end of the War, Featured Articles, Features

අහිංසකයන්ගේ ආරාමය සහ සොල්දාදුවන්ගේ ස්මාරකය

තරුණ ජීවිත ගණනාවකට වගකියූ සොල්දාදුවන්ට උත්තමාචාර හිමිවෙද්දී ඔවුන් විසින් මරාදැමූවන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය නගර අලංකාරයට බාධාවක් වී ඇත. එය වඩා සංයුක්ත අදහසක් ලෙස මිනීමරුවන්ට භූමියේ උත්තමාචාරය සහ අහිංසකයන්ට උරුම මරණය පමණක් යනුවෙන් කියවිය හැකිය. ශ‍්‍රී ලංකා හමුදාව විසින් දකුණේදී සිදුකළ යුධ අපරාධයන්ට අහිංසකාරාමය නිහඩ සාක්ෂියකි. අහිසකාරාමය නම් වූ ස්මාරකය තුළ වූ සියලු සටහන් සහ සියලු දෑ කියා පෑවේ ඒ මිලේච්ඡත්වයයි.

අගනගරය සොඳුරු දසුන් මවමින් ඉදිවෙයි. මංමාවත් ද ජලාශයන් ද නේකවිද විචිත‍්‍රවත් දසුන් මවයි. නමුත් භූමිය පුරා ඇත්තේ හිස්කමකි. ඇට මිදුළු කකියවනා තරමේ හුදකලාවකි. දහසක් දනන් සරන මග දෙපස මහා ගැඹුරු නිද්‍රාවක සියල්ලෝ වෙලී ඇත. එකිනෙකා නොපෙනෙන තරමට හිස් බිමට පහත් වී ඇත. උදෑසන හිස පහත් කර ගෙනම මගට වැටුනු දනන් ඒ හිසම පහත් කරගෙන නැවත ගෘහගත වෙයි.

මිනිසුන් බලිරූප බවට පත්ව මානව සජීවී සංවේදීතාවය අතුරුදහන්වී ඇත. භූමියේ ඉතිහාසගත අදෝනාවන්ගේ කඳුළු තවමත් වියළී නොමැත. සිය සහෝදරයන් පෙම්වතුන් ටයර් සෑයවල් මතින් අළුබවට පත්වෙද්දී අළුමතින් නැගිටින්නට ෆීනික්ස් කුරුල්ලා තවමත් මෙබිම මත ජනිත වී නොමැත. ඒ නිසාම අම්මලාගේ කඳුළු තටාගයන් තවමත් උතුරා ඉහිරී යයි.

කඳුළු තරම් මෙබිමේ මහා මුදලින් අලෙවී වූ තවත් යමක් නොමැති තරම්ය. එය අවධියට අනුව මිල ගණන් තීරණය විය. එකල ඒ අම්මලා ගේ කඳුළු මිළ අධික විය. නමුත් අද එම අම්මලාගේ කඳුළු මතින් ඉදිවූ ස්මාරකය දර්ශණීය පෙනුමට බරක් ව ඇත. අම්මලාගේ අහිංසකයන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය හෙවත් අහිංසකයන්ගේ ආරාමය අගනගරයේ දර්ශණීයත්වය ට බාධාවී ඇත.

අතුරු කථාව

ඒ නිවසසේ ගේට්ටුවෙන් මා ඇතුළුවත්ම දරාගත නොහැකි පාළුවක් සහ හුදකලාවක් මා ද වෙලාගත්තේය. මහ උළුඅස්සට බරදී සිටිනා මහළුවියේ අවසන් කාර්තුවේ ආරම්භයේ සිටිනා පිජාමා සරමකින් සහ චීත්ත රෙද්දකින් මැසූ ගවුමකින් සැරසී සිටිනා මහළු යුවලකි. අම්මාගේ චීත්ත දිග ගවුමේ පැත්තක් කළුපැහැ ගැන්වී ඇත්තේ තවමත් ඇයගේ කුස්සියේ මෙහෙයුම් අවසන් නොමැති බවට ඉගිකරමිනි.

ඇයට අප පිළිගන්නට සිනහවක් නැත. කරුණාබර දෑස අපට ඈදිගන්නා ලෙස ඇරයුම් කළාය. තාත්තා බෙහෝ දුර ගැඹුරු කල්පනාවකය. අපේ කථාබහ යළිත් සරන්නේ ඔවුන් ගේ හදවතේ ගිනියම් කොටසේ ඇති කථාවස්තු පිළිබඳවය. නම්ගම් සඳහන් නොකරන ලෙස තාත්තාගේ පළමු ඉල්ලීම විය. අපි එය එසෙම ඉටුකරන්නෙමු. කථාව පමණක් කියන්නෙමු.

ඒ ඉතිහාසයේ තවත් අඳුරුතම යුගයකි. 2009 වර්ෂයේ අඳුරු මැයි මාසයේ නන්දිකඩාල් හි පැතිරුණු අඳුර ඊට කළින් දකුණේ පැතිරුණු යුගයකි. එදා සවස පුතා හිටියේ පාඩම් කර කර. ඒක මූසල හැන්දෑවක්. මගෙත් හිතට මොකද්දෝ අමුත්තක් දැනුණු හැන්දෑවක්. මං අපේ නෝනටත් කිව්වා. එහි පුදුමවන්න දෙයක් නොතිබුණි. එය ඉතිහාසයේ මරණීය හෝරාවක් බැවිනි.

රුදුරු අඳුරේ සැරිසරන මරණීය සෙවනැලි හි ඉව තාත්තාට කළින්ම දැනී තිබුණි. අපේ නෝනා මහත්තයා චිමිනි ලාම්පුවේ දැල්ල නිවන්න හැදුවා විතරයි. දොරට කවුදෝ වැරෙන් ගැහුවේ මාරයන් පැමිණි බව අඟවමිනි. මාරයන් පැමිණ සිටියේ අසල හමුදා කඳවුරෙනි. පුතා රැගෙන යද්දී එයාගේ අම්මා පපුවට ගහගත්ත හැටි තවම මගේ ඈස් දෙකේ මැවිලා පේනවා. ඒ තාත්තාගේ පහත් කට හඬයි.
එදා රාත‍්‍රියේ පැමිණි මාරසෙනග තම පුත‍්‍රයා රැගෙන ගිය පසු නැවත දුටුවේ ඔහුට දැඩි බඩේ අමාරුවක් ඇති බව කඳවුරෙන් දැන්වූ පසුවය. ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එයින් සුවී වී රෝහලෙන් පිටව යන මොහොතේ වෛද්‍යවරයා ඔහුගේ මවගේ අතේ පුළුන් ගුලියක් තැබීය.

කථාව අතර තුරදී මම නිවසේ හාස්පසට නෙත් යොමුකළෙමි. නිවසේ සාලයේ එක් කොනක පහනක් දැල්වෙයි. නමුත් එතැන පිළිම කිසිවක් නැත. එය විශේෂයකි. ඒ නිසාම මම අම්මාගෙන් ඒ ගැන විමසූවෙමි. ඇය කිසිවක් නොකිය දැල්වෙන පහන අසලින් වීදුරු බෝල් එකක් ගෙන එය වසා තිබූ පුළුන් රොඳ ඉවත් කලාය. මාගේ දෑස් විශ්මයෙන් විසල් විය. එහි වූයේ කලු ගැසුණු යකඩ ඇණ සහ කුඩා ප‍්‍රමාණයේ යගුළිය.

ඇය මගේ දෑසේ වූ විශ්මය තේරුම් ගත්තාක් මෙන් එය කුමක්දැයි විස්තර කරන්නට විය.

මේ තමයි තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව්ව දොස්තර මහත්තයා මගේ අතේ තිබ්බ පාර්සලය. ඇගේ දෑසින් කඳුළු ගංගාවක් දෝරගලා යයි. කඳුළු අතරින් ඇය කථාකරයි. මෙතන තියෙන්නේ මගේ පුතාව හමුදාවේ කෑම්ප් එකට අරගෙන ගිය වේලාවේ එයාට ගිල්ලවපු යකඩ බෝල. ඔපරේෂන් කරලා ඉවරවෙලා දොස්තර මහත්තයා පුතාගේ බඩ ඇතුලේ තිබුණා කියලා මට දුන්නේ. එදා ඉදන් මම කිසිම පිළිමයකට වදින්නේ නෑ. මම වදින්නේ දසවද වින්ඳ මගේ අහිංසකයට.

අහිංසකයන්ගේ ආරාමය සහ සොල්දාදුවන්ගේ ස්මාරකය

අහිසකයන්ගේ ආරාමය ඉදිවන්නේ ඉහත කී ආකාරයේ වේදනාත්මක් මතකයන් සහ කඳුළු ඔස්සේය. අහිසංකාරාමයේ බිත්ති පුරා අලවා තිබුණේ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඒ ආදරණීය දෙමාපියන් ලියූ වැකිය. බිම වටා පැතිරී තිබුණේ මැටිගෙන දෑත මිට මොළවා අත්හල මැටි කැබළි වලිනි. ඒවා එම දෙමාපියන්ගේ වේදනාවෙ තරම මනාව රූපකරණය කර තිබුණි. කාලය ගත විය. අහිංසකයන්ගේ ආරාමය පමණක් නොව තම හෘද සාක්ෂියද අමතක වූ ජනතාවට එය තවත් එක් පස්ගොඩක් පමණක් විය. ඒ අසල හමුදා මුරපොළේ සෙබලුන්ට ගිමන් නිවා මුත‍්‍රාබරකින් නිදහස්වන්නට ස්ථානයක් පමණක් විය. ඉන් අනතුරුව ඒ අසල මල් ප‍්‍රදර්ශණයන් විය. එහිදී අහිංසකයන්ගේ ආරාමය මල් අතර සරන්නට එන දනට මුත‍්‍රාබරකින් නිදහස් වන්නට හැකි වන ස්ථානයක් පමණක් විය. ඊට අමතර එතැන පසුකර ඇදෙන කිසිවෙකුට එහි වූ මානව අපරාධය එරෙහි විරෝධය හා ඒකාත්මික නොවීය. එදා දේශපාලකයන්ගේ උණුසුම් දේශපාලන මාතෘකාවක් වූ අහිංසකාරාමයේ ආරම්භක උලෙළට වර්තමාන ජනාධිපතිවරයාද පැමිණි අතර එදවස ඔහුට ඒ කඳුළු රන්මසුරන් විය. නමුත් අද එම අහිසංකයන්ගේ ආරාමය නැතිනම් ඒ දෙමව්පියන්ට තම අහිසංසකයන් සමග එකාත්මික වීමට තිබූ එකම ස්මාරකය අගනගරයේ දර්ශණීයත්වයට බාධාවකි. අහිංසකයන්ගේ ආරාමය කඩාඉවත් කිරීම යනු මෙරට දේශපාලනයේ ද පුරවැසියන්ගේ ද අවංකභාවය පිළිබඳ නිරුවත හෙළිකිරීමකි. විශේෂයෙන් පුරවැසියන් මෙබිම මත නොමැති බව පසක් කරදීමට ඉතා හොඳ උදාහරණයකි. දේශපාලකයන්ගේ කඳුළු අලෙවිකරන ව්‍යාපෘති නිරුවත් වන නිදසුනකි.

අහිංසකාරාමයේ ඉරණම එසේ වූවද ඊට කිලෝමීටයකට පමණ එපිටින් වූ සොල්දාදුවන්ගේ ස්මාරකය දවසට වතාවක් තේවාව පවත්වනවාක් මෙන් උත්තමාචාර පවත්වමින් ආරක්ෂාවද සලසා ආරක්ෂා කරගෙන සිටී. අහිංසකයන් මරාදැමමූ හමුදාවකට උත්තමාචාරය තැබීම සහ මරාදැමූ අහංසකයන් වෙනුවෙන් වූ ස්මාරකය කඩාදැමීම මෙරටේ මනෝභාවය තේරුම්ගැනීමට හොඳටම ප‍්‍රමාණවත්ය. තරුණ ජීවිත ගණනාවකට වගකියූ සොල්ලාදුවන්ට උත්තමාචාර හිමිවෙද්දී ඔවුන් විසින් මරාදැමූවන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය නගර අලංකාරයට බාධාවක් වී ඇත. එය වඩා සංයුක්ත අදහසක් ලෙස මිනීමරුවන්ට භූමියේ උත්තමාචාරය සහ අහිංසකයන්ට උරුම මරණය පමණක් යනුවෙන් කියවිය හැකිය.

ශ‍්‍රී ලංකා හමුදාව විසින් දකුණේදී සිදුකළ යුධ අපරාධයන්ට අහිංසකාරාමය නිහඩ සාක්ෂියකි. අහිසකාරාමය නම් වූ ස්මාරකය තුළ වූ සියලු සටහන් සහ සියලු දෑ කියා පෑවේ ඒ මිලේච්ඡවයයි. උතුරේදී දමිළ විමුක්ති කොටි සංවිධානයේ මහාවීර ස්මාරක කඩාදමා ඉන්පසු ඔවුන් පැමිණියේ දකුණ බලාය. උතුරේදී සිදුවූ සියල්ල දකුණට සංක‍්‍රමණය වීම වළක්වාගත හැක්කේ දැන්වත් ඔබගේ හෘද සාක්ෂිය අවදියෙන් තබාගැනීමේන් පමණි.

by – yukthiya


ක‍්‍රිශාන් රාජපක්‍ෂ[Krishan Rajapaksha]