සිංහල

මාධ්‍ය මර්ධනයට එරෙහිව විරෝධය පෑ චමිල්ට පොලීසිය නඩු පවරයි

vikalpa-ph.jpg

සන්ඩේලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට විරුද්ධව මාධ්‍ය සංවිධාන 5ක් විසින් ජනවාරි 09 වනදා ලේක්හවුස් වටරවුම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයට සහභාගී වූ වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් චමිල් ජයනෙත්ති මහතාට එරෙහිව කොම්පඤ්ඤ පොළිසිය විසින් නඩු පවරා ඇති බව වාර්තාවේ.
එසේම ඔහුට නඩු පවරා ඇත්තේ රාජකාරියට බාධාකිරීම සහ ජාතික ආරක්ෂාවට අවහිර කිරීම, යන මූලික චෝදනා යටතේ බවත් මෙහි පළමු නඩු විභාගය 2009 පෙබරවාරි 02වනදා කොටුව මහේස්‍රාත් අධිකරණයේ දී පැවැත්වීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් මේ වනතෙක් චමිල් ජයනෙත්ති මහතාගෙන් කටඋත්තරයක් පවා ලබා ගෙන නොමැති බවත්, නඩුවක් ගොනු කර ඇති බව ඔහු දැනගෙන ඇත්තේ උසාවියේ නියමිත දිනට පෙනී සිටින ලෙස දන්වා එවන ලද සිතාසියට අනුව බවත් ය. එමනිසා මෙය පැහැදිලිවම සාමකාමි ලෙස විරෝධය පෑමට ජනතාවට ඇති අයිතිය උදුරා ගැනීමට දරණ ප්‍රයත්නයක් බවත් වාමාංශික පෙරමුණේ ලේකම් ලීනස් ජයතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවම මිනී මරුවන් ගැන කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව පසුවන පොලීසිය, එම ඝාතනයට විරෝධය පෑ පිරිස් මර්ධනයට නම් ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.