Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම නූගත් පාඩම


[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසමේ වාර්තාව එක අතකට අසුබ දිනක ආ සුබ දසුනක් වැන්න. වෙනත් වචනයෙන් කියන්නේ නම් වාර්තාවේ අන්තර්ගත නිර්දේශයන් බොහොමයක් එය පතිත වූ සමාජ දේශපාලන සන්දර්භයට ගැලපෙන්නේ නැත.

මෙවැනි කොමිෂන් සභා නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප විසින් මේ තාක් අත් දකින ලද පරිදි නෙළුම් කොළයකට වැටුණු වැහි බින්දුවක් මෙන් මෙම වාර්තාව ද ශ්‍රී ලංකාවේ දේශපාලන මඩ ගොහොරුවට වැටී නොපෙනී යනවා ඇත. ඊට වෙනස් ඉරණමක් මෙම වාර්තාවට ලැබීමට නම් ශ්‍රී ලාංකික දේශපාලනයෙහි ප්‍රජාතන්ත්‍රවාදය කරාවූ සුසමාදර්ශි වෙනසක් ඇති විය යුතුය. එවැනි වෙනසක පෙර ළකුණු තබා වෙනසක් පිළිසිඳ ගැනීමක්වත් දක්නට නැත. පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ සමස්ත දිශානතිය යුදකරණයේ සහ පවුල්වාදයේ පාලනයක් පිහිටුවීම යි.

උගත් පාඩම් කොමිසමේ වාර්තාව විසින් එම පාලනය සහමුලින්ම නොවුන ද සෑහෙන පමණකට අභියෝගයට ලක් කරයි. එවැනි අභියෝගයක් පිළිගෙන එකී නිර්දේශ අව්‍යාජ ලෙස කි්‍රයාත්මක කිරීමට වත්මන් පාලනය සුදානම් වනු ඇතියි සිතීම එක්කෝ අපව ම රවටා ගැනීමකි. නැත්නම් වත්මන් පාලනයට සුදු හණු ගෑමකි. වාර්තාව පිළිබඳව සාධනීය ප්‍රතිචාර දැක්වූ පිරිස් කියා සිටි ප්‍රධාන කාරණය වූයේ එය විසින් ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සහ නීතියේ පාලනය යළි පිහිටුවීමට යෝජනා කරන බවයි. වාර්තාවේ වචනයෙන්ම කියන්නේ නම් ශ්‍රී ලංකාවට අවශ්‍යවන්නේ මිනිසුන්ගේ පාලනයක් නොව නීතියේ පාලනයකි. තවද එය විසින් එය විසින් මැද පිළිවෙතක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දී ඇතැයි ද එවැනි පිරිස් කියති. එසේ නමුත් වාර්තාවේ අඩංඟ= එවැනි යෝජනා කිසිවක් අලූත් ඒවා නොවේ. උදාාහරණයක් ලෙස තොරතුරු නිදහසේ පනතක් පිහිටුවිය යුතු බවට වාර්තාවේ එන යෝජනාව අඩුම වශයෙන් විසි වසරක් පැරණිය. එවැනි පනතක් සකස් කොට දැනට වසර අටකට ආසන්න ය. ශ්‍රී ලංකාවේ තොරතුරු නිදහස ඇති බැවින් එවැනි පනතක් අවශ්‍ය නැතැයි යන්න වත්මන් පාලනයේ නිල ස්ථාවරය යි. මෙම පාඩම උගත් පාඩම් කොමිසමට අමතක වී තිබේ.

ස්වාධීන පොලිස් කොමිසමක් සහ රාජ්‍ය සේවා කොමිසමක් අවශ්‍ය බවට වන උගත් පාඩම් කොමිසමේ වාර්තාව නූගත් පාඩම් පිළිබඳ සරළ උදාහරණයකි. එවැනි කොමිෂන් සභා පද්දතියක් ම අවශ්‍ය බවට ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සිවිල් සමාජය ඒකමතිකව එකඟ වූයේ මෙයට දස වසරකට තරම් පෙර ය. ඒ සඳහා අවශ්‍ය ව්‍යස්ථාමය ප්‍රතිපාදන 17වන සංසෝධනය ලෙස සම්මත කැරුණේ මහත් ජය ඝෝෂා ඇතිව ය. නමුත් රාජපක්ෂ පාලනය එම නීතිය උල්ළංගනය කළා පමනක් නොව අවසානයේ දී එය අහෝසි කොට 18වන සංසෝධනය නම් අර්ධ ඒකාධිපති සංසෝධනයක් ද 2010 අගෝස්තුවේ දී ගෙන ආවාය. එම සංසෝධනය යටතේ පවා පත් කළ යුතු මැතිවරණ කොමිසම වත්මන් පාලනය තවම පත්කර නැත. ඒ යටතේ පොලිස් කොමිසමක් නැත.

මෙම සංසෝධනය යටතේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොම්සම් හැර ස්වාධීන කොමිසම් සඳහා කිසිදු ඉඩක් නැතිව තිබිය දී ස්වාධීන පොලිස් සහ රාජ්‍ය පරිපාලන කොමිෂන් පත්කිරීමට යෝජනා කිරිම හුදු අනවබෝධයක් ද? එම කොමිෂන් සභා දෙක පමණක් ස්වාධීන කිරීමෙන් පළක් වනු ඇත්ද? මානව හිමිකම් කොමිෂම සහ මැතිවරණ කොමිෂම ස්වාධීන කළ යුතු නැත්ද? මේ වනාහී පාඩම් ඉගෙන නොගැනීමක් ද? වෙනකක් ද? මේ අරභයා උගත් පාඩම් කොමිසමට කවර හෝ සැබෑ අවශ්‍යතාවයක් තිබුණේ නම් එය විසින් නිර්දේශ කළ යුතුව තිබුණේ 18වන සංසෝධනය අහෝසි කොට අඩුපාඩු සකස් කරන ලද 17වන සංසෝධනය යලි පිහිටුවන ලෙස නිර්දේශ කිරීම නොවේ ද? වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙන ලද නොවැම්බර් මාසයේ සිට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෙසැම්බර් මාසය දක්වා වාර්තා වූ මානව හිමිකම් කෙළෙසීම් පමණක් පෙළ ගස්වා බැලුව ද වාර්තාව විසින් නිර්දේශ කැරෙන පියවර අද පවා කෙළෙසෙමින් තිඛෙන සැටිය.

ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිනොපදින්නේ යැයි යන ව්‍යාජ හේතුව පෙන්වා රජයට තර්ජනයක් සේ සළකන ලද පුවත් වෙබ් අඩවි 7ත් තහනම් කරන ලද්දේ නොවැම්බර් දෙවන සතියේ දී ය. දේශපාලන පළිගෑනීමක් ලෙසින් නඩු පවරන ලදුව පරාජිත ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති සරත් පොන්සේකා විවාදාත්මක නඩු තීන්දුවක් මගින් තෙවසරකට සිර ගත කරන ලද්දේ නොවැම්බර් තෙවන සතියේ දී ය. එම නඩු තීන්දුව දීමට මූලික වූයේ ජනාධිපතිවරයාගේ පුද්ගලික මිතුරියක බව පෙනීයන විනිශ්චයකාරවරියකි. එමෙන්ම ජනාධිපතිවරණයේ දී සරත් පොන්සේකාට ලබා දෙන ලද ජන්ද කුණු කූඩයට දමා තිබූ බව සනාත වූයේ ද නොවැම්බර් මාසයේ දී ය. සරසවි සිසුන්ගේ මානව අයිතීන් කෙළෙසමින් පේරාදෙනිය සහ ගංගොඩවිල සරසවි මත පොලිස් පාලනයක් මුදා හැරුණේ ද මෙසමයේ දීම ය. කොළඹදී ජවිපෙ තරුණ ව්‍යාපාරයේ පා ගමනකට දරුණූ පොලිස් ප්‍රහාරයක් ද එල්ල විය. මානව හිමිකම් දිනය සැමැරීම පිණිස යාපනයට ගිය පුරවැසියන් 42 දෙදෙනෙකු පැය ගණනාවකට හමුදා – පොලිස් අත් අඩංඟ=වට ගැණුනි. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩ කඩම් යුද හමුදා පාවිච්චිය පිණිස අල්ලා ගැනීම පිළිබඳ මෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනයා මත පනවා ඇති මිලිටරි පාලනය පිළිබඳ පුවත් මෙම කාලය තුල දිගට ම වාර්තා විය.

ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොළ ලෙස සැළකෙන පාර්ලිමේන්තුව තුළදී ම දෙසැම්බර් මාසයේ දී විපාක්ෂික මංත්‍රීවරුන් කායික ප්‍රහාරයන් දෙකකට ලක්විය. ඇමැතිකමකින් පුද දී විපක්ෂයේ මංත්‍රීවරයකු ආණ්ඩු පක්ෂයට බිලිබා ගැනුනේ නොවැම්බර් අග සතියේ දී ය. සාමකාමී විරෝධතායන්හි යෙදුණූ එළවලූ වෙළදුන්ට පහර දී දඹුලූ වෙළද මධ්‍යස්ථානය හමුදාව විසින් අත්පත් කර ගැනුනේ දෙසැම්බර් මුල සතියේ දී ය.

ජගත් මානව හිමිකම් දිනය වූ දෙසැ 10දාට දිනක් තිබිය දී අතුරුදහන් කරන ලද දෙමළ ජනයා පිළිබඳව කටයුතු කළ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ කූගන් මුරුගරාජා සහ අජිත් වීරරාජා යන දෙදෙනා යාපනයේ දී පැහැර ගන්නා ලදී. ඔවුන් ගමන් ගත් යතුරු පැදිය අච්චුවේලි පොලීසියේ තිබී කූගන්ගේ බිරිඳ විසින් සොයා ගන්නා ලදී. ඔවුන් දෙදෙනා මරාදමා ඇතැයි මානව හිමිකම් සංවිධාන බිය පළ කරයි. මේ අතර දෙසැම්බර් තෙවන සතියේ දී සිසිර සේනාරත්න නම් ජවිපෙ ක්‍රියාකාරිකයකු වව්නියාවේ දී පැහැර ගෙන ගොස් පසුව මුදා හරින ලදී. පැහැරගෙන ගොස් මරා මහමුහුදට දමන ලද ලොකු සීයා නොහොත් මොහාමඩි නියාස් ගේ මළ සිරුර නොවැම්බර් අවසාන සතියේ දී උතුරු වෙරලට ගොඩ ගසන ලදී. ඔහුගේ බිරිද ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එකී පැහැර ගැනීම පිළිබඳව රජය ප්‍රමාණවත් පරීක්ෂණයක් නොකළ බවයි. ඉන් ඇගවෙන්නේ එම පැහැර ගැනීම රජයේ අනුදැනුම යටතේ සිදූවූ බවට ඇති විශ්වාසය යි. පැහැර ගෙන ගොස් මරා දමන ලද කිළිනොච්චි වැසියකු වූ ස්කන්දරාජා සුමනන් නම් අයකු සම්බන්ධ ප්‍රසිද්ධ ආයාචනයක් ආසියානු මානව හිමිකම් කොමිසම දෙසැම්බර් දෙවන සතියේ දී ප්‍රකාශයට පත්කළේ ය.

කොටහේන වෙළද ව්‍යපාරිකයකු වූ කි්‍රස්ටොපර් දෙසැම්බර් මුල් සතියේ දී පැහැර ගැනුණි. යාපනයේ සරසවි සිසුවකු පැහැර ගැනීම ද නොවැම්බර් මුල් සතියේ දී වාර්තා විය. පසුව නිදහස් කරන ලද ලලිත් කුමාර නම් ව්‍යාපාරිකයකු නොවැම්බර් අවසාන සතියේ දී පැහැර ගැනුනේ යුද හමුදා ඇදුම් ඇද සිටි පිරිසක් විසිනි. ඔක්තෝබර් මාසය ද සැළකිල්ලට ගැනන හොත් මෙම කාලය තුළ සිදුවූ රජයේ ආරක්ෂ අංශ සම්බන්ධ බවට සැක කැරෙන පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදහන්වීම් දහය ඉක්මවයි. මෙම සිදුවීම් විසින් පෙන්නුම් කැරෙන්නේ පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය යි. ඒවා හුදකලා සිදුවීම් නොවේ. සමස්ත වැඩ සටහනක දැති සහ රෝද කර කැවෙන හැටි ය. රාජපක්ෂ පාලනයේ පැවැත්ම දීර්ඝ කර ගැනීමේ මූලෝපාය ද එයයි.

උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ එන සාධනීය ලක්ෂණය වන නීතියේ පාලනය පිහිටුවීමේ නිර්දේශ පවා යොදා ගැනෙනු ඇත්තේ මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට මිස ආපසු හැරවීමට නොවේ. උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසම පිහිටුවන ලද්දේ නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්ණය අරභයා නොව යුද්ධයේ අවසන් සමයේ දී සිදු වූ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් සහ යුද්ධයට හේතු වූ කරුණු සොයා බලනු පිණිස ය. ඒ මූලික අරමුණ අරභයා කොමිසමේ නිර්දේශ මහත් විවාදයකට ලක්ව තිබේ. දෙමළ ජනයා මුහුණ දෙන දුක් ගැනවිළි ඇතැයි වාර්තාව කියා සිටින නමුත් ඊට දිය යුතු විසදුම පිළිබඳව ඉදිරිපත් කරන්නේ ඇල් මැරුණූ යෝජනා ය. ඊටත් වඩා වාර්තාව උත්සාහ කරන්නේ සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් මිටි තැනින් ජලය බැස්සවීමට ය. එය රජයට පක්ෂපාතී දෙමළ දේශපාලන පක්ෂයන්හි මිලිටරි ක්‍රියාකාරකම් සොයා බැලීමට නිර්දේශ කරන නමුත් යුදහමුදාව සමස්තයක් ලෙස ගෙන එවැනි පරීක්ෂනයක්ට ලක් කිරීමට යෝජනා නොකරයි. එපමණක් නොව වාර්තාව සිවිල් ජනයා ඝාතනය කිරීමේ වරද එල්ටීටීය ය මත පමණක් පටවා රජය නිර්දෝශි කරයි.

1988 – 90 සමයේ හමුදා භීෂනය අත්දුටු අප එවැනි භීෂනයක් උතුරු නැගෙනහිර නොතිබුනැයි කෙසේ පිළිගනිමු ද? යුද සමයේ සිදුවූ මිනිස් ඝාතන සමහරක් සම්බන්ධයෙන් අණ දෙන මණ්ඩලයන් මත නොව තනි තනි සොල්දුදුවන් පිට වරද පැටවීමට වාර්තාව විසින් යෝජනා කිරීම ද මිටි තැනින් ජලය බැස්ස වීමකි. මෙම වාර්තාව යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක ප්‍රතිපලයෙකැයි ඊට මුහුණදුන් ජනයාට සහ එම ජනයාගේ දේශපාලන නියෝජිතයිනට පිළිගැන්විය නොහැකි ය.

එක් ලේඛකයකු දක්වා තිබූ පරිදි එජා මහලේකම් පත් කළ උපදේශක කමිටු වාර්තාව යුද්ධයේ අවසන් සමයේ ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම විමසා බලන ලද පරිද්දෙන් ජනාධිපති රාජපක්ෂ පත්කළ උගත් පාඩම් කොමිසමේ වාර්තාව එසමයේ එල්ටීටීයේ හැසිරීම විමසා බලයි. එකක් විසින් අනෙක ඌණ පූරණය කරනු වැන්න. උගත් පාඩම් කොමිසමේ වාර්තාවෙ හි පේළි අතර කියවන විට දර්ශනය වන්නේ යුද්ධයේ අවසන් සමයේ දී ශ්‍රී ලංකා රාජ්‍ය හමුදා විසින් කරන ලදැයි කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳව කෙලින් කතා කිරීමට උගතුන් අතර පවා ඇති බිය යි. යුද්ධ අපරාධ සම්බන්ධයෙන් වාර්තාව නහය අල්ලන්නේ හිස වටා අත යවා මිස කෙලින්ම නොවේ. එල්ටීටීඊයේ මානව විරෝධී ක්‍රියාකාරකම් හෙළා දැකීමට දෙමළ ප්‍රජාවේ උගතුන් අතර එවැනිම බියක් තිබේ. අප මුහුණ දෙන එක් අභියෝගයක් වන්නේ මෙම විවේචනයන් දෙකම ඒකාබද්ධ කරන ලද සමෝධාන ප්‍රවිශ්ටයක් ඇති කර ගැනීම යි.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]