Colombo, Featured Articles, Features

ඊජිප්තුව – විප්ලවයක රුවගුණ


Pic by – www.weetklip.com

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

”යන්න කියන්නේ යන්නම යන්නයි
නුඹට තේරෙන්නේ නැතිවා ද?
ඕ සුලෙයිමන්, ඕ සුලෙයිමන්
නුඹත් යන්න ම යා යුතුයි
අප මෙහි ඉන්නේ ඉන්න ම යි
රිජීමය අතුගෑ වෙනතුරු ඉන්න ම යි
විප්ලවය, විප්ලවය. ජයවේවා,
මේ තමයි ඊජිප්තුවේ වීදියේ විප්ලවය”

තහරීර් චතුරශ්රයේ ගැයුනු ගීපද

විප්ලවය ජාතික දේශසීමා නොසළකයි. එය දේශසීමා පරයා විප්ලවීය රළ සහ කුණාටු නංවයි. ලොව පුරා පීඩිත ජනයාට ආශ්වාදය සහ ජීවය කැඳවයි. පීඩිකයින්ගේ සිත් සතන් තුළ මාරාන්තික භීතියක් අවුලවයි. විප්ලවය වෙනසක් නැතිව සියළු ජනයා එයට ආකර්ශණය කර ගනී. එය නව බලාපොරොත්තු ජනිත කරයි. නව නායකයින් පෙරට ගෙන එයි. සියල්ලටම ඉහලින් එය මහා ජනයාට තමන් ගැන විශ්වාසයක් සහ ආත්ම ගරුත්වයක් කාවද්දයි. විප්ලවය ජයගන්නේ මරන්නට නොව එය වෙනුවෙන් මැරෙන්ට ඇති ධෙර්‍යය නිසාය.

තහරීර් චතුරශ්‍රය ජය නදින් ගිගුම්දී අහස දෙදෙරවූ 12දා රුයෙහි ඇසු ඇසූ සියල්ලෝ මෙසේ කීහ: ‛‛ අහා ෟ ඊජිප්තුවෙක් වීම කොතරම් ආඩම්බරයක් දෟ නිදහස ජය ගැන්වූයෙමු’’ අයකු දෙදෙනෙකු නොවේ. දශ ලක්ෂ ගණනාවක් ඊජිප්තුවෝ එසේ සිතුහ. එකිනෙකාට එසේ කියා ගත්හ. බාල, තරුණ, මහළු, ස්ත්‍රි, පුරුෂ, මුස්ලිම්, කිතුණු හැමෝම වෙනසක් නැතිව වීදියේ ජය සැමරූහ.

එයට පෙර දින රාත්‍රියේ තමන් නිලයෙන් ඉවත් නොවන බවත් තහරීර් චතුරශ්‍රයෙන් ජනයා ඉවත්වීමට කාලය පැමිණ ඇති බවත් ඒකාධිපති මුබරක් මෘත කලේබර මුහුනින් යුතුව කියා සිටි රාත්‍රියේ ඒ සියල්ලෝ ශපත කළේ මරණය හෝ නිදහස කියා ය. :‛‛අවසානයක් වෙනතුරු යන්නෙත් නෑ. යන්න නම් එන්නෙත් නෑ, අපි ජීවිතය පූජා කරනවා නිදහස වෙනුවෙන්” අයකු දෙදෙනෙකු නොවේ. එසේ සිතූ කියූ දශලක්ෂ ගණනාවක් වීදියේ විප්ලවයේ හඬ බවට පත්ව තිබුණි.

ඊජිප්තු ජනයාගේ නැගී සිටීම වසන් කිරීමට එරට ස්ත්‍රෝත්‍ර ගායක රාජ්‍ය ජනමාධ්‍ය දැරූ විලි ලැජිජා නැති ප්‍රයත්නය පුපුරුවා හරිමින් ජනමාධ්‍යවේදීහු කටු ලෙවකෑම ජීවිකා වෘත්තිය බවට පත් කරගෙන සිටි ගැත්තන් පලවා හැර ඒවායේ බලය අල්ලා ගත්හ. ඊජිප්තු ඉතිහාසයේ නොවී විරූ පරිදි ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී වෙමින් රංගන ශිලිපීහු ද ගායකයෝ ද තහරීර් චතුරශ්‍රරයේ විප්ලවීය කොදව්වෙහි නවාතැන් ගත්හ.

තරුණ ව්‍යාපාරයේ හෘදයංගමවූත් අධිශ්ඨාන සහගතවූත් ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් රටපුරා වෘත්තීය සමිති රජය විසින් පත්කර තිබූ රූකඩ නායක රොත්ත නොසළකා හරිමින් වැඩ නතර කිරීමට ගිවිස ගත්හ. කම්හල් කරා යන මං අසූරූ වර්ජකයෝ කිසිවකුට සිය මුර වළලු බිදීමට ඉඩ නොතැබූහ. විපලවයේ සන්නිවේදන පවත්වා ගනු වස් තැපැල් සේවකයෝ කඩින් කඩ වර්ජනයක් දියත් කළහ. නිරායුධ මහා ජනයා දහස් ගණනින් ගොස් පාර්ලිමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ අගමැති කාර්‍යාලය වැටලූහ. සූවස් ඇල හරහා ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහණ නෙෘකාවන්ගෙන් බදු අය කිරීමට පවා නොහැකිවන තරමට වර්ජනය පැතිරුණි. සිකුරාදා වන විට සෑම පැයකටම කොතැනක හෝ වැඩවර්ජනයක් ඇරඹෙමින් තිබුනි. කම්කරු පංතියේ වැඩවර්ජන යගදාව විප්ලවය වෙනුවෙන් අහසෙහි ලෙලවෙන්නට වූ කළ මුබරක්ට තවදුරටත් පාරම්බෑමට ඉඩක් ඉතිරි වූයේ නැත.

කලු පැහැති සිය විනිසුරු ලෝගු පැළදගත් සිය ගණනාවක් විනිසුරෝ තහරීර් චතුරශ්රයට එක්වූයේ 11දා ය. 12දා 12,000ක් නිීතිවේදීහු මුබරක්ට ඉවත්වන සේ බල කරමින් ඔහුගේ මාලිගයක් වූ අබ්දීන් කරා පා ගමනින් ගියෝ ය. එදින ම වෛද්‍යවරු සහ වෛද්‍ය සහායක වෘත්තිකයෝ දහස් ගණනින් සිය සුදු පැහැති නිල ඇදුමින් සැරසී තහරීර් චතුරශ්රය කරා ගමන් කළේ ‛මුබරක් පලයන්’ කියමිනි. රජය විසින් පත්කරන ලද සමිති ප්‍රධානීන් පළවාහළ ජනමාධ්‍යවේදීහු ද දහස් ගණනින් නගරය මැදට ගමන් කළේ විරෝධතාකරුවන් අමන්දාන්නදයට පත් කරමිනි.

මුබාරක්ට බලය අත හැරීමට සිදු වූයේ කෙවිට සහ කැරට් අලය මගින් මහජන නැගිටීම යටපත් කීරීමට ගත් අනේක ප්‍රයත්න යටපත් කරමින් දිනක් පාසා විප්ලවය පැතිරෙමින් සහ මුල් බැස ගනිමින් බලවත් වෙමින් තිබූ නිසා ය. රාජපාක්ෂික මැරවර දඩබල්ලන් විරෝධතාකරුවන් මැදට ලිහා යැවීමෙන් ද කුලී උද්ඝෝෂකයින් නගරයට කැඳවීම මගින් ද විප්ලවය බිය ගැන්වීමට දරන ලද තැත ඒ පෙබරවාරි 02 දා රාත්‍රියේදී ම පරාජය කැරුණේ මිනිස් වෙසින් ආ දඩබල්ලන්ට පසු නොබලා දුවන්නට සැළැස්වීමෙනි. සිය ගණනාවක් විරෝධතාකරුවන්ගේ ජීවිත එකී මැරවරයින් විසින් උදුරා ගන්නා ලද නමුත් එම ශෝඛය ධෛර්‍යක් බවට හරවා ගත්තා මිස විප්ලවයේ නමින් ලේ සෙලවෙන පළිගැනීම් ඇති වූයේ නැත.

විරෝධතා ඇරඹි ජනවාරි 25දාට දින 10කට පසු විප්ලවයේ පෙරමුණු සටන්කරුවන් වූ තරුණ කණ්ඩායම් එක්ව ‛අග්නි විප්ලවයේ ඒකාබද්ධ තරුණ නායක මංඩළය’ නමින් ජාලයක් පිහිටුවා ගත්හ. ඒ තාක් කල් විප්ලවයට නායකත්වය දුන්නේ ද අප්‍රෙල් 06 තරුණ ව්‍යාපාරය වැනි විශ්වසනීයත්වයක් භුක්තිවිදි තරුණ කණ්ඩායම් විසිනි. එනමින් හැදින්වෙන්නේ නයිල් නදී තීරයේ කාර්මික නගරයක කම්කරුවන් විසින් 2008 අප්‍රෙල් 06 දා ඇරඹි වර්ජනයකට සහාය දක්වනු පිණිස පැන නැගි අන්තර්ජාලය මත පදනම් වූ සමාජ ජාලයක් වන අප්‍රේල් 06 පේස් බුක් නම් කණ්ඩායමයි . එය ආරම්භ කරනු ලැබුවේ මානව සම්පත් විශේෂඥයකු වූ 29 හැවිරිදි ඉස්රා අබ්දෙල් සහ ඉංජිනේරුවකු වූ 30 හැවිරිදි අහමඩ් මහේර් විසිනි. වැඩ වර්ජනයට සහාය දක්වනු පිණිස සතියක් තුල එම ජාලයට ලක්ෂය ඉක්මවූ ඊජිප්තු තරුණ තරුණියෝ එක් වූහ. ඉස්රා සහ අබ්දෙල් මුබාරක්ගේ රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන වධ හිංසා පමුනුවනු ලදුව විප්ලවීය පන්නරය මුවහත් කර ගැනීමට අවස්ථාවක් ලද්දෝ ය. එය විපල්වයේ තරුණ නායකත්වයේ ම ඉරණම බවට පත් වීමට නියමිතව තිබුණි.

අරාබිකරයේ අන්තර්ජාල පේස්බුක් (මුහුණු පොත) පාවිච්චිය අතින් අංක එකට සිටියේ ඊජිප්තුව යි. ලෝකයෙන්ම එය 23 තැන අල්ලාගෙන තිබුණි. එමෙන්ම ආරබි බසින් බ්ලොග් නමින් හැදින්වෙන අන්තර්ජාල දිනපොත් ලියන්නන් විශාලතම සංඛ්‍යාව සිටියේ ද ඊජිප්තුවේ ය. මාධ්‍ය නිදහසක් නැති එරට පේස්බුක් වැනි අන්තර් ජාල උපාංග හුදු සමාජ ජාලයකින් ඔබ්බට ගොස් දේශපාලන විසංවාදය සඳහා වේදිකාවක් බවට පත්ව තිබුණි. ඒකාධිපති පාලනය සමඟ හැංගිමුත්තන් සටන ඇරඹුණේ එහි ය.

2010 ජූනි මාසයේ සිදුවූ එක් මරණයක් විප්ලවයේ ගිනි පුලිඟුවක් වීමට ඉරණම් ලබා තිබුණි. පොලිස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ලාභ බෙදා ගන්නා අන්දම දැක්වෙන කෙටි වීඩියෝ පටයක් අන්තර් ජාලයට එක කළ 28 හැවිරිදි ව්‍යාපාරිකයකු වූ කාලිඩ් සෙයිඩ් පැහැරගත් පොලීසිය තලාපෙලා වධ දී ඔහු මරා දමන ලදී. වධහිංසා පමුණුවන ලද සෙයිඩ්ගේ සිරුරේ ජායාරූප අන්තර්ජාලයෙන් දුටු දහස් ගණන් ඊජිප්තු තරුණ ජනයා ක්ෂණික විරෝධයකට එක් වූහ. ඔහුගේ මරණය ඊජිප්තුවේ අන්තර්ජාල පරම්පරාවට හුදු කම්පනයක් නොව වෛරයක් ද ධෙර්‍යක් ද බවට පත් විය. මේ ලියන මොහොතේ පවා නය්කැා ී්සා යන නමට අන්තර් ජාල සෙවීමක් කල විට ඔහුගේ නම සදහන් ලියැවිලි පනස්දෙලක්ෂ හතලිස් දහසක් ඇති බව පරිගණකය පෙන්නුම් කරයි. වෙනසක් අවශ්‍ය බවත් ඒ සදහා කාලිඩ් සෙයිඩ් පෙන්වූ එඩිතරබව අවශ්‍ය බවත් අන්තර් ජාල පරම්පරාව තේරුම් ගත්තෝ ය.

පොලිස් වදහිංසා වාර්තා කිරීම පිණිසම එක් වෙබ් අඩවියක් පවත්වා ගැණුනු අතර වධහිංසාවන්ට ලක්වුවහොත් කළ යුත්තේ කුමක්දැයි උපදෙස් දෙන තවත් වෙබ් අඩවියක් ද දියත් කෙරුණි.

අප්‍රේල් 06 තරුණ ව්‍යාපාරයේ තවත් නායිකාවක් වූ 26 හැවිරිදි අස්මා මහ්ෆොස් ජනවාරි 25 දා සිට දිනපතාම විප්ලවයට එක්වන්නැයි සිය රටවැසියනට ආයාචනය කරමින් කෙටි වීඩියෝ අන්තර් ජාලයට එක්කළ අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය. ඇය තමාම පත්‍රිකා ලියා මුද්‍රණය කර මහා ජනයා අතර බෙදා හැරියා ය. “ජනවාරි 25 ද මම මටම කියා ගත්තා මම මගේ අයිතීන් සහ ගරුත්වය වෙනුවෙන් සටන් වදින ඊජිප්තු කෙල්ලක් වෙනබවට.” ඇය ජනමාධ්‍යට කීවා ය. ඒ වනාහී නිර්භය තරුණ පරම්පරාවක හෟද සාක්ෂිය විය.

අවිහිංසවාදී පියවර මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීම. සිවිල් සහ දේශපාලන අයිතීන් ක්ෂේත්‍රයන්හි ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කිරීම, අධිකරණ ස්වාධීනත්වය ඇති කිරීම, ආර්ථික ක්ෂේත්‍රයේ ලා දුගීබව සහ විරැකියාව ආමන්ත්‍රණය කිරීම, සමාජ සාධාරණත්වය සහ දූෂණය සමඟ සටන් කිරීම අප්‍රෙල් 06 ව්‍යාපාරයේ මෙන්ම බොහෝ තරුණ කණ්ඩායම්හි අරමුණු ය.

විප්ලවය විසින්ම එහි නායකත්වය කරා ඔසවා තබන ලද සංවේදීවූත් බුද්ධිමත්වූත් නිර්භයවූත් තරුණ පරම්පරාවක් අද ඊජිප්තුවේ හෙට බලාපොරොත්තුව බවට පැමිණ තිබේ. නිදහස, සමානාත්මතාවය සහ යුක්තිය යටපත් කළ නොහැකි මානවයාගේ් ආවේණික අභිලාශයන් ය. විප්ලවයේ රුවද ගුණද හැඩ ගැසෙන්නේ ඒ වටා ය. ඊජිප්තුවේ විප්ලවය විසින් ඉස්මත්තට ගෙනෙන ලද එකී අභිලාෂයන් එහි ජනයාට යථාර්ථයක් වේවාෟ



සුනන්ද දේශප්‍රිය