end of the War, Featured Articles, Features, Puttalam

විල්පත්තු මායිමේ වනාන්තර අක්කර 335 ක බිල්ලක් – මූලිකයා අමාත්‍ය ආචාර්ය අමුණුගමගේ බෑණනුවන්

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය තවදුරටත් පුලුල් කරමින්, වනාන්තර අක්කර 225 ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එසේම මෙයටම සම්බන්ධව නීතිවිරෝධී ලෙස තවත් වනාන්තර අක්කර 75 ක් අනවසරයෙන් අත්පත් කරගෙන ඒ සමස්ත වනාන්තර ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර තිබේ. මේ සමස්ථ වනාන්තර දඩයම පිටුපස සිටින්නේ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලකයෙක් සහ අමාත්‍යවරයෙක් වන ආචාර්ය සරත් අමුණුගම මහතාගේ බෑණනුවන් වන රොහාන් ප්‍රනාන්දු මහතා ය.

මේ ඒ සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ භාරය විසින් සකස් කර සම්පූර්ණ වාර්තාවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය, තබ්බෝව අභයභූමිය හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය යන සුවිශේෂී ස්ථාන තුනෙහි අක්කර 35 ක වනාන්තර ප්‍රදේශයක දැනට වසර ගණනාවක සිට අනවසරින් පවත්වාගෙන ගිය එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කිරීමටල වනාන්තර අක්කර 225 ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

තවත් වනාන්තර අක්කර 75 ක් අනවසරයෙන් අත්පත් කරගෙන ඒ සමස්ත වනාන්තර ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර තිබේ. අනවසර ව්‍යාපෘතිය නතර කිරීම වෙනුවට ඉඩම් අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයෙන් හා තබ්බෝව අභයභූමියෙන් ලබා ගැනීමට හැකි වූයේ ධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලන නෑ හිතවතුන් ඉදිරියේ ලංකාවේ පරිසර නීති ක්‍රියාත්මක වීමේ තරම ලොවට පසක් කරමිනි. වනාන්තර අක්කර 75 සඳහා නීත්‍යනුකූල ව පිළිගත හැකි සින්නක්කර ඔප්පුවක් නැතත්, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්තුමා සමාගම ආරක්ෂා කිරීමට රජයට අයත් වනාන්තර බිම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පුවට නීත්‍යනුකූල බවක් ලබා දී තිබේ. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ නිවැරදි තතු දැන සිටිය ද මේ ව්‍යාජ ඔප්පුව පිළිගැනීම පුදුමයට කරුණකි. මේ තත්ත්වය මෙතෙකින් නතරවී නොමැත. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයේ (Buffer Zone) අලි – ඇතුන්ගේ වාසස්ථානයක් මධ්‍යයේ මේ මහා පරිමාණ ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා වයඹ පලාත් පරිසර අධිකාරියෙන් ද අවසර ලබා දී ඇත. මේ සියල්ල කෙසේ සිදු වුණි දැයි සිතා ගැනීමටත් අපහසු ය.

වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත මධ්‍යයේ පිහිටි එච්.වී.ඒ. ෆාම් නමින් පවත්වාගෙන යන අනවසර වගා ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලාඔයට පහළිනි. එනම් පුත්තලම දිස්ත්‍රික්කයෙල් වනාතවිල්ලුව ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාෂයේ, අංක 635 රාලමඩුව ග්‍රාම නිළධාරී වසමේ අච්චිමලේ ග්‍රාමයේ ය. අක්කර 35 ක් පමණ වූ භූමි ප්‍රදේශයක පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් ලෙස H. V. A. Farm Pvt(Ltd) නමින් Eco – Friendly Organic Farm ලෙස සඳහන් කරමින් මෙය සිදු කරගෙන යනු ලැබිණි. මෙහි ප්‍රධාන කාර්යාලය කඳාන, ලින්ටන් පාර, අංක 39/ඒ, දරණ ස්ථානයේ පිහිටා තිබේ. එහි හිමිකරු වන්නේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ බෑණනුවන් වන රොහාන් ප්‍රනාන්දු මහතා ය.

දැනට වගා ව්‍යාපෘතිය අනවසරයෙන් ව්‍යාප්ත කර ඇති අක්කර 35 ක් පමණ වන භූමිය වනජීවී ආරක්ෂිත ප්‍රදේශ දෙකකට ඇතුළත් ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 30128.9 ක් වන වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතය තුළ මේ ව්‍යාපෘති බිමෙන් වැඩි කොටසක් පිහිටා තිබේ. මේ වගා ව්‍යාපෘති බිමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ස්ථානගත කර ඇති යෝජිත රක්ෂිතයේ මායිම් කණු ද දක්නට ලැබේ. මීට අමතරව 2002 ජූලි 19 වන දින අංක 1245/31 දරන ගැසට් නිවේදනයට අනුව ප්‍රකාශිත හෙක්ටයාර 2193.309 ක් වන තබ්බෝව අභයභූමියෙහි ද මේ වගා බිමෙන් කොටසක් පිහිටා තිබේ.

එපමණක් නොව අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතය තුළ මේ වගා ව්‍යාපෘතිය පිහිටා ඇත. මේ සියල්ල සිදු වන තුරු අදාළ රාජ්‍ය නිලධාරීන් මුණිවත රකිමින් මේ අනාගත පරපුරේ සම්පත් වැනසීමට ඉඩකඩ ලබා දුන්නේ දේශපාලන හා මුදල් බලය ඉදිරීයේ වීම කණගාටුවට කරුණකි.

හානි කර වගා ව්‍යාපෘතියේ ඉතිහාසය

මේ අයුරෙන් වනජීවීන් ගේ රැකවරණය සඳහා වෙන් කළ භූමි ප්‍රදේශයන්හි මේ වගා බිම් ස්ථානගත කර ඇත්තේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි. මේ ප්‍රදේශවල පිහිටි රජයේ ඉඩම් අනවසරයෙන් වගා කටයුතු සඳහා යොදා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. පළමු ව අක්කර 2 – 3 ක පමණ වනාන්තර ප්‍රදේශයක් අනවසරයෙන් අල්ලා ගෙන ඒ භූමිය එළි පෙහෙළි කර වගාවන් සිදු කැරේ. පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ පිළිබඳ ව දැනගන්නට ලැබී එකී ප්‍රදේශ පරීක්ෂා කළ විට වගා කළ පුද්ගලයන් සිදු කරන්නේ ඒ භූමිය වගා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් කර වාර්ෂික බලපත්‍ර ලබා ගැනීම යි. එච්.වී.ඒ. ෆාම් පෞද්ගලික සමාගම මඟින් ද සිදු කර ඇත්තේ මේ ක්‍රියාවමය. 1997 වසරේ දී පළමු ව අක්කර 4 ක් සඳහා ද ඉන් පසුව අක්කර 8 ක් හා අක්කර 25 ක් සඳහා ද නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට ඉඩම් ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබේ. එය සැලකිල්ලට ගෙන වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් අක්කර හතරක් සඳහා පමණක් වාර්ෂික බලපත්‍ර යටතේ ඉඩම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

එය ප්‍රයෝජනයට ගනිමින් එච්.වී.ඒ. ෆාම් ආයතනය මඟින් අක්කර 35 ක වනාන්තර භූමියක් වරින්වර අනවසරින් එළිපෙහෙළි කර ගස්ලබු, කෙසෙල්, දොඩම් හා අඹ වගා කර ඇත. වගා කටයුතු සඳහා ස්වාභාවික වනාන්තරය සම්පූර්ණයෙන් ම ඉවත් කර තිබේ. වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සිදු කරන්නේ ද ඒ ඉඩම ආසන්නයෙන් ගලා බසිනා රාල්මඩුව ඔයෙනි. මේ අනවසර වගා කටයුතු සඳහා තවත් හෙක්ටයාර 100 ක (අක්කර 250 ක් පමණ) ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා 1998/03/24 වන දින අදාළ සමාගම විසින් ඉල්ලුම් කරනු ලැබ ඇත. ඒ අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් 1990 අංක 12 දරන පළාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන විශේෂ ගැසට් නිවේදනයට අනුව මේ ඉඩම් නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම් (තක්සේරු) වාර්තාවක් සකස් කර අනුමැතිය ලබා ගන්නා ලෙසට ව්‍යාපෘති යෝජක සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව 1999 ජූලි 28 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත අනුමැතිය සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ වාර්තාවට අනුව ඉල්ලුම් කර ඇති ඉඩම් ප්‍රදේශ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට හා කලාඔයේ ජලපෝෂක ප්‍රදේශයට අයත් වන නිසා, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා නිර්දේශ ලබා දීම ප්‍රතික්ෂේප කැරිණි.

දිස්ත්‍රික් ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැලැසුම් අංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රජයේ ආයතනවල නියෝජිතයන් ගේ එකමුතුවෙන් සමන්විත පුත්තලම දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව අදාළ කරුණ සම්බන්ධයෙන් 2003.04.02 වන දින රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකමතික ව තීරණය කර ඇත්තේ පාරිසරිකව හා පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා මේ ප්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බව යි.

රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ද කෘෂිකාර්මික කටයුත්තක් සඳහා අක්කර 50 කට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ප්‍රථම, ඊට අදාළ සියලු ම ආයතනවල නිර්දේශ ලබාගැනීම අවශ්‍ය ව ඇත.

මෙවන් නෛතික ප්‍රතිපාදන රාශියකට යටත්ව පවතින රජයේ කැළෑ ඉඩමක් පෞද්ගලික ආයතනයක් මඟින් බලහත්කාරයෙන් ලබා ගැනීම ලංකාවේ නීති පද්ධතිය හෑල්ලුවට ලක් කිරීමකි. එච්.වී.ඒ. ෆාම් මඟින් දැනට අනවසරයෙන් වගා කර ඇති ඉඩම් කොටසේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා කැණීම් කිරීමේ දී අඩි 02 ක් පමණ උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් හමු වී ඇත. මීට අමතරව මේ ප්‍රදේශයෙන් ශෛලමය ගල් ආසනයක්, ඇතුළුව ගල් කණු බොහොමයක් මතු ව තිබේ. ඒවා සියල්ල ම එච්.වී.ඒ. ෆාම් වගා භූමියේ පිහිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට අනාරක්ෂිත ලෙස තබා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගොඩනැඟිල්ල පිහිටි ප්‍රදේශය ඇතුළත්ව පුරා වස්තූන් හමු වූ අක්කර 2.5 ක් පමණ භූමි ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එවන් ප්‍රදේශයක් වගා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.

හානි කර වගා ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය

එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘති භූමිය අලි ගැවසුම් ප්‍රදේශයකි. ඒ වටා සම්පූර්ණ ප්‍රදේශයම විල්පත්තුව හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පවතී. නිරන්තරයෙන් මේ ප්‍රදේශයට අලින් පැමිණෙන අතර, අලින් පලවා හැරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ද මේ සමාගමට සිදු වී ඇත. අලින් මේ වගා භූමියට හානි සිදු කර ඇති ආකාරය ද අප ගේ නිරීක්ෂණවලට ලක් ව තිබේ. මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන 2003 වසරේ දී පුත්තලම දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් මේ ස්ථානයෙන් මේ ව්‍යාපෘතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ඒකමතික ව තීරණය කළ ද අදාළ සමාගම මේ වගා ව්‍යාපෘතිය ඉවත් කර නොගැනීමට එරෙහිව සීමාසහිත පාරිසරික පදනම මගින් නඩුකරයක් ගොනු කරන ලදී. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 35/2007 දරණ නඩුවට අනුව අධිකරණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් විවර කරමින් හිටපු අග්‍රවිනිශ්චකාර සරත් එන් ද සිල්වා මහතා විසින් මේ අනවසර ව්‍යාපෘතිය ඉවත් කිරීම වෙනුවට විකල්ප ඉඩමක් ලබාදෙන ලෙසට නියෝග කැරිණි.

ඒ නියෝගය උපයෝගී කර ගනිමින් එච්.වී.ඒ. ෆාම් ආයතනය අද වන විට වීරක්කුලිචොලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 225 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කර ගෙන තිබේ. එහෙත් ඒ නඩු තීන්දුවේ කිසිදු ස්ථානයක රක්ෂිතයකින් ඉඩම් ලබා දෙන ලෙසට සඳහන් ව නොමැති මුත්, ඉහළ දේශපාලන මැදිහත්වීම අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගේ තීරණයක් ලෙස මේ ඉඩම් ලබාදීම සිදු කර තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට කරුවලගස්වැව දෙසට අලින් ගමන් කරන සාම්ප්‍රදායික ගමන් මාර්ගය විහිදී ඇත්තේ මේ ප්‍රදේශය හරහා ය. එය විදුලි වැටවල් යොදා අවහිර කිරීම හේතුවෙන් අලි – මිනිස් සහජීවනය බිද වැටීමක් මේ ප්‍රදේශයේ සිදු විය හැකි ය. මේ වගා භූමියේ මායිමෙන් ගලා යන රාල්මඩුව ඔය දැඩි නියං කාලවල දී පවා සිදී නොයන බැවින් එහි ජලය බීමට අලි මේ ප්‍රදේශයට පැමිණෙති. එහෙත් වගා භූමියෙන් අලින් ගේ ගමන් මාර්ගය අද වන විට අවහිර වී පැවැතීම විශාල බාධකයක් වී ඇත.

වන සංරක්ෂණ ආඥා පනත හා වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය අභියෝගයට ලක් කර මේ ඉඩම් වෙන්කර දීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක්‍රියාවකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මෙලෙස ලබාදීමේ හැකියාවක් නොමැත. 2009 අංක 56 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම යෝජිත රක්ෂිතයට අයත් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම වනාන්තර ඉඩම් ලබා දීම කනගාටුවට කරුණකි.

මීට අමතර ව වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය අභියෝගයට ලක් කරමින් හා මුල දී ඒකමතිකව ගත් තීන්දු අභියෝගයට ලක් කරමින් මේ හානි කර ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය ද ලබා දී තිබේ. මේ ප්‍රඥප්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩමකල කැළෑ ආශ්‍රිත නොවන සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත් ව කටයුතු කර පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. ඒ සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව දුර්වල හා නියමිත ප්‍රමාණාත්මක ඇගයීමකින් තොර වාර්තාවකි.

එහෙත් මේ වාර්තාව පදනම් කරගෙන වයඹ පළාත් පරිසර අධිකාරිය කෙසේ අවසර ලබා දුන්නේදැයි විශාල ගැටළුවක් මතු වේ. 2003 වසරේ දී රාජ්‍ය නිලධාරීන් සියල්ලගෙන් සැදුම්ලත් පුත්තලම දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව විසින් ඒකමතිකව හානි කර ව්‍යාපෘතියක් යැයි තීරණය කළ මේ ව්‍යාපෘතියට 2011 වසරේ දී අවසර ලබා දුන්නේ කුමන පදනමක් මත ද යන්න නොවැටහේ.

හානි කර වගා ව්‍යාපෘතියේ ව්‍යාජ මුහුණුවර

පරිසර හිතකාමී කාබනික ගොවිතැන නාමයෙන් ව්‍යාජ ව හඳුන්වන මේ වගා ව්‍යාපෘතිය සඳහා කිසිදු කාබනික සහතිකයක් ලබාගෙන නොමැත. කාබනික සහතිකකරණයේ ජාත්‍යන්තරව පිළිගත් :ෂබඑැරබ්එසදබ්ක ත්‍ැාැර්එසදබ ද ෙධරට්බසජ ්ටරසජමකඑමරු ඵදබමපැබඑ ර්‍ ඔත්‍ධ්ඵ* ප්‍රමිතීන්ට අනුව වනාන්තරයක් එළි කර එහි කාබනික ගොවිතැන් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නොමැති අතර ඒ සඳහා කාබනික සහතිකය ලබාගත නොහැක. අප මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ මේ වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවත් මෙහි පළතුරු අපනයනය කිරීම සිදු නොකරන බවත් ය. තව ද කාබනික ගොවිතැනේ භාවිත වන නිවැරැදි සටහන් තබාගැනීමේ ක්‍රමවේදයක් මෙහි සිදු නොවන බවත් තහවුරු වී ඇත. අප මෙය ඉතා වගකීමෙන් යුතු ව සඳහන් කර සිටින අතර, රාජ්‍ය ආයතන මුලා කරමින් මේ ව්‍යපෘතිය කාබනික ගොවිතැනේ නාමයෙන් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන බව ද මෙසේ සටහන් කරමු.

මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට ඒ සඳහා අනුබල ලබාදීමෙන් හා අදාළ නිලධාරීන් මුනිවත රැකීමෙන් සිදු වන්නේ පියවරින් පියවර රක්ෂිත වනාන්තර විනාශ කිරීමට සමාගම්වලට ඉඩකඩ ලබාදීමකි. පළමු අදියරේ දී ම මේ සඳහා නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ අද වන විට වනාන්තර අක්කර 225 ක් වීරක්කුලිචෝලේ – එළුවන්කුලම් යෝජිත රක්ෂිතයට අහිමි වීම ය. මෙය වනාන්තර අහිමි කිරීමක් පමණක් නොව, අලි ඇතුන්ගේ නිජබිමක් හා අලිමංකඩක් අහිමි කිරීමකි.

මේ හානිකර ක්‍රියා පිටුදැකීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වයඹ පළාත් පරිසර අධිකාරිය තමන් සිදු කළ වැරැදි නිවැරැදි කර ගැනීමට ඍජු නිර්භීත තීරණයක් ගනු ඇතැ යි බලාපොරොත්තු වෙමු. එසේ නොවුණහොත් හෙට දින එච්.වී.ඒ. ෆාම් මඟින් දැනට විදුලි වැටක් යොදා වෙන්කර ඇති ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අත්පත් කරගත් වනාන්තර අක්කර 75 ත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් වනාන්තර අක්කර 225 ත් වන සතුන්ට අහිමි කරමින් එළි පෙහෙළි කරනු ඇත. ඉන් පසුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොමැති බව අවධාරණයෙන් යුතු ව ලියා තබමු.


ව්‍යාපෘති බිමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ස්ථානගත කර ඇති යෝජිත රක්ෂිතයේ මායිම් කණු


ව්‍යාපෘති බිමෙන් හමු වූ පුරා වස්තු


ව්‍යාපෘති බිම වටා සකසා ඇති විදුලි වැට

Sajeewa Chamikara

ETF – Sri Lanka