දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) කොළඹ කොටුවේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතා ව්‍යාපාරය සදහා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සමීපතමයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘සම අයිතිය ව්‍යාපාරය‘ විසිනි. විරෝධතාවයෙන් අනතුරුව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම පිළිබද සාකච්ඡාවක් සදහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා යෑමට පාගමනින් පැමිණි එම පිරිස හිල්ටන් මංසන්දියට මදක් ඉදිරියෙන් පොලීසිය විසින් මාර්ග බාධක දමා නවතා දමන අවස්ථාවේ විරෝධතාකරුවන් සමග පොලීසිය හැසිරුනේ රාජපක්ෂ රෙජීමය සමයේ දී පොලීසිය හැසිරුනු අන්දමට කිසිදු වෙනසක් නැතිවය.

කිසිදු ආකාරයක සාමය කඩවීමකින් තොරව, මෙන්ම ගමනාගමනයට ද කිසිදු අන්දමේ බාධාවක් නොවන ලෙස නිහඩ පාගමනින් පැමිණ පිරිස ඉදිරියට පැමිණි චම්පික සිරිවර්ධන, කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ‘වාඩිවෙලා හිටියොත් අපි ගහලා පන්නනවා‘ යනුවෙන් පැවසීය.(ඉහත වීඩියෝව බලන්න)

රාජපක්ෂ පාලන කාලයේ රණගල නම් සුප්‍ර‍සිද්ධ පොලිස් නිළධාරියාද සාමකාමී විරෝධතාවයන් වලදී රාජපක්ෂලාගේ තගරිය ඔලුවට ගෙන හැසිරුනේ චණ්ඩියෙක් ලෙසය. සිසු විරෝධතාවයන්වලට එළිපිටම දරුණු ලෙස පහර දුන්නේය. ස්ත්‍රීන්ගේ විරෝධතාවලදී, විරෝධතා අතරට පැන පෝස්ටර් ඉරා දමමින් පරුෂ වචනයෙන් බැණ වැදී රාජපක්ෂලාට තමන්ගේ ඇති ‘කීකරුකම‘ පෙන්වූයේ නීතිය තුට්ටුවටකවත් නොසලකා හරිමින්ය.(බලන්න වීඩියෝ සහිතව – [Video]ස්ත්‍රීන්ගේ විරෝධයට මැරයින්ගෙන් බාධා, ජේ.පො.අ රණගල විරෝධතා පුවරැ ඉරා මැරයින්ට සහය පළ කරයි.) ඔහු පමණක් නොවේ බොහෝ පොලිස් නිළධාරින් කොළඹ සහ කොළඹින් පිටතදී ද හැසිරුනේ එවැනි අවිචාරවත් ලෙසය.

අද දවසේ චම්පික සිරිවර්ධන, පොලිස් අධිකරිවරයා ද පෙන්වා ඇත්තේ රාජපක්ෂ සමයේ පොලීසිය දැක්වනු ලැබූ ප්‍ර‍තිචාරයට සමාන ප්‍ර‍තිචාරයකි. නමුත් රාජපක්ෂ කරනය වී තිබූ පොලීසිය, යහපාලනය තුල ද දක්වන ප්‍ර‍තිචාරය එළෙසමය. එබැවින් සිරිසේන ජනාධිපතිවරයාත්, වික්‍ර‍සිංහ අගමැතිවරයාත් පොලීසියේ මෙවැනි මුග්ධ ක්‍රියා නතර කිරීමට උනන්දු නොවන්නේ නම් ‘යහපාලනය‘ ද මහපාරේ දී ප්‍ර‍ශ්ණ කිරීම වැඩි අෑතක නොවනු ඇත.

කෙසේ නමුත් මේ වන විට වැලිකඩ බන්ධනාගාරය ඇතුලු බන්ධනාගාර ගණනාවක දෙමළ දේශපාලන රැදවියන් විශාල ප්‍ර‍මාණයක්, තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පවරන ලෙසත්, එසේ නොමැති නම් නිදහස් කරන ලෙසත් ඉල්ලා උපවාසයක නිරතවෙමින් සිටී.

IMAG1992

IMAG2000

IMAG1997

IMAG2011