Colombo, Featured Articles, Features

‛වෙලාවට’ ඉඩ දී හිත හදා ගැනීම


කථා අංක 01- අජිත්ගෙ වෙලාව

අජිත් රජයේ ආයතනයක නිළධාරියෙක්. එයා එදා හවස වැඩ ඇරිලා ගෙදර එනකොට ළමයාට හොඳටම සනීප නැහැ. ඉතින් අජිතුයි බිරිඳයි ත්‍රී විල් එකකුත් කුලියට අරගෙන ළමයාට බේත් ගේන්න ගියා. මේ වෙනකොට අජිත්ගෙ බිරිඳට තව දරුවෙක් ලැබෙන්නත් හිටියා. බේත් අරගෙන ඉවර වුණාට පස්සෙ තමයි අජිත්ගෙ හිත සන්සුන් වුණෙ. ලඟ තිබුණ හෝටලයෙන් ආප්පත් අරගෙන අජිත්ලා ගෙදර එන්න ත්‍රීවිල් එකට නැග්ගා. ත්‍රී විල් එකේ අජිත් හිටියෙ පාර පැත්තට වෙන්න. බිරිඳ හිටියෙ අනිත් කෙළවරේ. දරුවා මැද. ඒගොල්ලො එන අතරේ සී.ටී.බී බස් එකක් ත්‍රී විල් එක පැත්තට වේගයෙන් එනවා අජිත් දැක්කා. බස් එක ත්‍රී විල් එකේ හැප්පෙයි කියලා අජිත්ට හිතුණ. කෑ ගැහුවා. ත්‍රී විල් එක නතර කරන්න වෙලාවක් නොදී බස් රිය ත්‍රී විල් එක යට කරගෙන ගියා. බස් එක ත්‍රී විල් එකේ හැප්පෙනකොටම වගේ අජිත් අසිහියෙන් වගේ දරුවවයි බිරිඳවයි බදා ගත්තෙ තමන්ව බිල්ලට දීලා හරි කමක් නැහැ තමන්ගෙ ආදරණීයන්ව බේරගන්න වෙන්න ඇති.

බස් එක නතර කළා. සෙනඟ වට වුණා. ත්‍රීවීල් එකට හොඳටම අලාභානි වෙලා තිබුණෙ. හැබැයි හැමෝම ජීවතුන් අතර හිටියා. ඒ අතරින් අජිත්ටයි, ත්‍රීවීල් රියදුරාටයි හුඟක් අසාධ්‍යයි කියලා තමයි පෙණුනෙ.

“ඉක්මණට වාහනයක් හොයා ගෙන එන්න.”

වට වෙලා හිටපු මිනිස්සු හැදුවෙ අනතුරට මුහුණ දුන් අයව බේරගන්න. නමුත් මේ වෙලාවෙ බස් එකෙන් හමුදාවෙ පිරිසක් බැස්සා. අනතුර සිදුකරපු බස් එකේ හිටියෙ හමුදාව කියලා හැමෝම දැනගත්තේ එතකොටයි.

“කවුරුත් ලංවෙන්න එපා”

තුවක්කු දික් කරගෙන එතනට ආපු හමුදාවෙ කට්ටිය කෑගැහුවා.

“ඒත් ඉක්මණට මෙයාලව ඉස්පිරිතාලෙට ගෙනිච්චොත් නේද හොඳ? ” පිරිසෙන් එක් අයෙක් හමුදා භටයෝ දිහා පුදුමෙන් බලමින් ඇහුවා.
“එහෙම කරන්න බැහැ. ඉස්පිරිතාලෙ ඇම්බියුලන්ස් එක එනකම් ඉන්න වෙනවා. එක එක වාහන වල යවලා අපියි අමාරුවෙ වැටෙන්නෙ.”
හමුදාවෙ එක්කෙනෙක් තරමක් සැරෙන් කිව්වා.

“බස් එක වැරදි පැත්තෙන් ඇවිල්ලා මේ අහිංසක මිනිස්සුන්ව හැප්පුව මදිවට ඇම්බියුලනස් එකක් එනකං බලා ඉන්න එක හරි අමානුෂිකයි.” වටවෙලා හිටපු කවුරු කවුරුත් එහෙම කිව්වෙ නැහැ. හැබැයි එහෙම හිතුවා.

ලඟම ඉස්පිරිතාලෙ තියෙන්නෙ කිලෝමීටර් 20 ක් විතර එහා. එහෙන් ඇම්බියුලනස් එකක් එන්න යන වෙලාව අතරෙ වෙන වාහනයක තුවාලකාරයො යැව්වා නම් ජීවිත ටික බේරගන්න තිබුණා. කවුරුත් එහෙම කිව්වෙ නැහැ. හිතුවා.

හමුදාවෙ අයගෙ අතේ තිබුණ තුවක්කු වටවෙලා හිටපු අයට හිතුණ දේවල් කියන එක අවහිර කළා.

ඒ හින්දා කවුරුත් මුකුත් කිව්වෙ නැහැ. ඇම්බියුලන්ස් එකක් එනකං වේදනාවෙන් කෙඳිරි ගාන, වේදනාව වැඩි කමට සිහිය නැතිව ඉන්න ජීවිත දිහා බලාගෙන හීල්ලුවා.

ලේ පෙරාගෙන ඉන්න මිනිස්සුන් අනන්තවත් දැකලා තියෙන හින්දාද කොහෙද හමුදාවෙ අයට මේ ජීවිත, මරණයත් එක්ක කරන සටන එතරම් අරුමයක් වුණෙ නැහැ.

ඇම්බියුලන්ස් එක ආවෙ අනතුර වෙලා පැය භාගයකට විතර පස්සෙ. ඒ වන විටත් අනතුරට ලක්වෙච්ච පිරිසට පණ තිබුණා. නමුත් ඉස්පිරිතාලෙට යන අතර මගදි අජිත් මිය ගියා. අජිත් මියගියෙ අධික ලෙස ලේ වහනය වීම නිසා කියලා වෛද්‍යවරු පැවසුවා. ත්‍රීවිල් රියදුරාගෙ කකුල කැඩුනා. අජිත්ගෙ බිරිඳගෙයි දරුවගෙයි ජීවිතේ බේරුණා. තව දරුවෙක් ලැබෙන්න හිටිය නිසා අජිත්ගෙ බිරිඳට හුඟක් අමාරු වුණා.

අජිත් කියන්නේ ප්‍රදේශයේ හැමෝම හරි ආදරයෙන් සලකපු පුද්ගලයෙක්. මොකද අජිත් තමන් වැඩකරපු ආයතනය හරහා ප්‍රදේශයේ බොහෝ පිරිසකට උදව් කරල තිබුණා. ඒ හින්දා මළගෙදර දි හැමෝම අජිත්ගෙ හොඳ ගතිගුණ අගය කළා. වැළපුණා. මේ අතර තුර අජිත්ගෙ මරණය සම්බන්ධයෙන් රහසක් හැමෝ අතරම හුවමාරු වුණා. ඒ තමයි අජිත්ගෙ හඳහනේ එයා අඩු වයසින් මිය යනවා කියලා සඳහන් වෙලා තිබුණා කියන එක.

“අජිත් බඳින්න හිටියෙ අපේ ලොකු දුවව. හැබැයි දෙන්නගෙ හඳහන් බලනකොට අජිත්ගෙ ජීවිතේ කෙටියි කියලා දැනගත්ත හින්දා අපි කසාදෙ නැවැත්තුවා. අපේ දුවගෙ වෙලාවට එයා බේරුණා.”

මළ ගෙදරට ආපු එක්කෙනෙක් අජිත්ගෙ දෛවයේ රහස් හෙළි කළා.

“මොනව කරන්නද? ඔහොම තමයි ජීවිතෙ. කරුමෙ. ලබා උපන් හැටි තමයි.” මළ ගෙදර වැළපුම් අස්සෙන් කොඳුරනවා ඇහුණා.
මේ සිදුවීම වුණෙ ලංකාවෙ යුද්දෙ හොඳටම(?) තිබුණ දවස්වල. ඒ දවස්වල හමුදාවට තිබුණ බය සහ ගෞරවය නිසා අජිත්ගෙ ජීවිතෙ (දරුවො දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ ජීවිතෙ) බේරෙන එක වැලකුණා. මේ සිදුවීමෙන් පස්සෙවත් කවුරුවත් මේ මරණයට වගකියන්න ඕනෙ අය සම්බන්ධයෙන් කතා කලේ නැහැ. ඒ මරණය අජිත්ගෙ වෙලාව තමයි කියලා හිත හදා ගත්තා.

කථා අංක 02- බෞසිසිගෙ වෙලාව

මොහොමඩ් බෞසිසි අවුරුදු 23 ක තරුණයෙක්. එයාට කරන්න රැකියාවක් තිබුණෙ නැහැ. ඒ වෙනකොට බඩු මිල අහස උසට නැගලා තිබුණෙ. ඒ හින්දා මුළු පවුලම නඩත්තු කරන්න බෞසිසිට මොකක් හරි කිරීම අනිවාර්ය වුණා. ඉතින් බෞසිසි කළේ නගරයේ එළවළු කරත්තයක් තියාගෙන විකුණන එක.

එළවළු ගොඩක් අස්සෙ ජීවිතේ හොයන බෞසිසිව හොයාගෙන දවසක් පොලීසිය ආවා.

“මේ විදිහට ටවුන් එකේ එළවළු විකුණන එක නීති විරෝධියි. ඒක හින්දා අපි තමුන්ගෙ එළවළු කරත්තෙ අත්අඩංගුවට ගන්නවා.”

බෞසිසි ගාවට ආපු පොලිස් නිළධාරියෙක් එහෙම කියන අතරෙ අනික් පොලිස් නිළධාරියො ටික එළවළු කිරන තරාදිය බෞසිසිගෙ අතට දීලා කරත්තය පොලීසිය දෙසට තල්ලු කරන්න ගත්තා.

බෞසිසිට දෙවියො සිහිවුණා. එයා දැනගත්තා බලා හිටියොත් මුළු පවුලක්ම නඩත්තු කරපු එළවළු ටික රාජ සන්තක වන බව. එයා පොලිස් නිළධාරින්ගෙන් එළවළු ටික ඉල්ලලා කෑගැහුවා. ඒ වෙනුවට පොලීසිය ගාව දෙන්න තිබුණෙ බැටන් පොලු පහරවල් විතරයි කියලා වටවෙලා හිටිය පිරිස දැක්කා.
බෞසිසි ඇඬුවේ බැටන් පහරවල් වල වේදනාවට නෙමෙයි.

කරන්න දෙයක් නෑ. බෞසිසිට මුකුත් හිතාගන්න බැරිවුණා. තමන් මොනව කරනවද කියලා එයාට වැටහීමක් තිබුණෙ නෑ. එයා පාර මැදට ආවෙ පෙට්‍රල් කෑන් එකකුත් අතට අරගෙන. මුළු ඇඟටම හලා ගත්තා. ඊට පස්සෙ බෞසිසි ………. . වට වෙලා හිටපු මිනිස්සු ගිනි ගනිමින් හිටපු බෞසිසි බේරගන්න උත්සාහ කළා. එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. නමුත් පිලිස්සුම් තුවාල බරපතල හින්දා එයා ඊට ටික දවසකට පස්සෙ මිය ගියා.

මේ සිදුවීම උනේ ටියුනීසියාවෙ සිඩිබෞද් නගරයෙ. මුළු ටියුනීසියාවෙම ජනතාව මේ සිද්ධියට එරෙහිව වීදි බැස්සා. ඒ වන විට රටේ තිබුණ විරැකියාව,උද්ධමනය හින්දා ජනතාව වින්ඳ දහසකුත් ප්‍රශ්න නිසා කැකෑරෙමින් තිබුණ වේදනාව එලියට දාන්න මේ සිද්ධිය හේතු වුණා. අන්තිමට රටේ ජනාධිපතිට රටින් පැනලා යන්න මේ සිදු වීම පාර කැපුවා.

ලංකාවෙ අජිත්ගෙ මරණය සාමාන්‍ය මරණයක් වෙද්දි ටියුසීනියාවෙ බෞසිසිගෙ මරණයට වටිනාකමක් දෙන්න ටියුසීනියාවෙ මිනිස්සු සමත් වුණේ ඒ විදිහට. ඉතින් අජිත්ට වුණ දේ තුළින් අපට පේන්නෙ ඒක අජිත් වෙලාව (කරුමෙ) විතරක් ද නැත්නම් සමස්ත සමාජයේම වෙලාව ද (කරුමෙ) කියලා තීරණය කරන එක ඔබට භාරයි.