Image Credit:sundayobserver

පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජය කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ එම පුද්ගලයාගේම වෙනත් රූපකයක් එම ඡන්දයෙන්ම ජනතාව ජයග‍්‍රහණය කැරැවූ සුවිශේෂී අවස්ථාව මෙයයි.

මෛත‍්‍රීපාල සිරිසේන යනු වසර 13 ක කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ය. අවසාන වරට පැවැත්වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්කෙරෙන අවස්ථාවේ එම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වුණේ මෛත‍්‍රීපාල සිරිසේනයි. 2015 ජනවාරි 8 වැනි දා වන විට, විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන මෛත‍්‍රීපාල සිරිසේන යනු, 2010 මැතිවරණයේ දී මේ රටේ ජනතාව තමන්ට දුන් ජනවරම ප‍්‍රතික්ෂේප කොට, එම ජනවරම අභියෝගයට ලක්කොට සිටි අපේක්ෂකයෙකි. එසේ හෙයින්, එම අළුත් මෛත‍්‍රීපාල සිරිසේනව ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණය කරවන විට මේ රටේ ජනතාව ඇත්තෙන්ම අනිත් පැත්තෙන් කෙළේ, 2010 ජනවරම ලත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පරණ මෛත‍්‍රීපාල සිරිසේනව පරාජය කැරැවීමයි.

2010 සිට (ඇත්ත වශයෙන්ම 2005 සිට) මෙරට පාලනය කළ අලිබබෙක් සහ හොරු හතළිහක් උන්හ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ, එම අලිබබා ඇතුළු හොරු හතළිහත්, ඔවුන් ගෙන යමින් සිටි ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති මාලාවත් පරාජය කිරීමටයි. එම සටනෙන් ඔහු ජයගත්තේය. එනම්, අලිබබා සහ හොරු හතළිහ මෙන්ම, එම ප‍්‍රතිපත්ති සමුදායත් එදා පරාජය කෙරුණි.

එහෙත් අවාසනාවක මහත/ අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අර අලිබබා හැර අනිත් සෑම සොරෙකුටම සෙනෙහස පෑමට පටන්ගෙන තිබේ. රනිල් වික‍්‍රමසිංහ සමග තමා කිසි ගිවිසුමක් ගසා නැතැයි අද මෛත‍්‍රීපාල සිරිසේන කියයි. ඔහු එයින් අදහස් කරනවා ඇත්තේ, රනිල් සහ තමා පමණක් කාමරයක මේසයක වාඩි වී යම් ගිවිසුමකට හොරෙන් අත්සන් කොට නැති බව විය හැකිය. එහෙත් තමා බලයට පත්වූ පසු රනිල් වික‍්‍රමසිංහව අගමැති කරවන බවත්, දින 100 අවසානයේ රනිල් වික‍්‍රමසිංහගේ එම ආණ්ඩුව ඇතුළු සමස්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, එකී දින 100 වැඩ සටහනේ ඔහු කියන විට, ඇත්ත වශයෙන්ම, රනිල් වික‍්‍රමසිංහ සමග වන ප‍්‍රසිද්ධ ගිවිසුම ඔහු ගැසුවේ මේ රටේ සමස්ත ජනතාව සමග බව මේ වන විට ඔහුට අමතක වී තිබිය නොහැක. දැන් ඔහු රනිල් වික‍්‍රමසිංහ වෙනුවට නිමල් සිරිපාල සිල්වාව අගමැති කැරැවිය හැකි බවට, ජෝන් සෙනෙවිරත්නව අගමැති කැරැවිය හැකි බවට, සුසිල් පේ‍්‍රමජයන්තව අගමැති කැරැවිය හැකි බවට පුරසාරම් කියයි. එකී කිසිවෙකු හෝ සමග, රහස් හෝ ප‍්‍රසිද්ධ ගිවිසුමක්, ජනවාරි 8 වැනි දාට පෙර ඔහු ගසා තිබුණේදැයි දැන් ඔහු රටට හෙළි කළ යුතුව තිබේ.

එහෙත් අප නොදැනුවත්ව එවැනි ගිවිසුමක් වැනි යම් හැඳිනීමක් ඇති බව දැන් දැන් පෙනෙන්ට තිබේ. ඒ හැඳිනීම හෙවත් ‘කොන්ත‍්‍රාත්තුව’ ඔහු භාරගත්තේ ජනවාරි 8 වැනි දායින් පසුවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ එතැන් සිටයි. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දැමීමේ පළමු වගඋත්තරකරු වන්නේ, මහින්ද රාජපක්ෂ නොව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි. තිත්ත ඇත්ත එයයි.

අප එසේ කියන්නේ ඇයි? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනු, මුලින්ම බණ්ඩාරනායකලාගේ ය. දෙවැනුව එය රාජපක්ෂලාගේ පක්ෂය විය. එම පක්ෂය, වර්තමානයේ ඊට අඩංගු සියලූ අඩුමපුඩුම සහිතව, සියලූ දුෂ්-ප‍්‍රතිපත්ති සහ ඊනියා (මහින්ද) ‘චින්තන’ ආදිය සහිතව අද තියෙන තත්වයට ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු, එම පක්ෂය වෙනත් නායකත්වයක් අතකට ගන්නේ නම්, අර හොරු හතළිහ සුද්ද කිරීම සේම, පක්ෂයේ දුෂ්-ප‍්‍රතිපත්ති සංශෝධනය කිරීමත් අනිවාර්ය වන්නේය. එහෙත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එම පක්ෂයේ නායකත්වය ගැනීමට යන්නේ, එවැනි කිසි වෙනසක් හෝ ප‍්‍රතිසංස්කරණයක් ඇතිව නොවේ. මහින්ද රාජපක්ෂ හදා දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති ගෙඩිය පිටින්ම ගැනීමට ඔහු අද හැම වෙහෙසක්ම දරයි. අවසානයේ ආපසු හැරී බලන විට අපට පෙනී යන්නේ, මෛත‍්‍රීපාල සිරිසේනට ප‍්‍රශ්නයක් තිබී ඇත්තේ මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගලයා සමග පමණක් වන බවකි. එසේ නොමැතිව, එවැනි ස්ථාවරයක්, ප‍්‍රතිපත්තිමය කාරණා මත ඇති විය හැක්කක් නොවේ. මන්ද යත්, මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් තිබිය හැකි ඕනෑම දේශපාලනික හෝ ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක්, එයාකාරයෙන්ම ඔහුගේ පක්ෂයේ අති බහුතරයක් මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන්ද තිබිය යුතු බැවිනි. එසේ නම්, මෛත‍්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂව නොදිරවන්නේ, හුදෙක් පෞද්ගලික හේතු මත යැයි තීන්දු කිරීමට අපට සිදුවෙයි.

එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ මෛත‍්‍රීපාල සිරිසේනට අගමැති තනතුර විටින් විට මගහැරුණි. අද මහින්ද රාජපක්ෂ තමාට අගමැති තනතුර ඉල්ලමින් යන්නේ, එදා තමා විසින්ම අගමැති තනතුරෙන් හිතාමතාම විටින් විට පිටමං කොට තැබූ මෛත‍්‍රීපාල සිරිසේන යටතේ ය. එසේ තිබියදී, දි. මු. ජයරත්නට සහ රත්නසිරි වික‍්‍රමනායකට ජනාධිපති උපදේශක තනතුරු පිරිනැමිය හැකි නම්, මහින්ද රාජපක්ෂට අගමැති තනතුර පිරිනැමීමට නොහැකි කාරණය කිම්දැයි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් රටට පැහැදිළි කර දිය යුතුය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අද ඇති වී තිබෙන තදියම සහ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම පිළිබඳ ප‍්‍රශ්න සැළකිල්ලට ගත යුතුව ඇත්තේ, මේ කියන සියලූ කාරණා සිත්හි ධාරණය කරගෙනයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපතිවරයා මුලින් කීය. ඊළඟට, 20 වැනි සංශෝධනය සම්මත කරගන්නා තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි දැන් ඔහු කියයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ කාරණය, ඇත්තෙන්ම 20 වැනි සංශෝධනයක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව සමග සම්බන්ධයක් දරන්නේද? එය එසේ නොවෙතැයි අපි කියමු.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හෝ නොහැරීම යන කාරණය, 20 වැනි සංශෝධනයක් සමග සම්බන්ධතාවක් නොදක්වන බව, වෙනත් සන්දර්භයක් තුළ, පසුගිය දා ජනාධිපතිවරයා විසින්ම, දැනුවත්ව හෝ නොදැනුවත්ව, පෙන්වා දුනි. ජනාධිපති වූ දා සිට තමා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කර ඇති සේවාව මේ යැයි අවධාරණය කරනු පිණිස එක් රැළියකදී ඔහු කියා සිටියේ, ජනවාරි 8 වැනි දා තමා ජයග‍්‍රහණය කළ සැණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම්, අද ඉතා ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මේ රටේ ස්ථාපිතව තිබෙන්ට තිබූ බවයි. එය වළක්වනු ලැබීම, ඔහු එදා සිය අනුගාමිකයන් ඉදිරියේ පෙන්නුම් කෙළේ, ආඩම්බරයට කාරණයක් වශයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි තාක් කල් දැමීම හරහා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති වීම හැකි තාක් වළක්වා ගැනීම බලයට පත්වූ විගස ඔහුගේ ආසන්න අභිලාෂය නොවුණා විය හැකි වෙතත්, අද ආපසු ඒ දෙස හැරී බැලීමේදී, එසේ වීම ගැන ඔහු දක්වන සතුට තුළින් ගම්‍ය වන්නේ, මේ මොහොතේ ඔහු පාර්ලිමේන්තුව විසිරුවා නොහරින්නේ සහ විවිධ අවසර යටතේ කල්මරන්නේ, ඊනියා 20 වැනි සංශෝධනයක් හෝ ‘‘දුන් පොරොන්දු ඉටු කළ යුතු’’ බවට ඇති වෙනත් සාරධාර්මික ගුණයක් නිසා නොව, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවක් බලයට පත්වීමේ ඉඩකඩ හැකි තාක් අවම කිරීම හෝ මුලිනුපුටා දැමීමත්, අර අලිබබාගේ හොරු හතළිහ, අලිබබා වෙනුවට තමාගේ නායකත්වය යටතේ, නැවත වරක් බලයට පත්කිරීමත් සඳහා වන බවයි.

ඕනෑම හොරෙකුට, දූෂිතයෙකුට පුනරුත්ථාපනය වීමේ නිදහස සහ හැකියාව තිබේ. මේ නිසා, හිටපු හොරුන් සදාතනික නිරයට නියම කිරීමට කෙනෙකු ඉක්මන් විය යුතු නැත. එහෙත්, තමා පුනරුත්ථාපනය වීමට සූදානම් බව හොරා හෝ දූෂිතයා වර්තමාන ආදර්ශයෙන් සහ ක‍්‍රියාවෙන් පෙන්නුම් කළ යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන අළුතෙන් ඇමතිකම් දෙන, අළුතෙන් උපදේශක තනතුරු දෙන කිසිවෙක් තමන්ගේ වර්තමාන භාවිතය තුළින් එකී සූදානම පෙන්නුම් කරන්නේ නැත.

‘ව්‍යවස්ථා සභාව’ උදාහරණයට ගන්න. රාජ්‍ය සේවය දේශපාලනික ඇඟිලි ගැසීමේ පිළිලයෙන් ගලවා ගැනීම අරමුණු කරගත් එම සභාවේ යෝජිත සාමාජිකයන් 10 දෙනාගෙන් 7 දෙනෙකු පක්ෂ දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන බුද්ධිමතුන් විය යුතු යැයි නිර්දේශ වී තිබියදී, එය අංශක 360 කින් ආපසු හරවා, දේශපාලඥයන් 7 දෙනෙකුගෙන් එම සභාව පුරවන පරිදි එය විකෘති කෙළේ කවුද? අගමැති කිරීමට තරම් ‘සුදුසුකම්’ ඇතැයි මෛත‍්‍රිපාල සිරිසේන අද කියන ඉහත කී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරිකයන් ය. ‘එපා වාහෙට හොදි බෙදන්නා’ සේ, සිවිල් බුද්ධිමතුන්ට පැවරූ ඉතිරි ආසන තුනටත් අද විරෝධය පාන්නේ කවුද? නිමල් සිරිපාල සිල්වා ඇතුළු අර කී පිරිසමයි. ඉතිං, අවසානයේදී, ඒ සිවිල් සාමාජිකයන් 3 දෙනා පවා නැතිව, ඉතිරි දේශපාලඥයන් 7 දෙනාගෙන් ‘ව්‍යවස්ථා සභාව’ පිහිටුවා ගැනීම සඳහා මේ පිරිස අද වලිකති.

දැන් අපි කතාවේ මුලට යමු. ‘ව්‍යවස්ථා සභාවට’ යෝජිත ඉහත කී දේශපාලඥයන් 7 දෙනාගෙන් 4 දෙනෙකුම, එනම් බහුතරයක් 2010 මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ, එනම් මහින්ද රාජපක්ෂ යටතේ, පාර්ලිමේන්තුවට පත්වූ අයවළුන් ය. ඔවුන් නම්, කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා, ඔහුගේ නියෝජිත ජෝන් සෙනෙවිරත්න සහ ජනාධිපතිවරයාගේ නියෝජිත චම්පික රණවක ආදීන් ය. දැන්, 2010 ජනවාරි 8 වැනි දා, වර්තමාන මෛත‍්‍රීපාල සිරිසේනව ජයග‍්‍රහණය කැරැවීම හරහා පැරණි මෛත‍්‍රීපාල සිරිසේනව පරාජය කරද්දී, පොදුවේ සමස්ත පාර්ලිමේන්තුවමත්, විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පරාජය කරන ලද බව නැවත වරක් මතකයට නගා ගත් විට, අද ‘ව්‍යවස්ථා සභාව’ හරහා අප මේ කරමින් සිටින්නේ, රාජ්‍ය පරිපාලනය නිර්දේශපාලනීය කිරීම යන රාජකාරිය, පරාජය කරන ලද දේශපාලඥයන් පිරිසක් අතටම නැවත පත්කිරීමකි. එසේ පත්කරන අයවළුන් අවුරුදු තුනක් යන තෙක් වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේද නැත.

Gamini Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda