මොනයම් ආකාරයෙන් හෝ දුෂ්ඨ පාලකයා ජීවත්වන තාක් කල් ඊට එරෙහිව සටන් කළ යුත්තේ අප ස්වභාවිකව හුස්ම ගන්නා ආකාරයෙනි. – එමා ගොල්ඩ්මන් ( ඇනාකිසම් ඇන්ඩ් අදර් එස්සේස්)

තවත් දින කිහිපයකින් අතුරලියේ රතන හිමි රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුවට කෛරාටක අරමුණක් තිබුණත් ඊට අවශ්‍ය නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ දැයි තවමත් කිව නොහැකිය. නමුත් යමක් සිදුවිය හැකිය. ඒ සඳහා අවශ්‍ය “රාජපක්ෂගේ නීතිය” මේවන විට කුරුමානම් අල්ලමින් සිටින අතර එමඟින් විපක්ෂයේ ක්‍රමෝපායන් හීන කිරීමට හැකි වෙතැයි රාජපක්ෂ කල්පනා කරනවා විය යුතුය. අදාල සෙල්ලම, තමන්ගේ අවශ්‍යතාවයන් සිදුනොවන විට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරිය පන්නා දැමූ ආකාරයට වඩා තරමක් රුදුරුවනු ඇත.

අතුරලියේ රතන හිමියන්ට එරෙහිව සිදුකරන වැඩ පිළිවෙල ඌවතැන්නේ සුමන හිමි පසුගිය ජනාධිපතිවරණයේදී මුහුණ දුන් ආකාරය හා සමාන එකක් වන්නේ දැයි උන්වහන්සේ සහ උන්වහන්සේ වටා සැබෑ ලෙස ඒකරාශිවන පිරිස් අවධානය යොමු කළ යුතු වේ. එසේම එවැනිම ආකාරයේ මර්ධනයක් මාදුළුවාවේ සෝභිත හිමි විෂයෙහිලාද සිදුවිය හැකිය. ස්වභාවය සහ ක්‍රමෝපාය වෙනස් වූ පමණින් අරමුණු වෙනස් නොවන බවත් අරමුණ කෙසේ හෝ අනෙකා මට්ටුකොට තම පෞද්ගලික අවශ්‍යතාවය ඉටුකරගැනීම බවත්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව කටයුතුකරන සියලුම දෙනා මැනවින් අවබෝධ කරගත යුත්තේය.

ලතින් ඇමෙරිකාව බිහිකළ අග්‍රගණය සමාජ ක්‍රියාධරයෙක් වන පවුලෝ පෙයෙරේ තම පෙඩාගොගි ඔෆ් ද ඔප්ප්‍රේස්ඩ් කෘතීයෙහි වඩාත් නිවැරදිව අවධාරණය කළ පරිදි; “අතීතය දෙස බැලීමෙන් තමන් මොන වගේද යන්න වඩාත් පැහැදිලිව තේරුම්ගත හැකි අතර එම අවබෝධය මඟින් වඩාත් නැණවත් අනාගතයක් නිර්මාණය කළ හැකිය.” රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය කාලය පුරා සිදුකළ මර්ධනය සහ එහි උපායන් සේම ඒවායෙහි ස්වභාවය කියවිය යුත්තේ මේ නිසාය.

එක්කෝ නිහඬ කිරීම, නැතිනම් දේශපාලනික වශයෙන් ඝාතනය කිරීම රාජපක්ෂගේ පිළිවෙතය. මෙය ඔහු, කිහිපදෙනෙකු අභිමුඛව ඉතා සාර්ථකව අත්හදා බැලුවේය. රාජපක්ෂගේ නියම ක්‍රමවේදය හඳුනා නොගන්නා තාක් දුරට එහි ගොදුරක් වීම වැළක්විය නොහැකිය.

අතුරලියේ රතන හිමි, මේවන විට වඩාත් පුළුල් පෙරමුණක විෂයක් බවට පත් වී ඇති අතර උන්වහන්සේ ජාතික හෙළ උරුමය එක කොණකත් රටේ විපක්ෂයට අවශ්‍ය දේශපාලනයේ කොටසක් අනෙක් කොණේත් තබා ගෙන සිටිති. අවාසනාවට උන්වහන්සේගේ නියම අරමුණ තවමත් අපැහැදිලිය. නමුත් ලොම් හැලුණු බැටළුවන්ගේ තත්වයට පත්වී ඇති සහ තම අතීත නායකයින්ට නිගාදෙන වැඩපිළිවෙලක නිරත වී සිටින වමේ සහෝදරවරුන්ට සාපේක්ෂව මෙය අගය කළයුතු කාලය එළඹ තිබේ යැයි සිතේ.

තම පිවිතුරු හෙටක් නමැති යෝජනාවලීය ගැන පැවති පළමු කතා බහේදීම ජනාධිපති රාජපක්ෂ විසින් රතන හිමිට මතක් කරදුන්නේ, දෙදෙනාම ඉපදුනේ එකම ගමේ බවය. ජාතික හෙළ උරුමය කෙසේ වෙතත් රතන හිමිට මෙහිදී විශාල අභියෝගයක් මෙන්ම පවතින තත්වය හමුවේ තම දේශපාලනය පිවිතුරු එකක් බව ජනතාව ඉදිරියේ ඔප්පු කිරීම පහසු කාර්යක් නොවේ.

විශේෂයෙන්ම ජාතික හෙළ උරුමයේ නායකත්වය ඇතුළු අනෙක් බොහෝමයක් දෙනා තවමත් දරා සිටින ප්‍රතිපත්තිය වූ කලී රාජපක්ෂ ජනාධිපතිවරයා මාර්ගයෙන් සියල්ල කළ හැකි බවත්; ඔහුගේ ආකල්ප වෙනස් කරගැනීම කෙසේ හෝ කළ හැකි බවත්ය. මෙය සැබැවින්ම මුලාවකි. ආගම පවා තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාකූල කළ නායකයෙකු දමනය වේ යැයි සිතීම මෙන්ම, ඒ වෙනුවෙන් තම ශ්‍රමය කැප කිරීම නාස්තියක් පමණි. ජාතික හෙළ උරුමය අසාධාරණ පාලනයක් ගොඩනැගීමට උර දී එහි ප්‍රතිඵලය පාලකයා භුක්ති විඳින විට එය කෙසේ හෝ වෙනස් වේ, යැයි සිහින මැවීම සැබවින්ම හාස්‍යකි. සැබෑ බරපතළකම නොදැන විශ්වාසය තැබීමකි.

එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙකු පසුගියදා පළමුව සිංහල බසිනුත් දෙවනුව ඉංග්‍රීසී බසිනුත් ලියමින් අමුතුම විග්‍රහයක් කළේය. ඔහුට අනුව රනිල් වික්‍රමසිංහ මත යැපෙන රාජපක්ෂ දේශපාලනය ඉන් මිදීමට කාලය පැමිණ ඇති බවත් එය තවදුරටත් පැවතියහොත් සී. අයි. ඒ. සංවිධානය වියට්නාමයේ කළ ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මරා දැමිය හැකි බවත් ලිව්වේය. ඔහු එසේ ලිව්වේ චිලී ජනපති සැල්වදෝර් ඇලන්ඩෙ, කොංගෝ අගමැති පැට්‍රිස් ලුලුම්බා, ජැමෙයිකා අගමැති මයිකල් මෑන්ලි, සයරේ ජනපති මොබුටු සෙකො සහ පැනමා ජනපති ඔමාර් ටොරිජොස් ඝාතනය කළ ආකාරයෙන් මහින්ද මරා දැමීමට සී. අයි. ඒ. නොයනු ඇත්තේ ඇමෙරිකාවට එය බූමරංගයක් වන හෙයින් යැයි සඳහන් කරමිනි. ඔහු අදාල ඔත්තු සේවය පිළිබඳ විශාරදයකු වීම ලංකාවේ කිසිවක් නැති තැනට යමක් ලැබීමක් සේ සිතා ඔහු වටා සිටින අයවලුන්ට තම සගයාගේ බුද්ධිය ගැන මවිත වී ඊට ලොල් වී තවත් කතාවක් කියන්නකෝ යැයි පැවසිය හැකිය.

නමුත් ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. සී.අයි.ඒ. සංවිධානය මරා දමනු ලැබූ එකම අව්‍යාජ නායකයෙකුගේ හෝ සහෝදරයින් ඇමෙරිකානු පුරවැසියන් නොවූහ. ඔවුන්ගේ දේශපාලනය අව්‍යාජ එකක් වූ අතර “ඩබල් ගේම්” ගැහිල්ලක් ඊට තිබුණේ නැත. නමුත් සදාම්, යම් තාක් දුරකට ගඩාෆී එම “ඩබල් ගේමේ” සිටියහ. මේ නිසා රාජපක්ෂ ඇමෙරිකාව විසින් ඉලක්ක කරන්නේ යැයි සිතීම, රෝගී තත්වයකදී බෙහෙත් නොබන කුඩා ළදරුවෙකුට, බෙහෙත් බීම සඳහා බිල්ලකු මැවීම සඳහා යොදා ගත හැකිය. මන්ද මෙවැනි දෑ හෝඩියේ පන්තියේ තර්කය. මින් පෙනෙන කරුණ වන්නේ රතන හිමිගේ විරෝධයේ සිටින දේශපාලනික යටිමඩි කාරයින්ගේ දේශපාලන අවබෝධයේ තරම හෝ රටේ ජනතාව ගැන ඔවුහු සිතන මට්ටමය. මේ නිසා, “අනේ අපේ මල් ගනන්කෝ” හෝ “ අනේ අපේ කජු ගන්නකෝ”, යැයි කියමින් තම දේශපාලන ප්‍රතිපත්ති අඥාදායකයෙකු ඉදිරියේ හෙළීමෙන් මොවුන්ගේ සැබෑ කෛරාටකකම තේරුම් ගැනීම දුෂ්කර කාර්යක් නොවේ. රතන හිමි සැබෑ ලෙස අයත්වන්නේ මින් කුමන පාර්ශවයටද යන්න උන් වහන්සේ විසින්ම මැනවින් තේරුම් කළ යුතු කාරණයකි.

කෙසේ වෙතත්, පළමුව; විවිධ චෝදනා පටවමින් ආර්ථික වශයෙන් දුර්වල කිරීම, දෙවනුව; තම උපායන්ට අවශ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතිය, තෙවනුව; සිදුකරනු ලැබූ ප්‍රචාරණ ව්‍යාපෘතියකින් පසු කරන්නා වූ මර්ධනය සහ සිව්වනුව; මර්ධනය කළ පසු එය සාධාරානීකරණය කිරීම සඳහා ඕපාදූප නිර්මාණය වූ කලී මර්ධනයේ මුලික උපායන් වේ. මෙය සෑම පාලකයෙකු විසින්ම අඩු වැඩි වශයෙන් අත්හදා බලන්නේය. රාජපක්ෂ ජනාධිපතිවරයාට දේශපාලනික වශයෙන් පමණක් නොව තම අරමුණු කෙසේ හෝ සිදුකර ගැනීම සඳහා මිලිටරිමය ව්‍යුහයක් ඇත.

ඉදිරි දින කිහිපය තුළ අත්දැකිය හැකි මුලිකදේ රාජපක්ෂගේ දේශාපාලනයට වඩා එය වෙනුවෙන් පෙනී සිටින මිලිටරියේ සක්‍රීය වැඩපිළිවෙලය. ඊට මුහුණ දීම සඳහා ශක්තිමත් මෙන්ම ක්‍රමෝපායික වැඩපිළිවෙලක් සියලු දෙනාටම අවශ්‍ය වේ. සාමුහික වගකීම සහ එම වගකීමේ පරාමිතීන් තේරුම් ගැනීම රටේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa