සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුදරෝලි කර්තෘ – ප්‍රශ්න කිහිපයක්

සුනන්ද දේශප්‍රිය

සුදරෝලි සහ උදයන් පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන විද්‍යාධරන් මහතා දෙමසක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පසුගිය 24දා අධිකරණයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. සිය දිවි නසා ගැනීමේ ප්‍රහාරයක් කොළඹ හමුදා මර්මස්ථානයන්ට එල්ල කිරිම පිණිස පැමිණි එල්ටීටීඊ ගුවන් යානා දෙක පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතාගෙන් කොළඹ අපරාධ අංශය එදින රෑ ඔහු ලබා ගත් දුරකථන ඇමතුම් පිලිබඳව ප්‍රශ්න කළේය.

ඔහු අත් අඩංගුවට ගත් පොලීසියේ කොළඹ අපරාධ අංශය විද්‍යාධරන් මහතාට හොදින් සළකන ලද බව ඔහුගේ පවුලේ අය මා සමඟ කීහ. අත් අඩංගුවට ගෙන සතියක් ඇතුළත පරීක්ෂණය සහමුලින්ම වාගේ අවසන් බවත් දින දෙක තුනක් ඇතුළත ඔහු නිදහස් වනු ඇති බවත් පවුලේ අය විශ්වාස කළහ. නමුත් අවසානයේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් දින 90ක් රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලද අතර ඔහු දිගටම අත්අඩංගුවේ රඳවා ගැනුණි.

2009 පෙබරවාරි 25 වැනිදා විද්‍යාධරන් මහතා පවුලේ අවමගුල් උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පොලිස් නිල ඇදුම් හැඳගත් තිදෙනෙකු ද සමඟ සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුට ද සුදරෝලි ප්‍රකාශයට පත් කරන උදයන් පුවත්පත් සමාගමේ හිමිකරුවන සරවනපවන් මහතාටද පහර දී ඔහු පැහැර ගන්නා ලදී. නිල ඇදුම් ඇද සිටි තිදෙනා පැහැර ගැනීමට සහභාගි වූයේ සිවිල් ඇදුමින් සිටි පිරිසට පමණක් ඔහු පැහැර ගැනීමට බැරි වූ විට ය. එතෙක් ඔවුන් සිටියේ වාහනයේ ය. ඒ අවස්ථාවේ දි කිසිදු කුවිතාන්සියක් පවුලේ අයට දුන්නේ ද නැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එය පැහැර ගැනීමක් බවත් ඊට පොලීසියේ සම්බන්ධයක් නැති බවත් ය. දේශීය සහ අන්තර් ජාතික බලපෑම් උත්සන්න වෙත්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිය ස්ථාවරය වෙනස් කර කියා සිටියේ විද්‍යාධරන් මහතා පොලිස් අත් අඩංගුවෙහි සිටින බව යි. ඔහු සිටියේ කොළඹ අපරාධ අංශයේ ය. එමෙන්ම ඒ මහතාට දරුණු ලෙස පහර දි තිබුණි.

පෙබරවාරි 26 දා ජනමාධ්‍ය ඇමැතිවරයා පුවත්පත් සාකච්ජාවකට සහභාගි වෙමින් කියා සිටියේ විද්‍යාධරන් පැහැර නොගන්නා ලද බවත් නීත්‍යනුකූලව අත්අඩංගුවට ගන්නා ලද බවත් ය.

එදිනම ආණ්ඩුවේ යුද- දේශපාලන ක්‍රියාමාර්ගයට සහාය දක්වන සිංහල පුවත්පතක කතුවැකියක් මෙසේ කීයේ ය. “සුදරෝලි කර්තෘ එස්. විද්‍යාධරන් මහතා අත් අඩංගුවට ගෙන තිබේ. මුලදී ප්‍රචාරය වුයේ එතුමා පැහැරගෙන ඇති බවට ය. පසුව බලන විට එතුමා පොලිස් කූඩුවේ ය. පැහැරගෙන යෑම නිති විරෝධී වන අතර අත් අඩංගුවට ගැනීම නිත්‍යනුකූලය. මුලින්ම සුදු වෑන් රියකින් පැමිණි ඔහු පැහැරගත් පිරිසක් ඔහුට පහර දී දෙමටගොඩ හරියේ දමා ගොස් ඇත.මේ පැහැර ගැනීම සහ අත් අඩංගුවට ගැනීම අතර සම්බන්ධයක් තිබෙන බව නොපෙනේ. පහර දෙන්නට ඇත්තේ වෙනම කාරණයකට විය යුතු ය. අත් අඩංගුවට ගත්තේ වෙනම කාරණයකට ය” (කර්තෘවරයා මෙම නිගමනයන්ට පැමිණයේ කුමණ සාධක මතද යන්න දැන ගැනීම වැදගත් වනු ඇත. එක් දෙයක් පැහැදිළිය. පහර දීමේ වරදින් පොලීසිය බේරා ගැනීමට කතුවරයා මුලාශ්‍ර නැති සාක්ෂි ඉදිරිපත් කරන බව ය. ජනමාධ්‍ය අචාර ධර්ම පිලිබඳ උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන් මෙම කතුවැකිය කියවා බැලීම වටී).

අත් අඩංගුවට ගෙන සති තුනකට පමණ පසු එනම් මාර්තු 18 දා විද්‍යාධරන් මහතා අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ අපරාධ අංශය කියා සිටියේ කවර හෝ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් දෙමටගොඩ දමා ගොස් තිබිය දී තමන්ට විද්‍යාධරන් මහතා හමු වු බවත් තමන් ප්‍රශ්ණ කිරීම පිණිස ඔහු සොයමින් සිටි නිසා රඳවා තබා ගත් බවත් ය. (විහිළුවක් නොවේ). පැහැරගැනීමක් සිදුව ඇති බව පොලීසිය පිළිගත්තේ ය.

විද්‍යාධරන් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ පොලිස් පරීක්ෂන අවසන් වීමට හෝ පෙර ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා උග්‍ර ස්වරයෙන් මෙසේ කීවේ ය. “විද්‍යාධරන් ත්‍රස්තවාදියෙක්. ඔහුව ආරක්ෂා කිරීමට උත්සාහ දැරුවොත් නුඹේ අතෙත් ලේ තියේවි. කොළඹට එල්ල වූ එල්ටීටීඊ ගුවන් ප්‍රහාර සම්බන්ධිකරණය කළේ ඔහු තම යි.” ( පෙරවාරි 26 දා ඕස්ට්‍රේලියානු එස්බිඑස් රූපවාහිනී සේවාව සමඟ කළ සාකච්ජාව)

තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිරකණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ විද්යාධරන් මහතා මෙසේ කියා සිටියේ ය. “එල්ටීටීඊ ගුවන් ප්‍රහාරය දින තමා ප්‍රංශයේ සිටි සිය සහෝදරියට සහ මස්සිනාට දෙන ලද දුරකථන ඇමතුම් මෙම සැකයට හේතු වී තිබේ. ආරක්ෂක ලේකම්වරයා විසින් තමා ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීම තමා අවමානයට පත් කිරීමකි. අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ දී තමාට පහර දෙන ලද අතර ඒ නිසා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට සිදු විය.”

දැන් ආණ්ඩුව තමන් මහජන යහපත සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ගෞරවයක් දක්වන්නේ නම් පිළිතුරු දිය යුතු ප්‍රශ්න ගණනාවක් ම තිබේ:

පෙබරවාරි 26 දා උදෑසන 10.00 ට පමණ කොළඹ ගල්කිස්සේ දී සුදරෝලි කර්තෘ විද්‍යාධරන් මහතා පැහැර ගන්නා ලද බවට පොලිසිය කියන කතාව ආණ්ඩුව පිළිගන්නේද? එසේ නම් එම පිරිස අතර පොලිස් නිල ඇදුම් ඇඳගත් තිදෙනෙකු සිටියේ කෙසේ ද?

එම පැහැර ගැනීම එම අවස්ථාවේදීම පොලීසියට සහ රජයේ ප්‍රධානීන්ට දන්වා තිබිය දී එම සුදු වෑන්රථයට රජයේ ආරක්ෂාව නොතිබුනේ නම් බාධාවකින් තොරව කොළඹ නගරය හරහා දෙමටගොඩ දක්වා ගමන් කළ හැකිව තිබුණේද?

විද්‍යාධරන් මහතා පැහැරගෙන නැති බවත් ඔහු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවත් එදින දහවල් 2.00ට පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ කුමණ පොලිස් නිලධාරීන්ගේ වාර්තා අනුව ද?

විද්‍යාධරන් මහතා පැහැර ගත් පිරිස නොබියව ඔහුට පහර දුන්නේ ද අත් අඩංගුවට ගත් බවට කුවිතාන්සියක් නුදුන්නේ ද ඔහු ඝාතනය කිරිමට නියමිතව සිටි නිසා ද? ඔහු ඝාතනය නොකරන ලද්දේ දේශීය සහ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේද?

ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි බව කියන කොළඹ අපරාධ අංශයේ කාර්‍යාලය පිහිටි දෙමටගොඩ ම විද්‍යාධරන් මහතා දමා ගොස් සිටීම පුදුමයක් නොවේ ද? එසේ කැරුණේ පැහැර ගත් පිරිස සමඟ ඇතිවූ තොරතුරු හුවමාරුවක් අනුව ද?

විද්‍යාධරන් මහතා ත්‍රස්වාදියකු බවට ආරක්ෂ ලේකම්වරයා අන්තර් ජාතික ජනමාධ්‍ය ආයතනයකට කියා සිටියේ කුමණ පරීක්ෂන වාර්තාවක් අනුව ද? පොලිස් පරීක්ෂන අවසන් වීමට පෙර රජයේ ඉහළම ආරක්ෂ නිලධරයා එසේ කියා සිටින විට එය නීතියට පිටින් යාමක්ද නොවන්නේ ද? දැන් පොලීසිය ඒ මහතාට එරෙහිව චෝදනා නැති බව අධිකරණයට දැනුම් දී ඇති බැවින් ආරක්ෂ ලේකම්වරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ද?

විද්‍යාධරන් මහතා පැහැර ගැනීම, ඔහුට පහර දීම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රතිවිරෝධී ප්‍රකාශ, ජනමාධ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය, ආරක්ෂ ලේකම්වරයාගේ ප්‍රකාශය, 28වන දින රාජපාක්ෂික කතුවැකිය සහ අවසානයේ දී පොලිසීයට ඔහු නිදහස් කිරිමට සිදුවීම විහිළු නාටකයක් නොව මෙරට නිදහස් මත දරන ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන යථාර්තය යි. මෙම පැහැර ගැනීම, පහර දීම, අවමානයට පත් කැරෙන ප්‍රකාශ යනාදී කිසිවක් ගැන කිසිදු පරීක්ෂනයක් නොපැවැත්වෙනු ඇත.

යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ගිණිකන වැටී සිටින සිංහල සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව අයිතීන් කෙළෙසීමට තමන්ට බලපත්‍රයක් දී ඇතැයි ආණ්ඩුව කල්පනා කරන බව පැහැදිළි ය..

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් මුහුණ දෙන්නේ සමහර විට මෑත ඉතිහාසයේ අප මුහුණ දෙන දුෂ්කරතමවූත් බියජනකමවූත් දිගුකළක් පැවැතිය හැකි වූත් කාලපරිච්ජේදයකට ය.