Colombo, end of the War, Featured Articles, Features

කටුනායක කම්කරු මර්දනයේ ‛බබා පාට්’


විසි එක් වියැති කම්කරු තරුණයකු බිල්ලට ගනිමින් ද, තවත් වසර දෙකක් තනතුරේ රැඳී සිටීමේ සියලු ‛ශක්‍යතාවන්’ හා ‛ලැදියාවන්’ පෙන්වූ මහින්ද බාලසූරියගේ පොලිස්පති ඇඳුම ගලවා ගෙදර යවමින් ද, නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සිය ගණනකගේ ඔලු පලමින් ද, යෝජිත පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වැටුප් පනත කල්තැබීමට ආණ්ඩුවට තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩල තීරණයක් වූ පෙන්ෂන් පනත ගෙන ඒම, කැබිනට් තීරණයකින් නොව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා තීරණයකින් මෙසේ තාවකාලිකව අකුලා ඇත. මෙය කැබිනට් මණ්ඩලයක් හෝ ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවේ සර්වබලධාරී ප්‍රධානියා සිය පක්ෂය නම් ජුන්ටාවට මුවා වී ඒකාධිපති තීන්දු ගැනීමේ ක්‍රමවේදයයි. මේ ගැන ප්‍රශ්න කිරීමෙන් වැඩක් නොවන්නේ කැබිනට් මණ්ඩලයක්, ආණ්ඩුවක් කියා දෙයක් තබා ශ්‍රීලනිපයක් කියා දෙයක්වත් වත්මන් පාලනය තුළ යථාර්ථවාදී ව නොපවතින බැවිනි. එහෙයින් කැබිනට් මණ්ඩලයේ හෝ ශ්‍රීලනිපයේ මතු නොව පාර්ලිමේන්තුවේ තීරණයක් වුව රජගෙදර බිතක්කන දී වෙනස් වීම කාටවත් මහාලොකු ගැටලුවක් නොවන සන්දර්භයක අපි වෙසෙමු.

ඛේදවාචකයක් මධ්‍යයේ වුව ආණ්ඩුව මේ අන්දමින් පසුබැස්සවීමට හැකිවීම නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් විසින් සාමූහිකව අත්කරගන්නා ලද අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. එසේම විවිධ සාමූහිකයන් සිය අයිතිවාසිකම් උදෙසා කරන පොදු අරගලවලට කලකට පසු එන්නත් කැරුණු ප්‍රබල ජවයකි. එම ජයග්‍රාහීත්වය උද්දාමයෙන් මෙනෙහි කරන අතරම, ඊට පසුපසින් ආ පොලිස්පතිගේ ඉල්ලා අස්වීමේ නාඩගම ඇතුළු ක්‍රියාදාමය ගැනද අවධානයෙන් පසුවීම වැදගත්යයි සිතමි.

මෙම සිදුවීමෙන් පසු පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවීම, කිසියම් පොදු අනර්ථකාරී ක්‍රියාවක වගකීම භාරගනිමින් මෙරට දේශපාලන බලවතකුට හෝ දේශපාලන පක්ෂග්‍රාහීත්වය මත රඳාපැවැති බලවත් නිලධාරියකුට හෝ ගෙදර යන්නට සිදුවූ ඉතාම දුර්ලභ අවස්ථාවකි. සැබෑවටම මෙය ලංකා දේශපාලනයේ මෑතකාලීන ආශ්චර්යයකි. අප ජීවත් වන්නේ එකෙක් නොව සනුහරයක්ම මරා දැමුවත්, කී දාහකගේ ඔලු පැලුවත් රාජපාක්ෂික නම් කිසිදු විපාකයක් නොලබා යහතින් වැජඹීමට හැකි දේශපාලන සංස්කෘතියකය. එසේනම් සිය පක්ෂපාතීත්වය හැකි සෑම අයුරකින්ම පෙන්වීමෙන් හැට විය සපිරෙන තුරුත් පොලිස්පතිකමේ රැඳී සිටීමේ අවශ්‍යම සුදුසුකම සපුරා සිටි පොලිස්පතිවරයාට ගෙදර යන්නට සිදුවන්නේ ඇයි?

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අරගලයට එරෙහිව මේ මෘග පොලිස් ප්‍රහාරය එල්ල වන්නේ ආණ්ඩුව ඉතාම තීරණාත්මක අවදානමක සිටින අවස්ථාවකය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙනවා පමණක් නොව, අන්තර්ජාතික විශේෂඥයන් කිහිප පොළක් විසින්ම සත්‍යතාව විද්‍යාත්මකව තහවුරු කරන ලද චැනල් ෆෝ වීඩියෝව පිළිබඳ කතාබහ නැවතත් එළියට ඇදී ආණ්ඩුව මහත් අසීරුතාවකට පත්ව සිටී. එවැනි තීරණාත්මක අවස්ථාවක, වෙනත් ජාතිකත්ව අනන්‍යතාවක් සහිත පිරිසකගෙන් සැදි සන්නද්ධ ව්‍යාපාරයකට එරෙහි සටනේ දී පමණක් නොව අගනගරයට නුදුරු නිදහස් වෙළෙඳ කලාප ප්‍රදේශයක නිරායුධ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අරගලයකදී පවා සිවිල් වැසියන් ඝාතනය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හා එහි ආරක්ෂක හමුදා පසුබට නොවනබව ඔප්පු වීමට මේ සිද්ධිය නිසැක උදාහරණයකි. එබැවින් දේශපාලන නායකත්වය හා සැබෑවටම මේ මර්දනීය ක්‍රියාවලියට අණ දෙනලද බලවතුන් බේරාගැනීම සඳහා පොලිස්පති නොව වෙනත් ඕනෑම අවශේෂ පුද්ගලයකු බිල්ලට දීම හැර ආණුඩුවට කළහැක්කක් නොතිබූ බව පෙනේ.

මේ ඝාතනය හා කම්කරු මර්දනය සිදුවන කාල වකවානුව තවත් අතකින් ආණ්ඩුවට තීරණාත්මකය. ලොව දසතින් යුද අපරාධ චෝදනා නැඟ එද්දීත්, තමන් කළේ මානුෂික මෙහෙයුමකැයි බෙරිහන් දෙමින් සිය යුද පූචානම ලෝකයට කීම සඳහා විදෙස් හමුදා ලොක්කන් කැඳවා ත්‍රස්තවාදය පරාජය කිරීමේ සිය මාහැඟි සූත්‍රය එළිදැක්වීමේ සම්මන්ත්‍රණය කොළඹ පැවැත්වෙන්නේද මෙසමයේදීය. ආරාධනා කළ රටවල්වලින් බාගයකවත් නියෝජිතයන් එහි නොආවද, ලෝකයේ බලවත් රටවල් බොහොමයක් එය මඟහැර සිටියද, හමුදා ලොක්කෙක් කියා පෙන්වීමට ඊට සහභාගී වී සිටින්නේ සෙනෙගාලයේ හමුදා නායකයා පමණක් වුවද, ‛ත්‍රස්තවාදය අවසන් කළේත් නිදහස් වෙළෙඳ කලාපයේ සේවක උද්ඝෝෂණ අවසන් කළාවගේදැ’යි කිසියම් කටකැඩිච්ච විදේශ හමුදා ලොක්කෙක් ඇසුවොත් දෙන්නට පිළිතුරක් නැතිව යන බව ආණ්ඩුව දනී.

ඒ අනුව පොලිස්පතිවරයා මැදිවූයේ ලෙහෙසියෙන් පහසුවෙන් ශ්‍රී ලංකාවේ බලවතකු මැදි නොවන අන්තිම නීච ග්‍රහචාරයකටය. ඔහුට ගෙදර යන්නට සිදුවන්නේ මේ ග්‍රහචාරයේ නීචකම නිසා මිස මෙරට දේශපාලන සංස්කෘතියේ කිසියම් වැදගත් පරිවර්තනයක් නිසා නොවේ.

කටුනායක කෲර කම්කරු මර්දනය පොලිස්පතිවරයාගේ සහ පොලිස් පොඩ්ඩන් කිහිපදෙනකුගේ කරපිටින් යවා ලෝකය හමුවේ ජාම බේරාගැනීමට අද ආණ්ඩුව කටයුතු කළත්, යථාර්ථය එය නොවන බව සකල ලංකා වාසීන්ගේ අත්දැකීමයි. ව්‍යවස්ථානුකූල සේනාධිනායකයා වන ජනාධිපතිවරයාගේත්, විශේෂයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභයගේත් අවසරය නැතිව කිසිදු කලබලකාරී අවස්ථාවකට මැදිහත් වන්නට හෝ නොවන්නට පොලීසියට බැරිබව ලොවටම කියාපෑ මෑතකාලීනම සිද්ධියක් නම් කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට රඟදුන් විමල් වීරවංශගේ මාරාන්තික උපවාස නාඩගමය.

එදා එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ආරක්ෂාව සැපයීමට ගියායයි සිතිය හැකි පොලිස් කණ්ඩායමේ ප්‍රධානියකුට විමල් කනේ තබාගෙන සිටි ජංගම දුරකථනය ඔස්සේම ඇමතූ ආරක්ෂක ලේකම්වරයා ‛‛මොකටද ඔතෙන්ට ගියෙ? ඕන්නැති වැඩක්නෙ කරල තියෙන්නෙ’’ යි කියමින් එහි යාම පිළිබඳව තදබල දෝෂාරෝපනයක් කළ රූපරාමු ලොවටම දැකගන්නට හැකිවිය. තමන් එහි පැමිණියේ පොලිස්පතිවරයාග් උපදෙස් පරිදියයි කී පොලිස් නිලධාරියාට කඩාපනිමින්, තමන් වහාම පොලිස්පතිවරයා ගෙදර යවන බවට ගෝරනාඩු කළ ගෝඨාභය, එකදු පොලිස් නිලධාරියකු හෝ එහි නොතබා ඉවත් කරගන්නැයි දුරකතනය ඔස්සේම අණ දුන්නේය. පොලිස්පති අණ ඉක්මවා යාමේ තම නීතියෙන් පිටස්තර බලයත් එය ක්‍රියාවට නැඟීමේ අධිකාරී ස්වරූපයත් ගෝඨාභය එදා දෙස් විදෙස් මාධ්‍ය කැමරා හමුවේ පෙන්වූයේ එලෙසිනි. ඒ ආණ්ඩුවේ බළල් අතක් වූ උද්ඝෝෂණයකට ගෝඨාභය සිය තනතුර හා ජනාධිපති අයියාගේ හයිය පාවිච්චි කරමින් රැකවරණ සැපයූ හැටිය.

ඒ සිදුවීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මත ගෝඨාභය විසින් හෙළන්නට ඇති දෝස්මුරයේ තරම සිතාගැනීමට ඒ අධිකාරී සංවාද ඛන්ඩය හොඳටම ප්‍රමාණවත්ය. ඒ පොලිස්පතිත් මෙදා කටුනායක ප්‍රහාරයේ වගකීම භාරගෙන විශ්‍රාම ගිය මේ පොලිස්පතිත් දෙදෙනකු නොව එකම අයෙකි. එදා පටන් අද දක්වා ඔහු තම නිලය රැකගෙන සිටියේ ආරක්ෂක ලේකම්වරයාට අවශ්‍ය තැනට යාමටත් අනවශ්‍ය තැනට නොයාමටත් කැපවී ක්‍රියාකළ හෙයිනැයි තේරුම්ගැනීමට මේ සිදුවීම ප්‍රමාණවත්ය. එසේනම් කිසිදු දේශපාලන නායකයෙක් උපදෙස් නොදී තිබියදී කටුණායකට පොලීසිය යැව්වේත් උද්ඝෝෂණයේ යෙදුණු කම්කරුවන්ට පන්න පන්නා පහරදී වෙඩිතැබුවේත් පොලිස්පතිගේ හිතුමනාපයට හෝ ඒ ස්ථානයට ගිය අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ වුවමනාවටයයි බබාපාට් දැමීමෙන් ඇති පලක් නැත.

මෙය පොලීසියේ තනි කැමැත්තට එල්ල වූ ප්‍රහාරයක් නොව දේශපාලන වුවමනාව හා මෙහෙයවීම මත සිදුවූවක්යයි කීමට අමුතු තර්ක අවශ්‍ය නැතත්, ප්‍රහාරය දියත් වී ඇති ආකාරය දෙස බලන විට ද එය කරුණු සහිතව පැහැදිළි වෙයි. එය හුදෙක් උද්ඝෝෂණකරුවන්ට පහරදීමක් නොවේ. උද්ඝෝෂණය කළ නොකළ නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සොය සොයාගොස් කරන ලද පහරදීමකි. ගැබිනියෝද, බයිපාස් සැත්කම්වලට ලක්වූවෝද මේ ප්‍රහාරයට ලක්වී ඇත්තාහ. පහරදුන් පොලිස් පිරිස් මැද ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ මැර කණ්ඩායම් ද සිට ඇතැයි වාර්තා වේ. එසේනම් මෙය ඒ සේවක කණ්ඩායමට නැවතත් නොනැගිටින්නට දෙන පණිවිඩයක් සහිත දේශපාලනමය උසිගැන්වීමක් සහිත ප්‍රහාරයකි.

අවසන පොලිස් ලොක්කා සහ පොලිස් පොඩ්ඩන් කිහිප දෙනකු බිලිදී සැබෑවටම මීට වගකිවයුතු පාලක රෙජීමය සිය ගැලවීම සොයමින් සිටී ජාත්‍යන්තරය හමුවේ තමන් වැටී සිටින ආගාධයෙන් ගොඩ ඒම සඳහා ගන්නා ලද මේ ක්‍රියාව මඟින්, රාජපක්ෂ රෙජීමය හමුදා සහ පොලිස් සාමාජිකයන් වෙත නිකුත් කරන වැදගත් පණිවුඩයක් තිබේ.

ඒ සාමාජිකයන් රජ පවුලේ අණට කීකරුව කරන කෲරකම් හා පාදඩකම් මෙතෙක් දවස් කළේ ඒ රජ හස්තයෙන්ම තමන් බේරාගන්නා බව විශ්වාස කරමින් නම්, ඒ අන්ධ විශ්වාසයෙන් මිදීමට මේ හොඳම අවස්ථාව බව ඒ පණිවුඩයයි. ඔවුන් ඔබ බේරාගන්නේ ඔවුන්ට ගැටලුවක් නොවන තාක් පමණි. ඔවුන් ගැටලුවට මුහුණ පාන පළමු අවස්ථාවේදීම, ඔවුන්ගේම අණ ක්‍රියාත්මක කළ හමුදා පොලිස් සාමාජිකයන්ට සිදුවන්නේ කිසිම දේශපාලන අණකින් තොරව තමන්ගේ කැමැත්කට කරන ලද සැහැසිකම් ලෙස ඒවාට වන්දි ගෙවීමටය. තමන්ගේ බේරීම උදෙසා අන්ධානුකරණයෙන් සිය අණ ක්‍රියාත්මක කළවුන් දංගෙඩියට යැවීමට පාලකයා කිසිසේත් පසුබට නොවන බව මේ සිදුවීම විසින් මනාව කියාපායි. යුද අපරාධ තොණ්ඩුව අන්තිමට තදවන අවස්ථාවේදී සිදුවන්නට ඉඩඇති දෙය මේ තුළින් පැහැදිළි වනබව තේරුම්ගැනීම නුවනට හුරුය. එහෙත් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්නට බැරි හෙයින් ඉදිරියේදීවත් මේ ගැන සැලකිලිමත්වීම හමුදා පොලිස් සාමාජිකයන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.

වීරවංශ වැනි ආණ්ඩුවේ හොරණෑකාරයෝ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අරුම පුදුම තර්කයක් ගොඩනගති. ඊට අනුව මේ පොලිස් ප්‍රහාරය ද ආණ්ඩුවට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ හා එහි උල්පන්දම්කාරයන්ගේ වැඩකි. කුමන්ත්‍රණ කතාවල හෙළුව හැරෙන්නට මෙයින් හෙළිවන වෙනත් කිසිදු වැදගත් දෙයක් නැත.

සැබෑව නම්, විශ්‍රාම වැටුපක් නමින් මගඩියක් ඉදිරියට දමා, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් දුක් මහන්සියෙන් උපයාගත් ඊටීඑෆ් ඊපීඑෆ් යන දැවැන්ත අරමුදල්වලට සේම සේවා පාරිතෝෂිකයටද විදින්නට ආණ්ඩුව මාන බැලුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීමෙන් බවය. එනම් සැබෑ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය දියත්කළේ ආණ්ඩුවයි. ඒ අරුතින් ගත් කල, තමන් දහදිය මහන්සියෙන් උපයාගත් අරමුදල් ආණ්ඩුව ලවා කොල්ලකෑමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට එරෙහිව සටන් කළේ මේ කම්කරු සහෝදර සහෝදරියන්ය. ඒ අනුව ආණ්ඩුව අද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ ඒජන්තයා බවත්, ඊට එරෙහිව සටන් කිරීම මෙරට වැඩකරන ජනතාව ඇතුළු සියලු පීඩිතයන්ගේ වගකීම බවත් පැහැදිළිව පෙන්නුම් කරන සන්ධිස්ථානය බවට මනුෂ්‍ය ජීවිතයකින් වන්දි ගෙවූ මෙම සටන පත්ව ඇතිබව අප තේරුම්ගත යුතුය.

(එක් අතකට ඇක්සන් ජැන්තනී නම් ව්‍යාපාරික ඉතිහාසඥ කලාකරුවා සිය බඩගෝස්තරය උදෙසා රාජපක්ෂවරුන් හා බුදුහාමුදුරුවන් අතර ලේ නෑකමක් සොයාදුන් පසුගිය ඉරිදා පටන් රාජපක්ෂවරුන් සිය සිරුරේ ලේ බොන මදුරුවකුට උකුණකුට හෝ නියපිටින් නොරිදවන තරම් දැහැමි වීමට තීරණයක් ගෙන තිබෙනවා වන්නටත්, ඒ තීරණය ගැන දැනුවත් නොවූ පොලීසියම පරණ පුරුදු අනුව යමින් සිය කැමැත්තට මේ දේ කළාවන්නටත් බැරි නැත)

සනත් බාලසූරිය