iMage: Lal Laxman

“2007 වසරේදී කුඩා දරුවෙකු ලෙස ‘මිග් ගනුදෙනුව’ යන වාක්‍ය ඛණ්ඩය ඇසු විට, මගේ පියාගේ පුවත්පතේ නැවත එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා වසර දෙකකටත් අඩු කාලයකට පසුව ඔහුගේ විවෘත මිනී වළට ඉහලින් සිටගන්නට වන මගේ ජිවිතයේ අඳුරුතම දිනය උදා වෙතැයි මම කිසිවිටෙකත් නොසිතුවෙමි. සන්ඩේ ලීඩර් පුවත්පත හරහා එකී මිග් ගනුදෙනුව හෙළි නොකළේ නම් ඔහු අදටත් ලේඛකයෙකු හැටියට කටයුතු කරමින්, අදටත් වැරදි හෙළිදරව් කරමින්, අදටත් පවතින බලවතුන්ට එරෙහිව නැගී සිටිමින් ජිවතුන් අතර සිටිය හැකි බව මට සේම එකී මිග් ගනුදෙනුවට අදාල සාක්ෂි සහිත සියල්ලන්ටම බොහෝ කලක සිට පැහැදිලිය. ස්වයං ධර්මිෂ්ඨ සහ උත්තරීතර සදාචාරාත්මක මහජන පෞරුෂත්වයක් මවා පානා පුද්ගලයෙකුගේ සැබෑ තත්වය හෙළිදරව් කිරීම අවදානම් බව මගේ පියා දැන සිටියේය. නමුත් ඒ අවදානම ඔහු ඔහුගේ රාජකාරිය ඉටු කිරීම නතර කිරීමට සමත් නොවීය.”

(here)

2009 ජනවාරි 08 වනදා කොළඹ අධිආරක්ෂක කළාපයකදී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග 2021 ජනවාරියේදී “මිග් ගනුදෙනුව | ලසන්ත ඝාතනය [‘මගේ පියා මිය යා යුතු යැයි නපුරු මිනිසුන් තීරණය කළේ මේ නිසා බව මම විශ්වාස කරමි.’] නමින් ලිපියක් ලියමින් පවසා සිටියා ය. ඔහුගේ ඝාතනයෙන් වසර 15කට පසුත් ශ්‍රී ලංකාවේ එතෙකේ මෙතෙක් බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට ලසන්තගේ ඝාතකයින් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි විය.

ඝාතකයින් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට වෙමින් ඇත්තේ කුමක්ද?

දැන් බලයට පත්වී ඇති මාලිමා ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රකාශ කරන ලද්දේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුලු මාධ්‍යවේදීන්ට එල්ල කරන ලද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණය යළි ආරම්භ කර ඉතා ඉක්මනින් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවය. නමුත් දැන් සිදුව ඇත්තේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ‘සැකකරුවන්’ නිදහස් කිරීමට තමන් නිර්දේශ කරන බවට නීතිපති පාරින්ද රණසිහ විසින් නියෝගයක් දීමයි. මේ පුවත මේ වන විට සමාජ කම්පනයක් බවට පත්ව තිබේ.

මේ පිළිබද ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවියට ලිපියක් ලියමින්, මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සදහන් කරන්නේ මෙවැන්නකි,

නීතියේ ආධිපත්‍යය මෙරට සමාජය තුළ පිහිටුවන බවට දේශපාලන ⁣වේදිකාවේ මර ලතෝනි දුන් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව පත් කරන ලද නීතිපති පාරින්ද රණසිංහ හා ජෝඩු දමා සිදු කරමින් තිබෙන මේ අශීලාචාර ක්‍රියා දාමය ගැන බහුශ්‍රැත සමාජය බරපතල කම්පනයට පත්ව සිටී.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්ති⁣ය හා ඒ හා කියවෙන අනු වගන්ති වල සදහන් වී ඇත්තේ නීතිපති වරයා සතු බලතල නිත්‍යානුකූල විය යුතු බවය.ඔහු ගේ බලතල වැඩිදුරටත් කිය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ශීර්ෂය යටතේ වූ 12 වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය යන ගලපා ගනිමිනි.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය බලය⁣ට පත් කරවීම සඳහා බොහෝ වෙහෙස වූ මිනිසුන් ලෙස අපට දැන් නිවැරිදි කර ගත යුතු ප්‍රශ්ණයක් තිබේ.ඒ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නීතිපතිවරයා විසින් ගෙන යන අශීලාචාර අවලස්සන හා අනීතික මැදිහත්වීම ගැන ජනපති අනුර කුමාර සහෝදරයාගේ ස්ථාවරය කුමක්ද යන්නය.අපට ඔහු ප්‍රශ්ණ කිරීමට පූර්ණ අයිතියක්ද තිබේ.

(here)

මාධ්‍ය සංවිධානවල විරෝධය

නීතිපතිගේ මෙම නිර්දේශය පිළිබද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, රටේ සිදු වූ බරපතල අපරාධවලට වගකිවයුත්තන්ට අනිවාර්යවයන් දඬුවම් පැමිණවීමට ජනාධිපතිවරණ වේදිකාවල සපථ කළ වත්මන් විධායක ජනාධිපතිවරයාවගන් අප ඉල්ලා සිටින්නේ එම අපරාධවල වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රවේ ස්වාධීන අධිකරණය ට ඇති බලයට බලපෑම් සිදු නොකරන ලෙසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාව හමුවේ තබන ලද පොරොන්දු අතර මේ බිහිසුණු අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට යුක්තිය ඉටු කිරීමද මූලික කරුණක් ලෙස සඳහන් විය. ලසන්ත ඝාතනය සිහිපත් කෙරෙන ජනවාරි 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සපථ කරනු ලැබුවේද මේ අපරාධවලට යුක්තිය ඉටු කරනු ලබන බවයි.

එවැනි පසුබිමක පාරින්ද රණසිංහ නීතිපතිවරයා පත්කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යැයි කියා ඇඟ බේරා ගැනීමේ හැකියාවක් වගකිව යුතු ආණ්ඩුවකට තිබිය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළ සිය නිවේදනයේ දැක්වෙයි.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය නිවේදනයෙන් පවසා සිටින්නේ, එම සැකකරුවන් නිදහස් කිරීම පමණකින් නොනැවතී ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන ලෙසත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ අත්සනින් නිකුත්ව ඇති ලිපිය සම්බන්ධයෙන් බරපතල සැකයක්ද අපට මතුව තිබේ.

ඒ කාලයක් මුළුල්ලේ ආණ්ඩු හැසිරවූ යටි ආණ්ඩු නැවතවරක් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත්ද යන බරපතල සැකය නිසාය.

එසේම මෙය නිදහස්, සත්‍යවාදී මාධ්‍යවේදීට සිදු කළ අනතුරු ඇඟවීමක්ද යන්න පිළි​බඳව ද මේ නීතිපති තීන්දුවත් සමඟ නැවත සිතා බැලීමට සිදුව තිබේ. යනුවෙනි.

කොළඹ විරෝධතා

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !”

ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් මුදා හැරීමට නිර්දේශ කිරීමට එරෙහි විරෝධතාවයක් අද(06) කොළඹ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විය. තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය ඇතුලු සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියේ ය. එහි එක් සටන් පාටයක සදහන් වූයේ, “බැහපිය දොට්ට දූෂිත නීතිපති’ යනුවෙනි.

නීතිපති විතරද? ඇයි ආණ්ඩුව?

අදාළ නිර්දේශය නිකුත් කර ඇත්තේ නීතිපතිවරයාය. එය සැබෑවකි. එම නිසා නිතීපතිවරයාගේ එම ක්‍රියාවට මාධ්‍ය නිදහස ඇතුලු මානව හිමිකම් අගයන සියලු දෙනා මේ වන විට විරෝධයක් දක්වමින් සිටින්නේය. එය සිදුවිය යුතු දෙයකි. නමුත් එහි තවත් පැත්තක් තිබේ. ඝාතනය සිදුකළ ආකාරය සහ තවත් විශාල තොරතුරු ප්‍රමාණයක් අධිකරණයේදී විභාගයට ගත් මෙවැනි ඝාතනයකට සැකකරුවන් නීතිපතිගේ තනි කැමැත්තෙන් පමණක් නිදහස් කිරීම සදහා නිර්දේශ කළ හැකිද යන්නයි. කළ හැකිය. නමුත්, විශේෂයෙන් මෙවැනි ගනයේ අපරාධයක් සම්බන්ධයෙන්, නීතිපතිගේ මෙම නිර්දේශයට ආණ්ඩුවේ සෘජු සම්බන්ධයක් නැතැයි සිතිය හැකිද? ‘නීතිපතිගේ නිර්දේශය අපි තවදුරටත් අධ්‍යනය කරමින් ඉන්නවා’ වැනි අදහසක් ජනමාධ්‍ය ඇමති පැවසීමෙන්ම එය අවබෝද කර ගැනීමට දුෂ්කර නැත. එබැවින් නීතිපතිවරයාට විරෝධය දැක්වීම සේම ආණ්ඩුවේ ස්ථාවරයත් ප්‍රශ්ණ කිරීම සිදුකළ යුතුම කටයුත්තකි. නීතිපතිවරයාට පමණක් තැලීමෙන් සිදුවන්නේ ආණ්ඩුව ගැටලුවෙන් ලිස්සා යාමට පාර සකස් කිරීමය.

දණ්ඩමුක්තිය සහ ‘රණවිරුවන්’

පසුගිය සෑම ආණ්ඩුවක් සේම මාළිමා ආණ්ඩුවත් දණ්ඩුමුක්තිය පවත්වාගෙන යාමට ඇති කැමැත්ත හොදින්ම දක්නට ලැබුණු අවස්ථාවක් ලෙස ද මෙය සැලකිය හැකිය. එම නිසා දණ්ඩමුක්තිය අවසන් නොකරන ඕනෑම පාලනයක ‘නිදහස’ ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැකි බව අප තේරුම්ගත යුතුය. තවත් ප්‍රධාන දෙයක් ලියා තැබිය යුතුය. ‘රණවිරුවන්’ සම්බන්ධ යැයි චෝදනා ලැබූ කිසිදු අපරාධයකට මාළිමා ආණ්ඩුව යටතේ යුක්තිය ඉටු නොවන බවය. ඒ බව ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාකාරීත්වයෙන්ම ඔවුන් පෙන්වා අවසන්ය. එනම් ‘විශ්‍රාමික රණවිරු සාමූහිකය’ නම් පෙරමුණක් ගොඩනගා ගනිමින් එය ඔවුන්ගේ ඉදිරි පෙරමුණක් බවට සමාජයට පෙන්වීමය.