Colombo, end of the War, Featured Articles, Features

”මරා දැමූ හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම,චූදිතයන්ට සමස්ත සිර දඬුවමේ එකතුව අවුරුදු 6300ක්”

“උදාහරණයක් විදිහට ලංකාව වගේ තත්වයක් ගත්තොත් ලංකාවේ මේ වෙලාවෙ ප්‍රධානම අභියෝගය තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගන්න එක. බරපතල විදිහට මිල්ටරීකරණය වෙච්ච දැවැන්ත සංහාරයකින් පසුව ගෝතමාලාවේ ආදර්ශය ඉතා වටිනවා. කුඩා කුඩා කණ්ඩායම් කාලයක් තිස්සෙ කරපු අරගලයක ප්‍රතිපලයකින් තමයි වගකිව යුත්තන්ව උසාවිය ඉදිරියට ගේන්නෙ. සමාජ හෘදය සාක්ෂියට කරන්න පුළුවන් කියන සාධකය ඉතා වටිනවා. එතැනින් නොනැවතී සමාජ සාධාරණත්වය, ජනවර්ගයන් අතර සමානතාවය සහ ඒකට අවශ්‍ය දේශපාලන විසඳුම් සහ බාහිර බලවේග පිළිබඳ අවදිවීමක් අවශ්‍යයි.”


ජනඝාතක හමුදා නිළධාරීන් හතර දෙනෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කිරීමත් සමඟ ගෝතමාලා යුද්ධය මේ සතියේ යලිත් ලෝකය පුරා කතාබහට ලක්වුණා. ඔවුන් අතින් ඝාතනයට ලක් වූ 200 ට අධික එක් එක් ගෝතමාලා වැසියන් වෙනුවෙන් ඝාතකයන්ට අවුරුදු 6300ක සිරදඬුවමක් නියම කරන බවයි ජැස්මින් බාරියෝස් විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ.
“ගෝතමාලාවේ ජනතාව මරා දැමීම සම්බන්ධයෙන් මෙම හමුදා නිළධාරීන් වගකිව යුතුයි. මේ අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අවුරුදු 30 බැගින් සිර දඬුවම් නියම කරමි. මරා දැමූ හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම චූදිතයන්ට නියම කෙරෙන සමස්ත සිර දඬුවමේ එකතුව අවුරුදු 6300ක් වෙනවා.” යනුවෙන් විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට කළා.

වාමාංශික ගරිල්ලන් ප්‍රමුඛ වූ ගෝතමාලා ජන අරගලය නිමවුණේ 1996 දීය. එම අරගලයේ ඉතිහාසය පිළිබඳ අදහස් දක්වන ඩබ්ලින් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ කතිකාචාර්ය ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු මහතා,
“ගෝතමාලාව ස්පාඤ්ඤයේ යටත්විජිතයක් ලෙස පැවතිලා 19 වන ශතවර්ශයේ නිදහස ලැබුවා. යටත්විජිත සමයේ බොහොම පැහැදිලි දෙයක් සිදුවුණා. ඒ තමයි සුළුතරයක් ඉඩම් හිමියන් අතට රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් නතුවුණා. බහුතරයක් වෙච්ච මායා ඉන්දියන්වරුන්ට ඔවුන්ගේ ඉඩම් අහිමිවීමෙන් සාම්ප්‍රද්‍රායික කෘෂි ජීවිතය අහිමිවෙන්නට පටන් ගත්තා. 1950 ගණන් වෙද්දි අපි දකිනවා ඇමරිකානු සමාගමක් ගෝතමාලාවේ විශාලම ඉඩම් හිමියා බවට පත්වෙනවා. ඒ කාලේ තමයි ප්‍රගිතිශීලී ආණ්ඩුවක් පත්වෙන්නෙ.ඉඩම් ප්‍රතිසංස්කරණයක් කරන්න ඒ ආණ්ඩුව උත්සාහ කරනවා.මේ ප්‍රතිසංස්කරණ කරන්න යද්දි තමයි ඇමරිකාව මැදිහත්වීමෙන් හමුදා කුමන්ත්‍රණයක් දියත් කරලා හමුදා පාලනයකට රට ගමන් කරන්නෙ.”

එපරිද්දෙන් රට යුධ හමුදාවේ කතප්‍යාධිකාරී ආඥාදායකත්වයකට යටත් වීමත් සමග ඊට එරෙහිව නැගුණ මහජන නැගිටීම මර්ධනය කෙරුණේ ඇමරිකා එක්සත් ජනපදයේද උදව් ඇතිව. තවදුරටත් අදහස් ඉදිරිපත් කරන ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු මහතා,

“1950 ගණන්වල ඉඳලා 1980 ගණන් වෙනකන් අපි දකිනවා දැවැන්ත හමුදා පාලනයක් යටතේ ඊට විරුද්ධව නැගීසිටින සන්නද්ධ කණ්ඩායම්, ගොවීන්, කම්කරුවන්, සිවිල් සමාජයේ අනෙක් කොටස් බරපතල විදිහට ඝාතනය කරනවා, අත් අඩංගුවට ගන්නවා, අතුරුදහන් කරනවා. අවුරුදු 36ක් පුරා මේ සිවිල් යුද්ධය ඇදී යනවා. ඒ මුළු කාලය පුරාම තිබුණු ගෝතමාලා රජයන් යුද්ධය දියත් කළේ කැරලි මර්ධන යුධ ක්‍රියාමාර්ගයක් මගින්. සංඛ්‍යාලේඛන ගත්තොත් අවුරුදු 36ක් පුරා ලක්ෂ දෙකක් ජනතාව මරා දාලා තියෙනවා.”

1980 දශකයේ අගභාගයේ ගෝතමාලාවේ සිවිල් ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව දස අවුරුද්දක් දිග්ගැස්සුණු සාම සාකච්ඡාවල ප්‍රතිපලයෙනුයි 1996 දී සටන් විරාමය සහතික කෙරුණෙ. ඉන් අනතුරුව දේශපාලන හැඩගැසීම් විකාශනය වූයේ කෙසේද? මේ පිළිබඳ අදහස් දක්වන ආචාර්ය ජූඩ් ලාල් ප්‍රානාන්දු මහතා,
“එහිදී සත්‍ය ගවේශක කමිටු දෙකක් වාර්තා දෙකක් ඉදිරිපත් කරනවා. එකක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන වාර්තාව. දෙවෙනුව කතෝලික සභාවේ ප්‍රගතශීලී කොටස්වල නායකත්වයෙන් ගෙන එන කමිටු වාර්තාව. දෙවන කමිටු වාර්තාව ඉතා ඉහළ මට්ටමේ තියෙන වාර්තාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටු වාර්තාවේ,අවුරුදු 36ක් පුරා දැවැන්ත ජන සංහාරයක් කරපු කිසිම අපරාධකාරයෙක්ව නම් කරන්නට බැරි තත්වයක් තිබුණා. ඒ අඩුව පුරවන්නට තමයි කතෝලික සභාවේ ප්‍රගතිශීලි කොටස් ඉදිරිපත්වෙලා වෙනත් වාර්තාවක් ගොඩනගන්නෙ. ඔවුන් සාක්ෂි 6500ක් ගොනු කරනවා. මානව හිමිකම් කඩකිරීම් 55,022 ක් ගොනු කරනවා. සමූහ ඝාතන 422 ක් ගොනු කරනවා. ප්‍රධාන වශයෙන්ම අවුරුදු 36ක් පුරා හිටපු හමුදා පාලනය, නිළධාරීන්, හමුදා අනුකණ්ඩ මේ සඳහා වගකිව යුතු බවට වාර්තාව ගෙන එමින් ගෝතමාලාවේ ඇතැම් ගම්මාන පිටින් විනාශ කරපු හමුදා නිළධාරීන්ව නම් කරනවා.”

මෙම පසුබිමේ මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ යුද්ධය හමාර කෙරුණත් ආඥාදායකත්වයට එරෙහි ජන අරගලයේ එදා ජනඅරමුණු ඉටුවේද යන්නයි. ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු මහතාගේ අදහස වන්නේ,
“එම අරගලයේ තිබුණු අරමුණු තමයි ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික නිදහස, මායා ඉන්දීයවරුන්ට තම ඉඩම් ලැබීම. මේ කාරණා තුනෙන් මම දකින විදිහට පළවෙනි එක ඉෂ්ට වෙමින් පවතිනවා. නමුත් දෙවෙනි, තෙවෙනි කාරණා ඉෂ්ට වෙලා නැහැ. ගෝතමාලාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඉඩම්. මේ සියල්ල බහුජාතික සමාගම් විසින් පවරාගෙන තියෙන්නෙ. සටන් විරාම ගිවිසුමට සහ සාම ගිවිසුමට ව්‍යාපාරික ප්‍රජාව එකඟ වෙන්නෙ මේ දේවල් අරමුණු කරගෙන.”

ගෝතමාලා යුද්ධය සහ එහි පශ්චාත් හැඩගැසීම් එවැනි අරගලකාරී පසුබිමක් සහිත සෙසු රටවලටත් වැදගත් බව ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා,

“උදාහරණයක් විදිහට ලංකාව වගේ තත්වයක් ගත්තොත් ලංකාවේ මේ වෙලාවෙ ප්‍රධානම අභියෝගය තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගන්න එක. බරපතල විදිහට මිල්ටරීකරණය වෙච්ච දැවැන්ත සංහාරයකින් පසුව ගෝතමාලාවේ ආදර්ශය ඉතා වටිනවා. කුඩා කුඩා කණ්ඩායම් කාලයක් තිස්සෙ කරපු අරගලයක ප්‍රතිපලයකින් තමයි වගකිව යුත්තන්ව උසාවිය ඉදිරියට ගේන්නෙ. සමාජ හෘදය සාක්ෂියට කරන්න පුළුවන් කියන සාධකය ඉතා වටිනවා. එතැනින් නොනැවතී සමාජ සාධාරණත්වය, ජනවර්ගයන් අතර සමානතාවය සහ ඒකට අවශ්‍ය දේශපාලන විසඳුම් සහ බාහිර බලවේග පිළිබඳ අවදිවීමක් අවශ්‍යයි.”

බී.බී.සී සංදේශයේ වාර්තාවක් ඇසුරෙන් (2011 අගෝස්තු 05)