සිංහල, Colombo, Democracy, Economic issues, Media

‛‛සල්ලි ලැබෙනවනම් බල්ලෝ උනත් මරයි.”අනේ අම්මපා ජාතික පත්තරයක මාධ්‍ය වගකීමක හැටි….

‛‛සල්ලි ලැබෙනවනම් බල්ලෝ උනත් මරයි. මේකනම් මහ පිස්සු වැඩක්. මම අවුරුදු ගානක් මේ පත්තරේ බලනවා. අපරාදේ මගේ සල්ලි. මුං ඔක්කෝම සල්ලිවලට යට වෙනවා. ඕකුන්ට මොනරු දැක්කහම අම්මා අප්පා අමතක වෙනවා ඇති. පාඨකයින් ගැන කිසිම තැකීමක් නෑනේ. මම මේ දෙකොන විකාගෙන ඉතුරු කෑල්ල හොයනවා. අනේ අම්මපා ජාතික පත්තරයක මාධ්‍ය වගකීමක හැටි. මෙහෙමත් වෙළඳ දැන්වීම් දානවද මං අහන්නේ…..’’

මාගේ කාර්යාල මිත්‍රයෙක් පත්තරයක් පෙරළ පෙරළා තොරතෝංචියක් නැතිව කාටදෝ බනිමින් සිටියි.
‛‛ඇයි බං මොකද?’’ මගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ‛‛මේ බලපං’’ යනුවෙන් පුවත්පතක ප්‍රවෘත්තියක් පෙන්වීය.

‛‛මම චීනයට යන්නේ කාටවත් බයේ නෙවෙයි’’යනුවෙන් ජනකාන්ත නළු ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ වර්ණ ඡායාරූපයක් ද සමගින් පුවත් පතක මුල් පිටුවේ යට කොටසට වෙන්න වාර්තාකර තිබිණි. ‛‛දැන් ආණ්ඩුවේ නලුවන්ටත් තර්ජනද?’’ යනුවෙන් වික්ෂෝප වූ මම පුවතේ ඉතිරි කොටස ද කියවන්නට විමි.

‛‛තමා චීනයට යාමට තීරණය කළේ, ශ්‍රී ලංකාවේ කිසිවෙකුගෙන් එල්ල වූ තර්ජනයක් නිසා නොවන බව ජනප්‍රිය රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසීය’’

මෙය කියවන මට එක් වරම ඔළුවට ආවේ ‛‛ලංකාවේ කිසිවෙකුගෙන් තර්ජනයක් උනේ නෑ කිව්වට මේ යකාත් රාජ උදහසට ලක්වෙලාද? ශ්‍රියන්ත මෙන්ඩිස් නම් දන්න විදියට ආණ්ඩුවට විරුද්ධව වචනයක්වත් කියලා නෑ…..’’ යනුවෙනි.

‛‛චීනයට යන්නේ මම විතරක් නෙවෙයි. තමන්ගේ දරුපවුල්වල අනාගත රැකවරණය ගැන හිතන තවත් විශාල පිරිසක් පවුල් පිටින් මමත් එක්ක යනවා’’

මේ ටික කියෙව්වට පසු මේ මොකද වෙන්න යන්නේ කියා මම බිරන්තට්ටු වුණෙමි.

‛‛කාටවත් බයේ නෙවෙයි’’ ‛‛තර්ජනයක්’’ ‛‛රැකවරණය’’ යන වචන දකිද්දිම මම සිතුවේ ඔය නොකිව්වාට අනිවාර්යයෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්ටත් කාගේ හෝ තර්ජනයකට එහෙමත් නැත්නම් පළිගැනීමකට මුහුණ දෙන්නට සිදු වී ඇති බවයි. මෙය කියවීමෙන් මා හිතුවේ අනාගත රැකවරණය පතා තවත් කලාකරුවන් පවුල් පිටින් හෝ ඔහුගේ ඥාතී මිත්‍රාදීන් පවුල් පිටින් සමග ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දරු පවුලම රැකවරණය පතා චීනයට සංක්‍රමණය වීමට යන බවය. මේ කෑල්ල කියවීමෙන් වියවුලෙන් වියවුලට පත් වූ මා ඉතිරි කොටස සොයා 13 වැනි පිටුව පෙරළවීය. 13 වැනි පිටුවේ හැම තැනම සෙවූ මා හට ප්‍රවෘත්තියේ ඉතිරි කොටස සොයාගත නොහැකි විය. 13 ඉලක්කමේ 1 වැරදිලා මුද්‍රණය වෙලා යැයි සිතූ මා මෙහි ඉතිරිය තුන්වෙනි පිටුවේ සොයන්නට විය. තුනේ නොමැති කල්හි මෙය 13 නොව 23 විය යුතු යැයි සිතා 23 වැනි පිටුවේ සොයන්නට විය. එම පිටුවේ ද ඉතිරි කොටස නැත. මෙම පුවතේ ඉතිරි කොටස කියැවීම සඳහා අතිශය කුතුහලයටත් ඉස්පාසුවක් නොමැතිවත් සිටි මා දැඩි සේ මිත්‍රයාගෙන් ඇසුවේ ‛‛කොහෙද බං මේකේ ඉතුරු ටික’’ කියාය.

‛‛13නේම ඇති බලපං’’

ඒ කී විගස නැවතත් 13 පිටුවම පෙරලූ මම පෙරට වඩා වැඩි ඕනෑකමින් බලන කල්හි දිගු රැවුලක් වවාගෙන චීන ජාතිකයෙකු ලෙස වෙස් ගෙන සිටි ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ඡායාරූපය දුටිමි. මෙය තඩි වෙළඳ දැන්වීමක් බව එක්වරම සිතාගත හැකි විය. ඔහු සමග බිරිඳක් යැයි සිතිය හැකි කාන්තාවක් හා ළමයින් දෙදෙනෙක් ද මෙම ඡායාරූපයේ සිටි නිසා එය පවුලක් යැයි ද සිතා ගත හැකි විය. මෙම ඡායාරූපයට ඉහළින් ‛‛චීනයට සිංගප්පූරුවට අපිත් එක්ක සවාරියක් යන්න ඔබත් ලෑස්ති ද?’’ යනුවෙන් පොල්ගෙඩි අකුරින් ලියා තිබිණි.

මේ සියල්ල දැකීමෙන් පසු ඉහත ප්‍රවෘත්තියේ ඉතිරිය මට නිකම්ම වැටහුණි. මෙය ‛‛සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරිය’’ පිළිබඳ වෙළඳ දැන්වීමක් බව අවබෝධ විය.

‛‛ඈ බං මේක මහ බොරුවක්නේ. වංචාවක්නේ. අපිව මාර විදියට රවට්ටලා. මේ ප්‍රවෘත්තිය නිසා අපි කොච්චර නම් රස්තියාදු උනාද? මේ යකාට ඇත්තටම තර්ජනයක් වෙලාද කියලා මම හිතුවා. මෙහෙම මුල් පිටුවේ ප්‍රවෘත්තියක් වගේම වෙළඳ දැන්වීමක් පළ කරන්න පුළුවන්ද? අනිත් ප්‍රවෘත්තිවලට සමානවම මේකත් පළ කරලා. මේක මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි නැද්ද?’’ යනුවෙන් මගේ කට කොකියනවට කියාගෙන කියාගෙන යන්නට විය.

මේ වන විට මගේ මිත්‍රයා මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණ සිටියේ ය.

‛‛මචං මම ආයේ මේ පත්තරේ බලන්නෙත් නෑ. ගෙදර පැත්ත මායිමකට ගේන්නෙත් නෑ’’
මට මේ පත්තරේ නම මොකද්ද කියලා බලන්නට මතක් වූයේ එවිටය.

‛‛ඉරිදා දිවයින’’ දිනේ ‛‛2011 ජූලි 17’’

මේ පත්තරේට මොකක් වෙලාද මන්දා? ඔක්කොම සල්ලි වලට. මේකට හොඳ ගානක් සෙලින්කෝ එකෙන් ලැබෙන්න ඇති’’ මම අවසන් වශයෙන් මිත්‍රයාට පවසා පත්තරේ මුල්ලකට විසිකර දැම්මේ ය.

තර්ජනය මාකට් කිරීම

පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළ ඝාතනය කිරීම, පහරදීම, තර්ජනය කිරීම, භිය ගැන්වීම, පළි ගැනීම අතුරුදන් කිරීම වැනි ප්‍රජාතන්ත්‍රීය නොවන ක්‍රියාදාමයන් මේ වන විට සාමාන්‍යකරණයට ලක්වෙමින් පවතියි. දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් ඒ බව සාක්‍ෂාත්කර ගත හැකිය. මෙම ගෝත්‍රික ලක්‍ෂණයන්ගෙන් අප සමාජයේ විවිධ කොටස් පීඩාවට පත් වෙමින් සිටියි. විශේෂයෙන්ම විකල්ප මතධාරීන්, මාධ්‍යවේදීන්, විපක්‍ෂ දේශපාලන ක්‍රියාකාරීන් සහ සීමිත කලාකරුවන් පිරිසක් වත්මන් දේශපාලන බල අධිකාරියේ හස්තයන්ගෙන් බැට කමින් සිටියි. මෙම පීඩනයේ සැබෑ ප්‍රතිඵල භුක්ති විඳින ඇතැමුන් සිරබත් කයි. ඇතැමුන් අතුරුදහන් ය. තවත් පිරිසක් ජීවිතාරක්‍ෂව සඳහා රටින් පිටව ගොස් ය. මෙම ප්‍රජාතන්ත්‍රීය නොවන පීඩිත වාතාවරණය මෙරට ධනවාදී ව්‍යාපාරික කොටස් තම වෙළඳ අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කරමින් සිටියි. නැතහොත් ඉහත ගෝත්‍රික ලක්‍ෂණ පවා මාකට් කරමින් සිටියි.

මෙරටේ සිටීමට නොහැකිව පාලක පංතියේ තර්ජන ඝර්ජනයන්ට භයෙන් පිටරැටියන්ගේ සරණ පැතූ පිරිස් පසුගිය සමයේදී සුලභ වූ අතර පාඨක ජනතාව ද මෙවැනි ප්‍රවෘත්ති කියැවීමට වැඩි රුචිකත්වයක් දැක්වීය. ‛‛රූකාන්ත-චන්ද්‍රලේකා යයි’’, ‛‛සුනන්ද යයි’’, ‛‛පෝද්දල යයි’’ වැනි ප්‍රවෘත්ති කියවූ අපිට ‛‛ශ්‍රියන්ත යයි’’ පුවත කියැවීමට ඉස්පාසුවක් නොමැතිව කෙළ හලන බව වෙළෙන්දා දනී. ‛‛මම චීනයට යන්නේ කාටවත් බයේ නෙවෙයි’’ යනුවෙන් ශීර්ෂ ගන්වා ඇත්තේ ඒ ඉස්පාසුව සන්සිදුවාලීම සඳහා ය. පුවත්පතකට ‛කොළ’ දුන් පමණින් එය පුවත්පතේ ඕනෑම තැනක පළ කර ගැනීමට හැකි වන බව ද වෙළෙන්දා හොඳාකාරවම දනී. ඉහත පන්නයේ ශීර්ෂගත ප්‍රවෘත්ති කියැවීමට වත්මන් පාඨකයා තවමත් පොරකන බව දැන්විම්කරණ ආයතනය දනී. දැන් පත්තරේට අවශ්‍ය ‛‛ජනමාධ්‍ය කලාව’’ නොව ‛‛මුදල්’’ බව ඔවුහු පසක් කරගෙන සිටිති. පුවත්පත් ද ඒ බව ඔප්පු කර ඇත. එය සතිඅන්ත පුවත්පතක මුල් පිටුවේ පුවත් ගණනයි වෙළඳ දැන්වීම් ගණනයි සංසන්දනය කරන ඕනෑම අයෙකුට සිතා ගත හැකිය.

පුවත්පත පවත්වාගෙන යාම සඳහා මුදල් අවශ්‍ය බව ලියුම්කරු දන්නා අතර මෙහෙම දැන්වීම් වාර්තාකරණයක් අනවශ්‍ය බව ද ලියුම්කරු දනී. ධනවාදී සමාජ ක්‍රමය තුළ සියලුම දේ ලාභය මත-මුදල් මත පදනම් වේය යන මාක්ස්වාදී තහවුරුව ද මෙයින් ගම්‍ය වනු ලබයි. ඕනෑම දෙයක් මාකට් කිරීමට සුරුවිරුකම් දක්වන වෙළෙන්දා මෙවර තර්ජනාත්මක පසුබිම ද මාකට් කරයි. ඉහත වෙළඳ දැන්වීමෙන් පෙන්නුම් කරනුයේ එම යථාර්තයයි.

පාඨකයාව සිතා මතා මුලාවේ දැමීම

මෙම වෙළඳ අරමුණ ඉටුකර ගැනීම උදෙසා පාඨක ආකර්ශනය දිනා ගැනීමට යොදා ගන්නා ලද ඉහත ශීර්ෂය ඉතාමත්ම ක්‍ෂූක්ෂමය. සැබෑ ප්‍රවෘත්යක අඩංගු විය යුතු බොහෝ අංග ලක්‍ෂණ මෙම වෙළඳ දැන්වීම සතුය. මෙය දැන්වීමක් යැයි හැඟවීමට කිසිත් නැත. මෙය සාමාන්‍ය ප්‍රවෘත්ති අතරේම ස්ථානගත කිරීමට වග බලාගෙන ඇත. මේ සඳහා ශීර්ෂ පාඨයක්, ප්‍රධාන පුවත් මුලාශ්‍රයේ උපුටා ගැනීමක්, සිදුවීම අවධාරණයෙන් කීමට උචිත ඡායාරූපයක්, ඉතිරිය සඳහන් පිටුවේ අංකය සහ වාර්තාකරුගේ නම යන සියල්ලම අන්තර්ගත කර ඇත. මේ සියල්ලම පාඨකයාව වෙළඳ දැන්වීම වෙත ආකර්ෂණය කර ගැනීම සඳහාය. ශ්‍රියන්ත මෙන්ඩිස්ට මහත් සේ ඇලුම් කරන රසිකයෙක් මෙම මුල් පිටුවේ කොටස කියවන ලද හොත් ඔහු හෝ ඇය නිසක වශයෙන්ම වික්ක්‍ෂිප්තභාවයට පත්වනු ඇත. සමාජ දේශපාලනය පිළිබඳව ඇල්මක් ඇති පාඨකයෙක් නම් ලංකාවේ සමාජ දේශපාලන පසුබිම පිළිබඳව තවතවත් අප්පිරියාවට පත්වෙනු ඇත. මෙය කියවන පාඨකයා කලා කරුවෙක් නම් ඔහු දුකට හෝ සතුටට පත් වනු ඇත (එම දුක හා සතුට ඔවුනොවුන් අතර ඇති මිත්‍රත්වය, මතබේදාත්මක බව හා දැඩි තරඟකාරී ස්වභාවය මත පදනම් වනු ඇත). මෙය කියවන පාඨකයා ශ්‍රියන්තගේ ඥාතියෙකු හෝ අසල්වාසි හිතමිත්‍රයෙකු හෝ වෙත් නම් ඔවුන් දැඩි සේ කම්පාවටත් පුදුමයටත් පත් වනු ඇත.

මුල් කොටස කියවා මේ ආකාරයෙන් චිත්ත පීඩාවට පත්ව සිටින පාඨකයා ඉතිරි කොටස කියවීම සඳහා ඉතා ඉක්මනින් පෙළඹෙනෙු ඇත. ඉතිරි කොටස සොයා යෑමේදී පාඨකයාට හමුවන්නේ විශාල වෙළඳ දැන්වීමක් නම්, ඔහුගේ ආදරණීය කළා(?) කරුවා, හිතවතා, ඥාතියා දෑත් විහිදා චිත්තප්ප්‍රීතියෙන් සිනා මුසු මුහුනින් සිටින අයුරු දකින්නට ලැබේ නම්, ඔහුට දැනෙන හැඟීම කෙබඳු එකක් විය හැකි ද?

වෙළෙන්දා ජයගෙන පුවත්පත (ජනමාධ්‍ය) පරාජය වීම

ඉහත අවිනීත මාධ්‍ය කෙරුවව තුළින් නැවතත් දිවයින පුවත්පත (ජනමාධ්‍ය) පරාජයට පත් විය. ගනුදෙනුවෙන් පුවත්පත් සමාගමට කොපමණ මුදලක් හිමි වුණත් වෙළෙන්දන් විසින් ජනමාධ්‍ය පරාජය කරමින් සිටිති. මේ මොහොතේ ගනුදෙනු කරුවන් ජය ගෙන ඇත. සමාගම් දෙකේ වෙළඳ අරමුණු ඉටු විය.

සමාජය වෙත අතිශ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ජනමාධ්‍යයට වගකීමක් පැවරී ඇති බව අපි දනිමු. සමාජයේ පෙරගමන් කරුවා ජනමාධ්‍යවේදියා බව අවිවාදිතය. සමාජ මෙහෙවරේදී සැමට කලින් ජනමාධ්‍ය කටයුතු කරයි. පවතිනවාට වඩා වැඩි විශ්වාසයක්, වැඩි පිළිගැනීමක්, වැඩි වටිනාකමක් හා වැඩි උනන්දුවක් මේ ක්‍ෂේත්‍රය කෙරෙහි ඇතිවිය යුතුය. ඒවා ලඟාකර ගත යුතුය. නමුත්, මෙවැන් අශ්ලීල හා මුදල් මත පමණක් පමනම් වූ මාධ්‍ය භාවිතාවන් තුළින් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතිවිය යුතු ඉහත ඉදිරිගාමී තත්ත්වයන් ඇතිකර ගත හැකිද? මෙරටේ බහුතරක් ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ සමාජ මෙහෙවරක් උදෙසා නොව බිස්නස් එක උදෙසාය. එය අලුතෙන් සොයාගත්තක් නොව බොහො දෙනා දන්නා කරුණකි. බිස්නස් කාරයින්ට ජනමාධ්‍ය ආචාරධර්ම හෝ සමාජ මෙහෙවරින් පළක් නැත. නිවැරදි තොරතුරු විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ මධ්‍යස්ත අයුරින් සමාජගත කිරීමේ වෘත්තීය මට්ටමේ ජනසන්නිවේදනය පිළිබඳව ඔවුන්ට වගේ වගක් නැත. ඒවා ඔවුන්ට අදාල නැත. දැන් මාධ්‍ය ආයතන සතු කාර්යභාර්යය වී ඇත්තේ විවිධ වූ වෙළඳ හා දේශපාලන කොන්ත්‍රාත්තු ඉටු කිරීම බව වෙන දේ වලින් තව තවත් පැහැදිළි වනු ඇත. එය කෙසේ හෝ ඉටුකර දීමට මාධ්‍ය ආයතන සැදී පැහැදී සිටී. ඒ සඳහා ඔවුන්ට හොඳ මිලක් ලැබේ.

නමුත්, මේ තත්ත්වය වෙනස් කළ යුතුය. වෙළඳ හා දේශපාලන කොන්තරාත් පරයා ජනමාධ්‍ය නැගී සිටිය යුතුය.

විශේෂ ලියුම්කරැවෙකු විසිනි