Colombo, Featured Articles, Features

ලාංකීය දේශපාලනය තුළ ටාසන් සාධකය

Pic by – www.dailymirror.lk
ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ රාජගිරිය,ඇතුළුකෝට්ටේ පසු වී පාර්ලිමේන්තු හන්දිය හරහාය. නමුත් මීට අමතරව පාර්ලිමේන්තුවට යාමට තවත් අතුරු මාර්ග රාශියක් ඇත. ඕනෙ නම් පැලවත්ත පැත්තෙන් පැමිණිය හැකිය. නැතිනම් මාදින්නාගොඩ පැත්තෙන් පැමිණිය හැකිය. එහෙමත් නැතිනම් තලංගම පැත්තෙන් පැමිණිය හැකිය. එසේත් නැතිනම් බත්තරමුල්ලෙන් රජමල්වත්ත පාරෙන් දාලා… මේ ආකාරයට පාර්ලිමේන්තුවට පිවිසීමට බොහෝ ෂෝට් කට් ඇත. ඒ වගේම පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් ලෙස තේරී පත් වීමටද ප්‍රධාන මාර්ගයට අමතරව ඕනෑතරම් ෂෝට් කට් ඇත. ක්‍රිකට් ගැසීම, රිදී තිරයේ තරුවක් වීම, ගායකයෙක් වීම, නිවේදකයෙක් වීම, හමුදා නිළධාරියෙක් වීම ආදී බොහෝ පාරවල් දියවන්නා ඔය පැත්තට වැටී ඇත. මේ පාරවල් කොයිකටත් වඩා ‛නෑදැයෙක් වීම’ පාර්ලිමේන්තුවට යාමට තිබෙන ෂෝට්ම ෂෝට් කට් එකකි.

ටාසන්ලාගේ දේශපාලනය

ක්‍රිකට් ගහන්නත් බැරි, රඟපාන්නත් බැරි, සිංදු කියන්නත් බැරි, අඩු ගානේ නෑකමක් වත් නැති අය මේ ෂෝට් කට් නිසා හොඳටම වික්ෂිප්ත වී සිටිති. ගමේ පාරක් හදලා, කොල්ලො ටිකකට ජොබ් දීලා ගියවර යාන්තම් පාර්ලිමේන්තුවට පැනගත් උතුමාණන්ලා ඊළඟ ඡන්දෙදි පාරවල් හැදුවාට, ජොබ් දුන්නාට විතරක් පාර්ලිමේන්තු යන්නට වෙන්නේ නැති බව දනී. එබැවින් මේ උතුමාණන්ලා තමන් සතු අමතර සුදුසුකම් පිළිබඳව දැන් දැන් හිතන්නට පෙළඹී ඇත. එහෙම නැතිවුණොත් පාර්ලිමේන්තු ගියත් වැටෙන්නේ ජේ්‍යෂ්ඨ ඇමති ගොඩට බව මේ අය දනී. මේ බව තුන්කල් නුවණින් අවබෝධකොටගත් එක් ඇමතිවරයෙක් සිටියි. එතුමාණෝ තමන් සතුව පවතින සහජ කුසලතාවයත් ලංකාවේ දේශපාලනය තුළ එය ස්ථානගතකල යුතු ආකාරයත් පිළිබඳව නියම අවබෝධයෙන් ක්‍රියාකරමින් සිටියි. මෙතුමා කුඩා කල ටාසන් කිහිපවරක් නරඹා ඇත. කාට හරි කරදරයක් වූ විට වැලක එල්ලී පැමිණෙන ටාසන්ගෙන් අමන්දානන්දයට පත් වූ මෙතුමා ලංකාවේ දේශපාලනය තුළ ටාසන් කෙනෙක් වීමට උත්සාහ කරයි. එක්වරක් මේ ටාසන් ඇමතිතුමා ග්‍රාම නිළධාරියෙක් ගස් බැන්දේය. ග්‍රීස් යකාව සොයමින් කැළණි ගඟේ එහාට මෙහාට පිහිනුවේය.( සමාවෙන්න ග්‍රීස් යකා හමු නොවීය.) ඊයේ පෙරේදා මුන්නේෂ්වරම් කෝවිලට ගොස් දෙවියන්ට එරෙහිව යුධ වැදුනේය. තමන්ගේ කැලේට අයිති නැති ප්‍රදේශවලටද දැන් දැන් ටාසන් යයි. ඒ සඳහා විශේෂිත වරප්‍රසාදයක් ‛මහජන කටයුතු අමාත්‍යාංශය’ යටතේ ලැබී ඇත.

ටාසන් සහ විනෝදය

ලංකාවේ ජනතාව කොහොමත් එදා සිට විනෝදයට බර ජනතාවකි. ළඟකදී ස්වාධීන? රූපවාහිනී සේවයෙන්ද පැවසූවේ ලෝකයේ ප්‍රීතිමත්ම ජනතාව සිටින රටවල් අතරින් අට වෙනි ස්ථානයට ලංකාව පැමිණ ඇති බවයි. ලංකාවේ ජනතාව අමාරුවෙන් යන්නට දඟලන එංගලන්තය ද පසුවන්නේ අටවෙනි ස්ථානයේ බව ස්වාධීන? රූපවාහිනී සේවය පවසයි. මේ ජනතාවව විනෝදයෙන් තබන තාක්කල් කිසි ප්‍රශ්නයක් නැත. බැරිවෙලාවත් කවුරුන් හෝ ඒ විනෝදය කැඩුවොත් නම් මරුවා ආවේශ වේ. තමන්ව විනෝදයෙන් තබන අයට කෘතගුණ සැලකීමට ලංකාවේ ජනතාව පසුබට නොවෙති. ක්‍රිකට් ගහන අය, නළු නිළියෝ, ගායකයෝ පාර්ලිමේන්තු යන්නේ ඒ නිසාය. ඉතින් ටාසන්ගේ වැඩද ජනතාවව සිනාසාගරයේ ගිල්වයි. සමහර විට ක්‍රිකට් තරු, නළු නිළියන්ට දෙන්නට බැරි තරමේ විනෝදයක් ටාසන්ගේ වීර ක්‍රියා නිසා ජනතාවට ලැබේ. මේ බව ටාසන් ද දනියි. ටාසන් විතරක් නොව සමහර ජනමාධ්‍ය ආයතන ද දනියි. එබැවින් සමහර ජනමාධ්‍ය ආයතන ටාසන්ව කේන්තියට පත්කර ජනතාවට අවශ්‍ය විනෝදය සපයා තම ආයතනයේ රේටින්ස් වැඩි කර ගනියි. සමහර ජනමාධ්‍ය ආයතන ටාසන්ව විනිශ්චය මණ්ඩලයේ තබාගෙන ජනතාවට විනෝදය දෙයි. ජනතාව විතරක් නොව ජනනායකයන්ද මේවා දැක විනෝද වෙයි. අවසානයේ මුළු ලංකාව විනෝද වෙයි. ටාසන් ජනප්‍රිය වෙයි. මේ ක්‍රමය කොතරම් ජනප්‍රිය ද යත් මේ වන විට ටාසන්ලා පැටව් ගසා ඇත. එවන් ජූනියර් ටාසන් කෙනෙක් මේ ළඟදී බස්නැවතුම් පොළක වැටක් කපා ජනතාවට විනෝදය සැපයීය. විශේෂත්වය වන්නේ ටාසන්ගේ සාර්ථකත්වය ටාසන්ගේ වීර ක්‍රියා සාර්ථක වීම මත පදනම් නොවීමයි. මෙහෙයුම අතිශය අසාර්ථක වුවුද ටාසන් සාර්ථකය. මන්ද එම අසාර්ථකත්වයේද විනෝදය තිබෙන නිසාය. එම විනෝදය ටාසන්ව ජනප්‍රිය කරන නිසාය. එම ජනප්‍රියතාවය දියවන්නාවට ෂෝට් කට් එකක් වන නිසාය.

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ජනතාව ඉදිරියෙන් සිටින කළ

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතා නියෝජිතයන් පත් කර ගැනීමට ඇති සාර්ථකම ක්‍රමවේදය ලෙස ඡන්දය දීම සලකයි. ඡන්දය යනු යම් ආකාරයකට ජනප්‍රියකම උරගාබැලීමකි. ගමේ ජනප්‍රිය පුද්ගලයා ප්‍රාදේශීය සභාවට තේරෙයි. පළාතේ සහ රටේ ජනප්‍රිය පුද්ගලයින් පිළිවෙළින් පළාත් සභාවට, පාර්ලිමේන්තුවට සහ ඊටත් ඉහළට පත්වන්නේ මේ ආකාරයට ඒ ඒ වපසරිය තුළ ඒ ඒ අයට ඇති ජනප්‍රියත්වය පදනම් කරගෙනය. සම්භාව්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මෙම ජනප්‍රියතාවය නොහොත් ජනතාවට ප්‍රිියවීම තීරණය වූයේ ජනතාවගේ සැබෑ ගැටළු ආමණ්ත්‍රණය කිරීම මතය. ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ලෙස ඡන්දය යන සාධකය තෝරාගන්නේ, ජනප්‍රියතාව යන්න ජනතාවට සේවය කිරීම මත රැඳී තිබෙනවා යන්න උපකල්පනය කිරීමෙනි. නමුත් ලංකාවේ ප්‍රායෝගික තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කර ඇත. අද තමන්ගේ සැබෑ ගැටළු කතා කරන නියෝජිතයන්ට වඩා තමාව විනෝදයට පත් කරන නියෝජිතයාව පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කැමතිය. එක්කෝ ලංකාවේ ජනතාව හොඳටම මෝඩය. නැතිනම් හොඳටම ප්‍රඥාවන්තය. ඔවුන් මෝඩ යැයි උපකල්පනය කරන්නට වන්නේ හුදෙක් තමන්ව විනෝද සාගරයේ ගිල්වන පුද්ගලයන් ඇත්තටම දේශපාලනයක් කරන්නේ නැති බවත්, කරන්නේ මැර කම්,චන්ඩි කම් පමණක් බවත් තවමත් නොතේරෙනවායි යන සිතුවිල්ලේ සිටය. ඔවුන් ප්‍රඥාවන්තයැයි උපකල්පනය කරන්නට වන්නේ කාරණා දෙකක් යටතේය. එකක් නම් මේ විනෝදය සපයන්නාගෙන් මහජනතාව හැර පාලකයන්ද විනෝද වෙයි. සමහර විට ජනතාවට වඩා අමතර විනෝදයක්ද පාලකයන් ලබයි. එබැවින් ජනතාව ඡන්දය නොදුන්නත් පාලකයා විනෝදය සපයන්නාව අමතක නොකර ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට යවයි. එබැවින් තමන් ඡන්දය නොදුන්නාට වෙනසක් නොවන බව අවබෝධකොටගත් ජනතාව විනෝදය සපයන්නාව පාර්ලිමේන්තුවට යවයි. අනෙක් කාරණය නම් මැතිවරණයට පෙර සැබෑ ගැටළු ආමන්ත්‍රණය කරන්නා මැතිවරණයෙන් පසුව සොයාගැනීමටත් නොහැකිවන බව ජනතාව අවුරුදු ගණනක දේශපාලන අත්දැකීමෙන් දනියි. ඊට වඩා විනෝදය සපයන්නාට ජනවරමක් දීමෙන් අඩුගාණේ විනොදයක්වත් ලැබිය හැකි බව ජනතාව දනියි. ඉතින් මෙසේ සිතුවොත් කියන්නට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ජනතාවට ගව්ගණනක් පසුපසින් බවයි.