සිංහල, Colombo, Democracy, Human Rights, Life quips

කලු ජූලිය 25 – කටු සටහනක් – පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන් ලියා තිබූ එම පාඨය එතරම් හොදින් පෙනෙන්නට තිබුණේ ද නැත. එනමුත් ලංවී එය කියවා බැලූ මැදිවියේ පුද්ගලයෙක් මා අසළම සිටගෙන බැණ වදින්නට පටන් ගත්තේ ය. “ සිංහලයෝ මැරුණහම තමයි කවුරුත් නැත්තේ, එක දෙමළෙක් මැරුනොත් උද්ඝෝෂණ කරනවා, එක දෙමළෙක් ඉස්සුවොත් සිරසේ සුදු වෑන් කියා දානවා. ඇයි සිංහලයෝ මරන්නේ නැත් ද? මේ ඔක්කොම ප්‍රභාකරන් බේර ගන්න, හමුදාවේ කොල්ලෝ හෙට අනිද්දාම උන් ඔක්කොම නැති කරනවා. එතකොටත් වරෙල්ලා පුලුවන් නම් පිකට් කරන්න…. ”

ඔහුට අවශ්‍ය වී තිබුනේ මා සමඟ ගැටුමක් ඇති කර ගැනීමට ය. බිය නිසාම මා මුවින් නොබැණ සිටියෙමි. සමාජ බලය ඇත්තේ ජාතිවාදයට නිසා ය.

නමුත් වෙනත් සහෝදරයකු පැමිණ ඔහු සමඟ වෙනත් විදියක කතාවක් පටන් ගත්තේ ය. සමහර විට මා වැටී සිටි අමාරුව දැක නිසා විය හැක. “ දැන් ඔක්කොම කොටි, ලාල් කාන්තත් කොටි, ඇයි බඩු මිල ගැන කතා කරනවනේ… මංගල සමරවීරත් කොටි ඇයි ආණ්ඩුව විවේචනය කරනවනේ…වැඩ වර්ජකයොත් කොටි… හැම තැනම කොටි නේද?” ඔහු ඇසුවේ ය.
“ඔව් මේ වෙලේ ආණ්ඩුවට ගහන්නේ කොටි බේර ගන්න, උන් එක ජාතියක කොටි තමයි.. ”

වාදය ඇදී යත් දී එහි සිටි ඡායාරූප මාධ්‍යවේදී බුද්ධික සමඟ පිලිසඳරක යෙදීමට මා අනෙක් පැත්තට ගියෙමි. එවිට සංවිධායක සහෝදරියක් පැමිණ අන් සියළු දෙනා ඉදිරියෙහි මට මෙසේ කිවා ය. “ බය ගුල්ලා ආවේ නෑ නේද රැස්වීමට, චි චි මං නම් හිතුවේ නෑ ඔය තරම් බයගුල්ලෙක් කියලා, බස් එකේ යන්නත් බයයි කව්වාලු නේ ද? ” බිය නිසාම මා මුවින් නොබැන සිටියෙමි. එතැන බලය තිබුනේ ඔවුන්ට ය.

එවිට දුම්රිය පොළ අසළ ත්‍රීවීල් වලට පත්‍රිකා බෙදමින් සිටි පැට්රික් සහ සිවගුරුනාදන් පැමිණ මෙසේ කිවේ ය. “ත්‍රී විල් කට්ටිය අපට ගහන්නවගේ ආවා, තොපි එල්ටීටීඊ කාරයෝ කියළ පත්‍රිකා බෙදන එක නවත්වන්න කිව්වා, එතන නිකන් ගහන්න වගේ කට්ටියක් සෙට් වෙනවා.”
බියමුසු හැගිමක් ඇති විය. මේ බව අප අතර කතා වන විට එහි සිටි ජනමාධ්‍යවේදින් දෙදෙනෙකු අපි ගියොත් හොදයි කියා, පහන් පත්තු කිරිම ඡායාරූපයට නැගීමටවත් නොසිට ගියෝ ය. මේ බව සත්‍යවේල් පියතුමාට කී විට පොලිසියට කියමුදැයි ඇසුවෙමි. පසුව කෙසේ හෝ එතැනට පොලීසියේ නිලධාරීහු තිදෙනෙකු පැමිණයහ.

ඒ සුලු නිමේශය අප බොහෝ දෙනෙකු අතර ඇති කලේ මැර ප්‍රහාරයකට හසුවේදෝ ය යන අනියත හැගීම ය. බිය එහි කොටසකි. 1983 ජූලි මාසයේදී මෙරට දෙමළ ජනයා සමාජයක් වශයෙන් කොතරම් භීතියකට පත් වන්නට ඇත් ද? එලෙස බිය ගන්වන ලද දෙමළ සමාජය එම බියෙන් ඉවතට ගැනීමට අප ශ්‍රී ලාංකික සමාජයක් වශයෙන් සමත් වී ඇත් ද? පත්‍රිකා බෙදමින් සිට ආපසු පැමිණි සිවා කීයේ මෙවැනි කතාවකි. “ පත්‍රිකාවක් බෙදන්න යන්න ඕන නෑ. දෙමළ මිනිහෙකුට ඉස්පිරිතාලෙකට යන්න කියන්න, කොච්චර අපහාස විදින්න වෙනව ද බලන්න”

කලු ජූලියේ විසි පස්වන අනුස්මරණය වෙනුවෙන් ඔස්ටින් ප්‍රනාන්දු බොටම් ලයින් පුවත් පතට ලියූ ලිපියෙහි මෙම ප්‍රශ්ණය වෙනත් විධියකට අසා තිබුණි. අසළවැසි ගනංකාරයකු විසින් තමා මරා දමනු ඇතැයි බියට පත්ව සිටි දෙමළ ජාතිකයකු එම අසළවැසි ගනංකාරයාම විසින් බේරා ගෙන පොලීසියට බාර දුන් සැටි විස්තර කරමින් එම ලිපිය ආරම්භ වෙයි. එය අවසානයේ අසන්නේ අද යළි 83ක් ඇති වුවහොත් දෙමළ ජනයා බේරා ගැනීමට ඉදිරිපත්වන පුද්ගලයින් කොටින් ලෙස හංවඩු නොගැසෙනු ඇත් ද කියා ය.

කලු ජූලියේ 25 වන වසර සැමරීමට සහජීවන පදනම විසින් සංවිධානය කරන බවට ප්‍රචාරය වූ ජනතා වැඩ සටහන අවසානයේ දී පැදුරටත් නොකියා අකුළා ගැනුනේ ඉහලින් ආ නියෝගයක් නිසා යැයි කියන කතාව ඇත්තක් දැයි නොදනිමි. එසේ නම් එය නපුරකි.

කලු ජූලිය සිංහළ ජනයා අතර සිටින සුලුතරයක්ගේ ක්‍රියාවක් බැවින් එය බහුතරය විසින් සුලුතරය මත මුදාහළ ප්‍රචණ්ඩත්වයක් ලෙස දැක්විම වැරදි බව බොහෝ විට අසන්නට ලැබේ. ප්‍රසිද්ධ පරිවර්ථකයකු සහ ලේඛකයකු වන වන ගාමිණි වියන්ගොඩ සිරස රූපවාහිනී කතාබහක දි මේ ගැන ඇසූයේ එසේ නම් බහුතරය එවැනි ක්‍රියා වැලැක්වීමට ගත් පියවරක් ඇත් ද යනු ය. ඔහු පෙන්වා දුන්නේ නිදහසින් පසු පස් වතාවක්ම මෙවැනි දෙමළ ජනයා සාමූහික දණ්ඩනයන්ට යටත් කෙරුණු ප්‍රචණ්ඩත්වයන් මුදා හල බව යි. අප යුත්තිය පුවත් පත කළ කාලයේ පමණක් වතුකර දෙමළ ජනයාට එරෙහිව මෙවැනි ප්‍රචණ්ඩත්වයන් යළි යළි ඇති වූ බව ද ඊට එකතු කළ යුතු ය.

83 කලුජූලිය ගැන ඊ මේලයක් එවූ නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ මේ වනාහී කලු ජූලියේ පමණක් නොව 1958 ජාතිවාදි කෝළාහලයේ 50 වන සංවත්සරය ද බව යි. ඒ වනාහි නිදහස් ලංකාවේ වාර්ගික වෛරයේ පළමු ගිනි සිලුව විය. ඒ පිළිබඳ 58 හදිසි නීතිය නමින් මා හැගී වාර්තාවක් පොතක් ලියා පළකළ ටාසි විට්ටච්චි නම් ජනමාධ්‍යවේදියාට රට හැර යාමට සිදු වූයේ ද ඒ වාර්තාව නිසා බව කියනු ලැබේ.

කලු ජූලිය ගැන එවැනි ජනමාධ්‍යමය වාර්තාවක් පළ නොවූ නමුත් අද සන්ඩේ ටයිම්ස් කර්තෘ වන සිංහ රත්නතුංග ලියූ පොලිටික්ස් ඇන්ඩ් ටෙරරිසම් ග්‍රන්ථයෙහි දීර්ඝ පරිච්ජේදයක් තිබේ. ඔහු එය අවසන් කරන්නේ 83 කොළාහලය වනාහි කළකිරුනු සොල්දාදුවන්ගේ සහ තුවාල වූ සිංහල අභිමානයේ විපාකයක් ලෙස හදුන්වා දෙමිනි.

එල්. පියසේන යන අන්වර්ථ නාමයෙන් 83 විනාශය සහ ඉන්පසු යන නමින් කෘතියක් සම්පාදනය කල එකල ජීවත්වූ විද්වතකු තර්ක කරන්නේ කලු ජූලිය අහම්භ ප්‍රචන්ඩත්වයක් නොව දෙමළ ජනයා පලවා හැරිමට දරන ලද සංවිධිත ප්‍රහාරයක් බව යි. තිස්ස බාලසූරිය පියතුමන් විසින් ද මේ අරභයා අගනා කෘතියක් එළි දක්වන ලදී.

ආපසු යන අතර වාරයේ මමත් බුද්ධිකත් රසිකත් ප්ලේන්ටියෙක් ගැසීමට මල්පාරේ තොසේ කඩයට ගොඩ වීමු. හැමදාම සිනා සී ප්ලේනටිය ගෙනැත් දෙන වේටර්වරයාගෙන් 83 කලු ජූලියේ දී සිටියේ කොහේදැයි ඇසීමට සිත් විය. නොඇසීමි. ඇයිදැයි නොදනිමි.