Colombo, Featured Articles, Features

කාන්තා හිංසනයන් සිදුවන්නේ, මැඩම්ලාගේ වරදෙනි


ජගත් කාන්තා දිනය යෙදී දෙසතියක් පමණ ගෙවී ගොසිණි. දැන් කාන්තා දිනය පිළිබඳ හාවක් හූවක් නැත. දැන් ඒය අමතකව යමින් ඇත. යළිත් ඒ ගැන කතා කරනු ඇත්තේ ලබන වසරේදීය. නමුත් ලබන වසරේදී කාන්තා දිනයේදීවත් මතක් නොකරන සිදුවීමක් මේ වසරේ කාන්තා දිනයේදී සිදුවිය.

ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කාන්තා දිනය නිමිත්තේන් සංවිධානය කර තිබූ විලාසිතා සංදර්ශනයකදී ලිංගික අතවර සිදුකර තිබීමයි.

මෙය ලංකාවට අලුත් තත්ත්වයක් නොවේ. වර්තමාන බන්ධනාගාර පද්ධතිය තුළ වරදකරුවන් හා සැකකාරියන්ට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. “ඕකුන්ට ඔහොම වෙලා මදි” කියා බන්ධනාගාර ගතවූ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් ලැබිය යුතු දඬුවමක් ලෙස සැළකීමට සමාජයද පුරුදු වී සිටී. හිරෙන් නිදහස් වීමේ සිතුවිල්ලෙන් පසුවන කාන්තා රැඳවියන්ද සියල්ල ඉවසා රහසක් ලෙස තබා ගැනීමට උත්සහ කරයි.

එවන් තත්ත්වයක් තුළ කාන්තා දිනය නාමයෙන් සිදුවී ඇති මෙම සිදුවීම පිළිබඳ බාහිර ලෝකයට නිරාවරණය වීම සතුටට කරුණකි.

කෙසේ නමුත් මෙම සිදුවීමේ වර්තමාන තත්ත්වය කෙබඳුද? ඒ පිළිබඳ කෙරෙන පරීක්ෂණ වල ප්‍රගතිය කුමක්ද? මේවන විට අතවර සිදුකළා යැයි කියන නිලධාරීන් හඳුනාගෙන තිබේද? ඔවුනට ආයතන මට්ටමෙන් හෝ ලැබිය යුතු දඩුවම් හිමිවේද?

මේ සියල්ලටම දිය හැකි කෙටිම පිළිතුර කිසිසේත්ම නැත යන්නයි.

සැබවින්ම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් මේ කටයුත්ත සංවිධානය කර තිබුණේ කාන්තා දිනය වෙනුවෙන් නොව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ වෙනුවෙනි. මා එසේ කියන්නේ එදින පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඈ පැමිණි නිසායි. ජනාධිපති ආර්යාවට වැඩපෙන්වීමේ අරමුණෙන් සංවිධානය කළ එම විලාසිතා දැක්මේදී ඔවුන් විසින් කාන්තා රැඳවියන්ට ද තමන්ගේ වැඩ පෙන්වා ඇත. ඒ අනුව ජනාධිපති ආර්යාව එදින නරඹා ඇත්තේ පෙර දිනයේදි අතවරයන්ට පත්වු කාන්තාවන් ගේ විලාසිතාය.

ඒ විලාසිතා නරඹා ඇය දුන් අත්පොලසන් නාදයෙන්, ඇතැම් විට අදාළ බන්ධනාගාර නිලධාරීන් තවත් දිරිමත් වන්න්ටද ඇත.

ඉන්පසු මාධ්‍ය මගින් මෙම අතවර සිදුවීම පිළිබඳ වාර්තා වූ පසු, ඇය ඒ වෙනුවෙන් කළේ කුමක්ද? අවම වශයෙන් තම සර්ව බලධාරී විධායක ජනාධිපති සැමියා විසින් ඕන දේකට පත්කරන පරීක්ෂණ කමිටුවක් මේ සඳහා පත්කරගැනීමට ඇයට හැකියාවක් නොතිබුණේද? නොඑසේනම් ජනාධිපති සැමියා ලවා බන්ධනාගාර කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා අමතා සතියක් තුළ විශේෂ වාර්තාවක් ඔහුට ලබාදෙන ලෙස හෝ කියවීමට ඉඩ නොතිබුණිද? කාල්ටන් ව්‍යාපාර ජාලය සමග රජයේ පාරිපාලන කටයුතු සඳහා ඍජුව මැදිහත්වන ජනාධිපති ආර්යාවට, මෙම සිදුවීම පිළිබඳවත් එවන් මැදිහත්මක් කළ නොහැකිනම් එය පුදුමයට කරුණකි.

කෙසේ නමුත් කිසිවක් සිදු නොවන නිසා ලබන වසරේ කාන්තා දිනයේදීත් බන්ධනාගාර නිලධාරීන් විලාසිතා දැක්මක් සංවිධනය කරනු ඇත. ඒ අනුව ලබන වසරේදීත් මේ සෙල්ලම නැවත සිදුවනු ඇත.

මේ අනුව අපිට අවබෝධ වන්නේ කුමක්ද? ලිංගික හිංසනය හා ලිංගික සූරාකෑමට එරෙහිව අප කෑ මොර දෙන්නේ කාට ඇසෙන්නද යනුවෙන් නොවේද? තවද පුරුෂ මූලික සමාජයක් තුළ සිදුවන සියලු ලිංගික හිංසනයන් හා සූරාකෑමෙහි එකම වරදකරුවා අදාළ පිරිමියා පමණද? සියලු ලිංගික හිංසනයන් හා සූරාකෑම් වැළැක්විය හැකි එකම පුද්ගලයා වන්නේ පිරිමියෙකු පමණද?

නැත. වර්තමාන ශ්‍රී ලංකාවේ පරිපාලන රටාවන් පිළිබඳ අප හොඳින් නිරීක්ෂණය කළහොත් අපිට පෙනීයන්නේ බොහො අවස්ථාවල එහි අවසන් අධිකාරී බලය ඇත්තේ කාන්තාවන්ට යන්නයි. එනම් පෙර සිදුවීමේදී මෙන් අයතනගතව සිදුවන ලිංගික හිංසනයන් හා සූරාකෑම් වැළැක්වීමේත්, එවන් ක්‍රියාවන්හි නිරතවන පුද්ගලයින්ට බලපෑම් කිරීමේ හැකියාවත් ඇත්තේ කාන්තාවකටය යන්නයි.

වැලිකඩ බන්ධනාගාරයේන් දැක්වූ ඒ උදාහරණයට අමතරව ලිංගික හිංසනයන් හා සූරාකෑම් ඇති බවට වාර්තාවන එකිනෙක්ට වෙනස් ක්ෂේත්‍ර 4කට අදාළව ඉහත දැක්වූ කරුණ සනාථ කිරීම මෙතැන් සිට සිදුවේ.

දැන්වීම් ප්‍රචාරණ

දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ ලිංගික හිංසනයන් හා සූරාකෑම් පිළිබඳව අනන්තවත් වාර්තාවේ. වෙළඳ භාණ්ඩ අලෙවි කිරීම සඳහා තරුණියන්ගේ ළැම, නාභිය, කලවා පෙන්වීම අද අතිශයින් සාමාන්‍යයය. මීට කළකට පෙර එක්තරා සබන් වෙළඳ දැන්වීමකට යැයි පවසමින් තරුණියන් පිරිසක් අඩ නිරුවත් කර රූපගත කර තිබුණි. ජනප්‍රිය විමේ පිස්සුව නිසා වෙළඳ දැන්වීම්හි පෙනී සිටීමට දඟලන තරුණියන් බහුතරයක් අද කැමැත්තේන් හෝ අකමැත්තේන් ලිංගික හිංසනයන් හා සූරාකෑම්වලට ගොදුරුවේ. නමුදු ජනප්‍රිය වීමේ ඒ පිස්සුව නිසාම, එවන් සිදුවීම් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි අයුරින් වාර්තා වන්නේ අල්ප වශයෙනි.

කෙසේ වෙතත් ලංකාවේ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තුළ ආධිපත්‍ය පතුරුවන්නේ කාන්තාවන්ය. එනම් ලංකාවේ ප්‍රධාන පෙලේ දැන්වීම් ප්‍රචාරණ ආයතන 5කම හිමිකාරිත්වය හෝ පරිපාලන බලය ඇත්තේ කාන්තාවන්ටය.

ට්‍රයඩ් – වරුණි අමුණුගම
ඔගිල්වි – සන්ධ්‍යා සල්ගාදු
ලින්ටාස් – ලිලාමනි ඩයස්
ග්‍රාන්ට්ස් – නීලා මරික්කාර්
ඔඊඋ් ඕඛ – රේණුකා මාර්ෂල්

මේදිනවල වැඩිපුරම කාන්තා අඟපසඟ පෙන්වන රූපවාහිනි වෙළඳ දැන්වීම් වන්නේ ප්‍රීමා කොත්තුමී දැන්වීම් පෙළයි. එම දැන්වීම් පෙල නිර්මාණය කළේ ඔඊඋ් ඕඛ ආයතනයයි. අවශ්‍යතාවක් තිබුණේනම් ජුගුප්සාජනක අයුරින් කාන්තා සිරුරු අලෙවි නොකර සිටීමට රේණුකා මාර්ෂල්ට බලය තිබුණි.

මේ අනුව බැලු කළ පෙනියන්නේ දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ ලිංගික හිංසයන් හා සූරාකෑම් වැළක්වීමේ බලයෙහි තීරණාත්මක කොටසක් ඇත්තේ එම ක්ෂේත්‍රයේහි ආධිපත්‍ය ඇති කාන්තාවන් සතුව බවයි.

ජනමාධ්‍ය

ගුණදාස ලියනගේ විසින් මීට බොහෝ කලකට පෙර ලිවු “දෝන කමලාවති” නවකථාව ඇතැම් විට ඔබ කියවා තිබෙන්නට පුළුවන. ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන ලිංගික හිංසා හා සූරාකෑම් හොඳින්ම නිරූපණය වූ නවකථාවක් ලෙස එය සැළකිය හැකිය. ඒ එය හුදු ප්‍රබන්ධයක්ම නොවන නිසායි. ගණන් කළ නොහැකි තරමට ඇති ලංකාවේ මාධ්‍ය ආයතන තුළ ලිංගික සූරාකෑම් සහ හිංසනයන් බහුල ලෙස සිදුවේ. වර්තමානය වනවිට මාධ්‍ය ආයතන බඩුපොට් ලෙස ද හඳුනවනු ඇසේ.

එක්තරා රූපවාහිනී නාලිකාවක සේවය කළ නිවේදිකාවක් එහි රැකියාව අතහැර යනවිට ආයතන ප්‍රධානියාට ලිපියක් යැවුවාය. ඈ ඒ ලිපිය යවනු ලැබුවේ එම රූපවාහිනි ආයතනයේ සැමගේම අතට පත්වන ලෙස යෙදු උපක්‍රමයක් ද සමගිනි. ලිපියෙහි ඇය ලියා තිබුණේ රැකියාව වෙනුවෙන් එම ආයතනයේ සේවය කරන 250කට ආසන්න පිරිසකගේ මනදොල සැපිරීමට තමන්ට සිදුවූ බවයි.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි සංවිධානවලටද මෙවන් සිදුවීම් පිළිබඳ සොයාබැලීමෙහි වගකීමක් ඇත. මීට ටික කලකට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන තනතුරක් සීතා රංජනී විසින්ද හොබවනු ලැබිණි. එහෙත් මාධ්‍ය ආයතන තුළ සිදුවන එවන් දෑට එරෙහිව ඈ වත් කිසිවක් කළේ නැත.

වර්මානයේ මෙරට ඇති දැවැන්තම මධ්‍ය ජාල දෙකක හිමිකාරීත්වය ඇත්තේ කාන්තාවන් අතයි. ඒ සෝම එදිරිසිංහ සහ වරුණි අමුණුගමයි.

“අපේ චැනල්වල නම් ඔහොම නෑ” යනුවෙන් බබා පාට් දැමීම වෙනුවට තමන්ගේ මාධ්‍ය නාලිකාවල නිෂ්පාදකයින් සහ වැඩසටහන් ප්‍රධානීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඔවුන් සොයා බැලිය යුතුමය.

විශ්වවිද්‍යාල

පසුගිය කාලය පුරා දීප්ති කුමාර ගුණරත්න ඔහුගේ දේශන සහ ්ණ47 වැනි ලේඛන තුළින් විශ්වවිද්‍යල පද්ධතිය තුළ සිදුවන ලිංගික සුරාකෑම් පිළිබඳ ලිවුවේය. අධ්‍යන කටයුතු, විභාගවලන් ඉහළ සාමාර්ථ මෙන්ම ඉන්පසුව කථිකාචාර්ය රැකියා ලබාගැනීම වෙනුවෙන් සිදුවන ලිංගික අල්ලස් ගනුදෙනු ගැන ඔහු කෲර ලෙස විවේචනය කළේය.

එහිදී ඔහු වැඩිපුරම චෝදනා කළේ කොළඹ විශ්ව විද්‍යාලය පිළිබඳවයි. ඇතැම් විට දීප්තිගේ දේශපාලන සතුරන් කිහිපදෙනෙකුම කොළඹ විශ්ව විද්‍යාලය තුළ සිටන නිසා ඔහුගේ චෝදනා එතරම් දරුණු වුවා විය හැක.

කෙසේ වෙතත් දීප්ති පැවසු දෑ සත්‍යක් නම් දැන් කොළඹ විශ්ව විද්‍යාලය තුළ සිටින්නේ උපකුලපතිනියකි. ඈ ක්ෂණිකා හිරිඹුරේගමයි.

දීප්තිට පිස්සු කියා හිත හදාගන්නේ නැතිව ප්‍රබුද්ධ අයුරින් සිදුවන ලිංගික ගනුදෙනු පිළිබඳ සොයා බලන තැනකට ක්ෂණිකා යායුතුය.

යුධ හමුදාව

පවතින දේශප්‍රේමී පසුබිම තුළ යුධ හමුදාව හා ත්‍රිවිධ හමුදාව තුළ සිදුවන ලිංගික හිංසනයන් හා සූරාකෑම් ගැන ලිවීම දේශද්‍රෝහියකු ලෙස ලේබලයක් අලවා ගැනීමට හොඳම මගකි.

විරෝධාරයැයි කියන හමුදා නිලධාරීන්ගේ හා සෙබළියන්ගේ ලිංගික ගනුදෙනු ලංකා සමාජය තුළ තවදුරටත් රහසක් නොවේ. නමුත් දේශප්‍රේමය නිසා සමාජය තුළ ඒවා ගැන කතා කරන්නේද අප්‍රසිද්ධියේය.

එසේ වුවද යුධහමුදාව තුළ සිදුවන එවන් ගනුදෙනු වළක්වාලීම පිළිබඳ කීමට ඇත්තේ එක් දෙයක් පමණි.

යුධ හමුදාව දැන් පාලනය කරන්නේ යුධ හමුදාපතිවරයා විසින් නොව ඔහුගේ බිරිද විසින් බව අද සියල්ලෝම දන්නා ප්‍රසිද්ධ රහසකි. සේවා වනිතා ඒකකයේ ප්‍රධානියා වන ඈ යුධ හමුදාවේ පරිපාලන කටයුතු සඳහා අසහාය බලයකින් මැදිහත් වන බවට සක්ෂි සහිතව ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇත.

ඒ අසහාය බලය යුධහමුදාව තුළ සිදුවන ලිංගික ගනුදෙනු සඳහා ද යෙදිය හැකි නම් යහපත්ය.

මේ අනුව බැලු කළ අපිට පෙනියන්නේ ලිංගික හිංසන හා සුරාකෑම් වැළැක්වීම ගැන කතාකරන විට කාන්තා කිල්ලොටයේ ද හුණු ඇත යන්නයි. ටික ටික නොව එහි හුණු ගොඩ ගොඩම ඇත.

ගැබිනි මවක් බස් රියකට නැග්ගවිට මුලින්ම අහක බලාගන්නේ එහි වාඩිවී සිටින කාන්තාවන්යැයි කියමනක් ඇත. එළෙසින් ඉහත උදාහරණ අනුව ද අපිට පෙනීයන්නේ පෙරකී බලගතු කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අහක බලාගෙන සිටින බවයි. එසේ අහක බලාගෙන සිටීම මේ ලිංගික හිංසනයන් හා සූරාකෑම් සඳහා දෙනු ලබන හොදම අනුබලයක් නොවේද? එහෙයින් කාන්තා අයිතීන් සුරකින සාධාරණ සමාජයක් වෙනුවෙන් අප මින් ඉදිරියට හඬ නැගිය යුත්තේ ඔවුන්ටද ඇසෙන පරිද්දෙනි.

(සංවාදයකට සූදානම්)

චාරිකා විසිනි