පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
ජනාධිපති රාජපක්ෂගේ මුහුණ හිට්ලර්ට අන්දවා පොස්ටරයක් මුද්‍රණය කළ ජයම්පතී බුලත්සිංහල නම් තරුණ මුද්‍රණකරු දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ තෙමසක රැදවුම් නියෝගයක් යටතේ සිරබාරයේ ය. මෙකී රැඳවුම් නියෝගය නිතුක් කර ඇත්තේ හදිසි නීතිය යටතේ ය. ජී.එස්.පී. ප්ලස් විවාදයේ ද ආණ්ඩුව කියා සිටියේ හදිසි නීතියෙන් අඩක්ම ඉවත් කර ඇති බවත් විශේෂයෙන්ම ප්‍රකාශණයේ නිදහසට බලපාන වගන්ති ඉන් ඉවත් කර ඇති බවත් ය. නමුත් දැන් අපට පෙනෙන්නේ හදිසි නීති රෙගුලාසි තවමත් ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම පිණිස භාවිත වන අන්දම යි.
එපමණක් නොව මෑත කාලයෙහි දකුණේ අසන්නට නොලැබුණ එනමුත් 1988-1990 කාලයේ දකුණෙහි ද යුද්ධ කාලය පුරාම උතුරු නැගෙනහිර ද සිදුකල පවුලේ උදවිය ප්‍රාණ ඇපකරුවන් ලෙස අත් අඩංගුවට ගැනීම ද අපට මෙම හිට්ලර් පෝස්ටරය අරභයා දකින්නට ලැබුණි. තරුණ මුද්‍රණකරුගේ තරුණ බිරිද සහ බිරිඳගේ බාල සොයුරන් දෙදෙනා එළෙස ප්‍රාණ ඇපයට ගෙන පැය 12ක් පමණ පොලීසයේ රඳවා ගෙන උසාවියට ද ඉදිරිපත් කෙරුණි. එපමණක්ම ද නොවේ. එම පෝස්ටරය මුද්‍රණය කළ සරළා ග්‍රුෆික් ආයතනයේ සේවක සේවිකාවන් 8 දෙනෙක් ම අත් අඩංඟුවට ගෙන රැදවුම් නියෝග මත මේ සටහන් ලියන අවස්ථාව වන තුරුත් මිරිහාන පොලීසියේ කූඩුකර සිටිති.
මේ වනාහී පැහැදිළිවම පමණ ඉක්මවා ගිය ප්‍රතිචාරයකි. විශේෂයෙන්ම එම පොස්ටරයේ වගකීම හිටපු විදේශ ඇමැති සහ පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය වෙනුවෙන් ප්‍රසිද්ධියේම බාරගෙන තිබියදීත් මේසා දරුණූ පියවරක් ගැනීමෙන් පෙන්නුම් කැරෙන්නේ මේ වනාහී පොලීසියේ අධිකාරිය ඉක්මවා ගිය ඉහළින් කැරෙන ප්‍රතිචාරයක් බව යි.
දේශපාලන නායකයින් විවේචනයට භාජනය කිරීම පිණිස විවිධාකාර ආදේශක යොදා ගැනීම මෙතෙර මෙන්ම එතෙර ද දක්නට ඇති පොදු දේශපාලන භාවිතයකි. හිටපු ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන කපටි නරියකු ලෙස ද චන්ද්‍රිකා කුමාරතුංග චෞර රුජිනක් ලෙස ද හඳුන්වන ලදී. පසුගිය ජනාධිපතිවරණ සමයේ විපක්ෂ අපේක්ෂක ජෙනරල් ෆොන්සේකා ඉඩි අමින් ලෙස පින්තාරු කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන බලවේග විසිනි. පසුගිය රාවය පුවත්පතෙහි කාටූනයේ ද ජනාධිපති රාජපක්ෂ හිට්ලර් ලෙස දක්වා තිබුණි.
හිට්ලර් සමහර විට ලොව වඩාම කුප්‍රසිද්ධ අඥාදායකයා ය. එමෙන්ම නාසයට යටින් කුඩා සහ ඝනකම උඩු රුවුලක් ඇදීමෙන් හිට්ලර් ඹ්නෑම මුහුණකට ආදේශ කිරීම ලෙහෙසි ය. මෑත කාලයේ හිට්ලර් ලෙස දක්වා වැඩිම විරෝධතාවන්ට ලක් වූ දේශපාලන නායකු නම් හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ය.
මේ ඉන් පොස්ටර දෙකකි.
වත්මන් ජනාධිපති ඹබාමා හිට්ලර් ලෙස ඇන්දූ විරෝධතා පොස්ටරයක් මෙසේ ය:
එංගලන්තයෙහි හිටපු අගමැති ටොනි බ්ලෙයාර්ට හිට්ලර්ගේ උඩු රුවුල වැනි බාර්කොර්ඩ් එකක් ආදේශ කළ වෙළද දැන්වීමක් ගාර්ඩියන් පුවත් පතෙහි පිටුවක් පුරා පළ කෙරුණි. ඊට එරෙහිව වෙළද දැන්වීම් ප්‍රමිති ආයතනයට පැමිණලි කරන ලදී. කරුණු විමසා බැලූ ප්‍රමිති ආයතනය කියා සිටියේ එම වෙළද දැන්වීම වරදක් නොවන බව යි.
තවත් අවස්ථාවක රුවන්ඩා ජනාධිපති හිට්ලර් ලෙස දැක්වෙන පෝස්ටරයක් පල කරන ලද්දේ මෙසේ ය. ඊට ජනාධිපතිවරයා දුන් පිළිතුර වුයේ “ඔවුන් මට හිට්ලර් කියනවා, මා එය ගනන් ගන්නේ නෑ කියා ය”
ලොව පුරාම දේශපාලනඥයින් විවිධාකාරයෙන් විවේචනයට ලක් කිරීම අසාමන්‍ය දෙයක් නොවේ. එසේ තිබිය දී මෙම පෝස්ටරය මුද්‍රණය කිරීම වරදක් වන්නේ කෙසේ ද? එවැනි පොස්ටරයක් මුද්‍රණය කිරීම නිසා මුද්‍රණ සේවක සේවිකාවන් අත්අඩංඟුවට ගැනීම සාධාරණ කරන්නේ කෙසේ ද?
ආණ්ඩුවේ ප්‍රකාශකයකු ලෙස පොලිස් නිලධාරියකු විසින් අපූරු තර්කයක් ඉදිරිපත්කර තිබුණි. එනම් මෙම පෝස්ටරය ප්‍රදර්ශනය කළේ නම් රාජපාක්ෂික ජනයා කුපිත වී මහජන සාමය අහෝසි වන්නට ඉඩ තිබුනු බව යි. ඊට දිය හැකි එකම නිර්වචනය නම් එය තක්කඩි තර්කයක් බව යි. මන්ද යත් මෙම තර්කය ඉදිරියට ගෙන ගොස් ආණ්ඩුවට විරුද්ධ සෑම ක්‍රියාවක්ම මර්දනය කිරීම සාධාරණ කළ හැකි නිසා ය. ඇත්ත වශයෙන්ම නම් දැන් මෙරට සිදුවෙමින් ඇත්තේ ද එය යි. අප මතක තබා ගත යුතු එක් නඩු තීන්දුවක් ද තිබේ. එනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තිස්සනායගම් විසි අවුරුදු සිර දඬුවමකට යටත් කල තීන්දුව යි. ඉන් කියැවුණේ ඔහු විසින් ලියන ලද ලිපි නිසා මහජන කැළැඹීමකට ඉඩ තිබු බව ය. එවැනි කැළැඹීමක් ඇති නොවූයේ ය යන ප්‍රායෝගික සත්‍ය අධිකරණය සැළැකීමට ගත්තේ නැත. එනයින් තිස්සනායගම් නඩු තීන්දුව ප්‍රකාශණයේ නිදහස සීමා කැරෙන පූර්වාදර්ශයක් ලෙස අපේ හිසට ඉහළින් එල්ලා ඇති කඩුවක් ලෙස පවතිනවා ඇත.
මෙම සිදුවීමෙන් පසු දිනෙක වෙනත් අවශ්‍යතාවයක් සඳහා කොළඹ මුදුණකරුවකුට කතා කළ අවස්ථාවක ඔහු මෙසේ කීවේ ය. ‛‛ජනාධිපතිවරණ අවස්ථාවේ ජෙනරල් ෆොන්සේකාගේ පොස්ටර් මුද්‍රණය කරන්න ආවා, ලක්ෂ ගානක් පෝසටර්, මිලියන ගාණක වැඩ, ඒකෙන්ම ගොඩ යන්න තිබුණා, ඒත් අපි බාර ගත්තේ නැහැ. කව්ද දන්නේ පස්සේ මොනවා වෙයි ද කියල?” සමාජය කොතරම් බියට පත්ව සිටින්නේ ද යන්න එම කතාව තුළ ගැබ්ව තිබුණි.
එනයින් මෙම හිට්ලර් පෝස්ටර් අරභයා ආණ්ඩුව විසින් දක්වා ඇති ප්‍රතිචාරයෙහි ඇත්ත අනතුර ඇත්තේ අත් අඩංගුවට ගැනීමෙහි නොවේ. එය ප්‍රතිචාරය විසින් මුදාහරිනු ලබන සංඥාවේය. පණිවිඩයේ ය. එනම් ආණ්ඩුව විවේචනය කර පොස්ටර්, ලියැවිලි යනාදිය මුද්‍රණය කරන්නන්ට අත්විය හැකි ඉරණම ය. මරදනකාරී පාලනයක් වඩා බර තබන්නේ සිදුවීමට ම නොව එය විසින් ඇති කරනු ලබන බිය ගැන්වීම මගින් සමාජය හිරිවැට්ටවීමට ය.
කාටූන්කරුවන්ගේ බලය තේරුම් ගත් හිට්ලර් ඔවුන්ට බොහෝ බිය වූ බව කියනු ලැබේ. එබැවින් දෙවන ලෝක යුද්ධයට පෙර හිට්ලර් මුග්ධයකු ලෙස චිත්‍රයට නැගූ බ්‍රිතාන්‍යයේ ඊවිනිං ස්ටෑන්ඩර්ඩ් පුවත් පතේ කාටූන් ශිල්පි ඩේවිඩ් ලෝ නාසි වධක පොලීසිය වූ ගෙස්ටාපෝවේ මරණ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.
ආර්ට් බුච්වල්ඩ් නම් ප්‍රවීණ තිරු රචකයා කියන්නේ “වාමංශිකවුවත් දක්ෂිණාංශිවුවත් අඥාදායකයින් පරමානු බෝම්බවලටත් වඩා දේශපාලන කාටූන්කරුවන්ට බිය” වන බව ය. දේශපාලන කාටූන හෝ එවැනි පොස්ටර් ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෝමීටර වැනි යැයි කියනු ලැබේ. අඥාදාකයින් රජකරන කළ ඒවා මිය යයි. 1970 ගණන් හි ආජන්ටිනාවේ ‛අපවිත්‍ර යුද්ධයේ’ අතරතුර හෙක්ටර් ඔයෙස්ටර්හෙල්ඩ් නම් කාටූන්කරු මිලිටරි ජුන්ටාව පරසක්වළ ජීවීන් ලෙස පින්තාරු කළේ ය. 1976 දී ඔහු සහ ඔහුගේ දියණියන් සිව්දෙනාම අතුරුදහන් කරන ලදී.
ජනාධිපතිවරයා හිට්ලර්ට ඇන්දවූ පොස්ටරයක් මුද්‍රණය කල තරුණ මුද්‍රණකරු සහ මුද්‍රණාල සේවක පිරිස අත් අඩංගුවට ගැනීමෙන් සහ දීර්ඝ කාලීන රඳවා තැබීමේ නියෝග නිකුත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ අප රටත් ඒ කරා ගමන් කරමින් තිබෙන බවක් ද?