Featured Articles, Features, Puttalam

වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයේ හා තබ්බෝව අභය භූමියේ වනාන්තර අක්කර 225 ක් එච්.වී.ඒ. ෆාම් මගින් අනවසරින් අල්ලා ගනී – ශ්‍රී ලංකා සොබා සංසදය කියයි


සජීව චාමිකර – ශ්‍රී ලංකා සොබා සංසදය

දුප්පත් මිනිසෙකු එදා වේල සරි කර ගැනීමට හෝ කන බත් පත පිස ගැනීම සඳහා වන රක්ෂිතයකට ඇතුළු වී වියළි දර කෝටුවක් ඇහිද ගත් විට වන සංරක්ෂණ නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. ඔහුව උසාවියෙන් වරදකරු කර දහස් ගණනක දඩයක් ද නියම කරයි. දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වූ අවස්ථාවල දී සිරබත් කන්නට ද සිදු වේ.

නමුත් මහ පරිමාණ ව්‍යාපාරිකයෙකු හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ දියණියක විසින් රක්ෂිත වනාන්තර ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන කුමන ජාවාරමක් සිදු කළ ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ පක්ෂග්‍රාහී ලෙස හෝ ඇල්මැරුණු ස්වභාවයෙන් හෝ ඔහුව උසාවි ගෙන ඒමට තැත් දැරූවන්ට අගතියක් සිදු වන ලෙසය. දුප්පතාට එක හැන්දකිනුත් පොහොසතාට තවත් හැන්දකිනුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ කුමක් නිසාද? මීට හේතුව දුප්පතුන්ට දේශපාලන හිතවත්කම් නොමැති වීමද?

මෙවන් පූර්විකාවකින් මෙම ලිපිය ඇරඹුවේ අධිකරණයට අපහාස කිරීමට හෝ එහි දේශපාලන පක්ෂග්‍රාහී බවක් ඇති බව හුවා දැක්වීමට නොව එච්. වී. ඒ. ෆාම් අනවසර වගා ව්‍යාපෘතිය හරහා සමාජයට ලබා දෙන වැරදි පූර්වාදර්ශ පිළිබඳව සමාජය ඥාණනය කර එවැනි හානිකර ක්‍රියා පිටුදැකීමට මග පෙන්වීම උදෙසාය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභය භූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන ත්‍රිත්වය තුළ අක්කර 35 ක වනාන්තර ප්‍රදේශයක් දැනට වසර ගණනාවක සිට අනවසරින් අල්ලාගෙන පවත්වාගෙන යන එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කරමින් මේ වසර මැද භාගයේ දී වනාන්තර අක්කර 225 ක් පමණ අනවසරින් අත්පත් කරගෙන එම සමස්ථ වනාන්තර ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර ඇත. අනවසර ව්‍යාපෘතිය නතර කිරීම වෙනුවට ඉඩම් අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයෙන් හා තබ්බෝව අභය භූමියෙන් ලබා ගැනීමට හැකි වූයේ ධනවත් ව්‍යාපාරිකයින් හා දේශපාලන නෑ හිතවතුන් ඉදිරියේ පරිසර නීති ක්‍රියාත්මක වීමේ තරම ලොවට පසක් කරමිනි.

වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත මධ්‍යයේ පිහිටි එච්.වී.ඒ. ෆාම් නමින් පවත්වාගෙන යන අනවසර වගා ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔයට පහළිනි. එනම් පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අංක 635 රාල්මඩුව ග්‍රාම නිලධාරී වසමේ අච්චිමලේ ග්‍රාමයේය. අක්කර 35 ක් පමණ වූ භූමි ප්‍රදේශයක පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස ්‍H. V. A. Farm Pvt (Ltd) නමින් ෑEco – Friendly Organic Farm ප ලෙස සඳහන් කරමින් මෙය සිදු කරගෙන යනු ලැබුණි. මෙහි ප්‍රධාන කාර්යාලය කඳාන, ලින්ටන් පාර, අංක 39/ඒ, දරණ ස්ථානයේ පිහිටා තිබේ.

දැනට පළතුරු වගාව අනවසරින් ව්‍යාප්ත කර ඇති අක්කර 35 ක් පමණ වන භූමිය වනජීවී ආරක්ෂිත ප්‍රදේශ ද්විත්වයකට ඇතුළත්ය. විශේෂයෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයට (Buffer Zone)මෙම භූමි ප්‍රදේශය ඇතුළත් වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 30128 .9 ක් වන වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය තුළ මෙම ව්‍යාපෘතිය පිහිටා තිබේ. මෙම වගා ව්‍යාපෘති භූමිය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථානගත කර ඇති යෝජිත රක්ෂිතයේ මායිම් කණු ද දක්නට ලැබේ. මීට අමතරව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරණ ගැසට් නිවේදනයට අනුව ප්‍රකාශිත හෙක්ටයාර 2193.309 ක් වන තබ්බෝව අභය භූමිය තුළ මෙම වගා භූමිය පිහිටා තිබේ.

අනවසර වගා ව්‍යාපෘතියේ ඉතිහාසය

මේ අයුරින් වනජීවීන්ගේ රැකවරණය සඳහා වෙන් කළ භූමි ප්‍රදේශ තුළ මෙම වගා බිම ස්ථානගත කර ඇත්තේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි. මෙම ප්‍රදේශවල පිහිටි රජයේ ඉඩම් අනවසරින් වගා කටයුතු සඳහා යොදා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. පළමුව අක්කර 2 – 3 ක පමණ වනාන්තර ප්‍රදේශයක් අනවසරින් අල්ලාගෙන එම භූමිය එළි පෙහෙළි කර වගාවන් සිදු කරයි. පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ පිළිබඳව දැනගන්නට ලැබී එම ප්‍රදේශ පරීක්ෂා කළ විට වගා කළ පුද්ගලයින් සිදු කරන්නේ එම භූමිය වගා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් කර වාර්ශික බලපත්‍ර ලබා ගැනීමයි. එච්. වී. ඒ. ෆාම් පුද්ගලික සමාගම මගින් ද සිදු කර ඇත්තේ මෙම ක්‍රියාවමය.

1997 වසරේ දී පළමුව අක්කර 4 ක් සඳහා ද ඉන් පසුව අක්කර 8 ක් හා අක්කර 25 ක් සඳහා ද නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට ඉඩම් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමකට අනුව වයඹ පලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉඩම් අක්කර 4 ක් සඳහා පමණක් වාර්ෂික බලපත්‍ර යටතේ ඉඩම් ලබා දීමට අනුමැතිය දී තිබේ. එය ප්‍රයෝජනයට ගනිමින් එච්. වී. ඒ. ෆාම් ආයතනය මගින් අක්කර 35 ක වනාන්තර භූමියක් වරින් වර එළිපෙහෙළි කර ගස්ලබු, කෙසෙල්, දොඩම් හා අඹ වගා කර ඇත. වගා කටයුතු සඳහා ස්වාභාවික වනාන්තරය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සිදු කරන්නේ ද එම ඉඩම ආසන්නයෙන් ගලා බසිනා රාල්මඩුව ඇළෙනි. මෙම අනවසර වගා කටයුතු සඳහා තවත් හෙක්ටයාර 100 ක (අක්කර 250 ක් පමණ) ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා 1998/03/24 වන දින අදාළ සමාගම විසින් ඉල්ලුම් කර ඇත. ඒ අනුව වයඹ පලාත් පරිසර අධිකාරිය මගින් 1990 අංක 12 දරණ පලාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරණ විශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම ඉඩම් නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇඟයීම් (තක්සේරු) වාර්තාවක් සකස් කරන ලෙසට ව්‍යාපෘති යෝජක සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව 1999 ජූලි 28 වන දින වයඹ පලාත් පරිසර අධිකාරිය වෙත අනුමැතිය සඳහා අදාළ වාර්තාව ඉදිපත් කර ඇත. මෙම වාර්තාවට අනුව ඉල්ලුම් කර ඇති ඉඩම් ප්‍රදේශ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට හා කලා ඔයේ ජල පෝෂක ප්‍රදේශයට අයත් වන නිසා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා නිර්දේශ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

දිස්ත්‍රිත් ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වයඹ පලාත් පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැළසුම් අංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රජයේ ආයතනවල නියෝජිතයින්ගේ එකමුතුවෙන් සමන්විත පුත්තලම දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව අදාළ කරුණ සම්බන්ධයෙන් 2003.04.02 වන දින රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකමතිකව තීරණය කර ඇත්තේ පාරිසරිකව හා පුරා විද්‍යාත්මකව ඉතා වටිනා මෙම ප්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බවයි.

රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධාන වලට අනුව ද කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අක්කර 50 කට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ප්‍රථම ඊට අදාළ සියළු ම ආයතනවල නිර්දේශ ලබා ගැනීම අවශ්‍යව ඇත. මෙවන් නීතිමය ප්‍රතිපාදන රාශියකට යටත්ව පවතින රජයේ කැළෑ ඉඩමක් පෞද්ගලික ආයතනයක් මගින් බලහත්කාරයෙන් ලබා ගැනීම ලංකාවේ නීති පද්ධතිය හෑල්ලුවට ලක් කිරීමකි. එච්. වී. ඒ. ෆාම් මගින් දැනට අනවසරයෙන් වගා කර ඇති ඉඩම් කොටසේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා කැණීම් කිරීමේ දී අඩි 02 ක් පමණ උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් හමුවී ඇත. මීට අමතරව මෙම ප්‍රදේශය තුළින් ශෛලමය ගල් ආසනයක්, ඇතුළුව ගල් කණු බොහොමයක් මතුව තිබේ. ඒවා සියල්ලම එච්. වී. ඒ. ෆාම් වගා භූමිය තුළ පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට අනාරක්ෂිත ලෙස තබා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය ඇතුළත්ව පුරා වස්තූන් හමුවූ අක්කර 2.5 ක් පමණ භූමි ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එවන් ප්‍රදේශයක් වගා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් සාධාරණ ද යන්න සිතා බැලිය යුතුය.

අනවසර වගා ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය

එච්. වී. ඒ. ෆාම් වගා ව්‍යාපෘති භූමිය අලි ගැවසුම් ප්‍රදේශයකි. ඒ වටා සම්පූර්ණ ප්‍රදේශයම විල්පත්තුව හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පවතී. නිරන්තරයෙන් මෙම ප්‍රදේශයට අලින් පැමිණෙන අතර අලින් පලවා හැරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ද මෙම සමාගමට සිදු වී ඇත. අලින් විසින් මෙම වගා භූමියට හානි සිදු කර ඇති ආකාරය ද අපගේ නිරීක්ෂණයට ලක් ව තිබේ. මේ තත්ත්වය සැළකිල්ලට ගෙන 2003 වසරේ දී පුත්තලම දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් මෙම ස්ථානයෙන් මෙම ව්‍යාපෘතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ඒකමතිකව තීරණය කර තිබේ. නමුත් එවන් තත්ත්වයක් පැවතියද අදාළ සමාගම විසින් මෙම වගා ව්‍යාපෘතිය ඉවත් කර නොගැනීමට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම මගින් නඩුකරයක් ගොනු කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක SC(SPL)35/7දරණ නඩුවට අනුව අධිකරණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් විවර කරමින් හිටපු අග්‍රවිනිශ්චකාර සරත් එන් ද සිල්වා මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා විකල්ප ඉඩමක් ලබාදෙන ලෙසට නියෝග කෙරින. එම නියෝගය උපයෝගී කර ගනිමින් එච්. වී. ඒ . ෆාම් මගින් අද වන විට වීරක්කුලිචොලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 225 ක ප්‍රදේශයක් විදුලි වැටක් යොදා කිසිඳු අවසරයකින් තොරව ආවරණය කර ගෙන තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට කරුවලගස් වැව දෙසට අලින් ගමන් කරන සාම්ප්‍රදායික ගමන් මාර්ගය විහිදී ඇත්තේ මෙම ප්‍රදේශය හරහාය. එය විදුලි වැටවල් යොදා අවහිර කිරීම හේතුවෙන් අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ අළුතින් නිර්මාණය වී ඇත. මෙම වගා භූමියේ මායිමෙන් ගලා යන රාල්මඩුව ඔය දැඩි නියං කාලවල දී පවා සිදී නොයන බැවින් එහි ජලය බීමට අලින් මෙම ප්‍රදේශයට පැමිණේ. නමුත් වගා භූමියෙන් අලින්ගේ ගමන් මාර්ගය අවහිර වී පැවතීම විශාල බාධකයක් වී ඇත.

වන සංරක්ෂණ ආඥා පනත හා වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීම

මෙම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙලෙස අනවසරින් අල්ලා ගැනීමට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මේ වනතෙක් ගෙන නොමැත. 2009 අංක 56 දරණ පනතින් අවසන් වරට සංශොධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් එච්. වී. ඒ. ෆාම් මගින් සිදු කරන මෙම හානිකර ක්‍රියාමාර්ගයන්ට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කණගාටුවට කරුණකි.

මීට අමතරව වයඹ පළාත් පරිසර ප්‍රතිපත්තියට අනුව මෙම හානිකර ක්‍රියාමාර්ගයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. මෙම ප්‍රඥප්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩමක්, කැළෑ ආශ්‍රිත නොවන සංවර්ධන කටයුත්තක් සදහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව කටයුතු කර පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් මෙම නීතිමය ප්‍රතිපාදනයන් සියල්ල උල්ලංඝනය කරමින් එච්. වී. ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙති.

අනවසර වගා ව්‍යාපෘතියේ ව්‍යාජ මුහුණුවර

පරිසර හිතකාමී කාබනික ගොවිතැනක නාමයෙන් ව්‍යාජව හඳුන්වන මෙම වගා ව්‍යාපෘතිය සඳහා කිසිදු කාබනික සහතිකයක් ලබාගෙන නොමැත. කාබනික සහතිකකරණයේ මූලධර්මවලට අනුව වනාන්තරයක් එළිකර එහි කාබනික ගොවිතැන් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නොමැත. අප විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීම්වල දී අනාවරණය වූයේ මෙම වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන බවත් මෙහි පළතුරු අපනයනය කිරීම සිදු නොකරන බවත් ය. මෙය අප ඉතා වගකීමෙන් යුතුව සඳහන් කරන්නෙමු.

මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට අදාළ නිලධාරීන් මුනිවත රැකීමෙන් සිදු වන්නේ පියවරෙන් පියවර රක්ෂිත වනාන්තර විනාශ කිරීමට සමාගම්වලට ඉඩකඩ ලබාදීමකි. පළමු අදියරේ දී ම මේ සඳහා නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ අද වන විට වනාන්තර අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අහිමි වීමය. මෙය වනාන්තර අහිමි කිරීමක් පමණක් නොව අලි ඇතුන්ගේ නිජ බිමක් හා අලි මංකඩක් අහිමි කිරීමකි.

මෙම හානිකර ක්‍රියා පිටු දැකීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වයඹ පළාත් පරිසර අධිකාරිය එක්ව මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එසේ නොවුනහොත් හෙට දින එච්. වී. ඒ. ෆාම් මගින් දැනට විදුලි වැටක් යොදා වෙන්කර ඇති වනාන්තර අක්කර 225 ක ප්‍රදේශය වන සතුන්ට අහිමි කරමින් එළි පෙහෙළි කරනු ඇත. ඉන් පසුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පළක් නොමැති බව අවධාරණයෙන් යුතුව ලියා තබමු.