Colombo, Featured Articles, Features

‘ජාතික වීරයකුගේ’ ගමන වැලිකඩින් අවසන් වීම හෙවත් මියගිය ‛සමාජ හෘද සාක්ෂිය’


සනත් බාලසූරිය

මාස දහසයකට(16) පෙර ‛දෙමළ ත්‍රස්තවාදියා’ පොළුගසා උතුරු ලක ‛දිග්විජය’ කළ ‛ජාතික වීරයා’ අද සොරුන්, මංපහරන්නන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ සිටිය දී, එවැන්නන් වෙනුවෙන් සෑදූ සිර කුටියක මාස තිහක පදිංචිය සඳහා දක්කනු ලැබ සිටී. හෘද සාක්ෂියේ සීයෙන් අනූ නව පංගුවකට වඩා මැරී ගිය ලාංකේය සමාජය, සමාධියට සමවැදී එදෙස බලාසිටී. හෘද සාක්ෂිය මරාගැනීමට එකඟ නොවූ නිසා පිටුවහලක බැඳුණු අපි, මේ මොහොතේ ද අපේ හෘද සාක්ෂිය පොල්කට්ටෙන් වසා තැබීමට අසමත් වෙමු.

උතුරේ දෙමළ ජනතා නැගිටීම යුද්ධයෙන් තලාදැමීම වෙනුවට ඊට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබුණේය යන්න අද පවා පිළිගන්නා අති දුර්ලභ ශ්‍රී ලාංකිකයන් අතලොස්සට අයත් අපි, සරත් ෆොන්සේකා යුද හමුදාපතිව හිඳිමින් උතුරේ යුද්ධය සම්බන්ධයෙන් කළ මැදිහත්වීම ‛වීරකමක්’ ලෙස නොසලකන්නෝ වෙමු. එදා ලාංකිකයන් අති බහුතරයක් ඔහු ජාතික වීරයකු වශයෙන් වන්දනාමාන කරමින් සිටියදී ම, හමුදාපති වශයෙන් ඔහු උතුරේ යුද්ධයේ දී කළ කී දෑ ගැන මෙන් ම ඔහු ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම ගැන ද ප්‍රසිද්ධ විවේචනයන් ඉදිරිපත් කළ අතලොස්සට ද අපි අයත් වෙමු. උතුරේ යුද්ධයේ සිදුවූ යුද අපරාධ ගැන තවම විධිමත් ව සොයාබැලී ඒවාට වගකිවයුත්තන් හෙළිදරව් වී නොමැති තත්ත්වයක් තුළ වුව, අවම වශයෙන් දකුණේ ජනමාධ්‍යවේදීන්ට පහර දීමේ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු ය යන්න අපගේ තක්සේරුවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ගමන පරාජය කළ යුතුය යන ස්ථාවරය දරමින් ම වුවත්, ඉහත විස්තර කළ සරත් ෆොන්සේකා පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමෙන් රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආ හැකියයි කිසිසේත් විශ්වාස නොකළ අතලොස්සට ද අපි අයත් වෙමු. දේශපාලන වශයෙන් ඉතාම ළාමක හා බරපතල ලෙස වැරදි සහගත එම තීරණය, එයින් වසර හතරකට පෙර මහින්ද ජනාධිපති කරවීමට උගුර ලේ රහ වෙන තුරු කෑ ගසා සිව් වසක් ඇවෑමෙන් ගොඩ ආ නොහැකි දේශපාලන අර්බුදයක ගිලී සිටි ජවිපෙට හෝ තවත් වතාවක් පරදින ජනාධිපති සටනකට ගොස් පක්ෂ නායකකමටත් තට්ටු කරවාගන්නේ නැතිව ඉන්නේ කෙසේදැයි සිතමින් එල්ලෙන්නට මොකක් හෝ වැලක් හොයමින් සිටි රනිල්ටත් පමණක්ම ගැලපෙන තීරණයක් මිස රටේ අනාගතයට කිසිසේත් ම සුබදායක තීරණයක් නොවීය යන්න ඒ මොහොත වන විට හඬක් නැතියවුන් බවට පත්කර සිටි අප ගේ තක්සේරුව විය.

‛‛සටන අත් නොහරිමි’’

තමන්ට එරෙහිව යුද්ධාධිකරණ තීන්දු ලබාදෙන විට රටට ප්‍රජාතන්ත්‍රවාදය අත් කර දී මිස සිය සටන අත් නොහරින බව ෆොන්සේකා ප්‍රකාශකරන විට එය ද යන්තමටවත් විශ්වාස නොකරන්නන් ගේ අතලොස්සට ද අපි අයත් වෙමු. ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන දීමේ සටනට නායකත්වය දීමට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් නැති සරත් ෆොන්සේකාට හැකියාවක් ඇතැයි අපි කොහෙත් ම නොසිතමු යම් හෙයකින් ඔහු අතට රටේ සුක්කානම ලැබුණොත්, ඒකාධිපතිත්වය දෙසට සිදුවන මහින්ද ගේ ගමනට සමාන්තර එහෙත් මහින්ද ගේ මොඩලයට වෙනස් මොඩලයක් ඔහු යටතේ ක්‍රිියාත්මක වෙතැයි යන්න අපේ නිගමනය යි. අපට අනුව ගමන් දෙකේ ම දිශානතිය වැටී ඇත්තේ එක ම ඉලක්කයක් වෙත ය

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් එවැනි ස්ථාවරයක් දරමින් වුව, ඔහුට එරෙහි ව ක්‍රියාත්මක වූ ‛කැලෑ අධිකරණ’ යන දරදඬු වදනින් හැඳින්වීම වැරැදි නොවන යුද්ධාධිකරණ දෙකකින් ඔහු වැරදිකරු කොට දඬුවම් පැමිණවීම කිසිසේත් ම සාධාරණ නොවන බව ප්‍රසිද්ධියේ කියාසිටින අතලොස්සට ද අපි අයත් වෙමු. (මෙම ක්‍රියාවලියට විරුද්ධ වන විශාල ජනකායක් සිටින බව සැබෑ මුත්, ඔවුන්ගෙන් අති බහුතරය සරත් ෆොන්සේකා ජාතික වීරයකු ලෙස සලකන්නන් බැවින් ඔවුහු අප ගේ සුළුතර කුළකයෙන් වෙනස් වෙති) ඔහුට එරෙහිව පනවා ඇති දඬුවම දඟගෙයි ලෑමද, තරුපටි ගැලවීමද, පදක්කම් ඉදිරීමද, පැන්ෂන් අහිමි කිරීමද, හමුදා සේවයෙන් අගෞරවාන්විත ව නෙරපීමද යන්න අපට මෙහි දී එතරම් ම අදාළ නොවේ. (ගෞරවාන්විත රාජ්‍ය හමුදාවක්’ යන මිත්‍යාවට ද එකඟ නොවන සුළුතරයට අපි අයත් වෙමු) අපගේ විරෝධය එල්ල වන්නේ කිසිදු නීතිමය සම්ප්‍රදායයකට හෝ සදාචාරයකට නොගැපෙන ‛අධිකරණ’ යයි හඳුන්වාගත්, තීන්දුව කලින් නිශ්චිත කොට එය තහවුරු කිරීමට ඇටවූ අනීතික උගුලක් ඔස්සේ ඔහු වැරැදිකරු කිරීම නමැති සමස්ථ ක්‍රියාදාමයට ය.

යුද්ධය නමින් උතුරේ සිදු වූ ක්‍රියාදාමය තුළ හෝ එම ක්‍රියාදාමයට මුවා වී ෆොන්සේකා විසින් කරන ලද නීති විරෝධි කටයුත්තක් වේනම්, වෙනත් ඕනෑ ම අනීතික ක්‍රියාවක යෙදුණු පුද්ගලයකුට සිදුවිය යුතු පරිදි ඒ සම්බන්ධයෙන් පිළිගත් නීත්‍යානුකූල රාමුව තුළ ලබාදෙන සාධාරණ දඬුවමක් ගැන ද අප ගේ කිසිදු අරෝවක් නැත. (එවැනි නීත්‍යානුකූල රාමුවක් රට තුළ ඉතිරිව ඇතිද, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධූරය වටා තවතවත් බලය ඒකරාශී කිරීමෙන් අනතුරුව එවැනි කිසියම් හෝ රාමුවක් රටතුළ පවතිනු ඇති ද යන්න වෙන ම කාරණාවකි) එහි දී ෆොන්සේකා යනු සාමාන්‍ය පුරවැසියකු නොව ‛රට බේරාගත් ජාතික වීරයෙකි’, එබැවින් ඔහු සම්බන්ධයෙන් වෙනස් ආකාරයකට සැලකීම අවශ්‍යයි’ වැනි ‛මනස්ගාත’ අපට අදාළ නොවේ.

නිල ඇඳුමේ දේශපාලනය

‛පළමු යුද්ධාධිකරණය’ නමින් හැඳින්වූ ආකෘතිය විසින් සරත් ෆොන්සේකා වැරැදිකරු කර ජනාධිපතිවරයා ගේ අත්සන සහිතව දඬුවම් ලබා දුන්නේ ඔහු හමුදා නිල ඇඳුම සහිත ව දේශපාලනයේ නියැලුණේ ය යන චෝදනාවට ය.

මෙම චෝදනාවේ විසුළුකාරී ස්වරූපය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. රටේ සිවිල් නීති රාමුව තුළ ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලීමේ නෛතික හැකියාව නැති රජයේ නිලධාරියකු විය යුතු ආරක්ෂක ලේකම්වරයා පසුගිය ජනාධිපතිවරණයේ දී පමණක් නොව, සිය පත්වීම ලද තැන් පටන් අද දක්වා ප්‍රසිද්ධ දේශපාලනට සිය බලය පාවිච්චි කරමින් මැදිහත්වෙයි. තේරෙන භාෂාවෙන් කිවහොත් තමන් ගේ අයියා වන රටේ ජනාධිපතිවරයා ගේ දේශපාලනය වෙනුවෙන් රාජ්‍ය සේවක සළුපිළිත් සමඟ එහි සම්පත් සියල්ල යොදාගනිමින් අමු නිරුවතින් ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.

සරත් ෆොන්සේකාගේ අනුප්‍රාප්තිකයා ලෙස හමුදාපති ධූරයට පත් ජගත් ජයසූරිය ද සිය පත්වීම ලද දින සිට මේ දක්වාත්, පසුගිය ජනාධිපතිවරණයේ දී සිය ගුණයක ජවාධිකකමකිනුත් සිය සේනාධිනායකයා ද, තම පත්වීම පිරිනැමූ පුද්ගලයා ද වන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා නිලඇඳුම තුළ හිඳිමින් ම අමු නිරුවතින් ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලෙයි. මහින්ද වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී හමුදා ඡන්ද හිඟාකෑමට ඔහු සිය නිල තනතුර උපයෝගී කරගත් හැටි ඇතැමුන්ට දැන් අමතක වී තිබෙන්නට පුළුවන.

අනෙකුත් අති බහුතරයක් ගුවන්, නාවික හා යුද හමුදා ප්‍රධානීන් ගේ ක්‍රියාකලාපය ද මෙයින් වෙනස් වනවා නම් ඒ ඔවුන් ගේ ධාරිතාවේ හා උපයෝගීතාවේ වෙනස්වීම මත ම පමණි. එහෙත් මේ කිසිවකුත් ‛නිල ඇඳුමින් ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදීමේ’ චෝදනාව මත කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් හමුවට පමුණුවා නැත. එසේ පැමිණවෙන්නේ ද නැති බව ඉර හඳ සේ විශ්වාස ය.

දෙවැනි ‛යුද්ධාධිකරණයෙන්’ ෆොන්සේකා වැරැදිකරු කළ චෝදනාවට අදාළ බැටරි, ලාම්පු ඇතුළු ලට්ට ලොට්ටවලින් සැදි බඩු ලැයිස්තුව හාස්‍යය ප්‍රියයන්ට නිර්දේශ කළ යුතුවූවකි. රජයේ නීතීඥයා ම කොමිසම හමුවේ පිළිගත්තේ ෆොන්සේකා සිය බෑනා ගේ සමාගමට එවැනි වාසියක් සලසා නැති බවත්, එම ටෙන්ඩරයේ අක්‍රමිකතාවක් සිදුව නැති බවත් ය. එහෙත් කලින් ලියා දී තිබූ තීන්දුව වරනැඟීම හැර වෙනත් දෙයක් තමන්ට පැවරී නැතිබව දත් ‛යුද්ධාධිකරණය’ සරත් ෆොන්සේකා චෝදනා සියල්ලට වැරැදිකරු කළේ ය.

හොරුන්ගෙත් හොරු

වසර තිහක යුද්ධයේ දී ටෙන්ඩර් පටිපාටියට පිටින් ලබාගත් එක ම ආවුද තොගය මෙය ද? නාවුක හමුදා මිලදී ගැනීම් ගැන පරීක්ෂා කිරීමට වත්මන් ජනාධිපතිවරයා ම පත් කළ උදලාගම කමිටු වාර්තාව කෝ? ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉන් නිර්දේශ වූ හමුදා ලොක්කන් අද සිටින්නේ කොහේද? ආරක්ෂක ලේකම් ගෝඨාභය සභාපතිත්වය දරන ලංකා ටෙක්නොලොජි සමාගමෙන් සිදුකළ මිලදී ගැනීම්වල තත්ත්වය කෙබඳුද? දූෂණ වංචා සම්බන්ධයෙන් කෝප් වාර්තාවෙන් චෝදනා ලැබ සාටකයේ එල්ලුණු දේශපාලකයන් දුසිම හමාර අද කෝ? මේ කිසිවක් හෘද සාක්ෂිය මියගොස් තිබෙන ලාංකේය සමාජය විසින් ප්‍රශ්න නොකරනු ඇත.
එසේ ම ‛යුද්ධාධිකරණ’ දෙකේ ම විනිසුරන් ගේ සුජාත භාවය සම්බන්ධයෙන් ෆොන්සේකා ගේ නීතීඥයන් මතුකළ නෛතික වශයෙන් බලවත් හා තර්කානුකූල විරෝධතාවන් ද කුණුකූඩයට යැවිණි. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන් ගේ බව දන්නා ශ්‍රී ලාංකිකයන්ට මේවා ද බරපතල ප්‍රශ්න නොවේ.

කෙසේ වෙතත් මාස දාසයකට කලින් ලෝකයේ හොඳම හමුදාපති ලෙස සිය සේනාධිනායකයා වූ ජනාධිපතිවරයා අතින් නියත විවරණ ලැබූ සරත් ෆොන්සේකා අද වැලිකඩ බන්ධනාගාරයේ කුඩා කාමරයක පැදුරු කඩමාල්ලක නිදයි.

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු අදහන්නේය යි පෙනෙන්නේ මෙය හුදෙක් පළිගැනීමක් කියා ය. තමන් ගේ ජනාධිපති පුටුවට අභියෝග කිරීම ගැන උපන් වෛරයෙන් මහින්ද ඇතුළු රාජපක්ෂවරුන් ඔහුට එරෙහිව දියත් කර ඇති දරුණු පළිගැනීමේ ක්‍රියාමාලාවක් කියා ය. සැබෑවකි. ෆොන්සේකාට එරෙහි මුළුමහත් ක්‍රියාදාමය ම නිරීක්ෂණය කරන විට ඒ තුළ එළිපිට ම ඇති උග්‍ර පළිගැනීමේ චේතනාව පහසුවෙන් හඳුනා ගත හැකි ය. එය අති භයංකර රෞද්‍ර පළිගැනීමකි. මාස තිහකට දඟගෙයි ලෑමෙන් ද මේ පළිගැනීමේ ක්‍රියාවලිය නිම වන්නේ නැත. ඔහුට එරෙහි නඩු පෝලිම තවත් දිග ය. ‛සුදු කොඩි’ නඩුව එකකි.
එහෙත් ලාංකේය බහුතරය දකින පරිදි මෙය පළිගැනීමක් පමණක්ද? අප ගේ තක්සේරුව එය එසේ නොවේය යන්න යි.

‛සුදු කොඩි’ පෙනීම

සරත් ෆොන්සේකා ලුහුබැඳ එන මෙම ඉරණම පසුපස ඇති පළිගැනීමට අමතර කාරණය, නැතිනම් වඩා ප්‍රමුඛ කාරණය, ෆොන්සේකා නිදැල්ලේ සිටීම රාජපක්ෂවරුන්ට තම හිසට ඉහළින් ලම්බක ව එල්ලෙන තියුණු කඩුවක් යට සිටීමක් වීම යි. විශේෂයෙන් මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ දෙබෑයන්ගේ හිස්වලට ඉහළින් මේ කඩුව එල්ලී තිබේ. එබැවින් ෆොන්සේකා නිදැල්ලේ සිටීම ඔවුන් දෙපළට මාරාන්තික භීතිකාවකි. එහෙයින් සැබෑ ලොවේ දී අයියා මල්ලී වූවාක් මෙන් ම, අයියා මල්ලී සේ සහයෝගයෙන් ෆොන්සේකාට වැඩේ දෙන්නට ද ඔවුන් දෙදෙපළට සිදුව තිබේ.

සරත් ෆොන්සේකා නිදැල්ලේ සිටියහොත්, ඔහු, විශේෂයෙන් ම ජාත්‍යන්තර තලයේ දී යුධ අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව චෝදනා නඟන්නට, ඒවා පරීක්ෂා කරන කොමිෂන් හමුවේ ප්‍රබල සාක්ෂිකාරයකු වන්නට ඉදිරිපත් වනු ඇත යන්න ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපති ප්‍රධාන මෙම ක්‍රියාදාමය පසුපස ඉන්නන් ගේ තක්සේරුව බව පෙනේ. එබැවින් ෆොන්සේකා නිදැල්ලේ සිටීම යනු ඔවුන්ට ජීවිතයත් මරණයත් අතර සටනකි. එබැවින් මොන උප්පරවැට්ටියකින් හෝ ඔහු ගේ නිදහස් පැවැත්ම අවසන් කළ යුතු ය.

ඔහු ගේ පාර්ලිමේන්තු ගමන ද මේ රාජපක්ෂ දෙබෑයන්ට හීන් දාඩිය දමන කාරණයක් වී ඇති බව හොඳට ම පැහැදිළි ය. පාර්ලිමේන්තු වරප්‍රසාද තුළ හිඳිමින් ඔහු ගේ මුවින් තම ජීවිත අනතුරේ හෙළන මොන මොනවා කියවෙනු ඇතිදැ යි මහත් භීතියක් ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයේ නැඟී සිටින වාරයක් වාරයක් පාසා මේ දෙබෑයන් පෙළනවාට සැක නැත. සන්ඩේ ලීඩර් පුවත්පතට කී සුදුකොඩි කතාව තමන් ගේ ජීවිත ඉදිරියේ වැනෙන සුදුකොඩියක් සේ මේ දෙබෑයන්ට පෙනීම පුදුමයක් විය නොහැකි ය. එබැවින් ෆොන්සේකා පාර්ලිමේන්තුවෙන් පමණක් නොව සමස්ත සමාජයෙන් ම ඉවත් කර තැබීම හැර මේ දෙබෑයන්ට කළ හැකි දෙයක් නැත. නීත්‍යානුකූලබව හෝ යුක්තිසහගත භාවය යන්න ගැන අබමල් රොනක් නොතකා එවැන්නක් කිරීමට අවශ්‍ය පාර, විධායක ජනාධිපති ක්‍රමය අභ්‍යාස කළ දශක තුනකට අධික කාලය තුළ අපූරුවට කැපී ඇත.

ඉතින් මෙය විවෘත ව පෙනෙන පළිගැනීමකට අමතරව අවම වශයෙන් මේ රාජපක්ෂ දෙබෑයන් ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් ලෙස වටහා ගැනීමට අපට සිදු වේ.

මියගිය හෘද සාක්ෂිය

ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් වෙනුවෙන් විරුද්ධවාදීන් සමඟ ගහමරාගන්නට යන ගමේ ගොඩේ උග්‍ර රාජපක්ෂවාදියා ගේ සිට, දෙන දෙයක් කාගෙන වෙනදෙයක් බලාගෙන සිටින අගමැතිද ඇතුළු කැබිනට් සාමාජිකයන් දක්වා වන හෘද සාක්ෂිය කියා දෙයක අවසන් හුස්ම පොද හෝ රැඳී ඇති සියල්ලන්, සරත් ෆොන්සේකාට එරෙහි ව සිදුකරනු ලබන මේ ක්‍රියාවලියේ ඇති දුෂ්ඨකම වටහාගෙන සිටිති. එහෙත් එය රහසකි. තමන්ගේ ම උඩු හිතටවත් දැනගන්නට නොතබන රහසකි.

එහි තේරුම නම් ලාංකේය සමාජයේ ඉතිරිව ඇති හෘද සාක්ෂියේ අංශුවත් සඟවාගන්නට බලකැරුණු තීන්දුවක් මෙම යුද්ධාධිකරණ මගින් ලැබී තිබේය යන්නයි. ලාංකේය සමාජයේ හෘද සාක්ෂිය මියගියේ දිගින් දිගට ම එය සඟවාගෙන සිටීමට සිදුවීමෙන්ම ය. එහි ඉතිරි අංශුවත් මේ සමඟ ම හෝ මිය යන්නේ නම්, හෘද සාක්ෂිය වදයක් හා බරක් වී ඇති ලාංකේය සමාජයට එය සැනසීමක් වනු ඇත.

දේශපාලන සිරකරුවන්

සරත් ෆොන්සේකා යනු මේ රටේ එක් දේශපාලන සිරකරුවකු පමණක් බව ද අවධාරණය කළ යුතු ය. යුද්ධයේ අවසන් අවධියේ දී ආරක්ෂක හමුදාවන්ට භාර වූ, අවම වශයෙන් දස දෙකනු වූ එල් ටී ටී දේශපාලන නායකයන්ට සිදු වූ දෙයක් අදටත් කිසිවකුත් නොදනී. තවත් අට දහසකට අධික එල් ටී ටී ඊ සාමාජිකයන්ය යි සැකකෙරෙන පිරිසක් ඉන්නේ කොහේද, ඔවුන්ට සිදුවන්නේ මොනවාද යන්න ද කිසිවකුත් නොදනී.

සරත් ෆොන්සේකා නම් දේශපාලන සිරකරුවාගේ මුහුණ අවම වශයෙන් ඡායාරූපයකින්වත් ලංකා සමාජයට දකින්නට ලැබෙයි. ඔහු කරන ප්‍රකාශ අදටත් අසන්නට ලැබෙයි. ඔහු ඉන්නේ කොතැනදැයි සාමාජය දනී. ඔහු ගේ බිරියට අදටත් ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන එන අයුරු දැකගැනීමට බන්ධනාගාර දොරකඩට යා හැකිය. (සියල්ලන්ට හොරෙන්, පස්සා දොරෙන් ඔහු බන්ධනාගාරයට ගෙන ඒම වෙනම කතාවකි) කොටින් ම ඔහු ගේ කතාව මාධ්‍ය මඟින් හෝ ලෝකය වෙත ගෙන යැවෙයි.

එහෙත් ඉහත කී එල්.ටී.ටී.ඊ දේශපාලන සිරකරුවන් ගේ තත්ත්වය කෙබඳු ද? අවම වශයෙන් ඔවුන් ගැන හාංකවිසියක් අසා තිබෙන්නේ ලාංකේය සමාජයේ කීයෙන් කීදෙනෙක් ද? ඔවුන් ඉන්නා තැනක් සිදු වූ දෙයක් ඔවුන් ගේ ඥාතීහු නොදනිති. ආණ්ඩුව පිහිටවූ ‛උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ හමුවේ මේ දෙමළ දේශපාලන සැකකරුවන් ගැන ඔවුන් ගේ ඥාතීහු මෙයින් දෙ සතියකට පෙර හැඬූ කඳුලින් කතා කළහ. අවම වශයෙන් ඒ කතාව ලෝකයා හමුවට ගෙන යාමට ජනමාධ්‍ය හෝ නොතිබිණි. ජාත්‍යන්තර මාධ්‍ය ඍජුවම ඒ වඅස්ථාවෙන් වාරණය කර තිබිණි. සරත් ෆොන්සේකා උණු කැවුම් සේ විකුණන දේශීය මාධ්‍ය මේ දේශපාලන සිරකරුවන් පිරිස සිය මාධ්‍ය අධිකාරයෙන් පිටමං කර දමා සිටී.

ඒ අතින් ගත් කළ සරත් ෆොන්සේකා ජනමාධ්‍ය අවකාශය තුළ හෝ වරප්‍රසාදිත දේශපාලන සිරකරුවෙකි. එහෙත් දහස් ගණනක් වූ මේ දෙමළ දේශපාලන සිරකරුවන්?