Colombo, Featured Articles, Features

සිරගත කිරීම දේශපාලනයක් වූ කළ


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

හිටපු හමුදාපති සහ ජෙනරල් සරත් ෆොන්සේකා තෙවසරකට සිරගත කිරීමෙන් පසු ඇතිවෙමින් තිබෙන තත්ත්වය ස්ථාවරබව ඇති කර ගැනීමට යැයි ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන බොහෝ පාලනයන් හි ස්ථාවර බව ඒ නිසා ම නැතිවී යාම පෙන්නුම් කරන තවත් උදාහරණයක් බවට පත්වෙමින් තිබේ.

මර්දනකාරී පාලනයක් මගින් විවෘත ධනවාදී ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම ඉලක්කය කර ගත් ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනයකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සහ විජය කුමාරතුංග සිරගත කිරීම එම අවස්ථාවන්හි දේශපාලන මර්දනයේ කේන්ද්‍රය බවට පත්විය. අප එම පියවරයන්ට විරුද්ධවූයේ ඔවුන්ගේ දේශපාලනය අනුමත කළ නිසා නොව සමස්ත දේශපාලන මර්දනයේ සංකේතය සහ කේන්ද්‍රය බවට එම දුෂ්ඨ පිළිවෙත් පත්වූ නිසා ය.

සරත් ෆොන්සේකා සිරගත කිරීම දේශපාලන තීන්දුවක් බව අප කව්රුත් දනිමු. ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේත් කැකිල්ලේ යුද අධිකරණ පිහිටුවා නඩු තීන්දු ලබා දෙන ලද්දේත් දැන් සිරගත කරනු ලැබ ඇත්තේත් අන් කවර හෝ හේතුවක් නිසා නොව දේශපාලන වශයෙන් රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට තර්ජනයක් එල්ල කළ නිසා ය. අද ශ්‍රී ලංකාවේ මර්දනකාරී පාලනයක් මගින් ඥාති සංග්‍රහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් රාජපක්ෂ පාලනයේ කේන්ද්‍රීය මර්දනය සරත් ෆොන්සේකා ය.

රාජපක්ෂ ව්‍යාපෘතියට බරපතල තර්ජනයක් එල්ල කරන කවර අයෙකුට හෝ අත්විය හැකි අනතුරුදායක ඉරණම පෙන්වා සිය පාලනයට අභියෝගයක් එල්ල කළ හැකි දේශපාලන නායකත්වයක් නැති බව පෙන්වීම මගින් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීත්වයන් අඩපන කිරීම මෙම මර්දනකාරී පිළිවෙතෙහි අරමුණ ය. ලොව පුරාම අත්දැකීම් වලින් පෙන්වන පරිදි එවැනි මර්දනකාරී පිළිවෙතක් සිය දේශපාලනය බවට පත් කර ගත් විට පියවරින් පියවර මහා ජනයාගේ අයිතීන් කප්පාදු කිරීමට සිදුවේ. එසේත් නැත්නම් අයිතීන් සඳහා හඬ නැගිය නොහැකි වාතාවරණයක් ඇති කිරීමට සිදුවේ.

රටෙහි සෑම දිසාවකටම යුද හමුදා සේනාංකයක් පිහිටුවීමටත් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ම සහකාර පොලිස් අධිකාරිවරයකු පත් කිරීමටත් ආණ්ඩුවේ මෑත තීරණ මගින් පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වෙනුවට පොලිස් – යුද්ධ පාලනය මත වැඩි බරක් තබමින් සිටින සැටි ය. ජනමාධ්‍ය වාර්තා පවසන්නේ දැනටමත් අතිවිශාල සහ සූක්ෂම රහස් ඔත්තුසේවා තව තවත් වර්ධනය කරමින් ඇති බව ය. මෙම තත්ත්වය කොතරම් බියජනක තත්ත්වයකට පත්ව ඇත් ද යත් ආණ්ඩුවේ අනෙක් ප්‍රධානීන් පසුපස පවා බුද්ධි අංශ යොදවා ඇතැයි වාර්තා වේ. මේ වනාහී ඕනෑම මර්දනකාරී අඥාදායක පාලනයක දිශානතිය යි.

රටක ජනයා මර්දනය කිරීම සඳහා ඕනෑම පාලකයකු විසින් ප්‍රථමයෙන්ම මර්දනය කරනු ලබන්නේ නිදහස් අදහස් ය. එම අදහස් ප්‍රකාශයට පත් කිරීම ය. මෙරට එම ක්‍රියා දාමය සිදුවූ අයුරු අපි හැම දනිමු. කොළඹ මැද පිහිටි සියත මාධ්‍ය ආයතනය ගිනි තැබීමත් ඒකාධිපති පොස්ටරය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් දක්වන ලද බිහිසුනු මර්දනයත් මෑත කාලීනව සිදු වූ එවැනි ප්‍රහාරයන් දෙකක් පමනි. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොතරම් දුරට වත්මන් පාලනයට හීලෑ වී ඇත්ද යන්න පෙන්වන අපූරුම උදාහරණය වූයේ ‛උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම’ හමුයේ වන්නියේ දෙමළ ජනයා විසින් දෙන ලද සාක්ෂි සහමුලින්ම වාරණය කරන ලද අන්දමයි.

එහි දී තමාගේ ඇස් ඉදිරිපිටදීම ගර්භනී මව්වරුන් සහ දරුවන් පනස් දෙදෙකු පමණ ෂෙල්වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවට එක් කෘෂිකර්ම නිලධාරියකු සාක්ෂි දුන්නේ ය. තවත් තරුණ මවක කියා සිටියේ තම ඇස් ඉදිරිපිටදී ම සිය සැමියා ඇතුළු හිටපු එල්.ටීටී.ඊ නායකයන් පිරිසක්ම කතෝලික පියනමක හරහා බාර වු බවත් එම පියනම ද ඇතුලුව බස් රථ ගණනාවක් පුරා රැගෙන ගිය පිරිස පිළිබඳව කිසිදු තොරතුරක් තවම නැති බව යි. මුලතිව්හි දී සාක්ෂි දීමට පැමිණි සිය ගණනාවක් ජනයා ආපසු හරවා යැවු බව ද දෙමළ ජනමාධ්‍ය වාර්තා කලේ ය. එසේ නමුත් මෙම කිසිදු සාක්ෂියක් දකුණේ ජනමාධ්‍ය වාර්තා කළේ නැත. ඒ මර්දනයේ හැටි ය.

කෙසේ වෙතත් මෙම සියළු මර්දන ක්‍රියා මැද රාජපක්ෂ පාලනය කරදරයක් නැතිව යාත්‍රාකරමින් තිබුණි. එජාපය සිය නොනිමි නායකත්ව අරගලයේ කිඳා බැස දියබුං ගසමින් සිටියේ ය. ජවිපෙ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද මහත් පරාජය හමූයේ පසුබැස ගොස් තිබුණි. රාජපක්ෂ පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කරන කිසිදු බෞද්ධ භික්ෂුවක සිටියේ නැත. ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ජන්දය දුන් පිරිස් ආකර්ශනය කැරෙන දේශපාලන බැනරයක් තිබුණේ නැත.

නමුත් දැන් තත්ත්වය කුමක් ද? මහ නායක හිමිවරුන් විසින් ෆොන්සේකා නිදහස් කරන ලෙස සාමූහික ආයාචනයක් ප්‍රසිද්ධියට පත්කළෝ ය. ආණ්ඩුවට එම ආයාචනය නොසළකා හැරීමට සිදු විය. කළකට පෙර දේශපාලන වශයෙන් ඉතා ක්‍රියාශීලී භූමිකාවක් රඟ පෑ මාදුළුවාවේ සෝභිත හිමි දැන් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මුල් පෙළ බල කණුවක්ව සිටිති. එහිමියන් කියා සිටියේ තමන් ඇතුළු සියක් හිමිනමක් ජීවිතාන්තය දක්වාම සිර ගත කොට ඒ වෙනුවට සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ය. සරත් ෆොන්සේකා ආණ්ඩු විරෝධීන්ගේ පොදු බැනරය බවට දැන් පත්වෙමින් තිබේ.

අනෙක් අතට සරත් ෆොන්සේකා සිරගත කිරීම රනිල් වික්‍රමසිංහගේ සිට වික්‍රමබාහු කරුණාරත්න දක්වා එකිනෙකට සහමුලින්ම ප්‍රතිවිරෝධි අදහස් දරණ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත එක් පොදු වේදිකාවක් තනා දී තිබේ. එජාපයේ නායකත්ව අර්බූදයට ඉහළින් තැබෙන දේශපාලන උද්ඝෝෂනයක් ද දැන් නිර්මානය වී ඇත. මෙම සිරගත කිරීම නිසා වඩාම ජව සම්පන්න වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යි. මහින්ද රාජපක්ෂ විසින් උදුරා ගත් සිය සිංහලජාතිකවාදී ජනපදනම වෙත ඇමැතිය හැකි හැඟුම්බර ප්‍රවිශ්ඨයක් දැන් ජවිපෙ සතු ය. එම ජවිපෙ ජනපදනම තුළ ෆොන්සේකා අද්විතීය වීරයෙකි. ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය විසින් එජාපයට යළි සිංහල බෞද්ධ ජනපදනම කරා පාලමක් විවෘත වනු ඇති අතර ජවිපෙට සිය සංවිධාන රටා පණ ගන්වා ආලෝකමත් උද්ඝෝෂණ ව්‍යාපාරයකට අවස්ථාව සළසනවා ඇත.

යුද්ධ ජයග්‍රහණ විසින් ගිනිකණ වට්ටවන ලද බොහෝ සමාජ බලවේග ෆොන්සේකා සිරගත කිරීම ආරම්භක ස්ථානයක් කොටගෙන රාජපක්ෂ ආණ්ඩුව දෙස සැකයෙන් බැලීමට පටන් ගන්නවා ඇත. ඊට එක් උදාහරණයක් නම් විදේශ ගත සිංහල ප්‍රජාව තුළ ඇතිවෙමින් තිබෙන ක්‍රියාකාරිත්වය යි. බොහෝ කොටම ජවිපෙ නායකත්වයෙන් සිදුවෙමින් ඇති මෙම වෙනස විසින් යුද්ධවාදී ඒකමිතික ප්‍රජාවක් ලෙස පෙනී ගිය සිංහල ඩයස්පෝරාවෙහි කොටස් දැන් රාජපක්ෂ ව්‍යාපෘතියට එරෙහිව වීදි බසිමින් සිටිති,

ෆොන්සේකා සිරගත කරන ලද අවස්ථාවේ සිට රාජපක්ෂ පාලනයේ උපාය මාර්ගය වූයේ ඔහු කේන්ද්‍රගත කරගත් කිසිදු මහජන ව්‍යාපාරකට ඉඩක් නොතැබීම යි. විරෝධතා ව්‍යාපාරයන්ට පහර දීමට මැරවරයින් මෙන්ම පොලීසිය ද යොදවනු ලැබුණි. එපමණක් නොව ෆොන්සේකා නිදහස් කරනු යන පොස්ටරයක් ඇලවීමට පවා තහංචි දැමීමට පොලීසිය මෙහෙයවන ලදී. කොළඹ නගරයේ පෝස්ටර ඇලවීමට තිබූ පුවරු බොහෝ ගණනාවක් ඉවත් කෙරුණි. අවසානයේ දී පොලීසිය පොස්ටර් ඇලවීම තහනම් කරන තැනට පවා කටයුතු කළේ ය.

මෙම මර්දනකාරී පිළිවෙත් යම් දුරකට හෝ ආපසු හැරවෙනු ඇති උද්ඝෝෂණයක් බවට ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පත්වන ළකුණු දැන් පෙනෙන්ට තිබේ. සරත් ෆොන්සේකා නිදහස් කරන සේ පෙත්සම් අත්සන් කිරීමේ ද විවෘතවම ආණ්ඩු විරෝධි පොස්ටර් ඇලවීමේ ව්‍යාපාරයන් ද ඒ අතර වෙයි. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය බහුතර සිංහල ජනයා අතර හිතෛශීබවක් මිස තරහක් ඇති කරන උද්ඝෝෂනයක් නොවේ. එමගින් වෛරයක් ජනිත වන්නේ රාජපක්ෂ පාලනය කෙරෙහි ය. ෆොන්සේකා සිරගත කිරීම සහ ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය රාජපක්ෂ පාලනය සිංහල ජනයා අතර මුහුණ දෙන විශාලතම දේශපාලන අභියෝගය බවට පත්වීමට බොහෝ දුරටම ඉඩ ඇති බව දැන් පෙනෙන්නට තිබේ.