[2024 ජනවාරි 1 වන දින ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද සරල හැදින්වීමක්‍්]

පනත් කෙටුම්පතේ අරමුණ

ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීම මෙන්ම එකී කොමිෂන් සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම නියාමනය සදහා විධිවිධාන සැලසීම මෙම පනතේ අරමුණ ලෙස කෙටුම්පතේ දක්වා ඇත.‍

සත්‍යය හා ප්‍රතිසංධාන කොමිෂන් සභා නීතියේ පසුබිම

2009 වර්ෂයේ දී අවසන්වූ තිස්අවුරුදු යුද්ධය සමයේ සිදු වූ සිදුවීම් පිලිබදව සත්‍ය කරුණු අනාවරණය කිරීම සදහා කොමිෂන් සභාවක් පත් කිරීමේ සදහනක් මූල් වරට කරලියට එන්නේ 2015 සැප්තැම්බර් මස ජිනීවා නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරයේදී සම්මත වූ “ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම” පිලිබද යෝජනාවලිය මගිනි,” එකී යෝජනාවේ ක්‍රියාත්මක පරිච්ඡේදයේ 4 වන අංකය යටතේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව “සත්‍ය සෙවීම සාධාරණත්වය ඇති කිරීමේ, ප්‍රතිසංධානය සහ නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීමේ කොමිෂන් සභාවක්” ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය එගකතාවය පලකර ඇති බවයි. එබැවින් මෙමැනි කොමිෂන් සභාවක් පිහිටුවීම සහ එය ස්වාධිනව පවත්වාගෙන යාම දේශීය වශයෙන් අවශ්‍යතාවයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාවේ වගකීම් ඉටුකිරීමක් ලෙස සැලකිය හැකිය.

කෙටුම්පත මගින් යෝජනා කරන සත්‍යය, සමගිය සහ ප්‍රතිසංධානය සදහා යාන්ත්‍රණය

මෙම කෙටුම්පත මගින් සත්‍ය, සමගිය සහ ප්‍රතිසංස්ධානය ඇති කිරීම සදහා ආයතන කිහිපයක් ස්ථාපනය කිරීමට යෝජනා කරනු ලබයි. ඒ අතරින් ප්‍රධානතම ආයතනය සත්‍ය, සමගිය සහ ප්‍රතිසංධානය පිළිබද කොමිෂන් සභාවයි. ඒ හැරුණ විට විශේෂිත යාන්ත්‍රණ සහ උපදේශකවරුන්, උපදේශක මූල මණ්ඩලය, කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කමිටුව යන ආයතන ස්ථාපනය කිරීමට අපේක්‍ෂා කරනු ලබයි,

සත්‍ය, සමගිය සහ ප්‍රතිසංස්ධාන කොමිෂන් සභාව

පනත යටතේ පිහිටුවනු ලබන ප්‍රධාන ආයතනය සත්‍ය, සමගිය සහ ප්‍රතිසංධානය හදහා වන කොමිෂන් සභාවයි. මෙම කොමිෂන් සභාව ස්ථිර කොමිෂන් සභාවක් නොවන අතර වසර 5ක කාලයක් සදහා පත් කරන කොමිෂන් සභාවකි. එහි කාලය තවත් උපරිම වසර දෙකකින් දීර්ඝ කිරීමේ බලය ජනාධිපතිට ඇත.

කොමිෂන් සභාවේ සාමාජිකයන් ගනන 7 දෙනෙකුට වැඩි වූ ද 21දෙනෙකුට අඩු වූ ප්‍රමාණයකින් සමන්විත විය යුතු අතර සියලූම සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් පත් කරනු ලබයි. කොමිෂන් සභාවේ රැස්වීම් ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර ඇතැම් විට පෞද්ගලිකතවයට, ජාතික ආරක්‍ෂාව, පෞද්ගලික ආරක්‍ෂාව වැනි කරුණු පිලිබදව සාකච්ඡාවන අවස්ථාවලදී එම සාකච්ඡාවලට සෘජු සබදතාවක් නොදක්වන පුද්ගලයන් ඉවත්කර රැස්වීම් පැවැත්වීමේ අයිතිය කොමිෂන් සභාවට ඇත.

කොමිෂන් සභාවේ කාර්යයන්

සත්‍යය, සමගිය සහ ප්‍රතිසංධානය සදහා වන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමේ අරමුණ කෙටුම්පතේ 12 වන ව්‍යවස්ථාවේ දැක්වේ. ඒ අනුව ර්‍ණ වෙනත් යම් ලිඛිත නීතියක විධි විධානවල කුමක් සඳහන් වුව ද, කොමිෂන් සභාව විසින්, 1983 සිට 2009 දක්වා වූ කාලසීමාව තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම අතරතුර දී හෝ ඒ හා සාධාරණ ලෙස සම්බන්ධව හෝ එහි ප්‍රතිඵලයක් ලෙස හෝ එහි පසු විපාක වශයෙන් ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක දී තැනැත්තන්ට හෝ දේපළකට සිදු වූ අලාභයකට හෝ හානියකට, ජීවිත හානියකට හෝ සිදුව ඇතැයි කියනු ලබන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට අදාළ පැමිණිලි හෝ චෝදනා හෝ වාර්තා සම්බන්ධයෙන් විමර්ශන කිරීම, පරීක්ෂණ පැවැත්වීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබිය යුතු ය.” යනුවෙන් දැක්වේ. ඒ අනුව මෙම පනත පැනවීමේ අරමුණ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම අතරතුර වූ සිදුවීම් සහ අසාධාරණයන් පිලිබදව සත්‍යය සෙවීමයි.

ඒ අනුව කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යය වනුයේ එකී කරුණු සම්බන්ධ වාර්ථාවක් රජයට ලබාදීමයි. එමගින් ශ්‍රී ලංකාවේ ජනතාව අතර, සත්‍යය පැවසීම, ජාතික සමගිය, සාමය, නීතියේ ආධිපත්‍ය, සහජීවනය, ඉවසීම සමග වූ සමානාත්මතාව හා විවිධත්වයට ගරු කිරීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම යන කරුණු අපේක්‍ෂා කරයි.

එසේම නැවත එවැනි සිදුවීම්, සිදුවීම වැළැක්වීම සදහා අවශ්‍යවන නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමත්, අදාල කාලය තුල කාන්තාවන් ට ළමයින්ට සහ ආබාධ සහිත තැනැත්තන්ට විශේෂයෙන් සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබදව වාර්ථාවක් ලබාදීම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමකි. එසේම ජනතාවට සත්‍යය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසීමත්. යුධ සමයේ සිදු වූ විවිධ මානව හිමිකම් උල්ලංඝණයන්, කෲර හා අමානුෂික වධහිංසාවන්, පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්, අවතැන් කිරීම් වැනි සිදුවීම් පිලිබදව විමර්ශණයකර වාර්ථාවක් ලබාදීමත්, ආගමික, වාර්ගික, භාෂාමය වශයෙන් සිදු වූ අසාධාරණකම් පිලිබදවත් ඒවා වැලැක්වීමට අදාල පරිපාලනමය වෙනස්කම් පිලිබදව නිර්දේශ ලබාදීමත් මෙම කොමිෂන් සභාවේ වගකීමකි.

කොමිෂන් සභාව ස්වාධින ආයතනයක් බවත් එය යම් තැනැත්තෙකුගේ හෝ අධිකාරියක විධානයකට යටත් නොවිය යුතු බවත් කෙටුම්පතේ දැක්වේ. එසේම මෙම පනතේ විධිවිධාන වෙනත් නීතියක විධිවිධාන අභිබවා ක්‍රියාත්මක වන බවද දැක්වේ.

කොමිෂන් සභාවේ බලතල

කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම් ඉටුකිරීම සදහා විමර්ශණ හා පරීක්‍ෂණ පැවැත්වීම මෙන්ම එම පරීක්‍ෂණ හා විමර්ශණ සදහා පුද්ගලයන් කැදවීම ලේඛණ හෝ වාර්ථා කැදවීමට මෙන්ම තොරතුරු ලබාදෙන ලෙස යම් යම් ආයතන වෙත නියෝග කිරීමේ බලය කොමිෂන් සභාවට පවතී. එවැනි කාර්යයන් සදහා කොමිෂන් සභාවට ප්‍රාදේශිය කාර්යාල පිහිටුවීමේ බලය පවතී. මෙම තොරතුරු ප්‍රසිද්ධියේ හෝ රහසිගතව ලබාගැනීමේ බලය කොමිෂන් සභාව සතුය.

සාක්‍ෂිකරුවන්ගේ සහ වින්දිතයන්ගේ ආරක්‍ෂාව

කොමිෂන් සභාවේ විමර්ශණ අතරතුර අවශ්‍ය පරිදී සාක්‍ෂිකරුවන්ට සහ වින්දිතයන්ට ආරක්‍ෂාව සැලසිම සහ හානිපූර්ණ නිර්දේශ කිරීමේ බලය මෙන්ම මනෝ සමාජයමය සහය ලබාදීම සදහා බලය කොමිෂන් සභාවට පවතී. මෙවැනි කටයුතු සදහා හානිපූර්ණත්ව කාර්යාලයේ සහ අපරාධ වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරිමේ ජාතික අධිකාරියේ සහය ලබාගැනීම් පිලිබදව ප්‍රතිපාදන කෙටුම්පතේ ඇතුලත්ව පවතී.

කොමිෂන් සභාව සිදුකරන්නේ අධිකරණ කටයුත්තක්ද?

කොමිෂන් සභාවේ විමර්ශණ හෝ පරීක්‍ෂණ අධිකරණ කටයුතු නොවන අතර කොමිෂන් සභාවේ කටයුතු අතරතුර අපරාධමය කරුණු සම්බන්ධයෙන් අධිකරණයේ සහය ලබාගැනීම පිලිබදව ප්‍රතිපාදන ඇතුලත් කර ඇත. එසේම කොමිෂන් සභාවේ කටයුතු සදහා පොලීසිය යොදාගැනීමේ හැකියාව ද කොමිසමට පවතී. කොමිෂන් සභාවේ නිර්දේශ මගින් කිසිවකු සිවිල් හෝ අපරාධ වගකීමක් නිශ්චිය කිරීමක් සිදු නොවේ. නමුත් කොමිසන් සභාවේ විමර්ශණ හා පරීක්‍ෂණ තුලින් රැස්කරගත් කරුණු මත නීතිපතිවරයාට නඩු පැවරීමේ හැකියාව පවතී. ඒ අනුව කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය අධිකරණ කටයුත්තක් නොවූවද එමගින් රැස්කරගන්නා තොරතුරු මත නඩු කටයුතු ආරම්භ විය හැකිය.

කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම

කොමිෂන් සභාව විසින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කෙටුම්පත මගින් ප්‍රතිපාදන සම්පාදනය කර ඇත. ජනාධිපති වෙත නිර්දේශ ලැබීමෙන් මාසයක් ඇතුලත ජනාධිපති විසින් පත්කරනු ලබන හා අධිකරණ, මුදල්, ආරක්‍ෂක, රාජ්‍ය පරිපාලන, ළමා හා කාන්තා කටයුතු, සමාජ සවිබලගැන්වීම් යන විෂය භාර අමාත්‍යංශවල ලේකම්වරුන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් පස් දෙනෙකුගෙන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කරනු ලබන රාජ්‍ය නිලධාරීන් නොවන පුරවැසියන් හය දෙනෙකුගෙන්ද මෙම කමිටුව සමන්විත වේ. කමිටුවේ නිලකාලය අගමැති විමසා ජනාධිපති විසින් තීරණය කරනු ලැබේ.

රාජ්‍ය ආයතන තුලින් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම මෙම කමිටුවේ වගකීම වන අතර සියලූ ආයතන මෙම කමිටුවට සහයෝගය ලබාදිය යුතුවේ.

සංක්‍රාන්ති යුක්තිය සහ සත්‍ය හා සංහිදියා කොමිෂන් සභා

තිස් අවුරුදු යුද්ධය සමයේ සිය ප්‍රියයන්ට සිදු වූයේ කුමක්ද? යන්න පළිබද දැනගැනීමේ අයිතියක් පවතී. එසේම නැවත එවැනි ඛේදවාචකයක් සිදු නොවීමට නම් සිදු වූයේ කුමක්ද? යන්න දැනගත යුතුය. අතීතයට ආමන්ත්‍රණය කිරීම කෙතරම් කටුක වුවද, ස්ථිර සංහිදයාවක් සදහා එය අවශ්‍යම ව්‍යායාමයක් බව බොහෝ රාජ්‍යයන් විසින් ඔප්පුකර ඇත. සත්‍ය හා සංහිදියා කොමිෂන් සභා, සංක්‍රාන්තික යුක්තියේ අනිවාර්යය අංගයක් වී ඇත්තේ එබැවිනි. යුද්ධය නිමවී වසර 14 කට පසුව වුවද මෙවැනි කොමිසමක් පත් කිරීම යුක්තිය ඉටුකිරීමේ වැදගත් පියවරකි. එය සාර්ථකව, අතීතයට ආමන්ත්‍රණය කිරීමක් බවට පත් කරගැනීමේ වගකීම රජයට පමණක් නොව සෑම පුරවැසියකුටම පවතී.

නීතිඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyana Arachchi