Colombo, Poems

දැන් කොහෙද රංජිනී


මරාගෙන මැරෙන්නට
ඔත්තු බැලුවලු රංජිනී
බම්බලපිටියෙ හන්දියෙ
කරක් ගැහුවලු රංජිනී
………………………………
ඇත්තම ඇත්ත කතාවත්
ගොතාගෙන ආපු වතාවක්
කොළඹ වැඩකට ආමුත්
නැතැයි කිව නොහැකි උමතුවකුත්
………………………………
ත්‍රස්තවාදය නඩු පොතේ
නියමයක් නැති දින පොතේ
කාත් කවුරුත් නැති රටේ
රංජිනී යයි බූස්සේ
………………………………
බූස්සේ පොලිසියට කටකාර
මහත්තුරු දමන දැළ නෙකවාර
අක් බඹරු කෙස් ගෙනෙන හැඩකාර
හිනාවෙන් වසඟය වෙලුණු සැකකාර
………………………………
හැමදාම ලෙඩවෙයි
රෝගය උමතුවම නම් නොවෙයි
එක එක ලෙඩ කියයි
බෙහෙත් ගන්නට එයි
………………………………

දොස්තර ද පොලිස් වෙස්ගති
ලෙඩ නොව වරද විමසති
දෙන්නේ එකම මරු පෙති
මකබෑවියානු හිත ඇති
………………………………

කැඩුණු බස යොදා ඔහුට ද බනී
දෙන බෙහෙත් දැවිල්ලම ගනී
ඒ උනත් ඔහු ද ජොලික් ගනී
ලඟ ඉඳන් බොහෝ වේලා ගනී
………………………………

දැන දැන එන බව රංජිනී
කොල්ලෝ ද හැමදාම ලෙඩගනී
ඇස්වලින් බොහෝ දෑ හුවමාරුකර ගනී
රෝගී හැමෝටමබෙහෙත වේ රංජිනී
………………………………

රැඳවියන් බලන්නට දිනයක්
බලන්නට නොඑති ඈ කිසිවෙක්
නැත රැඳී දුකක සේයාවක්
කියති සමහරු රංජිනී පිස්සියක්
………………………………

අපි එකට ගෙනාවා බස් එකේ කොළඹට
උසාවි නංවා වෙන වෙනම හිරගෙට
මතක් වී අතීතය නැඟුනත් කවියකට
රංජිනී කොහේ දැයි නොදනී කියන්නට
………………………………

උදය ආර්. තෙන්නකෝන්[Udaya R Thennakoon]

[රංජනී, 2007 වසරේ දී ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ, ත්‍රස්වාදී විමර්ශන ඒකකය බාරයේ රඳවා තබා අනතුරුව බූස්ස රැඳවුම් කඳවුරේ ද බොහෝ කාලයක් චෝදනා රහිත ත්‍රස්ත සැකකාරියක ලෙස ද ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ ද සිරගතව විසූබව දනිමි. එහෙත් ඉන් අනතුරුව ඇය නිදහස් වූවා ද නැතිනම් තවමත් සිරගතව සිටින්නේද යන්න නොදනී.]