Colombo, Featured Articles, Features

චි චි චි ලේ ලේ ලේ චිලේ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

ඔබ පසුගිය සතියේ ඔබ එක වරක් මේ වචන ඇසුවේ නැත් ද? දින 69ක් තඹ ආකරයක අඩි 2200ක් තරම් යට හිර වී සිටි ආකර කම්කරුවන් වරකට අයයකු බැගින් පොළව මතු පිටට ගෙන එන ලද සෑම අවස්ථාවකම නෙතට කදුළු උනවමින් ඇසුණේ චි චි චි ලේ ලේ ලේ චිලේෟ යන්නයි. ප්‍රථමයෙන්ම මිහිපිට පැමිණි අවලෝස් පා තැබූ මොහොතේම මිටිකරගත් දකුණත ඔසවා කෑ ගැසූයේ ඒ වචන ය. චි චි චි ලේ ලේ ලේෟෟ එමෙන්ම ඒ හඬට මුසු වූ පොළව යට හිරවී සිට පීනික්ස් කැප්සූලය මගින් යළි මෙලොව ආ ඒ ආකර කම්කරුවන්ගේ සිනහ, කදුළු සහ කතා ඒ දසුන් බලා සිටි සුවාහසක් දනන්ගේ හදවත් තුලටම කිදා බසින්නට ඇතිවාට සැකයක් නැත. පීනික්ස් යනු මරණයෙන් නැගී සිටිය හැකි පුරාවෘත්ත ගත පක්ෂියා ය.

පුරා දිනක් තරම් රූපවාහිනිය ඉදිරිපිටට වී පොළව පලා ගෙන එන පීනික්ස් කැප්සූලය නම් මහා විස්කම බලා සිටින මට අපේ පතල් කවි ගැයෙනු ඇසුණි.

දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා ඹබ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුමුබර මිනිරන් පතළේ

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

දුම්බර මිටියාවතේ පිහිටි කහටගහ පතලේ කම්කරුවන් සිය පවස නිවන්නට ගෙතූ මේ කවි ගැයෙන රිද්මය අපට කොතරම් සමීප ද? එදා සිට මෙදා තෙක්ම පතල් කම්කරු රැකියාව ගැහැටින් පිරී තිබේ. ලෝකයේ ශ්‍රම බලකායෙන් සියයට 01ක් පමණක් පතල් කම්කරුවන් වන නමුත් කාර්මික අනතුරු මගින් මිය යන පතල් කම්කරු ප්‍රතිශතය සියයට 8කි. වසරකට පතල් අනතුරු නිසා මිය පතල් කම්කරුවන් 12,000 ක් බව නිල වාර්තා පිළිගනී. එනමුත් මීට වඩා විශාල පතල් කම්කරු පිරිසක් වාර්ෂිකව මිය යන බවට විශ්වාස කෙරේ. ඉන් වැඩිම පිරිසක් මිය යන්නේ චීනයේ ය.

කුරුණෑගල දිසාවේ සමාජ දේශපාලන ක්‍රියාකාරීන් වශයෙන් අප කිහිප දෙනෙක් ම කහටගහ පතලේ පතල් කම්කරු සහෝදරවරුන් සමඟ සමීප දේශපාලන ඇසුරක් පවත්වා ගෙන ගියෙමු. එම කටයුතු බොහෝ කොටම සංවිධානය කළේ වෛද්‍ය රාජා විජේතුංග සහෝදරයා ය. ශ්‍රී ලංකාවේ පතල් කම්කරුවන් පෙළෙන නිව්මෝකොනිස් නම් පෙණහළු රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගනු පිණිස උදව්වක් වනු පිණිස පොත් පිංචක්ද අපි ලියා පළ කළෙමු. අවසානයේ දී කහටගහ පතලේ කම්කරු නායකයා ද එම රෝගයටම බිලි විය. ඔහු අපට සෑම විටම කියූ කතාවක් වූයේ ඉතාම අනතුරු දායක රැකියාවක්වන පතල් රස්සාවෙහි ආරක්ෂාව රඳා පවතින්නේ සාමූහිකත්වය මත බවයි.

ඇටකාමා කාන්තාරයේ සැන් ජොසේ කොපර් ආකරයේ හිර වී සිට ජීවිතය ගලවා ගත් පතල් කම්කරු කතාව මේ තාක් ලියැවී ඇති ඒ අකාරයේ විසමිතම මනුෂ්‍යත්වයේ කතාව ය.

පසුගිය අගෝස්තු පස්වන දින සවස දෙකට ලමණ චිලී රටේ තඹ සහ රන් ආකරයක් වූ සැන් ජෝසේ කොපර් ආකරයේ අඩි 2000 ක් තරම් යට සිදුවූ නාය යෑමකින් එහි එක් සේවය කරමින් සිටි කම්කරුවන් 33 දෙනෙකු සිර විය. ඒ අවස්ථාවේ ඔව්න් සිටියේ දහවල් කෑම ගනිමින් අඩි 2, 300ක් යට හදිසි නවාතැනකය. එතැන් සිට දින 17ක් යන තුරු ඔවුන් ජීවත්ව සිටින්නේ ද යනු පොළව මතු පිට කිසිවකුට දැන ගැනීමට ලැබුණේ නැත. එසේ නමුත් සාමූහිකත්වය ප්‍රථම තැන්හි තබා එක්ව කටයුතු කිරීම මගින් ඒ දින 17 පුරා ජීවිත පවත්වා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. පසුගිය 13වනදා ඔවුන් මිහිපිටට පැමිනෙන විට නිශ්චිත බලාපොරෙත්තුවකින් තොරව පොළව යට දින 69ක් ම ගත කර තිබුණි.

දින 17කට පසු ඔවුන් සොයා ගනු ලැබුණේ අලිගැට පේර ගෙඩියක් තරම් සිදුරක් අඩි 2200ක් තරම් යටට කැපීමට සමත් වීමෙන් පසු ය. අගොස්තු 22 දා එම විදිනය එන හඬ ඇසූ කම්කරුවෝ ගලකින් තට්ටු කර පනිවිඩයක් එවූහ. අනතුරුව කෙටි සටහනක් විදිනයේ තුඩට සවිකර එවා තිබුණි.: “අප ආකර කම්කරුවන් 33 දෙනා හොදිනි”. ජය ඝෝෂා පැතිර ගියේ කදුළු මැදිනි.

ඒ තාක් දින 17 ම ඔවුන් කෑමට ගෙන තිබුණේ එක් අයෙකුට පැය 48කට වරක් බලමාලු කුඩු හැදි දෙකක්, බිස්කට් බාගයක් සහ කිරි වීදුරු බාගයක් පමණි. උදව් පැමිනෙන තුරු හැකි උපරිම කාලයක් ගත කිරීම පිනිස අවම ආහාර වේලකින් සැනසීමට වීමට සියළු දෙනාම ගිවිස ගෙන තිබුණි. සිදුර සම්පුර්ණ කිරීමෙන් පසු ඔව්හු ලිපි ලියා සිය ආදරවන්තයිනට එවූහ. ඔවුන් සතුටට පත් කළ තෑග්ග වූයේ කුඩා නමුත් දියුණු වීඩියෝ කැමරාවකි. එමගින් සිය ජීවිතය වාර්තා කර ගැනිමටත් එය බාහිර ලෝකය සමඟ බෙදා ගැනිමටත් ඔව්හු සමත් වූහ. ආහාර ලබා දීම සීමා කෙරුනේ අනවශ්‍ය පරිදි තරබාරු වී මතුපිටට ගැනෙන සිදුර අප්‍රමාණවත් වේ යැයි යන බිය නිසා ය. මස්මාලු වැනි ඝන ආහාර ලබා දුන්නේ ක්‍රම ක්‍රමයෙනි. තවත් වැදගත් වර්ධනයක් වූයේ විදුලි බලය ලැබීමත් දහවල සහ රාත්‍රිය වෙන් කැරෙන පරිදි විදුලිය නිවා දැමීමට ක්‍රියා කිරීමත් ය.

හිරවූ ආකර කම්කරුවන්ගේ ඥාතීහු ‛බලාපොරෙත්තුව’ යන නමින් කුඩාරමක් ආකරය අසළම පිහිටුවාගෙන පසුගිය දින 69 යන සතුටුදායක තොරතුරක් අපේක්ෂාවෙන් දිවා රෑ රැදී සිටියහ. චිලී ආණ්ඩුව සිය ඉහළම විශේෂඥයින් ගලවා ගැනීමේ කාර්යය වෙත කැදවීය. නාසා නම් ඇමෙරිකානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ එක්ව අවසානයේ දී ගලවා ගැනීමේ සැළැස්මද පීනික්ස් යානය ද සකස් කරන ලදී.

ආකාරය යට තද උණුසුමක් පැවැතුන අතර පොළව මතු පිට සීතල දේශගුණයක් තිබුණි. හිර ගතව සිටි කම්කරු දෑස් දුර්වල ආලෝකයකට හුරුව තිබු අතර දින 69ක අවිනිශ්චිත පැවැත්ම විසින් මහත් මානසික පීඩාවකට ද ලක් කර තිබුණි. එමෙන්ම මිහිපිටට වී සිය ආදරවන්තයින් උදෙසා දෙවියන් වහන්සේට යඥාකරමින් සිටි ඥාති ජනයා ද සිටියේ මහත් මානසික පීඩනයක ය. මිහිමතට පැමිණිම පිනිස ඝන කලුගල් මැද කැපූ අඩි දෙකකට අඩු විශ්කම්භයක් සහිත සිදුර තුළින් ඉහළට ඇදී යන පීනික්ස් යානයේ සිටගෙන විනාඩි 20ක් පමණ සිටිය යුතු විය.

මිහිපිට සහ මිහිතුළ සිටි දෙපිරිසම බැතිමත් කතෝලිකයින් වූ බැවින් දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය ඔව්න්ට මහත් ශක්තියක් බවට පත්ව තිබුණි. හිර වූ එක් කම්කරුවකුගේ ආදරවන්තියක සියල්ලන් යහතින් මිහිපිටට ගෙනැවිත් දෙන ලෙස පසුගිය දින 69 පුරා දිනක් නෑර ඉටිපන්දම් 33 බැගින් දල්වා යඥා කර තිබුණි. දෙවැනියා වශයෙන් මිහිපිට පැමිණි මාරියේ සෙපුල්වේදා මෙසේ කියේ ය: “ මම උන්නේ දෙවියන් සහ යක්ෂයා මැද. එත් දෙවියන් වහන්සේ කරා යාමට මට පුලුවන් වුණා” ඔහු මතක සටහන් ලෙස බෙදා දීමට අපූරුවට එතූ ගල් කැබලි සිය මිහිතුළ නවාතැනෙන් රැගෙන විත් තිබුණි.

නම වැන්නා ලෙස මිහිමත පැමිණි 63 හැවිරිදි වැඩිමහල්ම කම්කරුවා වූ මාරියෝ ගෝමස් මිහිපිට පා තබත්ම දණින් වැටී සිය හිස නමා යාඥා කළේ චිලී ජාතික ධජය අතින් ගනිමිනි. ඔහුගේ බිරිඳ ලිලේන් රමිරාස් ඔහු වැළද ගත්තේ නැගිටුවා ගැනිමිනි. දෙමසකටත් වඩා කාලයක් ‛බලාපොරොත්තුව’ කදවුරේ ගතකිරීම නිසා තමන් වයස් ගතව පෙනුන බව කී ලිලේන් රමිරාස් හැඩ වැඩ වී පැමිණ සිටියේ පෙරදා කිලේමීටර 35ක් ගෙවා රූපලාවන්‍ය ආයතනයකට යැමෙන් පසු ය.

තවත් බිරිදක මෙසේ කීවා ය “මට ඕනෑ ඔහු වෙනුවෙන් ඇති තරම් හැඩ වෙලා ඉන්න. හැමෝම අහනව ඔහු දැක්ක ගමන් මොනවද කරන්නේ කියලා. මං තාම දන්නේ නෑ. මං එයා වැළද ගන්න ද? සිප ගන්න ද? ඇත්තටම නම් අපි එකිනෙකා බදාගෙන අඬාවි. එයා කිව්ව එයා ඉන්නෙ මං වටා අත් යවල බදා ගන්න කියළ. ඊට පස්සෙ යන්න වේවි. එයා ඹක්කොම කදුලු එකතු කරන් ඉන්නෙ මං දකින කං.”

අගනගරයේ ඉහළ පෙළේ කාන්තා ඇදුම් වෙළද සැල් හිමියකු ඉස්තරම්ම සාරගී ඇදුම් ගෙනැවිත් කැමැති ඒවා තෝරා ගන්නැයි බිරින්දන්ට කීවා ය. තවත් අයකු නොමිලයේ රූප ලාවන්‍ය සහාය ලබා දුන්නා ය. දරුවෝ ද මව්පියෝ ද බිරින්දන් ද පෙම්වතියන් ද යනාදී සියළු ආදරවන්තයෝ අමන්දාන්දයට පත්ව සිටියෝ ආකරය අවට සුන්දරත්වයෙන් ඇලලී ගියේ ය. ජීවිතය යළි ඇරඹුණි. මේ සටහන ලියන 13දා ජීනීවා රැයෙහි තවම සෑම විනාඩි 40කටම වරක් ආකර කම්කරුවකු මිහිමත පා තබ යි. ඒ සෑම පා තැබීමක් ම වැළද ගැනීමක් ම නෙතට කඳුළක් ගෙන එයි. එය,සතුටු කදුළකි.