සිංහල, Colombo, Democracy, Human Rights

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ජන රජය , ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී යන අර්ථ ශූන්‍ය තත්ත්වයෙන් මිදී ඝාතනවාදී, බෝම්බවාදී ජන රජයක් වන්නේ ය.

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය රාජ පක්‍ෂපාතීත්වය ඇති සියලු ඥාති මිත්‍රාදීන් වෙත පිහිටා ඇත්තේ ය.
එය අන්සතු කළ නොහැක්කේ ය.

අතිගරු උතුමාණන් ගේ වචනය ම නීතිය බවට පත් වන්නේ ය. මුවින් ගිලිහෙන හැම වචනයක් ම නීතියක් බවට සම්මත කිරීම ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ප්‍රජාචන්ත්‍රවාදයත්, ස්වෛරීභාවය වෙනුවට සුවයිරීභාවය හෙවත් වෛර සහිත බව මෙයින් ස්ථාපිත කරනු ලබන්නේය.

ජනාධිපතිවරයා කැමැතිතාක්කල් මහජනයා විසින් ඔහු ඡන්දයෙන් තෝරා ගනු ලැබිය යුත්තේය.

විධායකය

අතිගරු ජනාධිපති තුමා විධායකය වන්නේය. ව්‍යවස්ථාදායකය ද, අධිකරණයද එතුමා යටතේම පැවතිය යුතු අතර ජාතියේ මුර බල්ලන් දෙදෙනකු සේ ක්‍රියා කළ යුතු වන්නේය. ව්‍යවස්ථාදායකය බුරන්නටත්, අධිකරණය සපා කන්නටත් වෙන වෙනම ක්‍රියාත්මක විය යුත්තේය.

ජනාධිපති තෝරා ගැනීම පහසුවීම පිණිස හැම හන්දියකම ඔහුගේ පිළිම, යෝධ පුවරු ගොඩ නැගීම ඉදිකිරීම් අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.

ආ.ක්‍ර. ව්‍යවස්ථා සභාව

රජයේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම ව්‍යවස්ථා සභාවෙන් කළ යුතුය. ඊට පෙර ජනාධිපතිගෙන් අදාළ නාම ලේඛනය ලබාගත යුතුය.

අමාත්‍ය මණ්ඩලය

ආණ්ඩුවේ ඡන්ද ගණන වැඩිපුර තබා ගැනීම සඳහා පමණක් ඇමති මණ්ඩලයක් පත්කර ගත යුතුය.

මුදල් අමාත්‍යාංශය සක්විති රණසිංහටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය කැලුම් වීරසිංහටත්, වාරිමාර්ග දොළුකන්දේ හාමුදුරුවන්ටත්, රජයේ වාහන විකිණීමේ දෙපාර්තමේන්තුවක් ඇතිකොට එය එල්ලාවල හාමුදුරුවන්ටත් පැවරිය යුතුය.
සෙසු සියලු අමාත්‍යාංශවල කටයුතු පමණක් පවුලේ සාමාජිකයන් අතර බෙදී යා යුතුය.

ආ.ක්‍ර. ව්‍යවස්ථා සංශෝධන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන රූපවාහිනියෙන් තුන් වරක් කියවා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුය. ආණ්ඩු පක්ෂයේ පමණක් නොපැමිණෙන මන්ත්‍රීන්ගේ ඡන්ද පැමිණ සිටින මන්ත්‍රීන්ට දැමිය හැකිය. ඡන්ද මදිනම් අනෙක් පක්ෂ වලින් මිලට ගැනීම සඳහා වහා පරිපූරක, ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව

සියලු මැතිවරණ ආචාර්ය මර්වින් ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විය යුතුය. ඡන්ද දායකයා ගෙදර සිටිය දීම ඡන්දය දමා ගැනීමේ පහසු ක්‍රමයක් වර්ධනය කළ යුතුය. අපේක්‍ෂකයාගේ වත්කම් ප්‍රකාශ කළ යුතුය යන නීතිය මෙතෙක් අසාර්ථක වී ඇති හෙයින් එය මුළුමනින් ඉවත් කළ යුතුය.

අධිකරණය

අධිකරණ නායක තනතුරට පිට රටකින් කෙනකු පත් කළ යුතුය. මුලදී පක්‍ෂපාත වී පසුව විරුද්ධව තීන්දු දෙන නිසාය. ‛ගෙදර යන ගමන් ’ වෙනත් කාර්යයන්හි යෙදෙමින් , ඉංග්‍රීසියෙන් බුද්ධාගම දේශනා කළ හැකි කෙනෙකුට වැඩි ප්‍රමුඛතාව දිය යුතුය.

විගණකාධීපති

මැති ඇමතිවරු සම්බන්ධ වන ගිණුම් හැර අන් සියලුම විගණන කටයුතු කිරීමේ පූර්ණ බලතල ඇත්තේය. ආණ්ඩුව අප කීර්තියට ලක්විය හැකි ගනු දෙනු සඟවා තැබීමේ පළ පුරුද්ද ඇති අයකු විය යුතුය.

මහජන ආරක්‍ෂාව

මහජන ආරක්‍ෂාව සඳහා තත්කාලයේ බලපවත්වන නීති සහ හදිසි අවස්ථා රෙගුලාසි සෑදීමේ බලය පවුලේ අයට පැවරෙන්නේය .

මානව අයිතිවාසිකම් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ තහනම් විෂයයක් බවට පත් වන්නේය. මානව අයිතිවාසිකම් ගැන ක්‍රියා කරන සංවිධාන සහ පුද්ගලයන් බිය ගැන්වීමේ අංශයක් ක්‍රියාත්මක කළ යුතුය.

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට වෙඩි නොවදින වාහන ද මහජන ආරක්ෂාවට සුදු වෑන් රථ ද ගෙන්වීම සඳහා ඕනෑම මොහොතක විසර්ජන පනත් ඉදිරිපත් කළ හැකි ය.

මානව අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ නඩු කියන නීතිඥයන්ට හා දූෂණ එලිදරවු කරන අයට එරෙහිව බෝම්බ ගැසීමේ බලතල සම්පූර්ණයෙන් ආරක්ෂක අංශයට පැවරේ.

අතුරුදහන් කිරීම් සහ ඝාතන නීති්‍යානුකූල ක්‍රියා බවට පොලිසියත්, අධිකරණයත් සැලකිය යුතුය.

උපලේඛනය

පළාත් සභා සම්බන්ධ සංවෘත ලැයිස්තුවේ පහත සඳහන් විෂයයන් පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබේ.

1 අතුරුදහන් කිරීමේ රජයේ කොන්ත්‍රාත්
2 ඝාතන කිරීමේ රජයේ කොන්ත්‍රාත්

සිද්ධි රස්තු

15.10.2008 නව නගර ශාලා
රැස්වීමේ දී.
නීතිඥ එස්.ජී. පුංචිහේවා