Colombo, Poems

ග්‍රහයට හැමදින බල නැත

දහස් ගනන් මාරා දාපු

මිනිස්කමට නිගා දීපු

පිරිත් වතුර ලේ කරාපු

රටකි මේක කිරි උතුරපු

………………………………

අයුක්තියට නැගෙනා හඬ

තුවක්කුවෙන් ගිනිබිඳ මැඩ

සැනසිල්ලෙන් නිදිවදින්ඩ

උදව් දියව් භටයිනි ජඩ

………………………………

අම්මගෙ අප්පගෙ බූදල

කරගෙන රට කන විසාල

තුම්බිය පැතිරෙන තුවාල

රටකි මේක ගිලෙනා වල

………………………………

හිරකරගෙන හිටි රුපියල

අධිපති සේසත් මනදොල

දැන් පල්ලම් බහිනා කල

බල්ලට රට යන හැටි බල

………………………………

දහක් එරෙහි නැගිටිනකොට

එකෙක් මරමු හරි එතකොට

පවතින්නට තියරියකොට

සැර පෙන්වති ජනතාවට

………………………………

ගඟේ දොලේ පා කරලා

ටයර් එකක ගිනි තියලා

උස්සා ගොස් බෙලි කපලා

කප්පන් දීපන් නුඹලා

………………………………

බුදුන් තුන්වරක් වැඩියලු

බුදුබණ රකිනා රටක්ලු

මේක අපේ කර්මයක්ලු

හැබැයි මෙලොව පල දේවිලු

………………………………

බුදුන් අතැර කාලී වෙත

යන්නට කාලය දැන් එත

ග්‍රහයට හැම දින බල නැත

මාරුව දැන් වාරුව එත

උදය ආර්. තෙන්නකෝන්[Udaya R. Thennakoon]