඹස් බිය ද එවැනි සාවද්‍යය තර්කනය තුළින් ඇති වූවක් බව අද පිළිගත් මතයයි. බර අඩු කිරීමට දැන් තුන් වේලටම කන්නේ බිත්තර පමණි. එය ද කොපමණ කලක් ‘සත්‍යයක්’සේ පිළිගනිවීදැයි නොදනිමි. එහෙත් තවමත් සමහර නූගත් ශරීර වර්ධන උපදේශකයින් ඔවුන් ගේ ගෝලයින්ට ප්‍රෝටීන් පමණක් ගැනීමට බිත්තර සුදු මදේ පමණක් ආහාරයට​ ගැනීමට​ උපදෙස් දේ. ඒ ළමයි බිත්තර සුදු මදේ පමණක් ආහාරයට ගෙන අනෙක් සියලු පෝෂ්‍යය පදාර්ත තිබෙන කහ මද බල්ලො බළලුන්ට දෙන බව ඉංද්‍රීය ගෝචරවම දනිමි. ඒ මීට ඉහත බටහිර වෛද්‍යවරුන් විසින් බිත්තර කහමදේ කෝලෙස්ටරෝල් ඇති බවත් එය හදවත් රෝග ඇතිකරවන බවත් පැවසීම නිසා ය​.

මෙම අනුභූතිවාදය ස්වාභාවික විද්‍යාවන්ට බොහෝ දුරට ගැලපුනත්, සමාජ විද්‍යාවන්ට නම් වඩා ප්‍රායෝගිකව ගැලපෙන්නේ පශ්චාත් අනුභූතිවාදයයි. එහි ප්‍රභේදයන් බොහෝ ඇත​. එම නිසා සමාජවිද්‍යා සංදර්භය තුළ, අනුභූතිවාදය මත, මෙම වෛද්‍යවරුන්ගේ තිදෙනා ඉදිරිපත් කරන අනෙක් නිගමනය නම් ඉතා භයානක සමාජ ප්‍රතිඵල ඇති කරන්නකි. ඔවුන් මෙසේ නිගමනයකට එලඹී ඇත​.

“මෙවන් මතයක් ජනගතවූ සමාජයක් සත්‍යය හා අසත්‍යය, මිත්‍යාව හා විද්‍යාව, සැබෑ කරුණු හා ප්‍රබන්ධය අතර වෙනස හඳුනා ගත නොහැකිව අතරමංවේ. අද ලංකාවට සිදුව ඇත්තේ එයයි.”

මෙවැනි නිගමනයන්හි ඇති භයානක කම නම් මිනිසුන් තමන් විශ්වාස කරන දේ පමණක් සත්‍යය සේ විශ්වාසයට ගැනීමෙන් නොනැවතී, ඒ හා සම්බන්ධව​ ‘අනෙකා’ ගේ සියලු විශ්වාසයන් මිත්‍යාවන් සේ සිතීමට පෙළඹීමයි. එසේ වූ විට අනෙකා ගේ සත්‍යය සමච්චලයට ලක් කිරීම් වැනි දේ සිට අනෙකා මත බලහත්කාරය යෙදවීම හෝ ප්‍රචණ්ඩත්වය පවා මුදා හැරීමට තරම් සැහැසි වන බව මේ ශ්‍රී ලංකාවේ අපට නම් අවබෝධ කරගැනීමට අමුතු ඉංද්‍රීය ගෝචර සාක්‍ෂි අවශ්‍යය නොවේ. ඒ අනුව​ අද ලංකාවට සිදුව ඇත්තේ, තමන්ගේ විශ්වාසයන් එකම ‘සත්‍යය’ ලෙස ආධාහනාග්‍රාහිත්වයෙන් ගෙන​අනෙකාගේ විශ්වාසයන්ට වඩා ‘සත්‍යය’ යැයි සහ ‘උසස්’ යැයි වැනි ආකල්පයන් සමාජගත වන මෙවැනි ආදි-අනුභූතිවාදී විද්‍යාත්මක යැයි කියාගන්නා විධික්‍රම සමාජ විද්‍යා විෂය කෙරෙහිත් භාවිතා කිරීමයි. අනෙකා නොඉවසීමයි.​

මෙහිදී හාස්‍යයට ලක් වෙන කරුණ නම් නලින් ගේ භූතදේව වාදය ද ද ආදි-අනුභූතිවාදී ලෙස ඉදිරිපත් කිරීමයි. ඔහු සහ ඔහුගේ ගෝලයෝ සිතන්නේ ද ඔවුන් සිතන දේ පමණක් හරි බවත් අනෙක් සියලු මතවාද ‘පඬී’ පට්ටපල් බොරු ලෙස ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් ය​. ඔහු පශ්චාත් අනුභූතිවාදී විඥාණවාදී ස්ථාවරයක් දේශනා කරන අතරම ආදි-අනුභූතිවාදී චින්තනයක් ගැන වැදි බණ දෙසයි.

දැන් අප C කරුණ ගැන කෙටියෙන් විමසමු. එනම් චතුස්කෝටික තර්කන විධික්‍රමය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළ බවට සඳහන් ත්‍රිපිටකයෙන් උපුටා ගත් පාඨයේ අර්තදැක්වීමයි. මෙහිදී මා විමසන්නේ වියමන් විශ්ලේශනයක් සහ අර්තවිවරණවාදී (interpretivist) විධික්‍රමයක් ගැන පමණි.

චතුස්කෝටික තර්කන විධික්‍රමය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළ බවට සඳහන් ත්‍රිපිටකයෙන් උපුටා ගත් පාඨයේ අර්තදැක්වීම ලිපි මාලාවේ අට වැන්නේ සඳහන් අයුරින් පහත දැක්වේ.

එම උපුටා ගැනීම පහත පරිදි වේ

උපුටා දැක්වීම 3;

“ඉන් එකක් වන ඛේම සූත්‍රයහි  බුදුරජාණන් වහන්සේ චතුස්කෝටික තර්කය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි.  

‘එහෙයින් තථාගතයන් වහන්සේ, මරණින් මතු වේයයි කීමට ද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමට ද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි ද නොවේයයි ද කීමටද නුසුදුසු ය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමට ද නුසුදුසුයි.’” 

උපුටා දැක්වීම 3 අවසන්.

මෙම උපුටා ගැනීම අපගේ වෛද්‍යවරුන් තිදෙනා විසින් අර්තදක්වන්නේ බුදුන් වහන්සේ චතුස්කෝටික තර්කනය ප්‍රතික්‍ෂේප කිරීමක් ලෙසට ය.​ මෙය විමසා බලමු. මෙහි විය හැකි විකල්ප සතරක් සඳහන් වේ. එනම්,

මරණින් මතු වේයයි කීමට ද නුසුදුසුය.
මරණින් මතු නොවේයයි කීමට ද නුසුදුසුය.
මරණින් මතු වේයයි ද නොවේයයි ද කීමටද නුසුදුසු ය.
මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමට ද නුසුදුසුයි.

මෙහි ‘කීමට ද නුසුදුසුයි’ යන්න අපගේ උගත් ​වෛද්‍යවරුන් තිදෙනා විසින් ‘ප්‍රතික්‍ෂේප කළා’ යනුවෙන් උපකල්පනය කොට බුදුන් වහන්සේ විසින් චතුස්කෝටික න්‍යාය ප්‍රතික්‍ෂේප කළා යන නිගමනයට පැමිණ ඇති බව පෙනේ. එහෙත් ‘කීමට ද නුසුදුසුය’ යන්නෙන් අදහස් වෙන්නේ යම් මතයක් අධාහනාග්‍රාහිත්වයෙන් එය එසේම වන බවට​ ස්ථිර ලෙස සිතීම සුදුසු නොවන බවයි. මෙහි දී යෝජනා කරන්නේ මෙම විකල්ප සතරෙන් කුමක් හෝ විය හැකි බැවින් එක මතයක් (විශ්වාසයක්) ගැනීම නුසුදුසු බවයි.

මෙම තර්ක ක්‍රමය බුදුන් වහන්සේගේ සාමාන්‍යය මනසට හ්‍රහනය නොවන ඉතා ගැඹුරු සමහර ගැටලුවලට පිළිතුරු සැපයීම සඳහා භාවිතා කොට ඇත​. සංයුක්ත නිකායේ, සළායතන වර්ගයේ, අඛ්‍යාකත සංයුක්තයේ, ඛේම සූත්‍රයේ සඳහන් වන මෙම පිළිතුර බුදුන් වහන්සේ විසින් ලබා දෙන්නේ පසේනදි කොසොල් රජ තුමා ව්සින් නඟන පහත දැක්වෙන​ පැනයටයි;

‘වහන්ස, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වේ දැ යි?”

මෙවැනි ගැඹුරු ගැටලුවලට පිළිතුරු තේරුම් ගැනීමට අපහසු අවස්ථාවලදී බුදුන් වහන්සේ මෙම විධික්‍රමය භාවිතා කොට ඇත​. ඉහත උපුටා දැක්වීමත් එවනි අවස්ථාවකි. එහිදී එසේ භාවිතා කිරීමට හේතුව ද පවසා ඇත​.

“… තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය… යමෙක් ගංගානදියෙහි වැලි මෙතෙකැ යි හෝ … මහ මුහුදෙහි දිය ලහසු මෙතකැ යි හෝ … පමණ කරන්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණකයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස මුහුද විශාල ය, ගැඹුරු ය, නොපමණ ය. නො බැස ගත හැක්කේ යි.”

මින් අප අවබෝධ කරගත යුතු වන්නේ ගංගා නදියේ වැලි කැට මෙන් මහ සයුරේ ජල බිඳු මෙන් මනෝ මූලිකව ගිණිය හැකි බව පෙනුනත් ප්‍රායෝගිකව ගිණිය නොහැකි බව මෙන්ම එසේ ගිණීමේ තේරුමක් ප්‍රයෝජනයක් නැති බවත් ය. මෙම​ චතුස්කෝටික න්‍යාය, පන්සිල්, අටසිල් මෙන් බුදුන් වහන්සේට පෙර සිට පැවත එන පිළිවෙතක්, ක්‍රමයක්, බව සැළකේ.

මහාචාර් ය නලින් ද සිල්වා ගේ භූතදේව වාදය ප්‍රතික්‍ෂේප කළ යුතු සේම ඔහු විසින් මෙම පටු ද්විකෝටික න්‍යායයේ ඇති අභව්‍යය බව ද විවේචනය කිරීම අගය කළ යුතුය​. මෙම ද්විකෝටික න්‍යාය අභව්‍යය සේම මා ඉහත දැක්වූ ආකාරයට එමඟින් කෙරෙන සාවද්‍යය නිගමන භාවිතා කිරීමෙන් සමාජයට සිදුවන හානිය ද බරපතල බව ද අමතක නොකළ යුතුය​. එමෙන්ම, බටහිර විද්වතුන් මෙම ද්විකෝටික න්‍යාය මත පදනම් වූ නිගමන විධික්‍රමයන්ට​ (deduction and induction) විකල්ප වශයෙන් ඉදිරිපත් කරන මහුමාන සමාජ යතාර්තයන් මත පදනම් වූ සංගමන විධි ක්‍රමය ද (abduction; නලින් ගේ වචනයෙන් අනපෝහනය​) ඔහුගේ ඉතා අන්තවාදී බටහිර​ විරෝධාකල්පය නිසා ප්‍රතික්‍ෂේප කිරීම පදනම් විරහිත මෙන්ම විහිලු සහගත ය.​

එමෙන් ම,​ වෛද්‍යවරුන් තිදෙනා විසින් භූතදේවවාදය විවේචනය කිරීම අගය කළ යුතු සේම සමාජයේ ප්‍රගමනයට හානි කරන ද්විකෝටික න්‍යාය ට කොටු වීම ද ප්‍රතික්‍ෂේප කළ යුතුය​.

අවසානයේ අවධාරණය කළ යුත්තේ සමාජ විද්‍යා සංදර්භය තුළ ඇත්තේ සත්‍යය-අසත්‍යය, ඇත​-නැත​, විද්‍යා-අවිද්‍යා වැනි දෙවැදෑරුම් ස්වරූපයක් නොව​ බහුමානයෙන් යුතු සංකීර්ණ සමාජ යථාර්තයන් බවත් ය. එමෙන් ම​ සත්‍යයන් සේ පෙනෙන දේ සාපේක්‍ෂ ලෙස පවතින වෙනස් වන සුලු (අනිත්‍යය​) දේවල් පමණක් බවත්,​ ඉංද්‍රීය ගෝචර අනුභූතිවාදයෙන් ඔබ්බට ගොස් දැනුම නිර්මාණය කිරීම සහ​ ද්විත්ව රාමුවෙන් ඔබ්බට සිතීම වැදගත් වන්නේ ඒ තුළින් විවිධ නව මං පෙත් විවර කිරීමට මිනිසා පොලඹවන බැවිනි​.

#(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා සහ විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර විසින් ලියන ලද ලිපි මාලාව සදහා ආචාර්ය සී. ඒ. සාලිය විසින් එවා ඇති ප්‍රතිචාරාත්මක ලිපිය අප මෙසේ පළකර ඇත. මෙහි ඇති කරුණු සහ තොරතුරුවල වගකීම ආචාර්ය සී.ඒ. සාලිය මහතා සතු බව අප අවධාරණය කරමු – සංස්කාරක)

ආචාර්ය සී. ඒ. සාලිය​ | Dr. C A Saliya