සිංහල, Eastern Elections, Governance, Peace and reconciliation

ඡන්දෙ අපිට- අපි ඡන්දෙට

– ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් ක්‍රිශ්නානන්දරාජා
මඩකළපු ප්‍රධාන අපේක්ෂක ( ටීඑම්වීපී -පොදු පෙරමුණ)

ජන්දයක් මඩකළපුවට එපා කියන්නේ කව්ද? අපට අව්රුදු විස්සක් ජන්දයක් තිබුනේ නැහැ. මඩකළපුවේ අනෙක් ප්‍රදේශවල පළාත් පාලන ජන්ද තිබුනා. දැන් දිස්ත්‍රික්කයම නිදහස්. පාලනය ආණ්ඩුව අතේ. වාකරේ නැවත පදිංචි කිරීම් අවසන්. පෝරතිව් වැනි ප්‍රදේශ වල තවම අවසන් නැහැ. එරාවුර් පත්තුවේ 8000 ඉන්නවා පදිංචි කරන්න.

මේ ජනයා ඡන්දයට කැමතියි. 10 වෙනිදට ඇවිත් ඒ බව බලාගන්න. මැතිවරණ නිරීක්ෂනයට එන්න. අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. අපේ ළඟ ආයුධ නෑ. ඒවා මාසයකට කලින් කැලේ හැංගුවා. අපට ආරක්ෂාව ලබා දෙන්නෙ පොලීසියෙන්.

අපි ආයුධ සංස්කෘතියෙන් කැඩෙන්න කැමැතියි. ඒත් එල්ටීටීඊ ය ප්‍රහාර දෙන නිසා ආයුධ නැතිව කොහොම ද ආරක්ෂාව ලබා ගන්නෙ. පොලිස් ආරක්ෂාව අපේක්ෂකයින්ට ප්‍රමාණවත්. නමුත් සංවිධානෙට?

මේ ඡන්දයට එල්ටීටීඊ ය විරුද්ධයි. කඩාකප්පල් කරන්නත් පුලුවන්. අපේ බොහෝ අපේක්ෂකයින්ට ඉල්ලා අස්වන ලෙස එල්ටීටීඊ ය ලිපි එවල. නමුත් ජනතාව අපි සමඟ ඉන්නෙ. එදා එල්ටීටීඊයෙ ඉන්දැද්දි අපට තිබ්බ ජනතා සහාය එහෙම ම අදත් තියෙනවා. ඇත්ත ආයුධ තිබුණ නිසා ජනයා ටිකක් බයයි. . අපේ අපේක්ෂක ලැයිස්තුවලට කාන්තාවො ගන්න බැරි උනේ ඒ නිසා.

බලය බෙදන්නෙ නැතිව නැගෙනහිර දියුණු කරන්න බැහැ. ඒත් ජන ජීවිතය ගොඩනැගීම හදිසි කාරණයක්. අපේ මිනිස්සු අව්රුදු විස්සක් යුද්ධයෙන් බැට කෑව. 13 වැනි ව්‍යවස්ථා සංසෝධනය මදි. ඊට වඩා බලය අවශ්‍යයි. නමුත් ජාත්‍යාන්තර අත්දැකීම් පෙන්වන්නේ ටිකින් ටික තමයි බල බෙදීම වැඩි කර ගන්න පුළුවන් කියළ.

අප අනෙක් දෙමළ දේශපාලන පක්ෂ සමඟ එකතු වුණේ නැත්තේ අපේ බලය පෙන්වන්න ඕන නිසා. පොදු පෙරමුණ එක්ක එකතු වුනේ ඒ මාර්ගයෙන් මඩකලපුව සංවර්ධනය කරන්න ඕන නිසා. මඩකළපුවෙදි විතරයි පොදු පෙරමුණයි අපිය එකට තරඟ කරන්නේ. ඒ ගොල්ලන්ගෙන් ඉන්නේ එක් කෙනයි. අනිත් තැන් වල වෙනමයි තරඟෙ. 10වෙනිදට බලමු.

අපට ළමා සොල්දාදුවො හිටිය බව ඇත්ත. ඒත් දැන් නැහැ.
මං එල්ටීටීඊයට බැදුනේ ඉන්දියන් හමුදාව එක්ක වැඩ කරපු ඊපීආර්එල්එෆ් එකෙන් අල්ලන් යනවට බයේ 1989 දී. එතකොට වසය 15 යි. දැන් 34යි. දුවෙක් ඉන්නවා, අව්රුදු දෙකක. එල්ටීටීය යටතෙ මං ඔත්තු සේවා ප්‍රධානියා නොවෙයි. පුහුණු කිරීම් සහ අධ්‍යාපනය බාර මඩකළපු ප්‍රධානියා. 90 දශකයේ යුද්ධ නායකත්වය දැරූ බවත් ඇත්ත. කලවංචිකුඩි, කුඹුරුමුලෙයි හමුදා කදවුරු යටත් කරගත්තෙ මගේ නායකත්වයෙන්.

අපේ නායකයා කරුණා අම්මාන්. පේනවනේ ඔහුගෙ ජායාරූපය තමයි මගේ හිසට උඩින් තියෙන්නෙ. දැන් පොඩි කරදරයක ඉන්න බව ඇත්ත. ඒව විසදේවි. ප්‍රභාකරන් සංවිධානයක් පවත්වා ගැනීම අතින් අති දක්ෂයෙක්. මට දුකයි ඔහු නැගෙනහිර ජනයාට නොසළපු එක ගැන. ඔහු මරා දැමිය යුතුද නැත් ද යන්න ආණ්ඩුවෙ ප්‍රශ්නයක්. අපි නම් කියන්නෙ එල්ටීටීඊයටත් අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එන්න කියළයි.

එකක් කියන්න ඕන. ජනමාධ්‍ය නම් අපට හොදක් කියන්නෙ නෑ. අපේ හොද වැඩත් කියන්න. අපටත් ඉඩක් දෙන්න.

සටහන් – සුනන්ද දේශප්‍රිය