Featured Articles, Features, Kurunegala

ත්‍රස්තවාදියා එන්නේ කොහෙන්ද?

හෙක්ටර් අර්ස්ටිස්බාල් සමඟ සැන්දෑවක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

අන්ධකාර ශාලාව නිහඬය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප්‍රුර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හඬක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම් …. ආලෝක ධාරාව කලු රෙද්දකින් හිස සිට වසා සිටින හෙක්ටර් මත පතිත වෙයි. සතිය පුරා පැවැති වැඩමුළුවට එක්වූ සගයින් දෙදෙනෙකු ඒ හඬ දෝංකාර නංවයි.

“රාත්‍රී සුළඟ” ඇරඹෙයි. හඬ උච්ච වෙයි. ක්ෂණික නිහඩතාවය. “ත්‍රස්තවාදියා එන්නේ කොතැනින්ද?” ලොමු දැහැගැන්වෙන හඬින් අසන හෙක්ටර් සිය බඩ තුළ පහලින් ගර්භනීබවක් නිරූපනය වූ බැලුම එළියට ගෙන පා කර හරියි. කලු රෙද්ද ඔහු නැගී සිටි බංකුව මත අතුරමින් ඒ මත දිගාවෙයි.

හෙක්ටර් අර්ටිස්බාල් වියනාහි දින පහක් පුරා පීඩිතයාගේ රංගකලාව පිළිබඳ වැඩමුලුවක් පැවැත් වූයේ විකල්ප කණ්ඩායම් දෙකක ආරාධනයෙනි. එහි අවසන් දවස වූ පසුගිය 10වන සිකුරාදා ඔහු සිය ජීවිතයේ පැතිකඩක් වූ “රාත්‍රී සුළඟ” රඟ දැක්වීය. එම සැන්දෑව හඳුන්වා දුන්නේ වැඩමුළුවේ වඩාම වර්ණවත් සහභාගිකාවක වූ රෝදපුටුවක ගමන් කරන වේරා ය. අගේ රෝද පුටුවේ රෝද වසා රතු අකුරින් මෙසේ ලියා තිබුණි. ”dance ability˜ නැටුමට හපන්. ඒ disability නොහොත් අංග විකල යන අදහසට අභියෝගයක් පරිද්දෙනි. හෙක්ටර් රංගනය සඳහා ඇද සිටියේ එදා දවස පුරා වැඩ මුළුවට හැද සිටි දුඹුරු පැහැ ටී ෂර්ට් එක සහ ඩෙනිම් කලිසම ය. ඒකාංග රංගනය වැඩමුළුවේ එක් පුහුණුවක් වූ “කතා කීමේ කලාව” සමඟ එකට වෙලී තිබුණි.

“අව්රුදු 14දි මං හවානා රේඩියෝවට ලියුමක් යැවුවා, වේ ගුවේරාගේ ඔක්කොම ලිපි මට එවන්නැයි කියා” රතුපාට කඩදාසි රූනෙක් මගින් අභිනයෙන් ලියුමක් ලියූ හෙක්ටර් ප්‍රෙක්ශකාගාරයට රූනා පියඹා එවූයේ ය. “මාත් ඒ ලියුමේ කොපියක් ලඟ තියා ගත්තා”
“චේ.. චේ… චේ…., අප හැමෝම කතා කළේ ඒ ගැන” අපේක්ෂා සහගත සිනහමුසු මුහුණ. දුරින් අඩි තබා කැරෙන රංග නිරූපනය.

“1982 කොළෙම්බියාවේ ජනාධිපති දරුණු පාලනයක් ඇති කරා. සෑම කෙනෙක්ම සැක කරන මර්දනකාරී නීති පැනෙව්වා” හෙක්ටර් බඳවටා එතී තිබූ කලු රෙදිපටිය ගෙන එය කමීසයේ බෝ එකක් ලෙස සකස් කලේ නිමේෂයෙන්. දැන ඔහු ජනාධිපති. “කොම්යුනිස්ට්වාදී ත්‍රස්තවාදය පරාජය කිරිමට මට සහය වෙන්න. දෙවියන්ගේ බැල්ම ඇති අපේ දේශය රැක ගමු. සැක සහිත කෙනෙක් දුටුවොත් හඬක් ඇහුනොත් වහාම ආරක්ෂ අංශ වෙත වාර්තා කරන්න. මං හදිසි නීතිය පනවනවා ද්‍රෝහීන්ගෙන් රට රැක ගන්න.” ඒ ජනාධිපති හඬ.

හෙක්ටර් යළි හෙක්ටර්ගේ භූමිකාවට. “ඒ කාලේ මගේ බාල සහෝදරයා තවත් යාළුවො කට්ටියක් එක්ක විනෝද සංචාරයක ගියා. දුර ගමක, ඔවුන් නවාතැන් ගත්තා දේවස්ථානයක. ඔව්න් දේශපාලනය කතා කරනව දේවගැතිවරයාට ඇහුණ. ඔහු සිකුරිටියට කිව්වා. සිකුරිටිය පොලීසියට කිව්වා. පොලීසිය හමුදාවට කිව්වා. ත්‍රස්තවාදීන් අත් අඩංගූවට ගන්න හමුදා ට්‍රක්රථ ගම වට කරා. කොල්ලො ටික කුදලාගෙන අරන් ගියා” බියෙන් වෙව්ලන හඩින් හෙක්ටර් අපට පිටුපෑව. ඔහුගේ සගයින් දෙදෙනා පරණ බෙලෙක් ඉනිමඟක් බිත්තියට හේත්තු කරගෙන බියමුසු හඬක් නිකුත්වන සේ ඊට තට්ටු කරමින් සිටියා.

හෙක්ටර්ාගේ බඳ වටා එතී තිබූ කලු පටිය තුවක්කුවක් ලෙස දෑතින් ඇද ගැනුනි. “එළිවෙන ජාමේ අපේ ගෙදරත් වට කරා. වාඩිවෙයන්, අම්මා පැත්තකට තල්ලු කරා. සොල්දාදුවො අපේ කාමරේ සුද්දකරන්න ගත්ත. මේ මොකක්ද? ගරිල්ලන්ට සහාය දෙන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශණය. මේ මොකක්ද? හිර ගෙදරක ඉන්න ගැහුණු ජායාරූපයක්. අන්තිමේ දි මං වයස 14දි හවානාවට ලියපු ලිපිය. උඹේ මල්ලි උඹ ගැන ඔක්කොම කිව්ව. කියපන් ඇත්ත.” කලු රෙදි කඩින් දැන් හෙක්ටර්ගේ දෑස් බැද හමාරය.

සිය සහෝදරයා විප්ලවීය පොතපත කියවන බව හෙක්ටර් දැන සිටියේ නැත. ඔහු සිය කාමරයේ සැකයට බදුන් විය හැකි ලියවිලි කිසිවක් තබා ගත්තේ නැත. නමුත් ඔහුගේ බාල සොයුරා එම පොත කාමරයේ සඟවා තිබුණි. හෙක්ටර් ද ඒ රාත්‍රියේම හමුදා වධ කඳවුරකට ගෙන යන ලදී. “ලෝකයේ පැරණිම ත්‍රස්තවාදී පුහුණු කඳවුරේ ඒ කියන්නේ ඇමරිකාවේ පිහිටි ලතින් ඇමෙරිකානු හමුදා පුහුණු කඳවුරේ පුහුණු වී සිටි වධ කදවුරේ හමුදා ලොක්කා පිස්තොලය කණට තිබබා, ඩෝං” පේලියට තබා තිබූ බැල්මක් හෙක්ටර් පයින් පාගා පොඩි කරයි. ස්වේචජා සගයකු වටාස් හඩින් අත්පුඩියක් තලයි. “තවත් සොල්දාදුවෙක්,” කලු රෙදි පටිය යළි තුවක්කුවකි. තවත් බැලුමක් පිපිරේ. චටාස් අත්පුඩි තැලීමකි. බිත්තියේ ඇඳපු රූපවලට දිගටම වෙඩි. “චට පටාස්, චට පටාස්, චට පටාස්…..” ඒ හඬ සමඟ බෙලෙක් ඉණිමඟ සෙළවීමෙන් නැගෙන බොල් බියකරු හඬ එක්වෙයි.

හෙක්ටර්ට සිය මලයා දකින්නට ලැබුණේ නැත. වතුර බිඳක් හෝ නින්දක් හෝ නොමැතිව දවස් තුනක්ම සිටගෙන සිටීමට හෙක්ටර් බල කෙරුණි. අවසානයේ දී වතුර වතුර යැයි ඉල්ලු කළ තම හිස වතුර බාල්දියක ඔබා තැබු සැටි හෙක්ටර් නිරූපනය කරන්නේ කතාව ද කියන අතරම ය. වතුර ලැබුනේ නැත.

දරුණු වධ හිංසාවන්ට ලක් වූ දෙසොයුරන් වාසනාවකට මෙන් නිදහස් වන්නේ එම අවස්ථාවෙහි කොළොම්බියාවෙහි නිරීක්ෂන වාරිකාව නිරත වෙමින් සිටි අන්තර් ජාතික මානව හිමිකම් දූත මණ්ඩලයක් නිසා ය. වාමාංශික ගරිල්ලන්ට හිතවත්කම් දැක් වූ ඒ බාල සහෝදරයා වසර ගණනාවට පසු ආණ්ඩුවේ මිනීමරු ඝාතන කල්ලි විසින් අත්‍යන්තයෙන් ම බියකරු වූ වධ හිංසාවන්ට ලක්කර මරා දමන ලදී. වධ හිංසාවන්ට ලක් වූ ඔහුගේ සිරුර මිහිදන් කර සිය ජීවිතය බේරා ගැනීමට පලා ගිය ඇමෙරිකාවට ආපසු එන අතරතුර පළි ගැනීමේ මාවත ගනිම්දෝ නොගනිම්දෝ යැයි ඔහුගේ සිත පෙළෙන අවිනිශ්චිත මෙහොතෙහි සිය දරුවන් මෙනෙහි විමෙන් හෙක්ටර් වනගතවීම වෙනුවට රංගගත වීම තෝරා ගනී. සිය සහොදරයාගේ මරණය නිරූපනය කරමින් සිය රංගනය අවසන් කරන හෙක්ටර් යළි අසන්නේ මුලින් අපට ඇසුනු පැනය ම ය. “ත්‍රස්තවාදියා බිහිවන්නේ කොහෙන්ද?” මව්කුසයෙන් බිහිවන දරුවා ත්‍රස්තවාදියකු වන්නේ උපතින්ද? නැතනම් වධ හිංසා පැමිණ වීම නම්, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ද? ඔහු අපගෙන් නොඅසා අසන ප්‍රශ්ණය එය යි.

නාට්‍යය පුරා ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මෙන්ම ලොව පුරා පවතින වර්ගවාදී සහ ඒකාධිපති පාලනයන් උග්‍ර විවේචනයට හසු කරන ‛රාත්‍රි සුලඟ’ අත් අඩංඟුවෙහි දී වධ හිංසා පැමිණ වීම තේමා කරගත් පැය බාගයකට නොවැඩි ඒකාංග රංගනයකි. එහි වැදගත්ම පියවර එළඹුනේ රංගනය අවසානයේ දී ය.

“හැමෝම වේදිකාවට එන්න” යැයි කැඳවූ හෙක්ටර් ගතික භාවනා අභ්‍යාසයකට අප හැම යොමු කළේ ඇඟමැලි කඩා හිරි යැවීමට මෙන්ය. අනතුරුව ඔහු හැමට සිය රංගනයේ දුටු පණිවිඩයට ප්‍රතිචාරයක් අභිනයෙන් දක්වන සේ ඉල්ලා සිටියේ ය. විවිධ ප්‍රතිචාර මතුවිය. කේන්තිය, කණගාටුව, පළිගැනීම, නැගී සිටීම, සාමුහිකත්වය, අයාචනය, මරණය, සටන්කාමිත්වය යනාදී ලෙසිනි. ඊළගට එම ප්‍රතිචාරයට මහ හඬක් එක් කරන ලෙස ඉල්ලීමකි. වැඩිම නැගී ආ හඬ වූයේ “කවදාවත් එපා“ Never again හඬ ය. මම ඈත බලාගත් අපේක්ෂා සහගත අභිනයකින් යුතුව කෑ ගැසුවෙමි: “කවදා හරි දවසක” දෙවනුව හෙක්ටර් අප සියයක් දෙනා දෙකොටසකට බෙදා සාමූහික ඉරියව්වන්ට යොමු කර අනෙක් පාර්ශවයේ වධහිංසා විරෝධී අභිනයන් අර්ථ නිරූපනයකට ලක් කරන සේ කියා සිටියේ ය. ප්‍රේක්ශාගාරය මනුෂ්‍යත්වය උදෙසා වූ දේශපාලන වේදිකාවක් බවට පත් විය. අප හැම එකම අරමුණකට නොදැනීම බැදුණි.

හෙක්ටර් සිය අප්‍රිකානු බෙරය වයමින් සිය රංගනයේ උපත සිදුවූයේ ඉරාකයේ අබු ගිරාබ් සිරකඳවුරේ වදහිංසා විරෝධී හැගීමෙන් බවත් තමා සිය ගමන් මල්ල පමණක් රුගෙන ගොස් මෙම ඒකාංග රංගනය පවත්වන සැටිත් ගායනයක් වැනි කතාවක් රාත්‍රී සුළඟට මුසු කළේ ය. ‛අපට අවශ්‍ය නිර්මාණශීලී සිතීමක් ෆැන්ටසි නොවෙයි’ කියූ ඔහු කලාව මගින් යුක්තියේ පණිවිඩය ගෙන යන්නේ කෙසේද යන සාකච්ජාව ගොඩ නැගුවේ තව තවත් ක්‍රියාකාරකම් තුලිනි.

ඉන් එක් ක්‍රියාකාරකමක් ලෙස අප කණඩායමකට මැෂිමක් සේ අතපය හැසිරවීමට කියූ හෙක්ටර් මැෂිමට අණ දුන්නේ “මැෂිම වේගයෙන්, මැෂිම අඩනවා, මැෂිම සතුටෙන් ලෙසිනි. එකවරම මැෂීම ඉරාකයට යනවා දැන් ඉරාකයෙන් එනවා යැයි ලද නියෝගය අප කණ්ඩායමට අභියෝගයක් ගෙන ආවේ ය. ඉරාකයට යන් මැෂිම බෝමබ හෙළමින් වෙඩි තබමින් ගිය අතර ආපසු එන අතර මිය ගිය සොල්දුවන් ගෙන එනු නිමේෂයකින් නිර්මානය විය. මට ඒ නියෝගය ඇසුණේ වන්නියට යනවා වන්නියෙන් එනවා ලෙස ය.

අප්‍රිකානු බෙරවාදනයට පා තැබූ කෙටි නමුත් විමුක්තිදායක නැටුමකින් සිත් සැහැල්ලු කරගත් අප විසිර යන අතර හෙක්ටර් ගේ දෑත ගෙන “ ඔබේ අත් දැකීම මගේ අත්දැකීම යි, වධහිංසා වින්ද, මරණ අත් දැක්ක, හිරේ ගියා, මරණයෙන් බේරෙන්න පිටුවහල් වුනා…” යැයි කියත්ම හැගුම්බරව තිබූ අපේ සිත් විසින් දෑස් තෙත් කරනු දුටු අපි දුරස් වූයෙමු. සීතල වෙමින් තිබූ වියනා හී රාත්‍රී සුළඟ වෙත පා නගන මගේ දෙසවන්හි හෙක්ටර්ගේ උණසුම් වචන දොංකාර දුන්නේ ය.brothers are together, where ever we are “කොහේ හිටියත් අපි සහෝදරයින් එකට’‛.