සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද ෙද්ශප්‍රිය

මල්වතු නාහිමි වාරණය කිරීම
මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත් පත පළ කලේ මල්වතු නාහිමි වාරණය කරමිනි.

ජනමාධ්‍යවේදින්ට එල්ලවන තර්ජන ගර්ජන නිසා සිදුවිය හැකි විපත් ගැන එහිමියන් වදාළ කරුනු ආණ්ඩුවේ දිනමිණ සහමුලින්ම වාගේ කපා දමා තිබුණි. එම වාර්තාව ලියා තිබුනේ ජනමාධ්‍යවේදින්ට එල්ලවන පහරදීම් මල්වතු නාහිමි වක්‍ර ලෙස සාධාරණ කරන්නේ යැයි පෙනි යන පරිදි ය.

මෙම වාර්තාව පළ කළ අනෙක් පුවත්පත් දෙකම සාධාරණ ලෙස එහිමියන් වදාළ කරුණු වාර්තා කර තිබුනි. රජය විසින් පාලනය කරන ජනමාධ්‍ය සගූණත්වය අතින් ආදර්ශමත් ලෙස පවත්වා ගෙන යන බවට මහින්ද චින්තනය පොරොන්දුවක් දුන්නේ මෙළෙස නාහිමිවරුන් පවා වාරණය කිරිමට ද? එකක් කිව හැකි ය. අද මෙලෙස ලියනප්පුලා වෙනත් ආණ්ඩුවක් යටතේ ද මේ ජනමාධ්‍ය දුරාචාරය ම පවත්වා ගෙන යනවා ඇත.

දෙමළ සගයාට ගෙයක් සෙවීම
උදය තමන් සමග එකට රුකියාව කරන දකුනේ උපන් දෙමළ ජාතික තරුණයකුට කොළඔ පදිංචිය පිණිස ගෙයක් සෙවීමට පසුගිය සති දෙක තුන පුරා මහන්සි ගත්තේ ය.
ඔහුගේ මිතුරාගේ පඩි පැකට්ටුව අනුව ගෙවිය හැකි වූ මාසික කුළිය රුපියල් 7000ක් තරම් විය.
මේ තරුණයා ඉපදුනේ කොළඹට නුදුරු ජාඇල ය. දේවගැතිවරයකු වූ ඔහුගේ පියා දැන් සේවය කරන්නේ දෙනියායේ බැවින් පදිංචිය ද එහි ය.

ගෙවිය හැකි කුළිය අනුව නිවාස 30 පමණ සොයා ගැනීමට උයද ඇතුළු පිරිස සමත් වූහ. නමුත් ඒ එකදු නිවාස හිමියකුවත් අපේ දෙමළ ජාතික මිතුරාට නිවසක් කුළියට දීමට කැමැති වූයේ නැත. ඉන් සමහරකු කෙලින්ම තමන් දෙමළ ජනයාට ගෙවල් කුළියට නොදෙන බව කී අතර බොහෝ දෙනෙක් දෙමළ අයට ගෙවල් දීලා අපට පොලීසියෙන් කරදර වෙනවාට වඩා හොදයි ගේ නොදීම තියා ගන්න එක ඉන් බොහෝ දෙනෙක් කීහ.

අන්තිමේ දී අපේ මිතුරාට සිදු වූයේ රුපියල් 12,000 ක මාසික කුළියට නිවසක පදංචියට යෑමට ය. ඒ 31 වන නිවාසය යි.

අපේ කාර්යාලයේ අය මේ නිවාස සෙවිල්ල නිසා දෙමළ මිනිස්සු මුහුණ දෙන අමාරුකම් ආයෙත් පාරක් අත්දැකීමෙන්ම තේරුම් ගත්තා. මේ සිදුවෙන්නෙත් 83 වගේ සාමූහික දණ්ඩණයක් නොවෙයි ද? උදය අන්තිමට අහපු ප්‍රශ්නය කොළඹ ජීවත්වන සෑම දෙමළ පුරවැසියෙක්ම මේ දවස්වල අසා ගන්නවා ඇති.

මේ දිනවල දෙමළ ස්ත්‍රීන් පාරට බහින්නේ බැරිම තත්ත්වයක් යටතේ විතර යි. බැස්සොත් අනිවාර්‍යයෙන්ම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මීගමුවේ දෙමළ ජාතිකයින් 25 දෙනෙකු පමණ කිසිම හේතුවක් නැතිව රැඳවුම් බාරයට දැම්ම බව කිව්වෙ ටයිටස් අයියා. මේ අපි අව්රුදු ගාණක් දන්න කොල්ලො, උන් ඔක්කොම අරන් ගියා, ඔහු කිව්වා. පුවත්පත් වාර්තා කළ විදියට දහස් ගණනාවක් කිසිම හේතුවක් නැතිව දෙමළ පිරිස් හුදෙක් දෙමළ විම නිසා මේ දවස්වල හිර ගෙදර.

හරියට ලංකාව “නිදහස” ලබපු දවසට කොළඔ අවට ජීවත්වන කඳුරට දෙමළ තරුණ තරුණියන්ට නිදහස අහිමි වී දින ගණනාවක් රුදවුම් බාරයේ ඉන්න වෙනව වගේ?

ශ්‍රී ලංකාව දෙමළ මිනිස්සුන්ටත් අයිතියි කියන්නේ ඇත්ත ද?

2009-2019 ගරිල්ලා යුද්ධය

ආණ්ඩුවේ යුද්ධ නායක හමුදාපතිට අනුව 2009 – 2019 ශ්‍රී ලංකාවේ යුද්ධයේ අලුත් අදියරකි. එනම් දහසක් ගරිල්ලා භටයින් විසින් පවත්වා ගෙන යනු ඇති පස්වන ඊළාම් යුද්ධය යි. ඒ අනුව වසරක් තුළ දි හතර වන ඊළාම් යුද්ධය එල්ටීටිඊ ය පරාජයට අත් වීමෙන් කෙළවර වෙයි. මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ යුද්ධය පිළිබදව නව මානයකි. එමෙන්ම දේශපාලන වශයෙන් රණකාමි දෙමළ ජාතිකවාදයේ පැවැත්ම තවදුරටත් ඉතිරිවන බව පිළි ගැනීමකි.

අද අපට පෙනෙන්නට ඇති පරිදි සතුරා අවතක්සේරු කිරිමත් තමන් අධි තක්සේරු කර ගැනීමත් යුද්ධයක ස්වභාවය නිසා මේ ගණන් හිලවු මීට වඩා වැඩි විමට ඇති ඉඩ අප සලකා බැලිය යුතු ය. ලොව පුරා රණකාමී දෙමළ ජාතිකවාදයට ඇති සහයෝගය පසුගිය දිනවල පැවැති පොන්ගු තමිල් උත්සව මගින් පෙනී ගියේ ය. එම සහාය එලෙසම පවතිනු ඇති බව පසුගිය දින ගනනාව තුළ යුද්ධයේ වත්මන් තත්ත්වය ගැන ලියූ විශ්ලේෂකයින් ගණනාවක් ම පෙන්වා දි තිබුනි.

ඒ යුද්ධයට මුහුණ දීමටත් මෙවැනි ම යුද්ධ ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමට සිදුවනු ඇත් ද කියා තවම ප්‍රකාශයට පත් කර නැත. එනම් අන් සෑම දෙයක්ම යුද්ධය වෙනුවෙන් ද්වීතීයක බවට පත් කරන ආණ්ඩුවකි. යුද හමුදාපතිවරයාගේ මේ අනාවැකිය අනුව වුව අඩුම වශයෙන් උතුරු පළාතෙහි සහ නැගෙනහිර ප්‍රදේශ ගණනාවකවත් යුද්ධ පාලනයක් පවත්වා ගෙන යෑමට සිදු වනවා ඇත.

අද මඩකළපුවෙහි සිදුවන පරිදිය. ආණ්ඩුවට අනුව එහි ඇත්තේ ගරිල්ලා භටයින් 150ක් පමණ ය. නමුත් අද මඩකළපුවෙහි ආරක්ෂ විධිවිධාන අන් කවර කලෙකටත් වඩා වැඩි බව එහි වැසියෝ කියති.

ආණ්ඩුව විශ්වාසයෙන් යුතුව කියන්නේ තමන් කෙසේ හෝ ප්‍රභාකරන් මරා දමා යුද්ධය කෙළවර කරන බව යි. ප්‍රභාකරන් නැති රණකාමී දෙමළ ජාතික අරගලය ගන්නා අලුත් මුහුණුවර කුමක්වනු ඇති ද? එමගින් දෙමළ ජාතික අරගලය වඩා පුළුල් වනු ඇත් ද? ප්‍රභාකරන් විරෝධි එනමුත් රණකාමී දෙමළ ජාතිකවාදය පිළි ගන්නා විවිධ කොටස් ඊට එකතු වනු ඇත් ද? කොළඔ අද ඇති ආරක්ෂක වධිවිධාන ඉවත් කල විට ඉතිරිවන දහසක් ගරිල්ලා සටන් කරුවන්ගෙන් පිරිසක් එහි නොඑනු ඇත් ද?

යුද්ධය යුද්ධයෙන් ම අවසන් කළ හැකි යැයි කිව්වේ කව්ද?