සිංහල, Colombo, Democracy, Governance

2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම(සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද වගුගත කෙටි විවරණයක්.

භවානි ෆොන්සේකා, සුපිපි ජයවර්ධන සහ මිරාක් රහීම් විසිනි.

2010 ඔක්තෝබර්

2010 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනයන් හි මැතිවරණයන්ට අදාළ වන නීතිවලට වෙනස්කම් ගණනාවක් යෝජනාකර සිටී.

සරල බහුතර සහ සමානුපාතික නියෝජන ක්‍රම මිශ්‍රකර සකස් කළ නියෝජන ක්‍රමයක් හඳුන්වාදීම කෙටුම්පතින් යෝජිත ප්ර්‍‍රධාන සංශෝධනය වේ. පළාත් පාලන ආයතනයක් මැතිවරණ ඒකක ගණනාවකට බෙදනු ලබන කොට්ඨාශ ක්‍රමය කෙටුම්පතින් නැවත හඳුන්වා දේ. බහු සභික කොට්ඨාශයක් නොවන අවස්ථාවන් හි, එක් එක් කොට්ඨාශයට එක් සභිකයකු බැගින් තෝරා පත්කෙරේ. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තෝරා පත් කරන සංඛ්‍යාව නිශ්චිත නැත. පළාත් පාලන ආයතනයක සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ තෝරා පත්කළ සංඛ්‍යාවෙන් 30% ක උපරිමයක් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පත් කෙරෙනු ඇත.

මැතිවරණයක සුපිළිපන්න බව සහතික කිරීම උදෙසා ඡන්දය සලකුණු කිරීමේ සහ ගණන් කිරීමේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම ඇතුළු ඉතා වැදගත් ලක්ෂණ ගණනාවක් කෙටුම්පතෙහි අන්තර්ගතය. සාධනීය ක්‍රියාමාර්ග සැලකිල්ලට ගෙන ඇතත්, පහත දැක්වෙන ප්‍රතිපාදන ඇතුළුව කෙටුම්පතින් හඳුන්වා දී ඇති ප්‍රතිපාදන ගණනාවක් කෙරෙහි දැඩි අවධානයක් පවතී.

⋆ ආසන හා අපේක්ෂකයන් පුරප්පාඩු විම සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගෙනහැර දක්වන අතරෙහි, ඡන්ද දායකයින් අතුරු මැතිවරණයකින් සිය තේරීම කරනු වෙනුවට දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයින්ට පුරප්පාඩු පිරවීමට පත්කිරීම් කිරීම සඳහා සුවිශේෂ බලයක් සපයයි.
⋆ පළාත් පාලන ආයතනයන්හි කොට්ඨාශ වෙන් කිරීමේ අරමුණ සඳහා වන සීමා නිර්ණය ක්‍රියාවලියේ දී ඇමතිවරයාට සුවිශාල බලයක් ලබා දෙන්නා වූ සීමා නිර්ණය ක්‍රියාවලියක් කෙටුම්පත මගින් නිරූපනය කරයි.
⋆ නගරාධිපති වරයා ඉල්ලා අස්වීම නිසා පිරවූ පුරප්පාඩුව පසු අවස්ථාවක නැවත වරක් පුරප්පාඩු වුවහොත් අදාල පළාත් පාලන ආයතනය විසුරුවා හැර ඇමතිවරයා විසින් කොමසාරිස් වරයකු පත්කරනු ඇත.

ද්විත්ව පක්ෂ ක්‍රමය නැවත ස්ථාපනය කිරීම මගින් සුළු ජන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට ආසන සුරක්ෂිත කරගැනීමේ අවදානම ඉහල දැමීම ඇතුළු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස ආපසු හැරවීම් කෙටුම්පතෙහි අන්තර්ගතය. සීමා නිර්ණය ක්‍රියාවලිය සහ මැතිවරණ ක්‍රියාවලිය යන දෙක තුලින්ම සුළු ජන වර්ග නියෝජනය වන බවට සුවිශේෂී සහතිකයක් නොමැත. ඊට අමතරව නාම යෝජනා ක්‍රියාවලියේදි කාන්තාවන් සහ තරුණයින් ඇතුලත් කිරීම සඳහා සහතිකවීමක් නොමැත. ආණ්ඩුවේ ජනතාවට සමීපතම ඒකකය පළාත් පාලන ආයතනයන් වන බැවින් තෝරාපත් කළ නිළධාරින් ඔවුන්ගේ ඡන්ද කොට්ඨාශ නියේජනය කරන බවට සහ ඒවාට වග වන බවට සහතික වීමේ අවශ්‍යතාවක් ඇත. කෙටුම්පත පළාත් පාලන ආයතන සඳහා නව ක්‍රියාමාර්ග හඳුන්වා දුන්නද එය පළාත් පාලන ආයතනයන් බලගැන්වීමට වඩා මධ්‍යම ආණ්ඩුවේ බලය පුළුල් කරන අතර අවසන් විග්‍රහයේදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරනු ලබයි.