ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි. මේ වෑයම, ජනාධිපති ක්‍රමය පටන්ගත් දා සිටම, එනම්, 1978 සිට එක දිගටම සමාජ සංවාදයට භාජනය වී ඇති කාරණයකි. ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතුව ඇතැයි කීවේත්, එම ජනාධිපති ක්‍රමය පටන්ගැනීමටත් පෙර පටන්ම ඊට විරුද්ධව හඬනැඟුවේත් ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයයි. කොටින්ම, එදා ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය හැරුණුකොට අනෙක් සියලූ පක්ෂ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පෙනී සිටියේය.

ජනාධිපති ක්‍රමය ඇති වීමෙන් පසුව, එහි පාදඩ ගතිය බහුලව අත්විඳීමට අපට අවස්ථාව ලැබුණි. ඒ අනුව, මේ ක්‍රමය අහෝසි කරන බවට ඉතා සංයුක්ත ආකාරයක ජනමතයක් 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් වකවානුවේ ගොඩනැඟුණි. ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ එම තරඟයෙන් ඉවත් කරගැනීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක ඔවුන්ට ලිඛිත පොරොන්දුවක් පවා දෙමින්, තමා බලයට පත් වූ පසුව එම ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥවක් දුනි.

එදා පටන් සෑම ජනාධිපතිවරණයකටම ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාම මේ ක්‍රමය වෙනස් කරන බව කීහ. එසේ නොකීවේ, 2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ පමණි. ඒ වන තෙක්, මහින්ද රාජපක්ෂ දෙවරක්ද (2005 සහ 2010), රනිල් වික්‍රමසිංහ එක් වරක්ද (2005), සරත් ෆොන්සේකා එක් වරක්ද (2010), මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ තව වරක්ද (2015) මේ පොරොන්දුව මේ රටේ ජනතාවට දී ඇත. ඉතිරි පක්ෂ සියල්ලමත්, ඉතිහාසයේ විවිධ අවස්ථාවල මේ පොරොන්දුව දී තිබේ.

මේ මුළු කාලය පුරාම, ජනාධිපති ක්‍රමය අහෝසි කරමියි පොරොන්දු වූ රනිල් වික්‍රමසිංහ, කිසි දවසක ඒ පොරොන්දුව නොදුන් ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට අද පත්ව සිටී. රනිල් වික්‍රමසිංහ මුල පටන්ම කියමින් සිටි පරිදි මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ මොහොතේ ඔහු සමග එකඟත්වයකට පැමිණ ඇතැයි කියන්නේ, ඒ පොරොන්දුව නොදුන් එකම කඳවුරට අයත්, ගෝඨභය රාජපක්ෂගේ ‘පොහොට්ටුවේ’ මැති ඇමතිවරුන් ය.

මෙය සැබෑවක් නම්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ අහෝසි නොකිරීම යන ප්‍රතිවාදී මතවාද දෙක එකක් බවට පත්ව තිබෙන අසිරිමත් මොහොතකි මෙය. එය, ඕනෑම වියදමක් දරා අල්ලාගත යුතු මොහොතක් බව කිව යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඒ සඳහා දැන් වැය කිරීමට ඉඩ ඇතැයි කියන ඕනෑම දේශපාලනික වියදමක්, මේ දක්වා ඒ ක්‍රමය නඩත්තු කරගෙන ඒම සඳහා ගෙවා ඇති දැවැන්ත දේශපාලනික වියදමට වඩා මොන විදිහකින්වත් වැඩි වියදමක් විය නොහැකි බැවිනි.

එසේ නොකළොත්, තවත් පරම්පරා ගණනක් විධායක ජනාධිපති ක්‍රමයේ නීරස පල භූක්ති විඳීමට ඉරණම් කොටාගන්නා ජනතාවක් බවට අප පත්වනු නොඅනුමානයි.

ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ සැලකිල්ල යොමු කෙරෙන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, පසුගිය නිදහස් දවසට කලින් (2023 පෙබරවාරි 4 වැනිදාට කලින්) මේ රටේ ‘ජාතික ප්‍රශ්නය’ විසඳීමට තමන් කටයුතු කරන බවට ප්‍රතිඥ දුන් රනිල් වික්‍රමසිංහගේ මෙවැනි කතාවක් අප භාරගත යුත්තේ කෙසේද යන්නයි. දෙවැන්න වන්නේ, ඔහු සහ ‘පොහොට්ටුව’ සත්භාවයෙන් මේ කටයුත්තට අතගසන්නේ නම්, ඊට එරෙහි වීමට විපක්ෂය යොදාගත හැකි තර්ක විතර්කවල ස්වභාවය කුමන ආකාරයේ එකක් විය හැකිද යන්නයි.

මුලින්ම, ජනාධිපති ක්‍රමය අහෝසි කරගත්තොත් එය මේ අවස්ථාවේ තමාට කුමන ආකාරයකින් බලපාවිදැයි රනිල් වික්‍රමසිංහ සිතනවාට කිසි සැකයක් නැත. ඔහු එවැනි අහෝසියක් සඳහා හිත හදාගනු ඇත්තේ, ඊළඟ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජයගැනීමේ කිසි ඉඩක් තමාට නැතැයි යන විශ්වාසයකට පැමිණියොත් පමණි. ‘මට නැති දේ අනිත් එවුන්ටත් නොදෙමි’ ය යන පටු චේතනාවෙන් ඔහු මේ වැඬේට අතගැසුවත්, මේ ලියුම්කරු ඊට සහයෝගය දක්වනු ඇත.

නෙල්සන් මැන්ඬේලා සහ උරුගුවේ හිටපු ජනාධිපති හෝසේ මුහීකා ඇතුළු කිහිප දෙනෙකු හැරුණුකොට, හුදු ආත්මාර්ථය පසෙක ලා වැඩ කර ඇති නායකයන් මෑත ඉතිහාසයෙන් අපට සොයාගත නොහැක. ඒ නිසා, යම් රාජ්‍ය නායකයෙකු හුදෙක් තමාගේ වාසිය සඳහාම හෝ රටේ අනාගතයට යහපතක් විය හැකි පරිවර්තනයක් කරයි නම්, එය සාදරයෙන් භාරගැනීමට අප පසුබට විය යුතු නැතැයි මේ ලියුම්කරු සිතයි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනිතියි විශ්වාස කිරීමට උගහට ය. ජනතාවගෙන් සහ සමාජයෙන් පැනනැෙඟන යහපත් අපේක්ෂාවන් ඔහු තමාගේද අපේක්ෂාවන් කරගත් ඉතිහාසයක් තිබුණි. එය, ‘යහපාලනය’ නමින් 2015 දී සංගෘහිත විය. ඒ ‘යහපාලනය’ මෛත්‍රීපාල සිරිසේනගේ සම-සහභාගීත්වයෙන් ඔහු අසාර්ථකත්වයට පත්කෙළේය. හරියට හෝ වැරදියට, ‘සිස්ටම් චේන්ජ්’ කිරීමට හෙවත්, ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමට තරම් දර්ශනයක් සහ දැඩි කැපවීමක් තිබූ අපේ අවසාන දේශපාලනඥයා ජේ. ආර්. ජයවර්ධන ය. විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත්, විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමත් වෙනුවෙන් තිරසාර අදිටනක සිටි ඔහු, සමාජයෙන් මොන තරම් විවේචන සහ විරෝධයන් ආවත් එක අඩියක්වත් පස්සට ගත්තේ නැත. රනිල් වික්‍රමසිංහට ඒ එඩිය නැත. එසේ හෙයින් මාමාගේ විධායක ජනාධිපති ප්‍රතිපත්තිය ආපසු හැරවීමට, උවමනාව ඇතත්, ඔහුට හැකි වෙතැයි සිතිය නොහේ.

කෙසේ වෙතත්, ඔහු එය අහෝසි කිරීම වෙනුවෙන් අවංකවම යෙදෙතැයි අපි උපකල්පනය කරමු: ජනාධිපති ක්‍රමය මේ විදිහටම තියාගත්තොත්, ඔහුට බලයේ සිටිය හැකි කාලය 2024 මැද භාගයෙන් පසු අවසන් වෙයි. මන්ද යත්, ඊළඟ ජනාධිපතිවරණය එම කාලය තුළ පැවැත්විය යුතු නිසා ය. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය ඊට කලින් අහෝසි කළොත්, විධායක අගමැතිවරයා වශයෙන් 2025 මැද භාගය අවසන් වන තෙක්, ඔහුට බලය මුදුණේ සිටිය හැකි වනු ඇත. මන්ද යත්, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය නියමිත වන්නේ 2025 මැද භාගයෙන් පසුව බැවිනි. ඒ දක්වා ඔහුට ලැබෙන මාස 10 ක් පමණ වන අමතර කාලය, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයකින් තමා ප්‍රමුඛත්වය දරණ සන්ධානයක් ජයගැන්වීම සඳහා වන පසුබිම සකස් කරගැනීමට ඔහුට උපයෝගී කරගත හැකි අමතර කාලයක් වනු ඇත.

දැන්, මෙවැනි ඉදිරි ක්‍රියාවලියකට කෙනෙකුට විරුද්ධ විය හැකි හේතු කවරේදැයි විමසා බැලීම වටී. මීට, සතියකට හෝ දෙකකට කලින්, යම් රැස්වීමක් ආමන්ත්‍රණය කළ ලාල් කාන්ත මේ ගැන කතා කෙළේය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂය විරුද්ධ නැතත්, රනිල් වික්‍රමසිංහ එය දැන් අහෝසි කිරීමට යන්නේ, ඊළඟ ජනාධිපතිවරණයක් තිබ්බොත් අනුර කුමාර දිසානායක මෙරටේ ජනාධිපති වන නිසා යැයි ඔහු කීය. එය ඇත්තක්ම නම්, ඒ හේතුව නිසාම, එවැනි අහෝසියකට තමන් විරුද්ධ වන බවක් ලාල් කාන්ත නොකීවත්, තමන්ගේ විරුද්ධත්වය වෙනත් කාරණා මත පදනම් කරගැනීමට ඔවුන්ගේ කැමැත්තක් ඇතැයි පෙනී ගියේය. අනුර කුමාර දිසානායක ඊළඟ ජනාධිපති වීම වැළැක්වීම අරමුණු කරගෙන රනිල් වික්‍රමසිංහ වැඩ කරන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම, අනුර කුමාර දිසනායක ජනාධිපති කරවීම අරමුණු කරගෙනම මේ අහෝසියට තමන් විරුද්ධ විය හැකි බවට ඇඟවීමක් ලාල් කාන්ත කෙළේද යන කුකුස, ඔහුගේ කතාව අසා සිටි කෙනෙකුට ඉතිරි වෙයි. එහෙත් ඔවුන් එවැන්නක් කෙලින් නොකියනු ඇත. ඒ වෙනුවට ඔවුන් කියනු ඇතැයි සිතිය හැකි තර්ක කිහිපයක් වෙනත් වේදිකාවල මේ දිනවල කියැවෙනු අසන්නට ලැබේ.

මහාචාර්ය ජී. ඇල්. පීරිස් මාධ්‍ය සාකච්ඡාවකදී මේ කාරණය ගැන යම් ප්‍රකාශයක් කෙළේය. ඔහුගේ ප්‍රධාන තර්කය වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනවරමක් වික්‍රමසිංහට ලැබී නැති බවයි. ඔහුගේ එම තර්කය දෙපැත්තකින් ප්‍රභවය ලබන බවක් පෙනී යයි. එකක් වන්නේ, ජනාධිපති වීමටවත් රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැති බවයි. දෙවැන්න වන්නේ, රනිල් වික්‍රමසිංහ අද හොබවන ජනාධිපති තනතුරේ මුල් අයිතිකාරයා වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති මාලාව තුළ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් පිළිබඳ කිසි සඳහනක් නොතිබුණු බවයි. ඒ කාරණා දෙකම සත්‍ය බව ඇත්ත. එහෙත්, කෙනෙකු ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම්, විශේෂයෙන් ඒ පුද්ගලයාගේ එකී අහෝසි කිරීමේ අභිමතය වෙනුවෙන්, දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂගේ පාක්ෂිකයනුත් එකඟ වන්නේ නම් සහ අභිප්‍රේරිත කාරණය වන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රටට වැඩදායක නම්, ජී. ඇල්. පීරිස් කියන කර්තෘගේ ‘සුජාත භාවය’ හෝ ‘ජනවරම’ ඊට බාධකයක් කරගත් යුත්තේ මන්දැයි සිතාගත නොහැක. අද රනිල් වික්‍රමසිංහ කරන කිසි කර්තව්‍යයකට, උදාහරණයක් වශයෙන් ඉහළ බදු ප්‍රතිපත්තියට, ‘ජනවරමක්’ ලැබී නැත. ගෝඨාභය රාජපක්ෂගේ ‘ජනවරම’ තුළ තිබුණේ, එහි අනිත් පැත්ත වන, බදු කප්පාදුවයි.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකට විරුද්ධ නැති මුත්, ඊට සහාය දීමට නම් එය යම් කොන්දේසියකට යටත් කළ යුතු බවටත් අදහසක් ඉදිරිපත් කෙරේ. එනම්, ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම්, ඒ සමගම පාර්ලිමේන්තුවත් විසුරුවා හැර අලුත් මැතිවරණයක් කැඳවිය යුතු බවයි. ඒ තර්කයේ යම් බරක් තිබේ. එහෙත්, එවැන්නකට ජනාධිපතිවරයාවත්, පාර්ලිමේන්තුවේ බහුතරයවත් කැමති නොවනු ඇත. ඒ අර්ථයෙන් ගත් විට එය ප්‍රායෝගික ඉල්ලීමකැයි සැලකිය නොහැක. එයින් සිදුවන්නේ, විධායක ජනාධිපති ක්‍රමය තවත් චිරාත් කාලයකට මේ රටේ දේශපාලනය තුළ අරක්ගැනීමයි.

ඒ වෙනුවට, මෙසේ සිතීමට මා කැමති ය: ගෝඨාභය රාජපක්ෂගේ පරිප්පුව අපි තවමත් කමින් සිටිමු. ඒ, එක්තරා ‘ජනවරමක්’ නිසා ය. එය, එනම් වර්තමාන පාර්ලිමේන්තුව අවසන් වෙන්නේ 2025 මැද භාගයේ ය. ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට, ඊළඟ ජනාධිපතිවරණයකට ගොස් විපක්ෂයේ යම් නායකයෙකු ඉන් ජයග්‍රහණය කළොත්, ඉහත කී කාලයට කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වන බවත් සැබවි. එසේ නොවී, ජනාධිපති ක්‍රමය අහෝසි කොට, වර්තමාන ජනාධිපතිවරයා යටතේම, එනම් ඔහු විධායක අගමැතිවරයා වී, මේ පාර්ලිමේන්තුව එහි ව්‍යවස්ථානුකූල කාලයේ අවසානය දක්වාම ගියත්, එය අමතර මාස 10 ක කාලයක් පමණි. ඒ දක්වා ඉවසා සිටීම, ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම වෙනුවෙන් අප ගෙවිය යුතු ‘මිල’ විය හැකිය. ඒ ‘මිල’ මේ අවස්ථාවේ නොගෙව්වොත්, ජනාධිපති ක්‍රමය දිගටම තියාගැනීමෙන් ගෙවිය යුතු ‘අධික මිල’ තව දශක ගණනාවක් අපේ කර මතට පැටවෙනු ඇත. (දැනටමත් දශක පහ හමාරක් අප එය කර තියාගෙන විත් තිබේ).

එබැවින් විපක්ෂය මේ අවස්ථාවේ, සංයුක්ත දේශපාලනික අර්ථයකින් මේ ප්‍රශ්නය දිහා බැලිය යුතුය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යන්නේ, හුදෙක් රටේ නායකත්වයේ වැඩි කාලයක් වැජඹීමට ඔහුගේ ඇති අවශ්‍යතාව සඳහාම යැයි අප තර්ක කරන්නේ නම් සහ ඒ තර්කය මත පදනම් වෙමින් මේ ක්‍රමය අහෝසි කිරීම වැනි රටට වැඩදායී දෙයකටත් අප විරුද්ධ වන්නේ නම්, එම තර්කයේම අනිත් පැත්තට ගියොත්, එසේ විරුද්ධ වන්නාගේ හුදු අභිලාෂය වන්නේද තමා අනාගතයේ ඒ තනතුරට පත්වීම සඳහා එම තනතුර නොකඩවා පවත්වාගැනීමේ රහස් අභිලාෂය යැයි තව කෙනෙකුට තර්ක කළ හැකි බවත් අප අමතක නොකළ යුතුය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda