Colombo, Features

ආදරය සහ නව ලිබරල්වාදය


(චාමර දේශප්‍රියගේ ”පෙම් යුවලක් සහ පෙම් යුවලක්” නාට්‍යයේ රෑප රාමුවක්)

ආදරය කියල කියපුවම ඒක විශ්වීය දෙයක්. නමුත් විවිධ සමාජ සන්දර්භවලදි, විවිධ ආර්ථික සැකැස්මවල්වලදි මේක විවිධ ස්වරූප ගන්නවා. අද බැලුවහම ලෝකයේ ගෝලීය තත්ත්වයක් තුළ, මූලික වශයෙන්ම නව ලිබරල් ආර්ථිකය මුලු ලෝකයම වසාගෙන තියෙනවා. එවැනි තත්ත්වයන් තුළ ආදරය කියලා කියන්නෙ එක්තරා විදිහකට මාර්කට් කරන්න පුළුවන් දෙයක් බවට පත්වෙලා තියෙනවා. මේ නව ලිබරල් ආර්ථිකය ඇතුලෙ ආදරය හුදු ආර්ථික සම්බන්ධතාවයක් බවට පත්වෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අද තරුණයෙකුට හෝ තරුණියෙකුට ආදරය කරන්න බැහැ මේ ආර්ථිකයෙන් පරිබාහිරව ඉඳගෙන. ඒ තරම් ඒක ගැටගැහිලා තියෙන්නෙ මේ ආර්ථික ක්‍රියාවලියත් එක්ක.

ආදරය පමණක් නෙමෙයි මිනිසුන්ගෙ අධ්‍යාත්මය පවා මේ ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලෙ වැඩි වටිනාකමක් ලබා ගන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ සන්දර්භය ඇතුළෙ තමයි අපිට තරුණයන්ගෙ ආදරය පිළිබඳව සලකා බලන්න පුළුවන්. මම හිතන්නෙ වැලන්ටයින් වැනි දින, උත්සවශ්‍රීයෙන් මේවා සමරන්න ලෑස්ති කරන එක ඇතුලෙ තියෙන්නෙ තරුණ පරම්පරාව වේගයෙන් අදේශපාලනිකරණයකට ලක්කිරීම. මෙන්න මේ අදේශපාලනීකරණයට ලක් කිරීම තමයි ලිබරල් ආර්ථිකයේ ප්‍රධානතම ලක්ෂණය. මේ ලිබරල් ආර්ථිකයෙන් එහා වෙනත් විකල්පයක් නැහැ කියන අදහස තරුණ පරම්පරාව තුළ ස්ථාපිත කිරීම තමයි මෙවැනි ක්ර්‍‍රියාදාම වලින් සිදුවන්නෙ. වෙනත් විදිහට කියනව නම් තරුණයන්ට ඇස්බැන්දුම් තත්වයක් ඇති කිරීම. මේ අයට තේරෙන්නෙ නැහැ මේ අය මේ තත්ත්වය තුළ තදබල සූරාකෑමකට ලක්වෙනවා කියන එක. අනෙක තමන්ගෙ සමාජ වගකීම ඉටුකරන්න ඒ අයට අවස්ථාවක් නොමැති වෙනවා කියලා ඔවුන් දන්නෙ නෑ. මේ තත්ත්වය ඇතුලෙ බලපුවහම අපිට පේනවා කිසියම් විදිහකට මේ ලිබරල් ආර්ථිකය සමාජ දේහයේ තරුණයන්ගේ විතරක් නෙමෙයි, සමස්ත සමාජ දේහය තුළම ව්‍යාප්ත වෙමින් පුද්ගලයා අතිශය සූරාකෑමකට ලක්කරනවා, තමන්ට කිසියම් විදිහක පන්ති විඥානයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි දේශපාලන කරණාව අදේශපාලනික තලයකට තල්ලු කරමින් සිටිනවා. ඒක පිළිබඳව මම හිතන්නෙ අද දවසෙ තරුණයා, තරුණිය අවධානය යොමුකරන්න ඕනෙ. ඇත්තටම මේගොල්ලන්ව කිසියම් විදිහක මේ ගොල්ලන්ගෙ ලෝක වලින් ගලවලා, මේගොල්ලන්ගෙ පොළවේ තියෙන ලෝකෙන් ගලවලා කිසියම් විදිහකට ඊට එහා ගිය තලයකට තල්ලු කරලා තිබෙන නිසා, මේ ක්‍රමය තුළ තමන් පීඩකයෙක් බවට පත්වෙනවා කියන කාරණාව තේරුම්කර ගැනීමට අසමත් වෙලා තියෙනවා. අපි වහා වහා කල යුතු කාරණාව තමයි මේ අයට මේක පැහැදිලි කර දීම. විශේෂයෙන්ම තරුණයාව මේ නව ගෝලීය ලිබරල් ආර්ථිකය පවත්වගෙන යන්න, කිසියම් විදිහකට සෘජුව හෝ වක්‍රව එහි සාරයට කිසියම් විදිහකින් උදව් කරනවා කියන දේ තමයි මෙවැනි දේවල් ඇතුලෙ පැහැදිලිව පේන්නෙ.

ආදරවන්තයින්ගේ දිනය විතරක් නෙමෙයි වෙනත් සංස්කෘතික උළෙලවල් ගත්තත්, විශේෂයෙන් අවුරුදු උත්සවය ගත්තත්, වෙසක් මංගල්‍ය ගත්තත්, නත්තල් ගත්තත් අද වෙන කොට මේවා මූලික වශයෙන්ම වෙළඳපොළ ආර්ථිකයට ගැටගැහිලා හුදු මුදල් මත ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. නමුත් මේ තත්ත්වය පන්ති දේශපාලනයකින් තොරව තේරුම් කරගන්න අමාරුයි. විශේෂයෙන්ම අපේ රටේ තරුණ කොටස් තල්ලු කරන්න වෙන්නෙ මේ වෙළඳපොළ ආර්ථිකය ඇතුළෙ තරුණයගෙ ජීවිතේ කොයිතාක් දුරකට ඩැහැගෙන තියෙනවද කියන ප්‍රශ්නය දෙසට. තරුණයො වහා වහා මේ ගැන සිතීම අවශ්‍යයි. ඊට එහාට ගිය දේශපාලනික වශයෙන් තමන්ට අත්වෙලා තියෙන පීඩනය තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.

සංස්කෘතික නිදහස හා රාජ්‍ය මැදිහත් වීම

තරුණයා සහ සංස්කෘතිය යන කරුණු ලිබරල් ආර්ථිකයෙන් බැහැර කරලා කතා කරන්න බැහැ. මොකද සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය, ජීවිතයේ මේ සියල්ලම ලිබරල් ආර්ථිකය විසින් සකස් කරමින් පවතින නිසා. මේවාට ප්‍රතිචාර හැටියට එන්නෙ හුදු දේශීය සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කරන්න ඕනෙ කියන පුහු අදහස මිසක් ඒ ක්‍රමයට විවේචනාත්මකව ප්‍රතිචාර දැක්වීමක් නෙමෙයි. ඉතින් මේ නිසා හුදු පැලැස්තර දැමීමක්, කිසියම් විදිහක චර්යාධාර්මික පද්ධතියක් හදන්න ඕනෙ, තරුණයන්ගෙ හැසිරීම, චර්යාව පාලනය කරන්න ඕනෙ, ඒ අයගෙ ඇඳුම් පැළඳුම් පාලනය කරන්න ඕනෙ, සිතුම් පැතුම් පාලනය කරන්න ඕනෙ වගේ විවිධ කරුණු සමාජ ගතකරමින් සිටිනවා. ෆූකෝ කියනවා වගෙ එක්තරා විදිහකට රෙජිමන්ටඩ්, එක්තරා විදිහකට මේ අයව සෘජුව හෝ වක්‍රව පාලනය කිරීමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා, දේශීය සංස්කෘතික අගනාකම් කියන කාරණාව පදනම් කරගෙන.

මං හිතන්නෙ අපිට ප්‍රශ්නය තියෙන්නෙ එතන නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නෙ ඇත්තටම දැන් සමාජය මූලික වශයෙන් විපර්යාසයට භාජනය වෙන කොට අපි දන්නවා විවිධ සංස්කෘතික අගනාකම්, වටිනාකම් වෙනස් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේවා සාකච්ඡා කරලා තරුණ පරම්පරාවට යම් කිසි නිදහසක් ඇතුව තමන්ගේ දේවල් කරගෙන යාමේ අවකාශයක් තියෙනවාද කියන එක ඇතුලෙ. සම්ප්‍රදායික අර්ථයෙන් ජීවිතය ගත කරගෙන යන්න තරුණයාට අමාරුයි. ඒ කියන්නෙ සමාජය කියන එක නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙනවා. එතකොට තරුණයන්ට වඩා හොඳ ජීවිතයක් පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වය පිළිබඳව තරුණයන් තුළින්ම එන්න ඕනෙ ප්‍රශ්නයක්. ඒක මේ කාටවත් බලහත්කාරයෙන් පාලනය කරන් පුළුවන් දෙයක් නෙමෙයි. මං හිතන්නෙ ඒ පාලනය තුළ තමයි යම් යම් පුපුරා යාම් එන්න පුළුවන් වෙන්නෙ.

තරුණයාට තමන්ගෙ සංස්කෘතික ප්‍රකාශනය විවිධ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එක්කො ෆැෂන් හරහා ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ අයගෙ නිර්මාණ හරහා ඉදිරිපත් කරන්න පුළුවන්, වෙනත් දේවල් හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි තරුණ ජවය කියලා කියන්නෙ. එතකොට තරුණයන්ට කිසියම් විදිහකට සමාජ විවේචනයක් සහිතව ජීවිතයක් ගත කිරීමේ අවකාශය ලබා දෙන්න ඕනෙ. හැබැයි තරුණයන්ව කිසියම් තැනකට ගාල් කරගෙන යන තත්ත්වයක් තමයි අද අපිට දකින්න පුළුවන් වෙන්නෙ. තදබල ලෙස තරුණ ජීවිතය පාලනය කිරීමක් සිදුවෙනවා. මං හිතන්නෙ එක්තරා විදිහකට මේක ඉතා කණගාටුදායක තත්වයක්.

ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
සමාජ විද්‍යා අංශය, ශාස්ත්‍ර පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය.
(පසුගිය පෙබරවාරි 14 වැලන්ටයින් දිනය වෙනුවෙන් කළ සාකච්ඡාවක් ඇසුරිනි)