Image Credit : jdsrilanka

ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) දේශපාලනයට ඒමේ අරමුණ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සතුව ඇති “සිංහල-බෞද්ධ” ඡන්ද කෙසේ හෝ ආණ්ඩුව මත තබා ගැනීම බව මාධ්‍ය වාර්තා සඳහන් කොට ඇත. සැබවින්ම මේ පිළිබඳව සිංහල දේශපාලන “බුද්ධිමතුන්” විවිධ “විශ්ලේෂණ” ඉදිරිපත් කොට ඇත. හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි දක්වන කුලෑටී දේශපාලන විචාරයත්, විපක්ෂය කෙරෙහි දක්වන අමනෝඥ වැළපීමත් හැරෙන්නට එම විචාරවලින් පෙන්වා ඇත්තේ නන්දසේන රාජපක්ෂ දේශපාලන කරලිය තුළ ඇති කළ හැකි වෙනසයි.

ඔහු දේශපාලනයට ඒම ඔහු සතු මුලික අයිතියකි. අනෙකාගේ මුලික අයිතීන් තුට්ටුවට මායිම් නොකර ඔවුන්ගේ මළ කඳන්වලින් තම අයිතිය සොයන්නෙකු වුවද ඔහුට ඒ සඳහා සැබෑ අයිතියක් තිබේ. කෙසේ වෙතත් ඔහු දේශපාලනයට ඒම සම්බන්ධයෙන් මූලික ගැටලු දෙකක් පැන නගී. ඒ වූ කලී ඔහුට දිනීමට හැකිද? නොහැකිද? යන්න හෝ ඔහු පැමිණියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය කෙබඳු ආකාරයක් ගන්නේද යන්න නොවේ. මෙම අවධියේදී එවැනි කාරණා විමසීම සැබවින්ම ගොබ්බ කමකි. මන්ද එය ඒතරමටම නොවැදගත් වන්නේ විමසිය යුතු මූලික ගැටලු දෙක ඊට වඩා බරපතල හෙයිණි. එම ගැටලූ මොනවාද?

පළමු වැන්න වන්නේ නන්දසේන රාජපක්ෂ දේශපාලනයට ආ විට ඔහු රත් කළ පුටුව රත් කරන්නේ කවුරුන්ද යන්නය. එනම් මීළඟ ආරක්ෂක ලේකම්(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) වන්නේ කවුරුන්ද යන්නය. දෙවැන්න නන්දසේන රාජපක්ෂ දේශපාලනයට ඒමට තටමන්නේ මන්ද යන්නය. මන්ද ඔහු දේශපාලනයට ඒම පසුගිය වසර කිහිපය පුරාම හිතලුවක් පමණක් නොව ඔහු අනෙකාව සමච්චලයට ලක් කරනු ලැබුවේ එම විහිලුව ගැන අනෙකාට කතා කිරීමට ඉඩ හැරීමෙනි. නමුත් එය ඔහුට අඛණ්ඩව කර ගත නොහැකි කාරණයක් පෞද්ගලික ජීවිතය මුලික කොට ගනිමින් තිබේ. දෙවැනි ගැටලුව එනම් ඔහු දේශපාලනයට එන්නේ මන්ද යන්න යහන් ගත වන්නේ එම සන්දර්භය තුළය.

පළමු ගැටලුව එනම් ඔහුගෙන් පසු කවුද? නන්දසේන රාජපක්ෂ මෙරට විධායක ජනාධිපතිධූරයේ ආනුභාවයෙන්, රාජ්‍ය සේවා ආඥාපනත යටතේ විශ්‍රාම වයස නික්ම ගියද අදාළ අමාත්‍යංශ ලේකම් ධූරයේ කටයුතු කිරීමට වාසනාවන්ත වූ ඉතා සුළු පිරිසෙන් එක් ප්‍රභල වසානාවන්තයෙකි. ඔහු දේශපාලනයට ආ පසු හිස් වන පුටුව තම කල්‍යාණ මිත්‍රයෙකුට භාරදිය යුතුය. සුදුස්සන් කිහිප දෙනෙකි. නමුත් රාජපක්ෂගේ පුරුද්ද වූ කලී කැරට් අල සියල්ලටම ලබා දී එක් යහපත් හාවෙකු තෝරා ගැනීමය. එහි උරුමක්කාරයා විය හැක්කේ ජනරාල් ශාවෙන්ද්‍ර සිල්වාය. යුද්ධයෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව රැකගැනීම සඳහා ඉහළ පෙළේ වගකීමක් ලබා ගත් හෙතම මීළඟ ආණ්ඩුව යටතේ ආරක්ෂක ලේකම්වරයා(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) වුවහොත් පුදුමයක් නොවේ. එම ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා වන්නේ වෙන කවුරුත් නොව නන්දෙස්න රාජපක්ෂය. එනම් රාජ්‍ය ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු සහ නාගරික සංවර්ධන ඇමති ලෙස නන්දසේන රාජපක්ෂ පත් වෙනු ඇත. රාජපක්ෂගේ හීනය එයයි. එය ඉටු වුවහොත් රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ ආකාරයටත් වඩා තත්වය අතිශය බරපතළ විය හැකිය. එම තත්වය යටතේ පකිස්ථානයේ පවතින තත්වයටත් වඩා බරපතළ තත්වයක් ලංකාවේ ඉස්මතු වනු ඇත.

එලෙස ආරක්ෂක ඇමතිවරයා වීමේදී නන්දසේන රාජපක්ෂට ඇති වාසිය කුමක්ද? දෙවැනි ගැටලුවට පිළිතුර ලැබෙන්නේ එමඟිනි. ආරක්ෂක ලේකම්(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) නන්දෙස්න රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙකි. ඇමෙරිකානු නීතියට අදාලව ඔහුට එරෙහිව අතිශය බරපතළ තත්වයක් ගොඩ නැගෙමින් තිබේ. බැලූ බැල්මට ස්වාධීන නමුත් යථාර්තයට අනුව අමෙරිකානු දේශපාලන ප්‍රතිපත්ති තීරණය කරන එරට විශ්ව විද්‍යාල වල ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් රැසක්, ලොයලා විද්‍යාලයේ හිටපු පරිගණක මෙහෙයුම්කරුවා ලංකාවේ මිනිසුන්ට කළ හදිය ගැන දැඩි අවධානය යොමු කොට තිබේ. අමෙරිකානු පුරවැසියෙක් මෙලෙස යුධ අපරාධ කිරීමට එරෙහිව පියවර ගෙන ලෝකයට පෙන්වීම වූ කලී එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීමේ ක්‍රමෝපායයි. මෙය අමෙරිකානු විදෙස් ප්‍රතිපත්තිය තුළ වඩාත් මැනවින් චිත්‍රණය කරනු ලැබුවේ හෙන්රි කිසින්ජර් විසිනි. ඉන් පසු එය ලෝකයේ බොහෝ තැන්වලදී වඩාත් සාර්ථකව අත්හදා බැලීමට හැකිවිය.

මීට නන්දසේන රාජපක්ෂට මුහුණ දිය හැකි එකම ක්‍රමය ජනතාවගේ ඡන්ද අයිතිය මඟින් කෙසේ හෝ බලයට පැමිණීමය. එමඟින් තමාට එරෙහි වැඩපිළිවෙලට හේතුවාදී ප්‍රතිචාරයක් ලබාදිය හැකිය. අනෙක් කාරණය නම් දේශපාලනඥයෙකුට හිමි “මුක්ත බලය ( ඉම්පියුනිටි/ ඉමියුනිටි) ” තම අපරාධ වසා ගැනීම සඳහා භාවිතා කළ හැකිය. එය කෙසේ භාවිතා කරන්නේද? ඒ සඳහා ඉදිරියේදී රාජපක්ෂලා රටේ නිතීය විරූප කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න ගැන දන්නේ ඔවුන් පමණි. නමුත් එවැනි දෑ රාජපක්ෂලාගේ සිහිනය එනම් මීළඟ මහමැතිවරණ ජයග්‍රහණය කළහොත් අනිවාර්යෙන්ම සිදු විය හැකිය.

රට මුහුණ දෙමින් සිටින්නේ දේශපාලනික වශයෙන් අතිශය තීරණාත්මක අවධියකටය. තම තමන්ගේ පෞද්ගලික ආසාවන් ඉටු නොවීමේ අවුල නිසා බල්ලන් පූසන් මෙන් පොර කන ඇතැම් මාධ්‍යවෙදීන්, කෙසේ හෝ අනෙකා පාවාදීමෙන් තම බලය තහවුරු කර ගැනීම සඳහා විපක්ෂය පෙන්වන දේශපාලන මෝහරුපී ඛේදජනක භාවිතය, බුද්ධිමතුන් යැයි තමන් විසින්ම නම්කොට ගෙන ඇති අයවලුන් හුදෙකලාවේ නිමග්න වී සිටින බුද්ධිමය ස්වයං වින්දනය, සිවිල් සමාජය පෙන්වන සුනඛ වලිගය අදෝමුඛයේ ගසා ගැනීම වැනි වූ නියාලූ බවත් වහා වෙනස් නොවුන හොත් මෙම අවස්ථාවද ගිලිහෙනු ඇත.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa