Batticaloa, end of the War, Featured Articles, Features

‛‛අපිට හිතෙන්නේ තාමත් අපි දෙ‍වෙනි පංතියේ කියලා’’ – මිනිසෙකුගේ වේදනාව සහ මඩකලපුව

‛‛අන්නන් ත්‍රීකෝනමලෛ ට්‍රේන් එන්ද ඉඩත්තක්කි වරුදු..’’ (අයියා ත්‍රිකුණාමලේ කෝච්චිය කොතෙන්නටද එන්නේ…?) පසුගියදා මඩකලපුවට යෑමට කොටුව දුම්රියපලට ගිය මට මා අසල සිටි වයස අවුරදු 17ක් පමණ යැයි සිතිය හැකි ගැහැනු දරුවෙකු මගෙන් ඇසුවේය.

වෙලාව උදෑසන 6ට කිට්ටු ය. දුම්රිය ගමන් පිළිබදව නිරන්තරයෙන්ම මගීන්ව දැනුවත් කරන්නේ කොච්චිවල සද්ද පරයමින්ය. ඒත් ඒ සියලු දැනුවත් කිරීම් සිංහලෙන් පමණි. ඒ නිසා ත්‍රිකුණාමලයට යන්න පැමිණි ඒ දැරියට තමන්ගේ කොච්චිය පැමිණෙන වේදිකාව සොයාගැනීමට නොහැකිය. ඇයට සිංහල තේරෙන්නේ ද නැත. ‛‛මගේ කොච්චියෙවන්ම ඔයාට යන්න පුලුවන්. ඒකෙන් ගිහිල්ලා ගල්ඔය හංදියෙන් අනිත් කෝච්චියට මාරු වෙන්න.’’ දන්නා දෙමළෙන් මම ඇයට කීවෙමි.

උදෑසනම බොහෝ දෙමළ මිනිසුන් මඩකලපුව සහ ත්‍රිකුණාමලයට පැමිණ ඇති බව දුම්රිය වේදිකාව අවට බැලු විට අවබෝධ විය. ඒ අයටත් මේ ගැහැණු දරුවට මෙන් සිංහල නොතේරෙනවා විය හැක. ඒ නිසාම ඔවුන් මහත් ගැටලු කාරී තත්ත්වයකට පත් වනු ඇත. ‛‛ඇයි මේ මිනිසුන්ට බැරි දෙමළෙන් මේ ටික කියන්න. අඩුම ගානේ ඉංග්‍රිසියෙන්වත් කියන්න එපෑ යෑ. නැතිනම් කොහොමද මේ මිනිස්සු මේවා තේරුම් ගන්නේ.’’ මා සහ දැරිවි අතර වූ කතාබහ අසා සිටි සිංහල තේරෙන දෙමළ මිනිසෙක් මට පැවසීය. ‛‛අපිට ඇත්තටම ගොඩක් වේදනායි අපිට මෙහෙම කරන එකට’’ ඔහු නැවත වරක් කීවේ ඉතාමත් වේදනාවෙනි.

කෝච්චිය පිටත් වෙන්න ස්වල්ප වේලාවකට පසු දෙමළෙන් දැනුවත් කිරීම් කරනු ඇසිනි. ‛‛මහත්තයා තරහවෙන්න එපා. අපිට හිතෙන්නේ තාමත් අපි දෙවනි පංතියේ කියලා..ස්තූතියි. මම යනවා මහත්තයා.’’ ඔහු මගෙන් සමුගත්තේ විශාල වේදනාවකින් බව මට සිතිනි.

යුද්ධය අවසන් වී වසර දෙකක් ගත වීමට ආසන්න වුවත් අද දවසේ බොහො දෙමළ ජනයා මුහුණ දෙන් ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වී ඇති තමන්ගේ භාෂාවෙන් තමන්ගේ වැඩ කර ගැනීමට නොහැකි තත්ත්වයට තවමත් විසඳුම් සෙවීමට බලධාරීන්ට නොහැකි වී තිබීමයි.

සවස 3.30 පමණ වන විට කෝච්චිය මඩකලපුවට ලඟා විය. මම ත්‍රිවිලරයකින් මගේ ගමනාන්තය වන කල්අඩි වලට ගමන් ගත්තේ මඩකලපුව නගරය මැදින්ය. ‛‛තාමත් පාලම හදලා ඉවර නෑ නේද?’’ කල්අඩි පාලමට ලගා වනවාත් සමගම, අලුත් පාලම හදමින් සිටින කම්කරුවන් දුටු මම, ත්‍රී වීලරයේ පදවමින් සිටි තරුණයාගෙන් විමසීමි. ඔහුට චතුර ලෙස සිංහල කතා කිරීමට හැකි ය. ‛‛මම නම් කැමති නෑ අයියා. ඒ පාලමට. ඇයි..? මම නැවතත් විමසූවෙමි. ‛‛මේ කල්අඩි පාලම කියන්නේ අපේ පරණ වස්තුවක්. මේකට ලොකු ඉතිහාසයක් තියනවා. මේක ලංකවේ තියන ලස්සනම පාලම. දැන් මේ අලුත් එක හැදුවට පස්සේ මේ ලස්සන පාලම දිරන්න අරියි. මම කැමති නෑ මේකට. අයියා මේවා නෙමේ කරන්නනම් තව වැඩ තියනවා. මෙයාලා මේ ප්‍රධාන රෝඩ් විතරයි හදන්නේ. ගම්වලට යන පාරවල් හදන්නේම නෑ. ඒයාලට ඕන දේ තමයි කරන්නේ.’’ ඔහු කියාගෙන කියාගෙන ගියේ ය. ‛‛කොහොමද සිංහල ඉගෙන ගත්තේ…?,’’ කල්අඩිවලින් බහිනවාත් සමඟ මම විමසීය. ‛‛යුද්දෙ කාලේ මම හිටියේ නුවර. එහෙදි තමයි මම ඉගෙන ගත්තේ. මගේ ගොඩක් යාලුවොත් නුවර ඉන්නවා.’’ ‛‛මම යනවා අයියා පස්සේ හම්බවෙමු…’’ ඔහු සමුගත්තත් ඔහු කී සමහර දේවල් වලින් මගේ කණ පිරී ඇත. ඇත්ත මඩකලපුවේ ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ අලුත්වැඩියා කර ඇත. නමුත් ප්‍රධාන මාර්ගවලින් අභ්‍යන්තරයට වන්නට මාර්ග පිලසකර කිරීම් සිදුවන බවක් ඒ තරමටම පෙනෙන්නට නැත. කාත්තංකුඩි නගරයට ආසන්න වන විට ප්‍රධාන මාර්ගය මංතීරු හතරක් සහිතව ඉදිකර ඇති නමුත් ග්‍රාමීය මාර්ග ඒතරමටම දියුණු කිරීමට බලධාරීන්ට අවශ්‍යතාවයක් නැතැයි බොහෝ ග්‍රාමීය ජනයා පවසයි.

එසේම පසුගිය නොවැම්බර් මාසයේ අප කල සංචාරයේදී මඩකපුවේ මිනිසුන්ගේ ජීවත වලට උදා වූ තත්ත්වය අදත් එසේම පවතින බව බොහෝ දෙනෙක් පවසයි. ‛‛අපිට එපා වෙලා තියෙන්නේ. අපට තාමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ආමි එකයි පොලීසියයි කියන විදිහට. අපිට නිදහසක් නෑ. ලස්සන ගෑනු ළමයෙකුට තාම පාරේ තනියම යන්න බෑ. කොහේද යන්නේ මිනිහා ඉන්නවාද? මිනිහා මොනවද කරන්නේ කියලා අහනවා. බැරිවෙලාවත් මිනිහා මැරිලා කිව්වොත්, මරණ සහතිකේ ඉල්ලනවා. නැත්තං කියනවා උඹේ මිනිහා කොටි නේද? කියලා අහනවා. ඒ මිනිස්සුන්ට කොහෙන්ද මරණ සහතික. මම මාංකනී ප්‍රදේශයේ ළමයි ගැන වැඩකරන්න ගියා. ඒ ළමයි ගැන විස්තර හොයලා බලපුවාහම ගොඩාක් ළමයි සිංහල තාත්තලා නිසා ඉපදුන ළමයි. මෙහේ ඉන්න සිංහල අය කවුද කියලා දන්නවානේ.., මට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. යුද්දෙ ඉවරයි තමයි. ඒත් වෙනත් යුද්ධයක් ආයෙත් පටන් අරන්. අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලංකරන්න පටන් අරන්. සාමය..සාමය කියනවා. මොන සාමය ද තියෙන්නේ. තොප්පිගල යනවා නම් මින්නේරියට ගිහින් දවස් ගානක් රස්තියාදුවෙලා සියලු තොරතුරු දීලා පාස් ගන්න ඕන. ඒකට කමක් නෑ. ඒත් අහන දෙවල්, අහන විදිහ, මට තේරෙන්නේ නෑ. අපි වැරදි කාරයෝ වගේ. අපිට අපේ බිම් අයිති නෑ වගේ. ඔන්න ඕකයි තත්වේ.’’ ආරියම්පති ප්‍රදේශයේ ක්‍රියාකාරී කාන්තාවක් අපත් සමඟ මෙසේ පැවසූවේ පසුගිය නොවැම්බර් මාසයේ දී ය.

නමුත් ඔවුන් පවසන පරදි ඔවුන්ගේ ජීවිතවල තත්ත්වය තවමත් එසේමය. එය වෙනස් වී නැත. ප්‍රශ්ණ කිරීම් තවමත් ඒ පරිද්දෙන්මය. යුද්ධය නොමැති තත්ත්වයක වුවත් ඔවුන්ට නිදහසේ තීන්දු තීරණ ගැනීම කෙසේ වුවත් නිදහසේ ජීවතය පිළිබදව තීන්දු ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එක් පසකින් ආරක්ෂක අංශවල බලපෑම් සමග අනෙක් පසින් දේශපාලඥයින්ගේ අඩංතේටට්ම්වලට ද මුහුණ දීමට සිදුවන බව මඩකලපුවේ බොහෝ වැසියන්ට සිදු තිබේ.

පසුගිය දා යම් උග්‍ර තත්ත්වයකට පත් වුනු ඉඩම් ගැටලුව තවමත් නොවිසදී පවති. විශේෂයෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ දෙමළ ජනයාට අයිති ඉඩම් මුස්ලිම් ජනයා සතුකර ගෙන ඇති බව දෙමළ ජාතිකයන් පවසන අතර, මුස්ලිම් ජනයා සතු ඉඩම් දෙමළ ජනයා සතුකර ගෙන ඇති බව මුස්ලිම් ජනයා පවසයි. මේ තත්ත්වයට විසඳුම් තවමත් ලැබී නොමැති අතර, ඇතැම් ප්‍රදේශවල මෙය විසඳාදීමට දේශපාලඥයින් උත්සහ කර ඇත්තේ තම ‛චන්ඩිපාට්’ උපයෝගි කර ගෙනය. මේ තත්ත්වය නිසා පවතින යම් ප්‍රශ්ණකාරී තත්ත්වය වඩා උත්සන්න විය හැකිය. ‛‛මහ ඇමතිගේ කට්ටිය ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කෙනකුට අයිති කුඹුරුවල වී බලෙන් කපා ගෙන ගියා. ඒ කුඹුරු දෙමළ අයගේ කියලා’’ ඒ ප්‍රදේශයේ තරුණයෙක් පැවසීය. තත්ත්වය මෙසේ සිදුවුවහොත් වසර ගණනාවක් පීඩනයට පත්ව සිටි මඩකලපුවේ දෙමළ සහ මුස්ලිම් ජනයා කබලෙන් ලිපට වැටෙනු ඇත.

ධීවරයින්ගේ කළකීරීම..

මඩකපුවේ බොහෝ දෙනෙක් තම ජීවිකාව සකස් කර ගන්නේ ධීවර කර්මාන්තයෙනි. කරදිය ධිවර කර්මාන්තයත්, කලපු ධීවර කර්මාන්තයත් ඉන් ප්‍රදාන තැනක් ගනී. විශේෂයෙන් මේ දිනවල මඩකලපුව ප්‍රදේශයට විශාල වශයෙන් මාලු අස්වැන්නක් ලැබෙමින් තිබේ. මුහුදු මාලු මෙන්ම කලපු ඉස්සන්ද විශාල වශයෙන් ලැබේ. සවස් කාලය වන විට ප්‍රධාන මාර්ගය දෙපස කුඩ මාලු ව්‍යාපාරිකයන් විශාල ලෙස දැකිය හැකි වේ.

විශේෂයෙන් මඩකලපු ඉස්සන් මේ දිනවල අලෙවි වන්නේ කිලෝග්‍රුමය රුපියල් 120ත් 150ත් අතර ය. ඒ තරම් අඩු මිලට අලෙවි කලත් ඒ තරම් අලෙවි වන්නේ නැති බව මාලු ව්‍යාපාරිකයින් පවසයි. ‛‛අපි රෑ නිදමරලා ඉස්සො, මාලු කිලෝගනන් ගෙනවා. ඒවා දෙන්නෙත් අඩු මිලට ඒත් අපිට වැඩක් නෑ. මහන්සියවත් නෑ. අපි දන්නවා කොළඹ පැත්තේ ඉස්සො කිලෝ එක 500යි,600යි කියලා. ඒත් අපිට වැඩක් නෑ. මේවා එහෙගිහිල්ලා විකුනන්න අපිට බෑ. ඒවා එහෙට යවන්න කවුරුවත් එනේනත් නෑ. අන්තිමට මහන්සිය විතරයි. මේ කාලෙට විතරයි මේකෙන් කීයක් හරි හම්බකරගන්න පුලවන් ඒත් එක් හරියන්නෙත් නෑ.’’ කල්අඩිවල ධිවරයෙක් පැවසීය.

මේ තත්වයන්ගෙන් පැහැදිලි වන්නේ තවමත් නැගෙණහිර ජන ජීවිතය සරු කිරීම සඳහා බලධාරින්ට කිසිදු සැළසුමක් නොමැති බවයි. විශේෂයෙන් කොළඹ සිට මඩකලපුව තිබෙන ප්‍රදාන මාර්ගය නිසි ලෙස නවීකරණය කර අවසන්ය. මාර්ගයක් නවීකරණය කිරීමෙන් අදහස් වන්නේ එය භාවිතා කර මිනිසුන්ගේ එදිනෙදා කටයුතු මෙන්ම ජීවත්වීම සදහා කරනු ලබන කටයුතු වලට සහයක් වීමය. නමුත් මාර්ගය නවීකරණ කරලු ලැබුවාට ඒ සබැදි අනිකුත් කටයුතු පිළිබද බලධාරීන්ට සැලසුමක් නොමැති නිසා මඩකපුවේ ඉස්සන් රු 150ක් වී සවස වන විට ඒවා නරක් වී ඉවත් කිරීමට සිදුවන විට මඩකපුවෙන් බැහැරව ඉස්සන් රු 500ක් 600ක් වෙයි. එනිසාම ඒ මිනිසුන්ට තමන්ගේ රැකියාව පිලිබදව ඇතිවන්නේ කල කිරීමකි. යුද්ධය අවසන් වූ පසු නැගෙණහිර නවෝදය නමින් ව්‍යාපෘති ආණ්ඩුව දියත් කලත් ඒවා ඒ ප්‍රදේශයේ ජනයාගේ ඕනෑ එපාකම් මත සිදු නොවන බවත්, ඒවා සිදුවන්නේ එයින් බැහැරව එයට කිසිදු අදාලත්වයක් නැති සහ ඒ පිළිබඳව අදහසක්වත් නැති යාන්ත්‍රණයක් මගින් බව මෙයින් ද ඔප්පු වේ.

තමන්ගේ නිශ්පාදන සාධාරණ මිලට අලෙවි කර ගැනීමට යාන්ත්‍රණයක් නැති නවෝදයකින් ඇති පලය කුමක්දැයි විමසීමට තව දිගතුකලක් නොයන බව වඩා සිංවිධිත බාවයකින් මඩකපුවේ සංචාරය කරන ඕනෑම අයෙකුට කල්පනා වේ. මෙසේ තමන්ගේ නිශ්පාදන සාධාරණ ලෙස අලෙවි කර ගැනිමට බැරිව හූල්ලන මිනිසුන් මෙන්ම තවමත් තමන්ගේ ඉඩම්වලට යාගත නොහැකිව ඉකිබිදින මිනිසුන් සහ ගැහැණුන් අද වන විට මඩකපුව නගරයෙන් එපිටට ගිය විට දැක ගත හැකිය.

එපමණක් ද නොව යුද්ධය පවතින කාලයේ මෙන් තමන්ගේ සිවිල් ජන ජීවිතයේ කටයුතුවලට තවමත් හමුදාවේ සහ පොලීසියේ මැදිහත්වීම් සිදුකරන බව මඩකලපුවේ බොහෝ වැසියන් පවසන්නේ ඉමහත් වේදනාවකින් ය. එබැවින් මාර්ග නවීකරණය කළාට, සුභ අනාගතයක්, නැගෙණහිර නවෝදය යැයි සෑම තැනකම මහා පුවරු සවිකලාට මේ තත්වයන් ඉදිරියේදී වර්ධනය වුවහොත් නගෙණහිරට නවෝදයක් නම් ඇති වන්නේ නැත. එසේම තුවක්කු සහ කාකි ඇඳුම්වලින් තොර මඩකලපුවක් පිලිබදව සුන්දර සිහින දකින මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ සිත් නිදහසින් පුරවන්නට, පාරවල් පාලම් පමණක් අලුත් කිරීමෙන් හැකි වන්නේ නැත.

මඩකලපු සංචාරයකින් පසු

සම්පත් සමරකෝන්