පළමුකොටම කිව යුතු වන්නේ සමන්ත භද්‍ර නම් වූ අපේ කාලයේ “රහත්” භික්ෂුව වෙනුවෙන් හඬ නැගීම මෙම ලිපියේ අරමුණට සපුරා පටහැනි බව යි. ලිපිය ඔහු ගැන නොවේ. පොදු දෘෂ්ටිවාදයක් ගැන ය. මට අනුව සමන්ත භද්‍ර යනු විවිධ බිස්නස් සාධුලා අතර මාර්කටින් හොඳටම දන්නා කෙනෙකු පමණි. මේ නිසා, නමක් වශයෙන් පමණක් එය භාවිත කළ ද ඕනෑම සමන්ත බඩ්ඩෙක් එතැනට දමාගෙන වුව මෙය කියවූවාට කම් නැත.

ජනප්‍රිය අදහසට අනුව සමන්ත භද්‍ර (මින් පෙර පිටිදූවේ සිරිධම්ම ලෙස පෙනී සිටි) යනු “තමන් රහතුන්වහන්සේ නමක් බව බොරුවට පෙන්නා ගෙන, ජනතාව මුළා කොට සුඛෝපභෝගී දිවියක් ගෙවන” ඊනියා චීවරධාරියෙකි. ඇත්ත ය. මේ මිනිසා මෑතකදී බුදුන්වහන්සේ විසින් අත්හළ යුතු දෙයක් බවට දේශනා කරන ලද මමත්වයෙන්ම පිනා ගොස් තම හිටි පිළිමයක්ද අටවා ගත්තේ ය (අත්හළ යුතු දෙයක් බවට බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද’ යන අදහස මතකයේ තබා ගන්න). දායක දායිකාවන් රැසක් ඊට වන්දනා කරන ඡායාරූප ද අන්තර්ජාලයේ හුවමාරු වෙනු අපි දුටිමු. සමන්ත භද්‍ර ගේ ‘බෞද්ධකම’ ප්‍රශ්න කරන්නට කරුණු ඕනෑ තරම් තිබිය හැක. එහෙත්, මෙහිදී මා මතු කරන මූලික තර්කය වන්නේ සිංහල බෞද්ධ සමාජය තුළ සමන්ත භද්‍ර සාධකයට එරෙහිව ගොඩනැගී ඇති මේ ජනප්‍රිය විරෝධයට හේතුව ඉහත වැකි කිහිපයේ සඳහන් වූ තරම් ‘සිම්පල්’ නැති බව යි. වෙනත් වචනවලින් කියන්නේ නම්, උප්පැන්නසහතික සිංහල බෞද්ධයින් ලෙස මා නිතර කැටගරිගත කරන මේ බහුතරය ‘අබෞද්ධ’ සමන්ත බද්‍රට විරුද්ධ වන්නේ තමන් ‘බෞද්ධ’ නිසා නොවේ. එය ඊට වඩා සංකීර්ණ දෘෂ්ටිවාදයක ගිලී තිබේ. මේ නිසා, පළමුව සමන්ත භද්‍රට එරෙහි සමාජ විරෝධය (හෝ සරල නොකැමැත්ත) විමසා බලා එකී දෘෂ්ටිවාදීමය පසුබිම දෙවනුව විශ්ලේෂණය කිරීම වැදගත් වෙතැ’යි හඟිමි.

විද්‍යාවේදී උපාධියක් සහිත සිරිධම්ම නමින් ජනප්‍රිය වන්නට පටන් ගත් චීවරධාරියෙකු එක් වරම සමන්ත භද්‍ර නමින් රහත් වීම වැඩියෙන්ම දරාගත නොහැකි වූයේ මෙරට භික්ෂු සමාජයට ය. සාමාන්‍ය ජනතාව මුලින්ම ඒ පිළිබඳව දැරූ ආකල්පය ‘මේ යකා පිස්සෙක්’ යන්න පමණි. එහෙත්, ‘වාණිජ භික්ෂු සමාජයට’ එය හුදෙක්ම බෝම්බයක් අතහැරීමක් බඳු සිදුවීමක් විය. සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ වාර්ගික බෞද්ධ සමාජය තුළ සිවුර යනු හුදු ඇඳුමක් නොව දැවැන්ත බල සාධකයකි. ක්‍රි. පූ. තුන්වැනි සියවසේ සිට ‘ලාංකීය බුදධාගම’ සහ රාජ්‍ය පාලනය කසාද බැන්දීමේ සිටම ඊට අදාළ ඓතිහාසික-කතිකාමය බලය විකාසනය වෙමින් පවතී. මේ බලයේ තරම කොතෙක්ද යත් පසුගිය කාලයේ භික්ෂූන් ඉදිරියට දමාගෙන කරළියට බට ඇතැම් දේශපාලනික බළල් අත් හමුවේ නීතියේ ආධිපත්‍යය පවා ‘සරෙන්ඩර්’ වූයේ ගමේ චණ්ඩියෙකු ඉදිරියේ හිස කසන නෝංජලයෙකු පරිද්දෙනි. සාමාන්‍යයෙන් පිරිසක් කෑකෝ ගසමින් මහපාරේ එකට රැස් වන විට ‘අවම බලය’ පාවිච්චි කරන පොලීසිය පවා සද්ධාතිස්ස, ඥානසාර වැනි චීවරධාරී මැරයින් තවත් අලුත්ගමවල් නිර්මාණය කරන්නට අර අදින විට ‘මීක්’ නොකියා සිටිය යුතු තැනට පත් වූයේද එකී කතිකාමය බලය නිසාවෙනි. මෑතකදී සපත්තු අලෙවි සැලකට කඩා වැදී තරුණියක වාචිකව අපයෝජනයට ලක් කොට නිදහසේ ජීවත් වන්නට හැකි පරිසරය එක්තරා ‘චීවරධාරී කොල්ලෙකු’ වෙනුවෙන් නිර්මාණය කරන ලද්දේද එමගිනි. මෙවැනි පසුබිමක, මිනී මරාගෙන හෝ බුද්ධාගම ආරක්ෂා කරගත යුතුය යන දෘෂ්ටිවාදය විශේෂයෙන්ම ගමේ උපාසක ඇත්තන් අතර පවත්වා ගෙන යමින් පැවැත්ම තහවුරු කරගන්නා චීවරධාරීන් මැද්දට නමට හෝ රහත් කෙනෙකු කඩාපාත්වීම ඔවුනගේ පැත්තෙන් සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. සමන්ත භද්‍ර ස්පර්ශ කළේම සිංහල බෞද්ධයාගේ සදාකාලික ෆැන්ටසිය යි. ‘රහත්’ බෝඩ් එක දුටු සැණින් ගමේ පන්සලේ හාමුදුරුවන් අතහැර දමන්නට තරම් මේ අල්පේච්ඡ ජනයා කෘතගුණවේදී බවද සමන්ත භද්‍ර දනියි.

බෞද්ධ ගිහි සමාජයට මේ රහත්වීම භාරගත නොහැකි වූ පදනම් තර්කය වූයේ ‘රහතුන්වහන්සේ නමක කිසි දා ඒ බව ප්‍රසිද්ධියේ නොකියන්නේ ය’ යන්නයි. කොහොමත්, බුදු හාමුදුරුවන්ටත් වඩා බුද්ධාගම දන්නා සමාජයේ බහුතරයක් මේ සා හදිස්සියෙන් එවැනි කළඑළිබැහීමක් (ඇත්තටම රහත් වුවද) භාර ගැනීමට සූදානම් නැත. මෙයින් සිදු වන්නේද තම ජනප්‍රිය පොපියුලර්-බෞද්ධ ෆැන්ටසියට තුවාල වීම බව ඔවුන් දනී. ඇත්තම රහතුන්වහන්සේ නමක වැඩියත් දැන්ම සංසාර චක්‍රය නතර කරන්නට මේ අය සූදානම් නැත. මැරෙන්නට කලින් කොහොම හරි දඹදිව ‘ට්‍රිප්’ එකක් යාම ආදී ඊට කලින් කරන්නට ඕනෑ තරම් දේවල් තිබේ.

කෙසේ වෙතත්, තරමක් විවෘතව සලකා බැලීමේදී මට නම් සමන්ත භද්‍ර වැනි අයගේ ලොකු ‘අවුලක්’ නැත. ලංකා සමාජයේ සැබෑම අරුතින් භික්ෂූන් යැයි කිව හැකි අය සිටී නම් ඒ ඉතාම අතළොස්සකි. ඉතිරි බහුතරය අතර සමන්ත භද්‍ර කරන්නේ අර සුශික්ෂිත භික්ෂූන් යැයි සිතාගෙන සිටින බොහෝ අය හොරට කරන දේ එළිපිට කිරීම ය. භික්ෂූන් සැප විඳින්නට කැමති බව ඇත්තකි. ලංකාවේ ඇතැම් හාමුදුරුවරුන්ට ඇති තරම් රථගායක් දේශපාලඥයන්ටවත් තිබේදැ’යි විටෙක සිතේ. එහෙත්, ඔවුන් ඒ බව පිටට පෙන්වන්නේ නැත. ධර්ම ප්‍රචාරය සඳහා තැනින් තැනට ප්‍රවාහනය කිරමේ අවශ්‍යතා ආදී ටොපී ටිකක් තම දායක සමාජය අතර බෙදා හරියි. එහෙත්, සමන්ත භද්‍ර ඒ බව කෙලින්ම කියයි. ඈතින් හිඳ බැලීමේදී මේ දෙපාර්ශ්වයම අප දන්නා බුද්ධාගමට අනුව නම් භික්ෂූන් ගණයෙහි ලා සැලකිය හැකිද යන්න සැක සහිත ය. එහෙත්, දෙපාර්ශ්වයම අඩු වැඩි වශයෙන් ප්‍රකට කරන්නේ එක සමානම හැසිරීම් නොවේද? සමන්ත භද්‍ර තමන්ගේ පිළිමයක් අටවා ගත් පරිදිම බොහෝ හිමිවරුන්ට “ආසියාවේ ලොකුම, ලෝකයේ ලොකුම” ආදී වශයෙන් බුදු පිළිම ඉදි කරවීමේ ‘උණක්’ තිබේ. සත්‍ය කතා කරන්නේ නම්, මෙලෙස ඉදි කරවන්නේද බුදු පිළිමයක් වුවද එහි ඉහළින්ම කැපී පෙනෙන්නේ එම භික්ෂූන්ගේ මමත්වම බවයි. “අත්හළ යුතු දෙයක් බවට බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද” යන අදහස සිහිතබා ගන්නා ලෙස මෙහි මුලදීම පාඨකයාට ඉඟි කරනු ලැබුවේ එහෙයිනි.

“සමන්ත භද්‍ර විරෝධී” සහ “සමන්ත භද්‍රවාදී” ලෙස හඳුනාගත හැකි මේ කඳවුරු දෙක අතර ඇති ඝට්ටනය එක අතකින් අපේ සමාජය පුරාම පැතිරී ඇති සුවිශේෂී දෘෂ්ටිවාදයක් මනාව ඉස්මතු කර පෙන්වයි. මේ දෙපිරිසම අතර ඇත්තේ පිළිබැඳියා ගැටුමක් (conflict of interests) මිස බුද්ධ ශාසනය රැක ගැනීමේ උනන්දුවක් නොවන බව ඉතාම පැහැදිලි ය. එහෙත් ජනප්‍රිය වේදිකාවේදී බොහෝ විට සමන්ත භද්‍ර විරෝධී කල්ලියට ජය අත්වීම පොදු ය. මට අනුව ඊට හේතුව වන්නේ සමන්ත භද්‍ර ගේ බොරුවට වඩා ථෙරවාදී චීවරධාරීන්ගේ බොරුවට ලොල් වඩන්නට ඓතිහාසික වශයෙන් අප පුහුණු කර තිබීම යි. දේශපාලනයේදී අප දකින්නේද මෙය යි. මැතිවරණ වේදිකා මත යටි ගිරියෙන් කෑ ගසමින් “අපි ඔයාලට ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා, මම දේශපාලනෙන් හම්බකර ගත් මිනිහෙක් නෙමෙයි, දේශපාලනය නිසා වියදම් කළ මිනිහෙක්” වැනි ප්‍රලාප පවසන අපේක්ෂකයන් අපේ බහුතර සමාජ මනසේම ජනප්‍රිය කොටසක් වන්නේද මීටම සමානව ය.

මේ කාරණයෙන්ම වාර්ගික-බෞද්ධ ගිහි පැවිදි සමාජ දෙක අතර ඇති අන්‍යොන්‍ය රඳා පැවැත්මෙහි සුවිශේෂි පැතිකඩක් හෙළදරවු වේ. සාමාන්‍යයෙන් වත්මන් සංඝ සමාජයේ පවතින බොහෝ භාවිතයන් බුදුන්වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී අනුමත නොකරන ලද ඒවා ය. කෙසේ වෙතත්, ඉන්දියාවේ අශෝක සහ ලංකාවේ දේවානම්පියතිස්ස යන පාලකයන් දෙදෙනා අතර බලය පදනම් කරගෙන ඇති වන දේශපාලනික ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස බුදුසමය දේශපාලනීකරණය කොට රාජ්‍ය පාලනයට ඇඳීමෙන් පසුව ගෙවුණු කාලය තුළ ප්‍රායෝගික අතින්ද බුදුන් අනුදත් මග ගමන් කිරීමට අවකාශයක් භික්ෂුව සඳහා නොවූ බවද පිළිගත යුතු ය. සමන්ත භද්‍රලා ප්‍රතික්ෂේප කරන අති බහුතරයක් වන බෞද්ධයන් ඊට විරුද්ධ කඳවුර වෙත ළං වන්නේද භික්ෂුව සහ ගිහියා අතර පවතින එම බැඳීම නොහොත් ගිහි ගෙයින් හරිහැටි නික්මීමට භික්ෂුවට තවමත් හැකියාවක් නොවීම නිසා බවට තර්ක කළ හැකි ය.

බුදුන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කටයුතුවල නියැළීම භික්ෂුවට අකැප කාර්යයක් බව විශේෂයෙන්ම දේශනා කළ සේක. එසේම, භික්ෂුත්වයට පත් වීමේ එකම අරමුණ විය යුත්තේ බුදුසමය විශ්වාස කරන ආධ්‍යාත්මික ඉලක්කය වෙත ළඟා වීම මිස එය ආභරණයක් කර ගනිමින් පෞද්ගලික ලාභ ප්‍රයෝජන උපයා ගැනීම නොවන බවද දේශනා කළ සේක. බදා ගැනීම වෙනුවට අත්හැරීම බෞද්ධයාගේ පුරුද්ද විය යුතු බව ක්‍රියාවෙන්ම පෙන්වන ලෙස භික්ෂූන්ට උපදෙස් දුන් සේක. එහෙත්, වත්මන් ශ්‍රී ලාංකික භික්ෂු සමාජය නියෝජනය කරන්නේ සපුරාම මෙහි පරස්පරය නොවේද? මේ වන විට ලංකාවේ දේවාලයක් ඈඳා නොමැති පන්සල් තිබෙන්නේ කීයෙන් කීයද? “සර්වඥ ධාතු” පෙන්වීම සඳහා බුදු සසුනේ නාමයෙන් ටිකට් අලෙවි කිරීමද අද සුලභ ක්‍රියාවකි. මිනිසුන්ට සසරින් එතෙර වීමට උපදෙස් දිය යුතු ඇතැම් භික්ෂූහු කුලියක් ගෙන “හැරගිය අය ගෙන්වීමේ” ව්‍යාපාරවල නිරත වෙති. මේ නිදසුන් කිහිපයක් පමණි. සරලවම කියන්නේ නම් භික්ෂුත්වය මේ වන විට රැකියාවක් බවට පත් වී හමාර ය. පොහොය දිනයේ රූපවාහිනී නාලිකාවල බණ දේශනා කරන ඇතැම් භික්ෂූන් අමතර ආදායම් මාර්ග සොයමින් වෙහෙසෙන්නේ නිවන් යාමට වීසා ලබා ගැනීමටද? දැන් මේ තත්ත්වය තුළ තමන්ගේ හෙජමොනිය පවත්වාගෙන යාමට නම් තම දායකයන්ගේ මනසද ඒ තත්ත්වයටම ගෙන ආ යුතු බව දන්නා අධිපති භික්ෂු කතිකාව සිදු කරන්නේ තමන්ට විකල්පව ගොඩ නැගෙන බලවේගවලට එරෙහිව සමාජය පෙළ ගැස්වීම යි.

අනෙක් අතට තම පැවැත්ම විෂයික විශාල අවිනිශ්චිතතාවකට (ontological insecurity) මුහුණ දී සිටින බහුතර සිංහල-බෞද්ධ සමාජය එම බිය සමනය කරගැනීමේ උපක්‍රමයක් ලෙස බොහෝ විට යොදා ගනු ලබන්නේද බෞද්ධත්වය නමැති සාධකය යි. නිදසුනක් වශයෙන් සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් මෑතකදී එළිදක්වන ලද වාර්තාවෙහි සඳහන් ‘අනාගමික ලෞකික රාජ්‍යයක්’ වෙනුවෙන් ව්‍යාවස්ථාමය වෙනස්කම් සිදු විය යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ අය එය වටහා ගෙන තිබුණේ බෞද්ධ ශාසනය මර්ධනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස යි. එහෙත් සත්‍යය නම්, රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන් කිරීමම මිනිසුන්ට වඩා හොඳ ආගමික ජීවිත ගෙවීමට හේතු වන කාරණයක් වන බව යි. මෑත කාලීනව සමරිසි හිමිකම් පිළිබඳව මතු වුණු කතාබහේදීද සිංහල-බෞද්ධයින් තම බෞද්ධ උරුමය විනාශ වනු ඇති බවට අනියත භීතිකාවක් ඇති කරගෙන සිටි බව අපි දනිමු. මේ සියලු කාරණා තුලනාත්මකව ගෙන බැලීමේදී කිව හැක්කේ සමන්ත භද්‍ර වැනි අයට එරෙහිව ගොඩනැගෙන විරෝධය පසුපස ඔවුන්ගේ ගැටළුවක් පමණක් නොව සිංහල-බෞද්ධයින්ගේ දෘෂ්ටිවාදීමය පදනමේද බලපෑමක් ඇති බව යි. සමන්ත භද්‍රට බොහෝ අය විරුද්ධ වන්නේ තමන් ‘බෞද්ධ’ නිසාම නොවන බව ඉහතද අවධාරණය කෙරුණේ එහෙයිනි.

අශාන් වීරසිංහ | Ashan Weerasinghe

  • නිමල් ජයසිංහ

    සමන්ත භද්‍රයාණන් අනෙක් බෞද්ධ භික්ෂුන් වහන්සේලාසේම අප සමාජයේ ජීවත් වන්නෙකි.නමුත් අන් භික්ෂුන් මෙන් පොදු චරිත බවට පත්නොවී තම දක්ෂ පක්ෂ කම්තුලින් භික්ෂු තරුවක් බවට පත්වූවෙකි.මෙකල භික්ෂු සමාජයේ තරුවක් බවට පත්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.හැම ආකාරයකම තරු බවට පත් වන්නේත්,පත්වී, තරු ලෙස බැබළෙමින් පවතින්නේත් මාධ්‍ය අනුග්‍රහයෙනි.හැම මාධ්‍යයක්ම තමා සමාජ වෙළදපල තුල අත්පත් කරගෙන ඇති කොටස රැක ගැනීම සදහා අනවරත අරගලයක නිරත වී සිටින බව පොදු ජනතාව නොදන්නවා වුනාට මාධ්‍යය ගැන හයහතර දන්නා වුන් දනී.මෙම අරගලය සාක්ෂාත් කරගැනීමට දායකකාරකාදීන් රටේ බහුතරයක් වන සිංහල බෞද්ධ සමාජයතුලින්ම තෝරාගත යුතුය.ආගම, කලාව, දේශපාලනය ඇතුළු විෂය පථය තුලින් නියම ස්ථානය ස්පර්ශ කිරීමට දන්නා වූ මාධ්‍ය ඔස්තාර්ලා බුද්ධාගමම තෝරා ගැනීමට මුල් තැනදෙයි. මකියැවෙල්ලිගේ න්‍යාය රාජ්‍ය පාලනයට පමණක් නොව ආගම හරහා මාධ්‍යයයේ ප්‍රගතිය සදහාද යොදා ගැනීමට නූතන මාධ්‍යය හරියටම දනී. ඒ සදහා ආගමද, ආගමතුලින් බුද්ධාගමද,බුද්ධාගමේ ජනප්‍රිය බුද්ධාගම සහ බුද්ධ දර්ශනයද තෝරා ගන්නා මාධ්‍යය ඒ තුලින් භික්ෂුව ඉදිරියට ගැනීම කිසිවෙකුටත් නොදැනෙන ආකාරයට සූක්ෂමව කරණු ලබයි.බෞද්ධ භික්ෂූන් වහන්සේලා දැනුම සහ සමාජ ක්‍රියාකාරිත්වය තුල විවිධය.සමහර දැනුම ඇත්තෝ සමාජ ක්‍රියාකාරිත්වය තුල අක්‍රිය චරිතය.සමාජයතුල ක්‍රියාත්මක චරිත දැනුම අතින් ඉතාමත්ම පසුගාමීය. අද සිංහල බෞද්ධ සමාජය තුලකැපීපෙනෙන්නෙක් බවට පත්වීමට දැනුම, පෙනුම සහ සමාජ ක්‍රියාකාරත්වය අවශ්‍යම සාධකයකි.එය යම් ප්‍රමාණයකට සපුරා ගත් අය භික්ෂු තරු බවට පත්වී සිටිති. සමන්ත භද්‍රයාණන්ද එවැන්නෙකි. සමන්තභද්‍රයාණන් මාධ්‍ය මඟින් නිර්මාණය කරණ ලද,එනමුත් දැනුම සහ ව්‍යක්ත භාවය මඟින් අයිසින් කරණ ලද්දාවූද නිර්භීතව ඉදිරියට එන චරිතයක් බැවින් , තරුවක් ලෙස ඔහුගේ දිදුලන ස්වභාවය වැඩිය. වත්මන් සිංහල බෞද්ධ සමාජයේ පැහැදිලි බහුතරය සමන්තභද්‍රයාණන්ගේ වචනයෙන්ම කියනවා නම් මරි මෝඩ සමාජයකි.එවන් සමාජයත සමන්තභද්‍ර වීර චරිතයකි.මාධ්‍යය මඟින්ම යහපත් හා අයහපත් ලෙස දෝලනය කරවන්නාවූ සමන්තභද්‍ර චරිතය , ඒ හා සමාන ඔහුට වඩා ප්‍රබල චරිතයක් සමාජගත වනතුරු මෙම සමාජ තලයේ කිසිදු උපද්‍රවයකින් තොරව පවතිනු ඒ කාන්තය.