Anuradhapura, සිංහල, Corruption, Economic issues, Life quips

කැකිරාවේ මුත්‍රා කිරීමට රුපියල් දහයයි.

වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව

ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය විසදෙයි.
කරුණාබන්ඩාර මහතා, ප්‍රධාන කළමනාකාර, උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය

කැකිරාව ප්‍රධාන බස් නැවතුම් පොළෙහි ඉදිකර ඇති ප්‍රසිද්ධ වැසිකිළියේ මුත්‍රා කිරීම සඳහා රුපියල් දහයක මුදලක් අය කරනු ලබයි.

මෙම වැසිකිළිය වාර්ෂික රුපියල් තුන් ලක්‍ෂ පනස් දහක (රු 350000.00) මුදලකට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබා දී ඇති බවත් වැසිකිලිය භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් වැඩි මුදලක් අය කරන බවත් නම සඳහන් නොකරන ලද බස් රථ වෙළෙන්දෙක් ප්‍රකාශ කරන ලදි.

දුර ගමන් සේවා සඳහා විශේෂයෙන් මෙම බස් නැවතුම් පොළ භාවිතා කරනු ලබයි. එම බස් රථවල මඟීන් මෙම වැසිකිලිය භාවිතා කරනු ලබන අතර එසේ වැඩි මුදලක් අය කිරීම නිසා මඟීන් මහත් අපහසුතාවයකට පත් වේ.

මේ පිළිබද අප කැකිරාව ප්‍රාදේශිය සභාවෙන් විමසු විට එහි ලේකම් ජී. එච්. ආරියපාල මහතා මෙසේ ප්‍රකාශ කලේය
අපිටත් එවැනි ආරංචියක් ලැබී තිබෙනවා. ඒ නිසා පසුගිය දිනෙක සභාපතිතුමා එහි ගොස් දොස් කිව්වා.

විකල්ප – නමුත් ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ තීරණ ගැනීමේ බලය ඇත්තේ ප්‍රාදේශිය සභාවට නොවේද?

ලේකම් – ඇත්තටම අපිට තමයි. නමුත් මෙම වැසිකිලිය ඉදිකර ඇත්තේ ප්‍රවාහන අධිකාරිය නිසා ඔවුන් තමා මෙයට වගකියන්න ඕන.

විකල්ප – මෙය වෙනස් කරන්න ප්‍රාදේශීය සභාව විදිහට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැද්ද?

ලේකම් – ඔව්. මෙක ගැන අපි කොමිටියේදීත් කතා කලා. මේකේ ආදායම එන්නත් ඕන සභාවට. ඒත් ප්‍රවාහන අධිකාරිය මේක ලක්ෂ 350000කට ටෙන්ඩර් කරලා තමා දීලා තියෙන්නේ.

විකල්ප – රුපියල් 10.00ක් අයකිරීම ගැන මොකද්ද ගන්න තීන්දුව?

ලේකම් – අපි ප්‍රවාහන අධිකාරියත්, අපේ කොමිටියත් මේ ගැන කතා කරගෙන යනවා.

මේ පිළිබද විකල්ප උතුරු මැද ප්‍රවාහන අධිකාරියේ කළමනාකාර කරුණාබණ්ඩාර මහතාගෙන් විමසීය. ඔහු පැවසූයේ අපි කැකිරාව බස්නැවතුම්පොළේ පාවිච්චි කරන්න බැරිව තිබූ වැසිකිලිය අපි අපේ මුදල්වලින් අලුත්වැඩියා කරා. අපිට ඒකට සෑහෙන මුදලක් ගියා. ඒක කලේ මහජනයා ගැන හිතලා.

විකල්ප – එම වැසිකිලිය භාවිතාකරන්න රුපියල් 10ක මුදලක් ගන්නා බව ඇත්තක් ද?

කලමණාකාර – ඕක මෙහෙමයි. තාම ඕක ටෙන්ඩර් කරලා නෑ. අලුත්වැඩියා කරපු කෙනාම තමයි ඒ වැසිකිලිය පාලනය කරන්නේ. නමුත් අපි ලබන සතියේ නැවත ටෙන්ඩර් කැඳවනවා. එතකොට අපි කියලා තියනවා ටෙන්ඩර් පත්‍රිකාවේ මිනිසුන්ගෙන් අයකරගන්නා මුදල සටහන් කරන්න කියලා. නමුත් පොඩි ප්‍රශ්ණ ටිකකුත් තියනවා අපි ‛ගලි’ ගෙන්න ඕන දඹුල්ලට ගිහිල්ලා. ඒකට ලොකු වියදමක් යනවා. ඒක නිසා අද ඔකේ යම් මදලක් වැඩිවෙලා ඇති. නමුත් අපි අලුතින් ටෙන්ඩර් කැඳවපුවහාම ඒ ප්‍රශ්නෙත් ඉවරවෙයි.

විකල්ප – ප්‍රාදේශිය සභාව කියනවා වැසිකිලිය අයත්වෙන්නේ ප්‍රවාහන අධිකාරියට නිසා ඔවුන් මේකට වගකියන්න ඕන කියලා

කළමනාකාර – මේකයි කිසිම කෙනෙක් ඔය වැසිකිලිය හැදුවේ නෑ. අපි තමයි ඕක හැදුවේ. දෙසැම්බර් මාසේ අපි ඕක ටෙන්ඩර් කරන්න හැදුවා. ටෙන්ඩර් කරන්න තරම් වැසිකිලිය සුදුසු තත්වයක නෑ කියලා ප්‍රාදේශිය සභාව ඒක වැළැක්වුවා. ඇත්තටම ඔතන තියෙන්නේ ටෙන්ඩර් පිළිබඳ ප්‍රශ්නයක්.

විකල්ප – ටෙන්ඩර් කිරීම ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?

කළමනාකාර – නෑ ප්‍රාදේශිය සභාවට ඕන ආදායම විතරයි. නමුත් සියලු ආයතන එකතුවෙලා මේ කටයුතු කරානම් මෙහෙම වෙන්නේ නෑ. සමහරු කරන්න බැරි මුදලට පවා ටෙන්ඩර් දානවා. ඒක නිසා මේක පැටළිලි සහගතයි.

විකල්ප – දැන් පාලනය වෙන්නේ ටෙන්ඩර් එකකින් නෙමේ ද?

කළමනාකාර – නෑ දැන් කරන්නනේ වැසිකිලිය අලුත්වැඩියා කල කෙනාමයි. නමුත් මැයි 01වනදා යින් පස්සේ මේ ප්‍රශ්නය විසදෙයි.