Photo courtesy of EcoWatch

රටක් මුහුණදෙන ප්‍රශ්නවල ස්වභාවය ගැන බලද්දී, ඒ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම්, ප්‍රායෝගික සහ ප්‍රායෝගික නොවන යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ප්‍රායෝගික නොවන ඒවා, නොකෙරෙන වෙදකම් ය. මේවා, නැවතත් දෙවර්ගයකට වෙන් කළ හැකිය. එකක් වන්නේ, වැඩේ නොකිරීමේ අරමුණ ඇතිවම, සරල ප්‍රශ්නයක් සංකීර්ණ ප්‍රශ්නයක් වශයෙන් හෝ සංකීර්ණ ප්‍රශ්නයක් සරල ප්‍රශ්නයක් වශයෙන් හෝ හුවාදැක්වීමයි. ඉතිං, ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් කරන විසඳුම්, මොන විදිහකින්වත් ප්‍රායෝගික විසඳුම් වන්නේ නැත. රටේ ජාතික ප්‍රශ්නයට අහවල් දවසට කලින් විසඳුමක් දෙන්නේ යැයි ජනාධිපතිවරයා දෙවැනි වතාවටත් දැන් කියන කතාව අයත් වන්නේ මේ ගණයටයි. දෙවැනි වර්ගය වන්නේ, ප්‍රශ්නයේ පවතින අතිමූලික ස්වභාවය සහ මිනිස් ස්වභාවය විසින්ම, ඊට දෙන විසඳුම ව්‍යාජයක් බවට පත්කරවන ප්‍රශ්නයි. පංති සමාජය අහෝසි කිරීම නමැති ‘විසඳුම’ අයත් වන්නේ ඒ ගණයටයි.

එහෙත් පවතින සමාජ සංවිධානය තුළ විසඳිය හැකි සහ ප්‍රායෝගික විසඳුම් සොයාගත හැකි ප්‍රශ්න රාශියක් තිබේ. ඇත්තෙන්ම, දේශපාලනය නමැති ලෞකික ක්ෂේත්‍රය යොමුවිය යුත්තේ ඒ වෙනුවෙනි. සොරකම, දූෂණය, වංචාව, නාස්තිය ආදී සමාජයක් වශයෙන් අප මුහුණදෙන පොදු ප්‍රශ්නය අයත් වන්නේ, ප්‍රායෝගික වශයෙන් විසඳිය හැකි ප්‍රශ්න ගණයටයි. විසඳීම යනු, සොරකම සහ දූෂණය හෝ වංචාව හා නාස්තිය සමාජයෙන් සදහට අතුගා දැමීම නොවේ. ඒවා මුළුමණින් තුරන් කළ කිසි රටක් ලෝකයේ නැත. එහෙත්, ඒවා ඇති වන මොහොතේම, සොරුන් සහ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීම සහ සියලූ වරදකරුවන් නීතියේ රැහැනට හසු කරගැනීම, සොරකම, දූෂණය, වංචාව සහ නාස්තිය නමැති ප්‍රශ්නයට ඇති එකම ප්‍රායෝගික විසඳුමයි.

මේ කියන ‘නීතියේ ආධිපත්‍යය’, පොල් ගෙඩියක් සොරකම් කරන මිනිහා සම්බන්ධයෙන් ලංකාවේදී අකුරට ක්‍රියාත්මක වෙයි. එහෙත්, පැය 48 ක් ඇතුළත රුපියල් කෝටි 1600 ක මහජන මුදලක් සොරකම් කළ සීනි ආනයනය කරන සමාගමක් සහ ඒ මහජන ධනය සොරකම් කිරීමට එකී සමාගමට එදා අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ දුන් දේශපාලනික අනුග්‍රහය ගැන මේ රටේ නීතියේ ආධිපත්‍යය අකර්මණ්‍යයි. මෙය සිද්ධ වුණේ 2020 ඔක්තෝබර් මාසයේ ය. හරියටම, මීට අවුරුදු දෙකහමාරකට කලිනි. අද දක්වාමත්, මේ මහා සොරකම ගැන නීතිය නිදි ය.

සමහරුන් කියන පරිදි, සොරකම සහ දූෂණය මර්දනය කළ පමණින්ම රටේ ආර්ථිකය ගොඩනැගෙතැයි මේ ලියුම්කරු නොසිතයි. එහෙත්, සොරකම සහ දූෂණය රජයන රටක සංවර්ධනයක් ඇති කරගත හැකි යැයි සිතාගැනීමත් අමනෝඥයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ගොඩගැනීමේ කර්තව්‍යයට මේ මොහොතේ උර දී සිටිතැයි පෙනේ. ඒ අතරේම, දූෂණය රජයන කිසි රටක් ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගෙන නැති බවත් ඔහු දන්නවාට සැකයක් නැත. දූෂණය සහ සොරකම ඉවසා සිටි සහ නොසිටි රටවල් දෙකක් වශයෙන්, පිළිවෙලින්, සිම්බාබ්වේ සහ සිංගප්පූරුව දැක්විය හැකිය. සිම්බාබ්වේ යනු, දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ දූෂණය ඉහවහා ගිය දේශපාලනයක් පැවති රටකි. සිංගප්පූරුව යනු, ආරම්භයේ පටන්ම දූෂණය නොඉවසූ රටකි. එක රටක නීතියක් නොතිබුණි. අනිත් රටේ නීතිය අකුරට ක්‍රියාත්මක වුණි. එකක්, හිඟමනේ ය. අනික සංවර්ධිත ය. ඒ නිසා, ආර්ථික සංවර්ධනය සහ දූෂණය පිටුදැකීම යනු එකට ගමන් කළ යුතු කාරණා දෙකක් වශයෙන් අපට හඳුනාගත හැකිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත කරගැනීම සහ ඉදිරියේදී කිරීමට ඔහු අපේක්ෂා කරතැයි කියන රාජ්‍ය අංශයේ ආයතනික ප්‍රතිසංස්කරණ, රටේ ආර්ථිකය වර්තමාන අගාධයෙන් ගොඩගැනීමට අත්‍යාවශ්‍ය මූලික කොන්දේසි අතර වැදගත් තැනක් ගනී. එහෙත් මෙතෙක් කල් රටේ ආර්ථිකය තුළ තිබූ එක් මකර කටක් එයාකාරයෙන්ම පවත්වාගනිමින්, ඉහත කී අපේක්ෂිත සාර්ථකත්වය අත්පත් කරගැනීමට ඔහු සමත් වෙතැයි සිතීම උගහට ය.
ඔහුගේ දේශපාලනය තුළ පවතින නොපෑහිය හැකි පරස්පරය එයයි. මේ රටේ නොපවතින ත්‍රස්තවාදයක නාමයෙන් ‘ප්‍රති-ත‍්‍රස්ත පනතක්’ ගෙන ඒමට ඔහු තැත් කෙළේ, ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද නිර්දය විවේචනයට ලක්වෙමිනි. එහෙත් අනිත් පැත්තෙන්, ජාත්‍යන්තරයේ මෙන්ම මෙරටේ වෙසෙන සකල ජනතාවගේද නොමද ආශීර්වාදයෙන් දියත් කළ හැකි දූෂණ-විරෝධී (තවත් පනතක් නොව) සක්‍රීය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම ඔහු එකදිගටම මඟහරී.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව

2021 මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පිළිබඳ සිද්ධිය දෙස බලන්ට අපට සිදුවන්නේ ඒ සන්දර්භය තුළ සිටිමිනි. තව සති දෙකකින්, ඒ විනාශයට හරියටම අවුරුදු දෙකයි. මේ විනාශය විසින් ලංකාවේ මුහුදු තීරය තුළ ඇති කළ පරිසර විනාශය වෙනුවෙන්, ඇස්තමේන්තු කළ නොහැකි දීර්ඝකාලීන හානි නොසලකා හැරිය පසු, වහා ලැබිය යුතු වන්දියක් වශයෙන් පමණක් ගණන් බලා ඇති මුදල ඩොලර් බිලියන 6.2 කි. (සමහර ඇස්තමේන්තුගත වන්දිය මීටත් වැඩියි). ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වන විට ලංකාව වෙනුවෙන් වෙන්කොට ඇති, අවුරුදු හතරක කාලයක් තුළ සැපයෙන මුළු ණය මුදල ඩොලර් බිලියන 2.9 කි. ඒ මුදල ලබාගැනීම සඳහා ඉටු කළ යුතු කොන්දේසි රාශියකි. ඒවා මොන තරම් අත්‍යාවශ්‍ය කොන්දේසි වූවත්, දුෂ්කර කොන්දේසි වන්නේය. එහෙත්, රටක් වශයෙන්, කොන්දේසි විරහිතව, ණයක් වශයෙන් නොව, වන්දියක් වශයෙන් මේ නෞකා සමාගමෙන් අපට ලබාගැනීමේ හැකියාව ඇති මුදල, එමෙන් දෙගුණයකටත් වැඩි ය. එසේ නම්, සාධාරණ මිනිසෙකුගේ හිතේ ඇති වන ක්ෂණික සිතිවිල්ල වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ලබාගැනීමට යෙදවූවාටත් වැඩි ආයාසයක් සහ වීරියක් යොදවා, එමෙන් දෙගුණයක් වන, ණයක් නොවන මුදලක් ලබාගැනීමට වෙහෙසීම මොන තරම් තාර්කික සහ ප්‍රඥගෝචර විය හැකිද යන්නයි. එහෙත්, ඒ විනාශය සිදු වූ දා පටන් අද දක්වාමත් ඒ අරභයා ආණ්ඩුව පෙන්වා තිබෙන ඇල්මැරුණු ආකල්පය, අප ඉහතින් විස්තර කළ දූෂණය සහ වංචාව නමැති පරිශ්‍රය තුළ පිහිටුවා මිස වෙනත් ආකාරයකින් තේරුම්ගත නොහැකි ප්‍රහේලිකාවක් බවට පත් කොට තිබේ.

ගිය සතියේ මේ ගැන, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ‘හෙළිදරව්වක්’ කෙළේය. එනම්, මේ නෞකාවෙන් ඇති කළ විනාශයේ වන්දිය ලබාගැනීම අඩපණ කිරීමට හෝ වැළැක්වීමට, චාමර ගුණසේකර නමැති පුද්ගලයෙකු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගෙන ඇති බවයි. ඒ අල්ලස තැන්පත් කෙරුණු, මහා බ්‍රිතාන්‍යයේ බැංකුව සහ ගිණුම් අංකයත් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එහෙත් එය, සනාථ නොකළ ආරංචියක් පමණක් වන බවත් ඒ සමගම කියා සිටියේය. සනාථ නොකරන ආරංචිවලට අප කියන්නේ කටකතා කියා ය. ඉස්සර කාලේ ඒවාට මරියකඬේ කතා යැයිද කීවේය. දැන් අලුත්කඬේ නීතිඥයෙකු වන විජයදාස රාජපක්ෂ, මේ රටේ අධිකරණ ඇමති වන විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තුවේදී එවැනි කටකතාවක් කීම ප්‍රශ්නකාරී ය.

සමහර කතා, එම කතාව කියන්නාගේ පැටිකිරිය අනුව තේරුම්ගැනීම චිරාගත ක්‍රමයයි. ඕනෑම අධිරාජ්‍යවාදී හෝ ධනවාදී ‘කුමන්ත්‍රණයක්’ ගැන කතාවක් වාසුදේව නානායක්කාරගේ කටින් පිට වුණොත්, ඒ කතාව සැබෑ වුණත්, ඒ දෙස සිනාවෙන් බැලීමේ පුරුද්දක් අපට තිබේ. ඕනෑම ජාතිමාමකත්වයක් ගැන කතාවක් විමල් වීරවංශගේ කටින් පිට වුණොත්, ඒ ජාතිමාමකත්වය ව්‍යාජයක් සහ පුස්සක් බව අත්දැකීමෙන් අපි දනිමු. ඒ ආකාරයෙන්ම, ඕනෑම දූෂණ-විරෝධී හෝ යහපාලන කතාවක් විජයදාස රාජපක්ෂගේ කටින් පිට වුණොත් නිශ්ශංක සේනාධිපති ගැන අපට මතක් වෙයි. මේ නම්වාසගම්, මෑතකාලීන ලාංකීය දේශපාලනික-සමාජ සංවාදයේ සන්නාමයන් ය. භාෂා ව්‍යවහාරයක් විසින් සමහර යහපත් අරුත් පවා දූෂ්‍ය කරන්නා සේම, (අධිරාජ්‍යවාදය, ජාතිමාමකත්වය සහ යහපාලනය වැනි) සැබෑ ප්‍රපංචයන් පවා, එය වහරන පුද්ගලයා අනුව හෑල්ලූ වෙයි.

අදිසි මිනිසෙක් සහ අදිසි ගනුදෙනුවක්?

විජයදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයෙකි. ඔහුම කියන පරිදි, හෙතෙම ‘ප්‍රාඥයෙකි.’ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම වැනි මෑතකාලීන ප්‍රපංචයන් හේතුවෙන්, විශේෂයෙන් ලෝකයේ දියුණු රටවල බැංකු ක්‍රමය තුළ මුදල් හුවමාරුව දැඩි පරීක්ෂාවකට ලක්වෙන බව සහ සීමාවන්ට යටත් වන බව, එවැනි කෙනෙකු නොදන්නවා විය නොහැක. ඩොලර් මිලියන 250 ක් වැනි අතිවිශාල මුදලක් බැංකුවක තැන්පත් කිරීමේ හැකියාව ඇත්තේ, සීෂෙල්ස් වැනි රටක බැංකුවක පමණි. ලංකාවේ බැංකුවක පවා, මෙවැනි මුදලක් තැන්පත් කිරීම දීර්ඝ විමර්ශන ක්‍රියාවලියකට යටත් වන්නේය.

දැන් මාධ්‍ය වාර්තා කරන පරිදි, එවැනි පුද්ගලයෙකු හෝ එවැනි පුද්ගලයෙකුට අයිති ගිණුමක් සැබවින්ම ඇත්තේ නැති ලූ. දත්තමය වශයෙන් විජයදාස රාජපක්ෂ වැරදි වූවත්, කතාවේ මූලික හරයෙන් ඔහු නිවැරදි විය යුතුයි. එනම්, යම් පුද්ගලයෙකු හෝ යම් පිරිසක් මේ සිද්ධියට අදාළව විශාල අල්ලසක් අරගෙන, එම නැව් සමාගමෙන් ලංකාවට ලැබිය යුතු වන්දිය මඟහැර යාමට ඔවුන්ට උදව් කොට තිබිය හැකි බවයි. එහෙත්, විජයදාස රාජපක්ෂ එය (සනාථ නොකළ) නම්-වාසගම් සහ අංක සහිතව කී නිසා, එය වෙනත් අභිමතාර්ථයක් පෙරදැරිව කීවේද යන සැකය කෙනෙකු තුළ ඇති වෙයි. එනම්, මේ සිද්ධිය ගැන ආණ්ඩුව නිසි පියවර ගැනීම පමා කිරීම පිළිබඳව නැඟී ආ විරෝධය වෙනතකට හරවමින් සැබෑ අපරාධකරුවන් වසං කිරීමට ඔහු එසේ කීවේද යන්නයි. එසේම, ඒ සැබෑ අපරාධකරුවන් රටේ බලකේන්ද්‍රය හා බැඳුණු පුද්ගලයන් පිරිසක් විය හැකිද යන්නයි. ඒ විෂයෙහිදී පවා, විජයදාස රාජපක්ෂට අතීත අත්දැකීම් තිබේ. තමා අධිකරණ ඇමති වශයෙන් සිටින තාක් කල්, ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමි යැයි, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙන් මේ විජයදාස රාජපක්ෂ එදා කී බවත් අපේ මතකයේ තිබේ. (කෙනෙකු අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම, පවතින නීතියක් යටතේ සිදුවිය යුතු දෙයක් මිස, අධිකරණ ඇමතිවරයෙකුගේ අභිමතයක් උඩ සිද්ධ විය යුතු දෙයක් නොවේ. ඇමතිවරයෙකු එසේ කීමෙන් අදහස් වන්නේ, රටේ පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට බලපෑම් කිරීමේ හැකියාවක් තමාට ඇති බව කියා සිටීමකි). එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ එක් දින පාර්ලිමේන්තු විවාදයක් ලබන සතියේ පැවැත්වෙන බව කියැවෙයි. ඒ විවාදයෙන් පසු, නැවේ සිද්ධිය ගැන අපේ උනන්දුව හීන වී ගියොත් පුදුම නොවන්න.

මීට අදාළ කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, ලංකාවේ අධිකරණයක මේ නඩුව නොපවරා සිංගප්පූරු අධිකරණයක පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේ මන්ද යන්නයි. ඒ පිළිබඳ, පක්ෂ සහ විපක්ෂ හේතු දැක්වීම් තිබේ. නැව හෝ නැව රක්ෂණය කර ඇති සමාගම පිහිටා ඇත්තේ සිංගප්පූරුවේ නිසා, එරටේ අධිකරණයකින් ලබාගන්නා තීන්දුවක් ක්‍රියාත්මක කරවීම පහසු වන බව, සිංගප්පූරුවට යාමට පක්ෂ පාර්ශ්වය කියා සිටී. එහි යම් ඇත්තක් තිබිය හැකිය. ලංකාවේ අධිකරණයක් දෙන තීන්දුවක් ලංකාවේ පවා ක්‍රියාත්මක කරවාගැනීමේ අපහසුතාව දන්නා නිසා එසේ සිතනවාත් විය හැකිය. (පෙට්‍රල් මිල අඩු කරන ලෙස වරක් සරත් නන්ද සිල්වා අගවිනිසුරු වශයෙන් දෙන ලද තීන්දුවක්, එදා රාජපක්ෂලා ගණන් නොගත් බවට මතකයක් තිබේ).

සිංගප්පූරු යාමට විරුද්ධ පාර්ශ්වය පෙන්වා දෙන්නේ, හානිය සිදුව ඇත්තේ ලංකා මුහුදු තීරයේ නිසා, ලංකාවේ නඩු පැවරීම වඩාත් තර්කානුකූල බවයි. ඊට අමතරව, සිංගප්පූරුව වැනි රටක අධිකරණ ක්‍රියාවලියක් වෙනුවෙන් දැරීමට සිදු වන අධික වියදමයි. එහෙත්, වැඩිම වියදම්කාරී ක්‍රම අනුගමනය කිරීමේ ඇබ්බැහියක් ඇති රටක් එසේ කිරීම අස්වාභාවික නැති බවත් කිව යුතුය. කෙසේ වෙතත්, මේ තීරණයේ හරිවැරැද්ද ගැන යම් අදහසක් ලබාගැනීමට, කරුණු දිගහැරෙන ආකාරය දෙස තවදුරටත් බලා සිටිය යුතු බවක් හැෙඟ්.

දෙවැනි කාරණය වන්නේ, සිංගප්පූරුවේ හෝ ලංකාවේ නඩු පැවරීමට, නීතිපති දෙපාර්තමේන්තුව (එනම්, ආණ්ඩුව) මෙච්චර කාලයක් බලා සිටියේ ඇයිද යන්නයි. දැනට ඇති තොරතුරු අනුව, සිද්ධිය වීමෙන් මාස 23 ක් ගතවන තෙක් නඩු පවරා නැත. අවසානයේ නඩුව පවරා ඇත්තේ, මෙවැනි වන්දි නඩු පැවරීම කළ යුතුව ඇති (අවුරුදු දෙකක) නෛතික කාල පරාසයෙන් මාසයකටත් අඩු කාලයක් පමණක් ඉතිරිව තිබියදී ය. ඒ අතරේ, මේ වන විට, නැව් සමාගම ලන්ඩන් නුවර අධිකරණයක නඩුවක් පවරා තිබේ. ඒ, තමන් විසින් ලංකාවට ගෙවිය යුතු වන්දියේ උපරිමය පවුම් මිලියන 19.5 කට යටත් විය යුතු බව කියා සිටිමිනි. (ඩොලර්වලින් බැලූවොත්, මිලියන 25 ක්වත් නැත). ඉතිං, එක පැත්තකින් නැව් සමාගම සහ රක්ෂණ සමාගම, සාධාරණ වන්දිය ගෙවීම පැහැර හැරීමට කටයුතු කරන අතරේ, අනිත් පැත්තෙන් ලංකාවේ දේශප්‍රේමීන් තමන්ගේ සාක්කුවට ලැබෙන ඩොලර් මිලියන 250 ක් වෙනුවෙන්, රටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 6200 ක් පාවාදීමට කටයුතු කරන්නේ නම්, ඒ නඩුව කියන්නේ කාටද?

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda