සිංහල, Colombo, Corruption, Democracy, Governance

පුරවැසියකුගේ සටහන් – කරුණා අම්මාන්, පොලීසිය සහ නීතියේ පාලනය

රටෙහි සාමාන්‍ය පුරවැසියකු හොර විදේශ ගමන් බලපත්‍රයක් මගින් රටින් පිට වීමට වෑයම් කළ හොත් කුමක් වනු ඇත් ද? ආගමන විගමන පනත යටතේ අනිවාර්‍යයෙන්ම නඩු පැවරෙනු ඇත. සිර ගත කෙරෙනු ඇත.

රටක ප්‍රජාතන්ත්‍රවාදි නීතිය යනු සියළුම පුරවැසියන්ට එකසේ සළකනු ලැබීම ය. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම එය යි. අද හිටපු චන්ද්‍රිකා කුමාරතංගට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති ශ්‍රේෂ්ඨ තීන්දුවෙන් පෙනෙන්නේ් ද එය යි. මුදල් අමාත්‍යංශයේ බලගතු ලේකම් වූ පී.බී. ජයසුන්දරට අත්වූ ඉරණමින්ද පෙනෙන්නේ එය යි.

එසේ නමුත් හිටපු එල්ටිටීඊ නායකයකු සහ මහජන දෙමළ විමුක්ති කොටි හෙවත් ටීඑම්වීපි පක්ෂයේ නායකයා වන කරුණා අම්මාන්ට නීතිය සළකන්නේ වෙනස් අන්දමකට ය. ඔහු හොර ගුවන් ගමන් බලපත්‍රයකින් එංගලන්තයට ගොස් අසුවිය. එංගලන්තයේ අධිකරණය ඔහුට දඩුවම් කරන ලදී. දැන් ඔහු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පත් කළ මංත්‍රීවරයෙකි. ලංකාණ්ඩුව ඔහු කළ වරදට සැළකූයේ පාර්ලිමේන්තු මංත්‍රී ධුරයක් පිරිනැමීම මගිනි.

මෙය කරුණා අම්මාන් නම් පුද්ගලයා පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙරට නීතියේ පාලනය වල් වැදී ඇති සැටි පෙන්වන එක් අපූරු නිදසුනක් පමණි. අද මෙරට පාලකයින් කල්පනා කරන්නේ නීතිය යනු තමන්ට අවශ්‍ය පුද්ගලයින්ට දඩුවම් කිරීමටත් තමන්ට අවශ්‍ය පුද්ගලයින්ට වරදාන පිරිනෑමීමටත් යොදා ගත හැකි අවියක් ලෙස ය.

ආණ්ඩුව ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන යුතු පරිදිම එල්ලටීටීඊ ය දරුනු විවේචනයකට හසු කරයි. එමෙන්ම එජා සංවිධානය ඇතුලු ලොව සියලුම මානව හිමිකම් සංවිධාන විසින් ළමා සොල්දාදුවන් යොදා ගන්නා බවට එල්ටීටිඊ ය මෙන්ම ටීඑම්වීපියට ද චෝදනා කරයි. නමුත් එහි නායකයාට ආණ්ඩුව පාර්ලිමේන්තු මංත්‍රී ධූරයක් පිරි නමයි. නිතියේ පාලනය පමණක් නොව ළමා සොල්දාදුවන් පිළිබඳ ආණ්ඩුවේ පිළිවෙත ව්‍යාජයක් බව මෙමගින් ආණ්ඩුව ලෝකයාට පෙන්වයි.

එපමණක් නොව මෙලෙස ටීඑම්විපි යට පිරිනමන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණට හිමි වියයුතු පාර්ලිමේන්තු ආසනයකි. ස්වභාවික යුක්ති ධර්මය අනුව වුව මෙම පාර්ලිමේන්තු ආසනය අයත් විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට බව අවිවාදිත ය. නමුත් කටයුතු සිදු වන්නේ සහමුළින්ම වෙනත් විදියකට ය.

මීගමුවේ නිශාන්ත ප්‍රනාන්දු පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූයේ තමන්ට වධහිංසා පැමිණවීම පිලිබඳව ය. මේ නිසා ඔහුට නිර්නාමික දුරකතන තර්ජන ලැබුණි. අන්තිමේ දී සැප්. 20 දා මහදවාලේ ඔහුට වෙඩි තබා මරා දමන ලදී. මෙම සිදුවීමට ම අදාළව නීතිඥයින්ට ද මරණ තර්ජන එල්ල විය. නීතිඥ වැලිඅමුණ මේ පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය වහාම පරීක්ෂනයක් පවත්වන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට නියෝග කරන ලදී. සැප්තැම්බර් 27 වනදා නීතිඥ වැලිඅමුණගේ නිවෙසට ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල විය.

මානව හිමිකම් නඩු පවරනු ලබන පුරවැසියන් වෙඩි තබා මරා දමා එම නඩු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින්ට බෝම්බ ගසන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ මෙයට පෙර තිබුණේ නැත. එනමුත් මෙම ප්‍රහාරය පිළිබඳ පුවත මහජන සේවා ජනමාධ්‍ය විය යුතු නමුත් පාලක පක්ෂයේ දේශපාලන අතකොළු බවට පත්ව ඇති රාජ්‍ය ජනමාධ්‍ය විසින් සහමුලින්ම වාගේ වසන් කරන ලදී. අවසානයේ දී ඒවා විසින් කියා සිටියේ මෙම ප්‍රහාරය විශේෂ වැදගත් කමක් දිය යුතු ප්‍රශ්නයක් නොවන බව යි. එපමණක් නොවේ. මෙරට පිළිගත් සහ කීර්තිමත් මානව හිමිකම් නීතිඥයකු වන ආර්.කේ ඩබ්. ගූණසේකර මහතා ඇතුළු නීතිඥ පිරිසක් මෙම සිදුවීම පිළිබඳව සාකච්ජාවකට ජනාධිපතිවරයා හමුවිය. මෙම සාකච්ජාවේ දී ජනාධිපති නීතිඥ ආර්.කේ.ඩබ්. ගූණසේකර මහතා කී බවට ව්‍යාජ පුවතක් පළ කරමින් රාජ්‍ය පාලිත ඩේලි නිව්ස් පුවත්පත මෙම ග්‍රෙනේඩ් ප්‍රහාරය රජය අපකීර්තියට පත් කිරීමට කළ එකක් විය හැකි යැයි කියා සිටියේ ය.

ඒකාධිපති රටවල මෙන් අද ශ්‍රී ලංකාවේ ද පාලකයන්ගේ අදහස් උදහස් සහ ආකල්ප දැන ගැනීමට නම් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය දෙස බැලිය යුතු ය. මන්ද යත් මෙම ජනමාධ්‍ය සහමුලින් ම දේශපාලන අධිකාරයට යටත් කොට ඇති බැවිනි. එකී වාර්තා පෙන්නුම් කරනුයේ ආණ්ඩුව මෙම ප්‍රහාරය නොසළකා හැරිමට දරන ලද ප්‍රයත්නය යි.

සැප් 29 දා තවත් සිදු වීමක් වාර්තා විය. එනම් වෛද්‍ය ඉදුනිල් හම්බන්තොට දී හමුදා නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම යි. ඇය තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන ගැන පොලීසියට පැමිණිළි කර තිබුණ ද පොලිසිය නෑසු කන්ව සිටියේ ය. අන්තිමේ දී ඇය සාහසික ලෙස ඝාතනය කිරීමෙන් පසුව ද ඝාතකයා අත් අඩංගුවට ගැනීමෙන් මග හැරියේ ය. ඔහු අත් අඩංගුවට ගැනුනේ වෛද්‍ය සංගමය වැඩ වර්ජන තර්ජනයක් කිරීමෙන් පසු ව පමණ ය.

බිය ජනක සිදු වීම් පිළිබඳව විහිලුකාර ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නමක් ලබා ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ මෙම ඝාතනයට හේතුව බවට පෙනී යන පැමිණිල්ලක් එදින දහවල් එකී හමුදා නිලධාරියා විසින් පොලීසියට කර ඇති බව යි. අන්තිමේ දී කෙසෙල් ගසට කෙටු දවසට කොට්ටෝරුවා හොට බිම ඇන ගන්නා සේ ඔහු ප්‍රසිද්ධියේ ම සිරස ගුවන් විදුලිය හරහා එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ ය.
සැප් 29 හැදළ මුහුදු වෙරළේ දී තරුණයකු නාවික හමුදා වෙඩි පහරින් මිය ගියේ ය. හමුදා ප්‍රකාශය වුයේ පොර බැදීමක දී වෙඩි වැදුණ බව ය. එනමුත් ඇසින් දුටු සාක්ෂිකරුවන් කියා සිටියේ පපුවට එල්ල කර ඔහුට වෙඩි තැබූ බව යි. පොලීසිය ද සිටියේ පොරබැදූ ස්ථාවරයේ ය.

සැප් 29 දාම මැදිරිගිරියේ තරුණයින් කණ්ඩායමකට ආරක්ෂ මුරපොලක සිටි සිවිල් ආරක්ෂකයින් වෙඩි තබා එක් තරුණයකු මරා දමා තවත් අයෙකුට තුවාල සිදු කරන ලදී. මෙම ඝාතනය පිටුපස ද පුද්ගලික ආරවුලක් තිබිණැයි දැන ගන්න තිබේ. ඔක් 03 දින අත් අඩංගුවට ගත් අයකු පහර දීම නිසා මොණරාගල පොලීසියේ දි මිය ගියේ ය.

ශ්‍රී ලංකාව මිනී කන්නන්ගේ දේශය කියා කීවේ 1988-89 සමයේ දී ය. අද එය හැදින්විය හැක්කේ නීතියේ පාලනය වනසන්නවුන්ගේ දේශය කියා ය. එදා මහින්ද රාජපක්ෂ වීදි සටන් කරුවෙකි. අද ජනාධිපති ය.

(සක්විති සහ ජනමාධ්‍ය 2 පසුව ලියමි)