(ඡායාරෑපය- ‘එදාවේල සංදර්ශන’ ජීවනෝපාය කරගත් නිවටුන්, ජෙයකුමාරී නිදහස් කර ගැනීමේ විරෝධයට, විරෝධය දක්වන අයුරැ)

ඇත්තට එරෙහිව බොරුව මතුවීම ඇත්ත ය. එසේම, බලය ඇති අයට, ඇත්ත බොරුව කිරීමේ හැකියාවක් ඇතිය යන්නද ඇත්ත ය. ඊටත් වඩා, ඇත්ත බොරුවට යටත් වී වැඩිකල් නොපවතින බවත්, ඇත්ත, බොරුවට ඇත්ත නොවී, ඇත්තටම ඇත්ත වන බවත් ඇත්ත ය.

ජෙයකුමාරි සිරගත කර දින 200ක් ගතවෙද්දී කියන්නට ඇත්තේ එපමණ ය.

ඇත්ත වෙනුවෙන් සටන් කිරීමේ වරදට, දමිළයෙකු නම් අනෙක් පුරවැසියන්ටත් වඩා හොඳ කීකරු ළමයි විය යුතුය යන රීතිය උල්ලංඝනය කිරීම එක් වූ කල…..??? ප්‍රතිඵලය අමුතුවෙන් ලිවිය යුතු නැත. ජෙයකුමාරි සිරගත වන්නේත්, විභූෂිකා පරිවාස භාරයට පත්වන්නේත් එනිසා ය. දුවට මව දකින්නට ඉඩ නොදෙන රටක තව කෙතරම් මානුෂික දේ සිදු වනු ඇතිද?? මේ රටේ සෙනඟට හෘදසාක්ෂි සිහිවන්නට තව ආදර බැඳියාවන් කීයක් බිලි විය යුතුද??

හැම අතින්ම තත්ත්වය ඉතාම නරක අතට හැරී තිබියදීත්, තවමත් රාජපක්ෂ පාලනය අනුමත කරන්නෙකු වේ නම්, එක්කෝ සිහිබුද්ධියෙන් වියෝ වූවෙකු විය යුතු ය. නැත්නම් කැමැත්තෙන් හෘදසාක්ෂිය උල තැබූ අයෙකු විය යුතු ය. එනිසා, ඇත්තට එරෙහිව මොරදෙන ‘එදාවේල සංදර්ශන’ ජීවනෝපාය කරගත් රාජපක්ෂ පන්නයේ නිවටුන් කෙරෙහි අප තුළ ඇත්තේ අනුකම්පාවකි.

තිස්සේම බණ කියනා සහ බණ අසනා රටක, පටිච්ච සමුප්පාදය විවරණය කරගත් පාලකයන් නැතිවීමේ ඓතිහාසික ඛේදය ප්‍රසිද්ධියේ පාරට්ටු කිරීමේ අරුමයක් නැතත්, ඇත්තටම එහි අපුලක් ඇත.

සපී