Colombo, Featured Articles, Features

රජ කොළනිය


ක්‍රිශාන් රාජපක්‍ෂ

දේශපාලකයන් – දේශයේ අයිතිකරුවන් වීම

මේ ළඟදි දිනකදී මගේ මිත්‍රයෙක් මා සොයා පැමිණියේය. ඔහු වතු පාලකයෙක් විය. කලකින් හමුවී නැති නිසා අප දෙදෙනාට කථා කිරීමට බොහෝදේ තිබුණි. ඉතින් ආගිය තොරතුරු, පාසල් කාලයේ රසවත් සිදුවීම් කථාකරමින් සිටි අප හැමදාම පැමිණෙන තැනට පැමිණියේ ය. ඒ රැකියාවේ සම්බන්ධවයි.

ඉතින් කොහොමද වත්තේ වැඩ? මම මිතුරාගෙන් ඇසුවෙමි.
…ප්‍රශ්ණයක් නම් නෑ… ඒත් මේ ළගදී තුන් දෙනෙක්ට කිව්වා ඇවිල්ලා බංගලාවේ වත්ත පහළ ටිකක් සුද්ද කරලා දන්න කියාලා.
මෙන්න මුන් කියපි එක පාරටම…මාතියා අපට කෝවිල් යන්න තියෙනවා…
මට ඌරු ජුවල් මචං, මගේ වත්තේ වැඩකරන එකෙක්ට මගේ වැඩක් කරලා දෙන්න බැරිද? දෙන්නෙක්ව වත්තෙන්ම එළවලා දැම්මා, තව එකෙක්ට සිතියක් යනතුරු වැඩ නෑ…

මම ඒ කථාව අසා වික්ෂිප්ත වුණි.
පව්නේ මචං උන් දැන් ජීවත් වෙන්නේ කොහාමද?

මට වැඩක් නෑ ඕවා…. මම තමා වත්තේ අයිතිකාරය, උන් ඉන්න ඕනේ මං කියන විදිහට…
මම මඟින් ඔහුට බාධා කෙළෙමි….. ඒතකොට පාලකයා කවුද?
හරි හරි මම තමා වතුපාලකයා, ඒත් ඉන්න ඕනේ අයිතිකාරයා කියන තත්ත්වේ. නැත්නම් බෑ

ඔහු එහෙම කරන්න බෑ කීවද?

මානව ප්‍රගමනයේදී විවිධ වූ දේශපාලනික ක්‍රම අත්හදා බලමින් විවිධ වූ මතවාදයන් ඔස්සේ මේ වන විට පිළිගත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලන පිළිවෙතක් වෙත නූතන ලෝකය පැමිණ ඇත. එකී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලෝකය පෙළගැසෙන්නේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජ්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීමයි. මේ තුළ සාමුහිකත්වය, සමානාත්මතාවය යන සංකල්ප අන්තර්ගතය. මෙය හුදෙක් රාජ්‍යයක හෝ ආණ්ඩුවකට සීමා නොවූවක් වන අතර එය ඕනෑම සංවිධානයක, සමාජයක දක්නට ලැබේ. ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පිළිගත් ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගිණි. එය රැකගැනීම උදෙසා නීතිරීති පැනවුණි. ගිවිසුම් ගොඩනැගිනි. මේ සියල්ල ගොනුවූයේ යම් රටක් තුළ ජීවත්වන සියලුම දෙනාට සම නිදහසක් හිමිවන ලෙසයි. එක් ජාතියක් හෝ ආගමක් තලා පෙළිමට ඇති ඉඩ මේමඟින් ඇහිරුණි. මිනිස් නිදහස පරම කොටගනිමින් රටක් පාලනය කිරීම මේ ක්‍රමයේ අරමුණයි. යම් නිෂ්චිත කාල සීමාවලදී මැතිවරණ පැවැත්වේ. එමඟින් තේරීපත්වන දේශපාලකයන් රට පාලනය කිරීමේ කටයුත්තට හවුල්වෙයි. මේ ආකාරයට මෙම පාලන ක්‍රියාවලිය සිදුවේ. යම් කිසි ජනහිතකාමී නොවන පාලකයන් ඉන් ඉවත් කිරීමටද අවශ්‍ය නිතිරීතිද එම රටවල නීති පද්ධතිය වෙත ඇතුළත් වුණි. මේ නිසා පාලකයෝ තමන්ගේ කල්කිරියාව ගැන වඩාත් සැලකිලිමත් වූහ. වැඩි පිරිසකගේ කැමැත්ත මත තීරණ ගනු ලැබීය.

ඉහත ආකාරයටම ලංකාවේ පාලනයද සිදුවිණි. නමුත් මේ මෑත කාලයේදී අලුත් පිරිසක් ලංකාව තුළ බිහිවී සිටී. ඔවුන් පවසන්නේ තමන් ලාංකාවේ පාලකයන් නොව අයිතිකාරයින් බවයි. ඒ බව දැවැන්ත කටවුට් මඟින් පවා ප්‍රදර්ශණය කර තිබුණි. එක් කටවුටයක දැක්වුනේ

අපි මේ බිමේ පාලකයන් නොවෙමු – අපි මෙහි අයිතිකාරයින් වෙමු.

ප්‍රශ්ණය නිර්මාණය වන්නේ දැන්ය. යම් භූමික හෝ වෙනයම් දෙයක අයිතිකාරයන් වූ සැණින් මේක මගේය, අහවල් කොටස මගේය. එම නිසා වැඩකෙරෙන්න ඕනා මට ඕන ආකාරයට මිස වෙනත් ආකාරයකට නොවේ. වෙනැනි තර්ක අයිතිකාරයෙක්ට ඉදිරිපත් කළහැක. උදාහරණ ලෙස සිතන්න ඔබේ නිවස. එය පාලනය වන්නේ ඔබට ඕනෑ ආකාරයට. ඔබ බිත්තිවලට ගන්නේ ඔබ කැමති වර්ණය. ඔබ ගෙවත්තේ සිටුවන්නේ ඔබට ඕනෑ ගස්වැල්. ඔබ අරලිය මල්වලට අකමැතිනම් ඔබ අරලිය ගසක් ඉබේ පැළවුනත් උගුලා දමයි. එයට ඔබට අයිතියක් ඇත. නමුත් එය වුවත් සිදුකරන්නේ පවුගේ සියලු දෙනාගේ අදහස් මතය.

ප්‍රජාව විසින් ප්‍රජාව පාලනකරන ක්‍රමයක් තුළ රටක පාලකයන් එරටේ අයිතිකාරයන් යැයි කීම විකෘති තත්ත්වයකි. එය කිසිසේත් ප්‍රජාවට හිතකර නොවෙයි. එය විකෘති තත්ත්වයක් වන්නේ ඇයිද කියන්නේ පාලකයන් බිහිවන්නේ තාවකාලිකවය. හේතුව බහුතරයකට එපා වූ විට පාලනය වෙනස් කර වෙනත් පාලකයෙකු පත්කර ගැනීමටය. අයිතිකාරයන් වූවිට ඔවුන් ජනතා පදයට නටන්නට සූදානම් නැත. අයිතිකාරයින් වූ සැණින් ඔවුන්ගේ පදයට ජනතාව සියලුදෙනාම නැටිය යුතුය. ඉතින් දැන් ඇරඹී ඇත්තේ ඒ යුගයයි.

රාජපක්‍ෂ ආණ්ඩුව ප්‍රජාතන්තවාදය පිළිබඳ තඹ සතේකට මායිම් නොකරමින් මේසේ පාලනය ගෙන යන්නේ ඒ නිසාවෙනි. අයිතිකාරයින් යන වැඩවසම් මානසික තත්ත්වයේ සිටියදී ඔවුන්ගේ සුඛවිහරණය මිස සමස්ථ ප්‍රජාවගේ සුබසෙත සම්බන්ධ තැකීමක් අයිතිකාරයින්ට නැත. පාලකයන්ට තමන් යටතේ පාලනය වන පිරිස සම්බන්ධ වගකීමක් ඇත. වෙනස එයයි. එහෙයින් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට ඔවුන් උත්සුක වෙති. අයිතිකාරිත්වය මත පදනම් වීමේදී යමක හිමිකාරීත්වය යන්නේ පියාගෙන් පුතාය, පුතාගෙන් පුතාගේ පුතාටය යන තම සනුහරේ මත බලය රඳවා ගනිමිනි. මේ වන විට ලාංකීය හිමිකාරීත්වය වෙනුවෙන් දෙවනපෙළ නිර්මාණය කිරමින්, ඔවුන් පමණක් පෝෂණය කරන්නේ එබැවිනි. ඒ නිසාම උත්තම පුත්‍රයාගේ පෝෂණය සඳහා වැඩි බරක් යොදවයි. එපමණක් නොව මේ අයිතිකාරයින් තමන්ගේ අධිකාරියට එරෙහිව බලයක් ගොඩ නැගීම වළක්වනු පිණිස හිතෙන හිතෙන නීති පනවයි. මෑතකදීම පනවනු ලැබූ නවතම නීතියට අනුව සිම්කාඩ් 5 කට වඩා ළඟ තබාගැනීම නීතිවිරෝධි බවයි. මේ තම කුටුම්භය පෝෂණය කරන ක්‍රමය තුළ තමා වටා සුවිසල් ආරක්‍ෂ පවුරක් නිර්මාණය කරගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව යුද්ධය පැවති සමයටත් වඩා වැඩි ආරක්‍ෂක පිරිවැයක් වැයකරමින් තමන්ගේ ආරක්‍ෂාව පිණිස සිවිල් සමාජය පුරා දැවැන්ත මිලිටරි ස්ථානගත කිරීමක් කරමින් සිටී.

අයිතිකාරයින්ගෙන් අයිතිවාසිකම් ඉල්ලීමට අතවැස්සන්ට අයිතියක් නැත. අයිතිකාරයින් සිතන්නේ ඔවුන් දෙන දේ කා වෙන දේ බලාසිටිය යුතු බවයි. එසේ නොමැතිව තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා කැරළි ගැසීම ඔවුන්ට අනුව දැඩි වරදකි. නව ලොවක් දැකීම මේ වැඩවසම් ක්‍රමය තුළ තහනම්ය. ඒවා ඔවුන්ට අනුව වැඩි වැඩය. එවැනි වැඩිවැඩ දාන්නවුන් ඔවුන්ට අභියෝගයකි. ඒනිසා කිනම් හෝ ක්‍රමයක් යොදා ගනිමින් ඔවුන් ඉවත් කරති. සමහරන් අතුරුදහන් කරති. තවත් සමහරුන් සිරගත කරති. තවත් සමහරුන් මරා දමති. ක්‍රියාත්මකවන නීතිය ඔවුන්ගේ නීතියයි. එතැනින් එපිට නීතියක් නැත. කිනම් නීතියක් ගෙනාවද එහි බලපෑමක් අයිතිකාරයින්ට නැත. සියල්ලට යටත් වන්නේ ඔවුන් යටතේ සිටින්නට පමණි.

රටේ මහතැනින් පටන් ගන්නා මේ වැඩවසම් මානසික තත්ත්වය දැන් ඉන් පහළටද ප්‍රේරණය වී ඇත. එහි ආසන්නතම සිද්ධිය මර්වින් සිල්වා විසින් සමුද්ධි නිලධාරීයෙකු ගස් බැඳීමයි. අපි හිතමු සමුද්ධි නිළධාරියා වැරදියි කියා. ඔහු එම ඩෙංගු මර්ධන වැඩසටහන සහභාගී නොවීම සේවය පැහැර හැරීමක් කියා. එසේනම් එවැනි සේවය පැහැර හරින රජයේ සේවකයන් සම්බන්ධව ක්‍රියාකිරීම නිෂ්චිත පිළිවෙතක් ඇත. නමුත් සිදුවුයේ කුමක්ද? අර වැඩවසම් යුගයේදී වහලෙකු සේවය පැහැර හැරි අවස්ථාවකදී ක්‍රියාත්මක වන ආකාරයකි. එය හරියටම කිසිඳු වග විභාගයකින් තොරව ගම්මුලාදෑනියා ගේ අණට ඔහුව දඬුකඳේ ගැසීම වැනි ක්‍රමයකි. ගම්මුලාදෑනීන්ටද තිබුණේද ගම හිමිකාරීත්වය පිළිබඳ හැඟීමකි. ඔවුන් සිතා සිටියේ ගමේ ඕනෑම දෙයක් තමන්ට ඕන ඕන ආකාරයට නැටවිය හැකි කියාය. එවැනි වූ පාලන ක්‍රම අතහැර වර්ථමානය දක්වා විකාශණය වූයේ මානව වර්ගයාගේ සමාජීය සහ දේශපාලනික අයිතීන් සුරක්‍ෂිත කිරීම සඳහාය.

දැන් අප නැවත ගමන් කරමින් සිටින්නේ ඉහත පැවති වැඩවසම් ක්‍රමයටය. අයිතිකාරයන් විට ජනයාගේ නිදහස පිළිබඳ හැඟීමක් නැත. ඔවුන්ට යන එන තැන් තීරණය කරන්නේ කනබොන ආකාරය තීරණය කරන්නේ ඔවුන් විසිනි. ඔවුන්ය හිතුණු විටෙක් විවිධ බදු පනවති. ඒවා ජනයා වෙත කරනු ලබන ආර්ථික පීඩනය ගැන ඔවුන්ට ප්‍රශ්ණයක් නැත. ඔවුන්ට එය වැඩක්ද නැත. හදිස්සියේ හෝ ඔවුන් විසින් ගෙනන ඒවාට විරුද්ධව ජනයා එක්රැස් වූවහොත් කරන්නේ දැවැන්ත මර්දනයක් ඒ වෙතට මුදා හැරීමයි. මර්දනයෙන් හෝ කුමන හෝ මාර්ඟයකින් එම නැඟිටීම පාගා දමයි. එවැනි ජන නැඟිටීම් අයිතිකාරයින් සිතන්නේ ඒවා තමන්ට එරෙහිව සිදුකෙරන කුමණ්ත්‍රන ලෙසයි.

මේ අයිතිකරුවන් බුද්ධාගම විකුණන තරමට ඔවුන් ධර්මානුකූලව රාජ්‍ය පාලනය කරයිනම් ඔවුන්ට මේ මමත්වය හෙවත් මාගේය යන ආත්මාථකාමී පාලනයක් ගෙන යෑමට නොහැක. මේ මාගේ රට නොව මේ අපගේ රටය. අප සැමගේ රටය. ජනතාවක් ලෙස අප කුළල් කා ගනිමින් ඉන්නතාක් මේ පාලකයන් ලෙස පත්වන අයිතිකරුවන්ගේ චරිත රඟපානු ඇත. එසේ නම් තවත් පිල්බෙඳී එකෙක්ට එකෙක් නොමැතිව වහල්ව ජීවිත්වනවාද එක්සත්ව නැඟීසිට නිදහස්ව, නිවහල්ව ජීවත්වනවාද යන්න ඔබම තීරණය කරන්නට කාලය පැමිණ ඇත.