Colombo, Featured Articles, Features

විප්ලවයක් ලඟ එනවා! ඒකට අපි සැරසෙනවා!!

– Pic by – Sampath Samarakoon
[පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

ඉස්සර මේ සටන් පාඨය අයිතිව තිබුනේ විවිධාකාරයෙන් සමාජ සාධාරණත්වය සඳහා අප වැනි බහුතර ජනයාට ය. සමාජ අසාධාරණයන්ට එරෙහිව පැන නැගි බොහෝ සමාජ උද්ඝෝෂන සිය අරගලයන් පණ පෙවීමට එම සටන් පාඨය යොදා ගත්හ. කළකට පෙර සමසමාජ සහ කොම්යුනිස්ට් පක්ෂයන්හි මැයි පෙළපාළිද එම සටන් පාඨයෙන් ගිගුම් දුන්නෝ ය. මන්ද යත් සමාජ සාධාරණත්වය සොයා යන ගමන සමාජ විප්ලවයකින් අභිෂේක ලබනු ඇතැයි යනුවෙන් වූ වාම දේශපාලනයේ වූ දෘඩතර විශ්වාශය නිසා ය.

නමුත් දැන් විප්ලවයක් ලඟ එන්නේ ය යන සටන්පාඨය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින් ද ආරක්ෂක ලේකම් රාජපක්ෂ විසින් ද අල්ලා ගනිමින් සිටින බව පෙනේනනට තිබේ. එනමුත් ඒ සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණක් ඇතිව ය.

මෙම අවස්ථාවේ විප්ලවයට සූදානම් විමේ අරමුණ සමාජ සාධාරණත්වය නොවේ සමාජ මර්දනය යි. විප්ලවය, ත‍්‍රස්තවාදය, කැරැල්ල, මානව හිමිකම් කුමංත‍්‍රණ යනාදී කවරාකාර නාමයකින් පාලක පංතීන් විසින් හදුන්වනු ලැබුව ද අවසානයේ දී ඔවුන් ඉන් අදහස් කරන්නේ සියයට 99ක් තරම් වන සාමාන්‍ය ජනයා සිය අයිතීන් ඉල්ලා අරගල මඟට බැසීම යි.

යුද්ධවසානයේ සිට ම මන්ත‍්‍රයක් මෙන් මැතිරෙන කතාවක් අපි අසමින් සිටියෙමු. එනම් එල්ටීටීඊ සංවිධානය යළි හිස එසවීමට ඉඩ තිබෙන බවත් ඒ අරමුණින් විවිධාකාර පිරිස් රහසිගතව ක‍්‍රියා කරමින් සිටින බවත් ය. දැන් එයට තවත් කතාවක් එකතු වී තිබේ. එනම් දකුණේ සරසවි ශිෂ්‍ය අරගල විසින් ද ජන අරගල ව්‍යාපාරය විසින් ද විප්ලයකට අර අදින බව යි.

ආරක්ෂ අමාත්‍යංශයේ වෙබ් අඩවිය මෙසේ කියයි: ‘‘ශ‍්‍රී ලංකාවෙහි එල්ටීටීය යළි පැන නැගීමේ ඉඩ කඩක් ඇතැයි ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පැවැසී ය. මන්ද යත් එල්ටීටීඊයේ බෙදුම්වාදී අරමුණ ඉටුකර ගැනීමට එහි විදෙස්ගත පිරිස් කටයුතු කරමින් සිටින බැවිනි. අන්තර් ජාතික තලයෙහි එල්ටීටීඊ යළි සංවිධාන ගතවීම, ශ‍්‍රී ලංකාවෙහි යළි ත‍්‍රස්තවාදය මතුවිමේ ඉඩකඩ, ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්ණ අන්තර් ජාතික තලයට ගෙන යෑමට දැරෙන ප‍්‍රයත්න සහ වක‍්‍ර ක‍්‍රම මගින් ශ‍්‍රී ලංකාව අස්ථාරවර කිරීමේ ඉඩකඩ යනාදිය ලේකම්වරයා දීර්ඝ වශයෙන් විස්තර කළේ ය.’’

ආණ්ඩුවේ ඬේලිනිව්ස් පුවත්පත මෙසේ සදහන් කළේ ය: ‘‘ජවිපෙහි ඇතිව ඇති බෙදීම රටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහත් තර්ජනයකක් බවත් ආණ්ඩුවට ලැබී ඇති තොරතුරු අනුව ඉන් එක් පාර්ශවයක් තවත් කැරැල්ලක් ඇති කිරීමට සූදානම් බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඬේලි නිවිස් පුවත්පතට කීවේ ය.

‘‘එල්ටීටීඊ සහායකයින්ගේ උපදෙස් පිට කුමාර් ගුණරත්නම් විසින් සහාය දෙන ජවිපෙ පාර්ශවය විශ්ව විද්‍යාල පද්දතිය අඩාළ කරමින් සිටින බව අධ්‍යපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න ප‍්‍රකාශ කරයි. කුමාර් ගුණරත්නම් ට එල්ටීටීඊ ය සමඟ සබඳතා ඇතැයි කියනු ලබන අතර … එම පාර්ශවයට එල්ටීටීඊ අරමුදල් ද ලැබේ. ’’

දෙමළ විමුක්ති සංධානය හැසිරෙන්නේ එල්ටීටීඊ ලෙසින් යැයි ජනාධිපති රාජපක්ෂ මෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍ය රාජපක්ෂ කළ ප‍්‍රකාශ දෙසැම්බර් මාසයේ දී වාර්තා විය. ඊට හේතුව නම් ආණ්ඩුවේ පශ්චාත් යුද්ධ දේශපාලන න්‍යාය පත‍්‍රයට අවනත නොවී කටයුතු කරමින් දෙමළ ජනයාගේ බහුතර කැමැත්ත දිනා ගැනීමට එම පක්ෂය සමත් වී තිබීමත් සමාන අයිතීන් උදෙසා අරගල කිරීමත් ය.

ත‍්‍රස්තවාදය යළි හිස එසවීම, රට අස්ථාවර කිරීම, මානව හිමිකම් ප‍්‍රශ්ණ එජා සංවිධානයට ගෙන යෑම, යළි කැරැල්ලක් ඇති කිරීමේ සූදානම යනාදී කතා සියළු කතා විසින් රාජපක්ෂ පාලනය එක් තර්කයක් ගොඩ නගයි. එනම් ආරක්ෂක බුද්ධි අංශ සහ හමුදා වඩ වඩා ශක්තිමත් කළ යුතු ය. යුද්ධය අවසන් වූ නමුත් රට සාමාන්‍ය තත්ත්වයට පත්කළ නොහැකි ය. සටන්කාමී අරගල මර්දනය කිරීම අවශ්‍ය ය. පෙනෙන විදියට රාජපක්ෂ ආණ්ඩුවේ එක් සැළැස්මක් නම් උතුරේ සහ දකුණේ ඇතිවිය හැකි යැයි කියන ඊනියා ත‍්‍රස්තවාදයට මුවා වී මර්දනකාරි පාලනය දිගටම පවත්වා ගෙන යෑමයි. එමෙන්ම එම බිල්ලා පෙන්වා නැගී එන මහාජන අරගල මැඩලීම යි.

ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව සොල්දාදුවන් 5,556ක් මියගොස් 28,414ක් තුවාල ලබා එල්ටීටීඊ සටන්කරුවන් 22,247ක් මරාදමා සමාන්‍ය ජනයා 300,000 කඳවුරු ගත කොට යුද්ධය අවසන් කළේ මෙයට මාස 32කට පෙර ය. එදා මෙදා තුර රාජපක්ෂ ආණ්ඩුවේ දැවැන්තතම ජයග‍්‍රහණය ලෙස සෑම මැතිවරණයකදීම අලෙවි කැරෙන්නේ ද ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ බවට සපථ කැරෙන යුද්ධ ජයග‍්‍රහණය යි. නමුත් දැන් ආරක්ෂක ලේකම්වරයා කියන්නේ එල්ටීටිඊ ය යළි නැගී සිටීමේ හැකියාවක් පැන නැගී ඇති බවයි. ඔහු ඊට හේතුව ලෙස ශ‍්‍රී ලංකික දෙමළ ඩයස්පොරාවේ ඊළාම්වාදී දේශපාලනය පෙන්වාලයි.

හුදෙක් බාහිර සාධකයක් මත පදනම්ව සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් පැන නැගීමට ඉඩක් නැති බව ලෝකයේ සන්නද්ධ අරගල ඉතිහාසය පැහැදිලිව පෙන්වයි. ආණ්ඩුවේ උගත් පාඩම් කොමිසම විසින් පෙන්වා දී ඇත්තේ ද ඊළාම් අරගලයේ හේතුන් බාහිර නොව අභ්‍යන්තර ඒවා බව ය.

යළි දෙමළ තරුණ පිරිස් සිය අයිතීන් ලබා ගැනීම උදෙසා සටන්කාමී මඟකට යොමුවීම වැළැක්වීමට නම් කළ යුත්තේ එම හේතුන්ට පිළියම් කිරීම යි. එසේ නමුත් පසුගිය මාස 32 පුරාම එම මූල හේතූන්ට සාධනීය ප‍්‍රතිකර්ම ඉදිරිපත් කර නැති බව උගත් පාඩම් කොමිසමේ වාර්තාවෙන් ද පැහැදිළි වෙයි. ජනවාර්ගික ප‍්‍රශ්ණයේ මූල හේතුන්ට පමණක් නොව යුද්ධයෙන් විපතට පත් ජනයාගේ දුක්ගැනවිළි සඳහා ප‍්‍රතිකර්ම සැපයීමට ද ආණ්ඩුව අසමත් වී ඇති බවත් එම වාර්තාවෙහි එන නිර්දේශයන්ගෙන් මනාව පැහැදිළි වෙයි.

සමස්තයක් වශයෙන් ශ‍්‍රී ලංකාවෙහි දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහත් හිඩැසක් පවතින බව ද එම කොමිසන් සභාවේ නිර්දේශ තව දුරටත් පෙන්නුම් කරයි. ඇත්ත වශයෙන්ම නම් එම වාර්තාව රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධයට එල්ල වූ දෝශාභියෝගයක් වැන්න.

යළි ඇතිවන කැරැුල්ලක් පිළිබඳ භීතියක් ඇති කිරීමට උත්සාහ දැරීම සැබෑ ප‍්‍රශ්ණ විසදන්නේ නැතිව බොරු ප‍්‍රශ්ණ ඇති කිරීමකි.

එපමණක්ම නොවේ. අධ්‍යාපනය සහ සොඛ්‍ය ය යන සේවාවන් ධනය ඇති අයට පමණක් යහමින් ලබා ගත හැකි පරිදි වත්මන් පාලනය ඇති කිරීමට නියමිත වෙනස්කම් විසින් ද සමාජයේ බහුතරය මුහුණ දෙන පීඩාවන් ඉහළ යවනවා ඇත. දැනටමත් විශ්ව විද්‍යාල ක්ෂෙත‍්‍රය තුළ පවත්නා මර්දනය ඉතා උග‍්‍ර ය. වාර්තාවී ඇති පරිදි 2010 – 2011 වසර තුළ බලධාරීන් විසින් සරසවි සිසුන් 551 දෙනෙකුගේ පන්ති තහනම් කළ අතර සිසුන් 58 දෙනෙකු රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ තිබේ. මෙවැනි තත්ත්වයක් මෙයට පෙර කිසි දිනෙක තිබී නැත.

සරසවි සිසුන් සම්බන්ධයෙන් පමනක් නොව වැඩ කරන ජනයාගේ අරගල සම්බන්ධයෙන් ද වත්මන් පාලනය ගෙන යන්නේ මර්දනකාරී පිළිිවෙතකි. එහි උච්චස්ථානයක් වූයේ කටුනායක පොලිස් ප‍්‍රහාරය සහ ඝාතනය යි. සාමකාමී පා ගමන් ප‍්‍රචණ්ඩ හැසිරීම් බවට පත් කළ හැකි තරමේ යුද පොලිස් මර්දනයක් රට පුරාම සරසවි සිසුන්ට එරෙහිව යොදවා තිබේ. යුද්ධ කාලයෙහි ජනමාධ්‍යවේදි්න්ට එහෙිව යුද්දයක් දියත් කොට තිබූ රාජපක්ෂ පාලනය දැන් එම දෙවැනි යුද්ධය ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව හරවා තිබේ. (එකළ ශිෂ්‍ය ව්‍යාපාරය සිටියේ මර්දකයාගේ පැත්තේ ය).

සන්නද්ධ අරගලයක් පැන නැගීමේ සමාජ දේශපාලන ආර්ථික පසුබිමක් උතුරෙහි හෝ දකුණෙහි නැති බව ඉතා පැහැදිළි ය. එසේ නමුත් එවැනි ව්‍යාජ බිල්ලකු පෙන්වා මර්දන හස්තයන් ශක්තිමත් කිරීමට රාජපක්ෂ පාලනය කටයුතු කරන්නේ පවුල් වාදය සහ මිලිටරිකරනය ද්විත්ව ලක්ෂනය වන සිය පශ්චාත් යුද්ධ දේශපාලන ව්‍යාපෘතියට එහෙිව පැන නගින ඕනෑම සටන්කාමී මහජන ව්‍යාපාරයක් පොඩි පට්ටම් කර දමනු පිණිස නොවේ නම් වෙන කුමක් පිණිස ද?

සමාජ සාධාරණත්වය අරමුණු කරගත් දේශපාන ක‍්‍රියාකාරිත්වයන්ට ත‍්‍රස්තවාදී ලේබලය ඇලවීමේ කතාන්තර රාජ්‍ය මාධ්‍ය විසින් බෙදා හරිනු ලබන්නේ අරුමයකට මෙන් සහමුලින්ම ප‍්‍රති විරෝධී වර්ධනයන් ගණනාවක් පසුබිමෙහි ය. එනම් පෙර නොවී විරූ පරිදි මෙරට පාලක දේශපාලන පන්තියේ හොර මැරකම් දිනක් පාසා හෙළි දරව් වෙමින් තිබීම යි. පාලක පක්ෂයේ දේශපාලනඥයින් දෙදෙනෙකු ප‍්‍රසිද්ධියේ එකිනෙකාට වෙඩි තබා ගත් මුල්ලේරියාව ඝාතනය අමතක වීමටත් පෙරම තවත් රාජපක්ෂවාදී දේශපාලනඥයකු විදේශිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට පැටලූනි. ඒ අස්සේම අමාත්‍ය මර්වින් ¥ෂණ නාඩගම තවත් පාලක දේශපාලඥයින් පිරිසක් විසින් කරළියට ගෙනාවේ ය. ඇදහිය නොහැකි තරමේ සුරසැප විදින පාලක දේශපාලනඥයින්ගේ ධන බලය, මැර බලය සහ සොර බලය නොදන්නා පුරවැසියෙක් මෙරට වෙත් ද?

එවැනි රටක සමාජ සාධාරණත්වය වෙනුවෙන් උතුරේ වුවත් දකුනේ වුවත් පෙළ ගැසෙන බලවේග මත ත‍්‍රස්තවාදයේ ලේබලය ඇලවීම පුදුමයට කරුණක් නොවේ. මන්ද යත් සිය දේශපාලන සුදිය නතරවනු ඇතැයි සිහිනෙන් හෝ දැකීම බොහෝ දුෂිත පාලකයිනට නින්දනේම සුලූදිය නෑමට තරම් බිය ජනක කාරණයක් වන නිසා ය.

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]