ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 10ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවෙිදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.

මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එමපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වා ගන්නා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය. ඒ අධිආරක්ෂිත කලාපයක් තුළදී ය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කළාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?

ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. එපමණක්ද නොව මේවන විට විසදීමට ගන්නා සුලු උත්සහයන්වල පවා දක්නට ඇත්තේ ද අන්ත දුගීභාවයකි. එබැවින් තවමත් නොවිසිදී ඇති ගැටලුව ද එයයි. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් දෙයක් සිදුවීමවත්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අය විසින්ම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන මෙහිදී ලියුම්කරැට මතක් වේ.

මෙම තත්ත්වය සිවරාම්ට මෙන්ම, ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඝාතනය කළ, අතුරැදහන්කල මෙන්ම පහරදීම් සිදුකල මාධ්‍යව්දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට ද එකසේ අදාලය. විශේෂයෙන් අධිආරක්ෂක කලාපයක් තුළ ඝාතනය කල මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මේ වනවිටත් කිසිදු තොරතුරක් නොමැති අතුරැදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මෙන්ම පසුගිය වසර ගණනාවකදී ලංකාව තුල මෙසේ ඝාතනය කල, අතුරැදහන්කල සහ පහරකෑම්වලට ලක්වුනු මාධ්‍ය්‍දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදී ගිණී තැබීම්කල කිසිදු අයෙක් මෙතෙක් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන්ට නොහැකි වී ඇත්තේ ඉහත කී කියමනේ සත්‍යතාවය නිසා දැයි සාධාරණ සැකයක් දැන් මතුවනු ඇත.[RP]

කෙසේ නමුත් ධර්මර්ත්නම් සිවරාම් නම් ප්‍රවීන දේශපාලන විචාරකයා, ජනමාධ්‍යවේදියා ඝාතනය කර වසර 10ක් නික්ම යමින් තිබේ. නමුත් මේවන විටවත් සිවරාම් ඝාතනය කළ ඝාතකයින් හරිහැටි හඳුනාගන්නට බලධාරීන්ට නොහැකි වී ඇත. මෙවන් ඝාතනයන් සිදු වී වසර ගණනාවක් ගතවූත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක කෙසේ නම් යහපාලනයක් ගොඩනගන්නට හැකි වෙයිද?

යහපාලනය තුළ…

සිවරාම් මරා දැමුණේ රාජපක්ෂලා රටකරවන කාලයේදීය. නමුත් දැන් ඇත්තේ එම පාලනය පෙරළා දමා යහපාලනයක්, නිදහසක් ගෙන එන බවට සපත කරමින් පැමිණි සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවකි. පසුගිය ජනවාරි 8වෙනිදාට පෙර ලංකාව තුළ සිවරාම් වැනි ඝාතනය කළ මාධ්‍යවේදීන්ගේ, ඝාතනයන්ට වගකිවයුතු ඝාතකයින් පිළිබදව කඩිනම් පරීක්ෂණයන් පවත්වා එම ඝාතකයන් නීතිය හමුවට පමුණුවන බව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෑම තැනකම කියා සිටියේ ය. නමුත් දැන් දින 100ද ඉක්ම ගොසිනි. නමුත් එවැනි කිසිදු ඝාතනයකට හෝ අතුරැදන් කිරීමකට හෝ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමට ගන්නා උනන්දුමය උත්සහයක් පෙනේනට නැත. අවම වශයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ එැවැනි කිසිවෙක් තබා දකුණේ බොහෝ මාධ්‍ය සංවිධාන ද එවන් හඩක් නගන්නේ නැති සේයකි.

නමුත් පසුගිය කාලයේ ජනමාධ්‍ය ඇමතිවරයා පවසා සිටියේ ‘සිය ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව සිටින මාධ්‍යවේදීන්ට නැවත තම රටට පැමිණිමට ආරාධනා කරන බවයි‘ නමුත් මේ සම්බන්ධයෙන්, ජීවිතාරක්ෂාව පතා රටින් පිට පිටුවහලේ ජීවත් වන ඇතැම් මාධ්‍යෙව්දීන්, ක්‍රියාකාරීන් පවසා සිටියේ ‘ලංකාව තුළ ආරක්ෂාව පිළිබදව ක්‍රියාවෙන් තහවරු කරන තෙක් අපිට කිසිදු විශ්වාසයක් නැති බවයි.‘ සිවරාම් මරා දමා වසර 10ක් ගෙවෙන මේ මොහොතේ එය සත්‍යයක් බව තහවරු වෙමින් තිබේ. එය එසේ වන්නේ නව පාලනයේ දින 100 ද ඉක්ම ගොස් ඇති මොහොතක ඝාතනය කල, අතුරුදන්කළ හෝ පහර කෑමට ලක්වූ කිසිදු මාධ්‍යවේදියෙකුට මේ දක්වා ලංකාව තුළ යුක්තිය ඉටු කිරීමේ සේයාවක් වත් දක්නට නොමැති වීමයි.

මෙවැනි තත්ත්වයක් තුළ නව පාලනයේ ‘යහපාලනය‘ යතාර්ථයක් කර ගත හැකි වේද?

සටහන අවසන් කරන්නට ‘තරාකී‘ හෙවත් සිවරාම් වෙනුවෙන් මංජුල වෙඩිවර්ධන ලියූ කවියක් මෙසේ පළකරමු.

නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි

මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත‍්‍රියේ
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ

කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා

[Pic by JDS]