අද ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතර පැවැත්වෙන සාකජ්චාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය මංඤං නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අපට කියන්නේ මෙම සාකච්ජාව හරි අහිංසක එකක් බවය. එම නිවේදනයට අනුව සාකච්ජාව පැවැත්වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට බවය. එහි නොකියැවෙන විශේෂ නොවන අරමුණු ද තිබෙන බව ඉන් කියැවෙයි. ඒවා මොනවාද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සමයේ දි කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑවේ රාජපක්ෂ පවුල බවය. දැන් ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශය අපට කියන්නේ ශ්‍රීලංනිපය ශක්තිමත් කිරීමට එම පක්ෂය කෑ රාජපක්ෂවරුන්ගේ ප්‍රධානියා වූ මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ජා කරන බවය.

මේ කතා කියන්නේ තණකොළ බුදින ගවයින්ට නම් කමක් නැත. නමුත් ඒ කතා කියන්නේ බත් කන අපට ය. පක්ෂය විනාශ කළ ඒකාධිපති පාලකයා සමඟ හවුල් වී ශක්තිමත් කල හැක්කේ එම පක්ෂය ද? දූෂණය සහ භීෂණය ද?

මෙම නිවේදනය කියන්නේ මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ කුමාර වෙල්ගම සහ ටී.බී. ඒකනායක යන රාජපක්ෂවාදී මංත්‍රීවරුන්ගේ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක යන සංඝයාගේ ඉල්ලීමක් උඩ බවය. ජනාධිපතිවරණ සමයේ සිට අද දක්වාම එම පිරිස් සිටින්නේ රාජපක්ෂ දූෂණය සහ භීෂනය යළි මෙරට ඇති කිරීම පිණිස බව නොදන්නා කෙනෙක් සිටී ද? ඉදිං ඔවුන්ගේ අරමුණ වෙනකක් විය නොහැකිද?

නිවේදනය තවත් අපුරු කතාවක් කියයි. එනම් මෙම සාකච්ජාව පිළිබඳව යම් යම් පුද්ගලයින් විසින් කරනු ලබන නොයෙක් ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ ප්‍රතික්ෂේප කර සිටින බවය.

මේ යම් යම් පුද්ගලයින් කව්ද? මොනවාද මේ නොයෙක් ප්‍රකාශ? හරි එක හංගාගෙන වැඩක් නැති දෙකෙන් ගැසිමෙන් වැඩක් නැත. කියන දෙයක් පැහැදිළිව කීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබිය යුතු ය.

මෙම සාකච්ජාව ගැන මුලින්ම මත පළ කළේ ගාමිණි ලොකුගේ වැනි රාජපක්ෂ හොරණෑකරුවන් ය. ඔවුන් කීවේ සාකච්ජාව කොන්දේසි දෙකක් උඩ පමණක් සිදුවනු ඇති බව ය. ඒවා නම් එලඹෙන මහා මැතිවරණය රාජපක්ෂට මෙහෙයවීමට දීම සහ මහා මැතිවරණයෙන් පසු ශ්‍රීලංනිපය ජාතික ආන්ඩුවකට සහභාගි නොවිය යුතුය යන කොන්දේසිය යි.

ජනාධිපති සිරිසේන මෙම කොන්දේසි පිළිගන්නවාද නැත්ද යන්න දැන ගැනීමට ජනවාරි 08 දින ඔහු බලයට පත්කළ ජනයාට දැන ගැනීමට අයිතියක් තිබේ. නිවේදනය ඒ ගැන නිහඬ ය.

ඊළගට දෙමුඛයම ඇරියේ ඩිලාන් පෙරේරා ය.ඒ ජනාධිපතිගේ තවත් මාධ්‍ය ප්‍රකාශකයෙකි. සිරිසේන – රාජපක්ෂ සාකච්ජාව රනිල් ගෙදර යැවීමට යැයි පෙරේරා ඔජ වැඩුවේ ය. ජනාධිපති සිරිසේන තවමත් තමා නායකත්වය දරන පක්ෂයේ ප්‍රකාශක පෙරේරා වමනය කළ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර නැත. නිවේදනය ඒ ගැන ද නිහඩය.

එසේ නම් ජනාධිපති මාධ්‍ය අංශය කියන ‘යම් යම් පුද්ගලයින් විසින් කරනු ලබන නොයෙක් ප්‍රකාශ ’ යනු මොනවාද? ඒ වෙන කිසිවක් නොව රාජපක්ෂ සමඟ දේශපාලන හවුලකට ගියහොත් එමගින් ජනාධිපති සිරිසේන ජනවාරි 08 දා ලබාගත් ජනවරම පාවා දෙනු ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය හරහා දක්වන ලද අදහස් විය යුතු ය.

මේ ටික කෙලින්ම කිව්වා නම් කොයි තරම් හොඳ ද?

ඒ කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත උක්ත සාකච්ජාවේ දී ශ්‍රීලංනිප ශක්තිමත් කිරීම පිණිස රාජපක්ෂ වෙත ඉදිරිපත් කළ හැකි කරුණූ කිහිපයක් දක්වා සිටීම හුදී ජන පහන් සංවේගය පිණිස වැදගත් විය හැකිය.

ශ්‍රිලංනිපය තුල රාජපක්ෂ පවුල් පාලනයක් ගොඩ නඟා එහි ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය විනාශ කිරීම;

ජනාධිපතිවරයාගේ සිට පක්ෂයේ ප්‍රාදේශීය සභා නියෝජිතයා දක්වාම දූෂණය මගින් යැපීමට ඉඩ කඩ සළසා ගැනීම මගින් ශ්‍රිලංනිපය ය දූෂිත දේශපාලන පංතියත් අතට පත් කිරීම;

කුඩු ජාවාරම්කරුවන් සහ කැසිනෝ යනාදී සූදුකරුවන් ශ්‍රීලනිපයේ ප්‍රධානීන් බවට පත් කිරීම මගින් පක්ෂය තව දුරටත් දූෂිත ජාවාරම්කාරයින්ගේ බලයට නතු කිරීම;

රාජපපක්ෂ ජනාධිපති බිරියගේ නමින් හොර ජාතික හැදුනුම්පත් පාවිච්චි කර රාජ්‍ය නොවන සංවිධාන බැංකු ගිනුම් විවෘත කර ශ්‍රීලංනිපයේ නාමය කැත කිරීම;

ජනාධිපති කාර්යාලය මහා පරිමාණ ලෙස ජාතික ධනය අපයෝජනය කරන ගුබ්බෑයමක් බවට පත් කිරීම මගින් ආන්ඩු පක්ෂ වූ ශ්‍රීලංනිපය අපකිර්තියට පත් කිරීම:

ශ්‍රීලංනිපයේ නමින් රාජපක්ෂ ජනාධිපති ජන්ද ව්‍යාපාරයට රාජ්‍ය මාධ්‍යන්හි පළ කරන ලද වෙළද දැන්විම් සඳහා ගෙවිය යුත් ලක්ෂ සංඛ්‍යාත මුදල් පැහැර හැරීමෙන් පක්ෂය ණයකාරයකු බවට පත් කිරීම

ශ්‍රීලංනිපයේ නායකයා වශයෙන් ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරයට තමන්. තම දරුවන් සහ බිරිඳ යොදා ගත් ගුවන් යානාවලට අයවිය යුතු මුදල් නොගෙවීම මගින් ඇති කරන ලද දුෂණය:

මෙම ලැයිස්තුව තව බොහෝ දිගය.

ජනාධිපති සිරිසේනට අවශ්‍ය වන්නේ ශ්‍රිලංනිපය දේශපාලන සහ මතවාදී වශයෙන් ඉදිරිගාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ශක්තිමත් කිරීමට නම් රාජපක්ෂ සහ සමස්ත ශ්‍රිලංනිපය ඉදිරියෙහිම තැබිය යුතු ප්‍රශ්ණ ඒවා ය‍.

නොඑසේව අවශ්‍ය කරන්නේ ඔළුගෙඩි පමණක් නම් කුමාර වෙල්ගම සහ ටී.බී. ඒකනායක සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක යනාදීන් සමඟ යාමට ඔහුට අයිතියක් තිබේ.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya